වි දෙ ස් චි ත්‍ර­ ප ට | සිළුමිණ

වි දෙ ස් චි ත්‍ර­ ප ට

මැයි 17 වැනිදා සිට තිරගත වන John wick ජෝන් වික් සිනමාවලියේ තෙවැන්න ද භීභත්ස්‍ය රසයෙන් අනූන ක්‍රියාදාම සිනමා පටයකි. ජෝන් වික්ගේ චරිතය රසිකයන් හඳුනා ගන්නේ 2014 දීය. ඒ ජෝන් වික් සිනමා පටයෙනි.

ඉතිහාසයේ දේශපාලන ක්ෂේත්‍රයේ වේවා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වේවා වෙනයම් ක්ෂේත්‍රයක වේවා කුලියට ගත් මිනී මරන්නාට ඇත්තේ ඉහළම ඉල්ලුමකි. ධනය, බලය, කීර්තිය උදෙසා ඔවුන් ඉත්තන් කරගන්නා අදිසි බළල් හස්තයන් අපමණය. ජෝන් වික් එසේ කුලියට මිනීමරන්නකු ලෙස නමගිය පුද්ගලයකි. එහෙත් ඔහුට සිය වෘත්තියෙන් සමු ගැනීමට සිදු වන්නේ සෙනෙහෙබර බිරියගේ බලවත් පෙරැත්තය හේතුවෙනි. අවාසනාවකට ඇය රෝගීවී මිය යන්නීය. ඔහු කරා පැමිණෙන කරදර එතකින් නිම නොවෙයි. ලෝසෆ් තාරාසොව් නම් රුසියානු දාමරික නායකයා විසින් ඔහුගේ මෝටර් රථය සොරකම් කරනු ලබයි. මේ මෝටර් රථය ඔහුට මුදලෙන් මිල කළ නොහැකි වන්නේ එය මිය ගිය බිරියගෙන් ලද අවසන් ත්‍යාගය නිසයි. මේ දක්වා අනුන් වෙනුවෙන් මිනිසුන් මැරූ ඔහු ඔහුගේම වුවමනාවට ඝාතනයකට මුල පුරයි. ජෝන් වාහනය සොරාගත් ලෝසෆ් පසුපස හඹා යයි. ලෝසෆ්ගේ පියා ජෝන්ගේ හිසට මිලක් නියම කරයි. ජෝන් වික් පළමු වැන්න 2014 වසරේ තිරගතවූ විශිෂ්ටම ක්‍රියාදාම සිනමා පටයක් බවට පත්වෙයි. ජෝන් වික් සඳහා වැයවූ ඩොලර් මිලියන 20 ක මුදලට ඩොලර් මිලියන 88.8 ක ඉහළ ආදායමක් ලැබිණි. ඒ විචාරක මනාපය මෙන්ම රසික ආකර්ෂණය ද නොමඳව දිනා ගනිමිනි. අධ්‍යක්ෂ චැඩ් ස්ටැහෙල්ස්කි පවසන අන්දමට සිනමා පටයට ද ගුඩ්, ද බෑඩ් ඇන්ඩ් ද අග්ලි (1966) , පොයින්ට් බ්ලෑන්ක් (1967), ලේ සර්කල් රෝග් (1970) සහ ද කිලර් (1989) යන සිනමා පටවල ආභාෂය ලැබී තිබේ.

ජෝන් වික් පළමු වැන්නේ සාර්ථකත්වය මත එහි දෙවැන්න ජෝන් වික් : චැප්ටර් 2 නිර්මාණය විය. විශ්‍රාමික කුලී ඝාතක ජෝන් සාමාන්‍ය පුරවැසියකු ලෙස ජීවත් වීමට උත්සාහ ගත්ත ද මෙතෙක් ගත කළ ජීවිතය ඔහුට ඒ සඳහා ඉඩ ලබා දෙන්නේ නැත. ඔහුට යළි මිනීමැරුමක් භාර වෙයි. ඔහු ඝාතනය කිරීම සෑම කුලී මිනී මරන්නකුගේම ඉලක්කයක් බවට පත්වන අතර ඔවුන් ජෝන්ගේ ඝාතනයට ඩොලර් මිලියන හතක් පිරිනමන බව සඳහන් කරයි.

