පාස්කු ප්‍රහාරයේ අපරාධ වගකීමට හසු වූ පොලිස් ලොක්කෝ... | සිළුමිණ

පාස්කු ප්‍රහාරයේ අපරාධ වගකීමට හසු වූ පොලිස් ලොක්කෝ...

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම්වලින් දැන් බොහෝ පිරිසකට බේරෙන්න බැරිය. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පත් කළ කොමිසමේ පළමු අතුරු වාර්තාවට අනුව නීතිපති දප්පුල ලිවේරා විසින් වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට උපදෙස් දෙන්නේ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව පූර්ණ අපරාධ විමර්ශනයක් පවත්වන ලෙසය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් පූජිත් ජයසුන්දර පොලිස්පතිවරයාට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර ඇත්තේ ඒ අනුවය.

දැන් එම කොමිසමේ දෙවැනි අතුරු වාර්තාවද නීතිපතිවරයා අතට පත් වී හමාරය. ඒ අනුව නීතිපති දප්පුල ලිවේරා වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට තවදුරටත් උපදෙස් දෙන්නේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස්, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් සහ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ යන සිවු දෙනාට එරෙහිවත් පූර්ණ අපරාධ විමර්ශනයක් පවත්වන ලෙසය. ඒ අනුව දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සිවු දෙනාට එරෙහිවත් පූර්ණ අපරාධමය විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට නිසි පියවර නොගැනීම සම්බන්ධයෙනි.

ආරක්ෂක ලේකම්වරයා කෙසේ වෙතත් සෙසු නිලධාරීන්ට එරෙහිව අපරාධ චෝදනා එල්ල කිරීම කොතරම් දුරට සාධාරණදැයි මේ වන විටත් පොලිස් දෙපාර්තමේන්තුව තුළ දැඩි කතාබහක් ඇති වී තිබේ. ඒ ඔවුන් අඩු වැඩි වශයෙන් හෝ එම අනතුරු ඇගයීමේ ලිපියට අනුව ක්‍රියාත්මක වී ඇති බැවිනි. පූජිත් ජයසුන්දර පවා එම අනතුරු ඇගයීම එම නිලධාරීන්ට යොමු කරන්නේ එෆ්.ඒ.එන් ලෙස සටහනක් තබාය. එවන් සටහනක් තබන්නේ එතරම් උනන්දුවක් නොදැක්විය යුතු ලිපි ලේඛන හුවමාරුවේදීය. ජනපති කොමිසමේද විශේෂ අවධානයක් යොමු වූ කරුණක් වන්නේ එයය. පූජිත් ජයසුන්දරගෙන් එම කොමිසමේ සාමාජිකයෙකු වන හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් විමසා ඇති එකම පැනය වී ඇත්තේ එෆ්.එන්.ඒ. ලෙස සටහන් තබන්නේ කුමනාකාර ලිපි සඳහාද යන්නය. පූජිත්ට එරෙහිව අපරාධ චෝදනාවක් ගොනු වෙන්නේ නම් ඒ සඳහා ප්‍රබලම සාධකයක් බවට පත්වන්නේද එයය.

21 වැනිදා පාස්කු ඉරිදා ප්‍රහාරයේ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් පොලිසියේ ලොකු තැන් එසේ හැසිරෙමින් ජාතික ආරක්ෂාව බිංදුවට දමන විට මහනුවර පොලිස් ලොක්කෝ නම් 17 වැනිදා සිටම කන්ද උඩරට ආරක්ෂාව තර කර තිබුණහ. ඒ ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලයෙන් ලද තොරතුරකට අනුවය. එනම් ඉන්දියා මහ කොමසාරිස් කාර්යලයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇතැයි කල්තියාම මහකොමසාරිස් කාර්යාලයෙන් කර තිබුණු දැනුම් දීමකට අනුවය.

ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලයේ මහනුවර ඇත්තේ නියෝජ්‍ය මහා කොමසාරිස් කාර්යලයක් පමණි. එය එසේ යැයි කියා මහනුවර පොලිස් ලොක්කන් එය නොතකමින් සිටියේ නැත. ඔවුහු මහකොමසාරිස් කාර්යාලයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමක් ඇතැයි කියැවුණු යතුරු පැදියක්ද සොයා මුළු මධ්‍යම පළාතේම බුද්ධි අංශ සීරුවෙන් තැබුවෝය. එම යතුරු පැදිය හමු වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුවය. ඒ තිහාරියේ නිවසක තිබියදීය. එහි ලියාපදිංචි අංක තහඩුව හමුවන්නේ එම නිවසේ තිබුණු අධි ශිතකරණයක සඟවා තිබියදීය. ඒ අංක තහඩුව කුඩා කොටස්වලට කපා තිබිණි.

පොලිස් විමර්ශනවලින් අනාවරණය වන්නේ කාත්තන්කුඩියේ පාළු වත්තකදී අප්‍රේල් 17 වැනිදා පුපුරා යන්නේ මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානම් කළ තවත් එක් යතුරුපැදියක් බවය. එම යතුරුපැදිය එදා පුපුරා නොයන්නට තිහාරියෙන් හමුවන යතුරුපැදිය මහනුවරදී පුපුරායන්නට තිබුණු ඉඩ බොහෝය.

අදහස්