යුද ගිනි දලු මතින් මෝදි ජය මඟ පාදාගනී | සිළුමිණ

යුද ගිනි දලු මතින් මෝදි ජය මඟ පාදාගනී

ලෝක් සභාවේ සමස්ත ආසන සංඛ්‍යාවෙන් අති බහුතරයක් ලබා ගනිමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දෙවැනි වරටත් මහමැතිවරණය ජය ගත්තේය. ඉන්දීය ලෝක් සභාවේ සමස්ත ආසන 543න් ඔහු මේ වන විට ලබා සිටින ආසන සංඛ්‍යාව 303කි. මෙය ඉන්දියාවේ මුළු මහත් දේශපාලන ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යයක් මෙන්ම ඉන්දීය දේශපාලනයේ සන්ධිස්ථානයක් ලෙසින්ද හඳුනාගත හැකි ජයග්‍රහණයකි. පසුගිය වසරේ දෙසැම්බර් මාසය වන විටත් මෝදිගේ නායකත්වය යටතේ භාරතීය ජනතා පක්ෂය සිටියේ මැතිවරණය ජයග්‍රහණයට බොහෝ පිටුපසිනි. එහෙත් අවසන් දින කිහිපයේදී වූ සිදුවීම් සහ අගමැති මෝදි එම සිදු වීම් හමුවේ දැක්වූ ප්‍රතිචාරද මේ ජයග්‍රහණයට හේතුපාදක වූ බව පැහැදිලි වේ. එමෙන්ම ශක්තිමත් න්‍යායපත්‍රයකින් තොරව විපක්ෂයේ භූමිකාව නිසි ලෙස ඉටු කිරීමට අපොහොසත් වූ කොංග්‍රසයද තමන්ගේ පරාජයේ වගකීම දැරිය යුතුව තිබේ.

2014 වසරේදී මෝදි භාරතීය ජනතා පක්ෂයේ අගමැති ධූරාපේක්ෂකයා ලෙස ජනතාව හමුවට පැමිණෙන්නේ ආර්ථීක ගැටලුවලට නිසි පිළිතුරු ලබා දෙන බවට පොරොන්දු රාශියක් ජනතාව හමුවේ තබමිනි. එහිදී ඔහු කිසි ලෙසකින් හෝ ඉන්දියාව තුළ ඇති ජාතික, ආගමික ගැටලු සැලකිල්ලට ලක් නොකළේය. ඔහු තම ආදර්ශ වාක්‍ය ලෙස පැවසුවේ ‘සැවොම එකට - සංවර්ධනය සැමටම ‘ යන්නයි. එහිදී ඉන්දියාව මුහුණ දී සිටි ආර්ථික ගැටලුවලට සාර්ථක පිළිතුරු ලබා දීමට මෝදි සමත් වේ යැයි යන විශ්වාසයෙන් ඉන්දීය ජනතාව ඔහුට අග්‍රමාත්‍ය ධූරය ලබා දුන්හ. අනෙක් අතට තට්ටු මාරු දේශපාලනයට හොඳින් හුරු වී සිටින ඉන්දීය ජනතාව ඒ වන විටත් කොංග්‍රසය යටතේ පාලන කාල දෙකකින් පසු හෙම්බත් වී සිටියහ. බලයට පැමිණි පසු තමන් ලබා දුන් පොරොන්දු පොරොන්දු බවටම පත් කළ මෝදි ඉන්දීය ජනතාවගේ අසහනය සහ ඔවුන් මුහුණ දෙමින් සිටි පීඩනය වඩාත් වැඩි වන තැනට කටයුතු කළේය. ජනතාවගේ ආර්ථීක ශක්තිය දිනෙන් දින පහළ ගිය අතර රටේ අපරාධ ඇතුළු සමාජ අසාධාරණයන්ද වර්ධනය විය. 2018 වසරේ නිකුත් වූ සමීක්ෂණයකට අනුව මෙලොව කාන්තාවන්ට ජීවත් වීමට අස්ථාවරම සහ අනාරක්ෂිතම වාතාවරණය පැවති රට වූයේ ඉන්දියාවය.