ජෝන් වික් දෙවැන්න ද පළමු වැන්න මෙන්ම ආදායම් වාර්තා පිහිටුවීම අතින් අති සාර්ථක විය. 2019 වසරේ මැයි 17 වැනිදා සිට තිර ගත වන්නේ සිනමාවලියේ තෙවැන්නයි. පෙර සිදු කළ ඝාතනවලින් ජෝන්ට ගැලවීමක් නම් නොලැබෙයි. ජෝන්ගේ හිසට ඩොලර් මිලියන 14ක මිලක් නියම වන අතර ඔහුගේ ඉරණම ඔහු පසු පස පන්නන ඝාතක සමූහයා ඉදිරියේ කෙසේ ලියැවේවිද ? මේ වන විට ඇවෙන්ජර්ස් : එන්ඩ්ගේම් පරදමින් ජෝන් වික් : චැප්ටර් 3 - පැරාබිලම් තිරගතවෙමින් පවතී. ඉතා සාර්ථක සිනමා පට මාලාවක සිව්වැන්නට ද මේ වන විට පිඹුරුපත් සැකසෙමින් පවතී. ඒ අනුව ජෝන් වික් ජෝන් වික් : චැප්ටර් 4, 2021 මැයි 21 තිරගත වීමට නියමිතය.

අධ්‍යක්ෂ ස්ටැහෙල්ස්කි ජෝන් වික් සිනමා පට මාලාවේම අදියුරුවරයාය. කියානූ චාල්ස් රීව්ස් ජෝන් වික් චරිතය දිගටම නිරූපණය කරයි. ඔහු ලිට්ල් බුද්ධා, බිල් ඇන්ඩ් ටෙඩ්, ද ජෙවිල්ස් ඇඩ්වොකේට් වැනි විශිෂ්ට එමෙන්ම බ්ලොක්බ්ලස්ටර බවට පත්වූ සිනමා පට ගණනාවකම රඟපා ඇති නළුවෙකි. ඉයන් මැක්ෂේන්, මාක් ඩේකස්කොස්, ලෝරන්ස් ෆිෂ්බර්න්, ඇන්ජෙලිකා හූස්ටන්, හේල් බෙරි, ලාන්ස් රෙඩ්ඩික්, කේට් ඩිලන් ඇතුළු රංගන ශිල්පීහු රැසක් මෙහි චරිතවලට පණ පොවති. ‍


භාරතයේ කතාන්දරය ලොවටම කියන

Yeh Hai INDIA

මසාලා සිනමාපට කලාවෙන් ඔබ්බට ගිය බොලිවුඩ් සිනමා කලාවක් ගැන සිහින දකින පාඨකයාට Yeh Hai INDIA යේ හෛ ඉන්ඩියා (මේ තමයි ඉන්දියාව) සිනමා පටය අගනා තිළිණයකි. මෙම සිනමා පටයේ අත්දැකීම ප්‍රේක්ෂකයා මින් පෙර කිසි දින අත්දැක නැත.

තම රට ගැන අන් රටවල් සිතන්නේ කෙසේද ? විවිධ රටවල සංචාරය කිරීමෙන් ලද අත්දැකීම් ඇසුරින් ලොම් හාෂ් විසින් ලියා අධ්‍යක්ෂණය කරන ලද යේ හෛ ඉන්ඩියා මැයි 24 දින සිට විචාරක ප්‍රේක්ෂක අගැයුම් මැද තිරගත වෙමින් පවතී.

විසිපස් හැවිරිදි NRI ඉපදුණේ හැදුණෙ වැඩුණේ බ්‍රිතාන්‍යයේ ය. ඔහු ද ඉන්දියාව ගැන දැරුවේ බ්‍රිතාන්‍ය වැසියන් දැරූ අදහස්මය. අධික ජනගහනය, පරිසර දූෂණය, දිළිඳුකම ඉන්දියාව ගැන කී විට ඔහුට ඉන්දියාව ගැන මැවුණු චිත්‍රයයි. එහෙත් මාධ්‍යය නිසා ඔහු ඉන්දියාවේ තවත් පැත්තක් ගැන සිතීමට පෙලඹිණි. ප්‍රථම උත්සාහයෙන්ම සඳ ගමන සාර්ථකව සිදුකිරීම, ක්‍රිකට් ලොව දෙවියන් ලෙස සලකන සචින් ටෙන්ඩුල්කාර් ඉන්දියානුවකු වීම, ශුද්ධවූ ආත්මලාභී තෙරේසා මවුතුමියගේ වාසභූමිය වීම වැනි කරුණු නිසා ඉන්දියාව ගැන වෙනස් සිතුවමක් ඔහුගේ සිතේ ඇඳිණි. උපන් දේශය ගැන ස්වජාතිකයකු ලෙස කළ අපූරු සිනමා විවරණය යේ හෛ ඉන්ඩියා, කාන්ස්, ෆොග් අන්තර්ජාතික සිනමා උලෙළවලදී ඇගයීමට ලක්විය.

සිනමා පටය රාජස්ථාන්, බිහාර්, මූම්බායි, උත්තර් ප්‍රදේශ්, මධ්‍ය ප්‍රදේශ්, ගුජරාට්වල රූ ගත කෙරුණු අතර මේ නිර්මාණයට ඉන්දියාවේ ප්‍රභූ පිරිසගේ ආශීර්වාදය නොඅඩුව ලැබී තිබේ. අගමැති නරේන්ද්‍ර මෝදි ජපන් සංචාරයක යෙදී සිටියදී නිෂ්පාදක සන්දීප් චෞද්රි ඔහු හමුවී සිනමා පටය ගැන කතා කළේය. එපමණක් නොව සිනමා පටය නැරඹීමට ද ආරාධනා කළේය.

ඉන්දියාවේ යෝග ගුරු බාබා රාමදේව් ප්‍රථම වරට මෙමඟින් බොලිවුඩ් සිනමා පටයකට රංගනයෙන් දායක වී ඇති අතර ඉන්දියාව යනු නයි නැටවීමට වඩා උසස් ශාස්ත්‍ර ඇති වේද සොයාගත් සාඩම්බර රටක් බව සිනමා පටයෙන් ලොවට පවසන බව කියන ඔහු යේ හෛ ඉන්ඩියාට උපරිම සහායක් ලබා දෙන්නේය. යෝග ගුරු, සයියාන් සයියාන් එහි ගීතයට ද පෙනී සිටින්නේය. සිනමා පටයේ ට්‍රේලරය මුලින්ම ප්‍රදර්ශනය කළේ හිටපු ප්‍රවෘත්ති සහ විකාශන අමාත්‍යවරයා මෙන්ම දක්ෂ වෙඩික්කාරයකු වූ රාජ්‍යවර්ධන් සිං රතෝර් සහ දේශපාලනඥ ජෙනරාල් වී.කේ. සිං ඉදිරියේදීය.

මෙහි කියැවෙන ඇතැම් වාක්‍ය ගැන මතභේදාත්මක අදහස් පළවී තිබේ. “ නීතියයි අණයි හැමදෙනාටම එක සමාන වෙන්නෙ නැත්නම් නව පාකිස්තානයක් බිහිවේවි “ යන වදන් පෙළ ඊට උදාහරණයකි. මේ චෝදනාව ගැන රචක, අධ්‍යක්ෂ ලොම් කියා සිටියේ හැඟීම් ප්‍රකාශ කිරීමේ අයිතිය කලාකරුවාට ඇති බවය.

සිනමා පටයට ගීත පහක් ඇතුළත්ය. ගැවී චාහල්, ඩීනා උප්පල්, මොහාන් ආගාෂේ, මොහාන් ජෝෂි, සුරේන්ද්‍ර පාල්, අසුතෝෂ් කෞෂික්, අන්තාරා බෙනර්ජි, කර්ම්වීර් චෞද්රි යේ හෛ ඉන්ඩියාට රංගනයන් දායක වී ඇත. තිර රචකයා සහ අධ්‍යක්ෂවරයාවූ ලොම් හාෂ් විදෙස් ඇමැතිවරයාගේ පුතු ලෙස රඟපෑම ද සුවිශේෂය.

 

 

Comments