මේ අතර කොංග්‍රස් පක්ෂයේ නව නායකයා ලෙස රාහුල් ගාන්ධි ඉදිරියට පැමිණි අතර ඔහු යටතේ කොංග්‍රස් පක්ෂය ජනතා ආකර්ෂණය දිනා ගන්නා බවක් ද පෙනෙන්නට විය. පැවති අතුරු මැතිවරණ කිහිපයකින්ම කොංගස්‍රය ජය ගත් අතර එම මැතිවරණ ප්‍රතිඵල ඉන්දියාවේ අනාගත අගමැතිවරයා කල්තබා නම් කළ හැකි ප්‍රාන්ත ලෙසින්ද හඳුනාගෙන තිබිණි. ඒ අනුව වැඩි දෙනා විශ්වාස කර සිටියේ රාහුල් ගාන්ධි යටත‍ේ ඉන්දීය ජාතික කොංග්‍රසය මැතිවරණය ජය ගනු ඇති බවයි.

ඉතා කෙටි කලක් තුළ භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය දක්වා මෙහෙයවූ මෝදිගේ ජනතාවාදී වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ එයින් පසුවය.

කාශ්මීරයේදී ඉන්දීය රථ පෙළකට අන්තවාදී මුස්ලිම් පිරිසකගෙන් ප්‍රහාර එල්ල වූ අතර ඒ සමඟ ඉන්දියාව පාකිස්තානයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තේය. මේ වන විට මහමැතිවරණයට තිබුණේ ඉතා සුළු දින ගණනකි. එතෙක් කුසගින්නේ සිටි ඉන්දීය ජනතාවට කුසගින්න අමතක වූ අතර ඒ වෙනුවට පකිස්තානයට බිම වැටෙන්නට එල්ලවන ගුවන් ප්‍රහාරවල උත්කර්ෂය ඔවුන්ගේ කුස් පුරවා තිබිණි. මැතිවරණයට දින කිහිපයක් තිබියදී, සියලුම මැතිවරණ ප්‍රචාරක ක්‍රියා නවතා තිබියදී රූපවාහිනියෙන් ජනතාව ඇමතූ මෝදි උද්වේගකර කතාවක් කරමින් ඉන්දීය ජාතිකවාදය අති උත්කර්ෂවත් ස්ථානයකට ඔසවා තැබුවේ පාකිස්තානයට මෙන්ම අන්තවාදී ඉස්ලාමයට නොනවත්වා පහර දෙන බවට තර්ජනය කරමිනි.

පාකිස්තානය සමඟ ඇවිළ ගිය යුද්ධයේ ගිනි දලු මෙන්ම රට අභ්‍යන්තරයේ මුස්ලිම් ජනතාවටද කිසියම් පීඩනයක් එල්ල කළ මෝදි එහි අග්‍ර ප්‍රතිඵල නෙළා ගත්තේ එයින් දින කිහිපයකට පසු ඇරඹි මහමැතිවරණයෙන් කිසිවකුත් බලාපොරොත්තු නොවුණු තරමේ විශාල ජයග්‍රහණයක් ලබාගනිමිනි.

දැනට වාර්තා වී ඇති අන්දමට කොංග්‍රසයට ලබාගැනීමට හැකි වී ඇත්තේ ආසන 52කි. එය 2014දී ලබා ගත් ආසන 44ට වඩා සාර්ථකත්වයක් ලෙස දැක්විය හැකි නමුදු ඉදිරියේදී වඩා ආකර්ෂණීය සටන් පාඨ සොයාගැනීමට රාහුල් ගාන්ධිට සිදු වනු නොඅනුමානය. එහෙත් එම සටන්පාඨ ජාතිවාදය, ආගම්වාදය හෝ ජාතිකවාදය ඉස්මතු වන සටන්පාඨ නොවන්නේ නම් එය මුළු ලොවටම යහපත් වනු ඇත.

Comments