ඩෙංගු කියා හිතන තද උණ මැලේරියාව වෙන්නත් පුළුවන් | සිළුමිණ

ඩෙංගු කියා හිතන තද උණ මැලේරියාව වෙන්නත් පුළුවන්

ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සහතික කළේ 2015 වර්ෂයේදීය. වසර තුනක් මුළුල්ලේ මැලේරියා රෝගීන් වාර්තා නොවන විටදී ‍ලෝක සෞඛ්‍ය සංවිධානය එසේ සහතික ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකාවේ අවසන් වරට මැලේරියා රෝගියකු හමු වූයේ 2012 වසරේදීය. එම වසරේ මෙරටින් වාර්තා වූ මැලේරියා රෝගීන් පිරිස 93කි. එහෙත් එයින් 70 දෙනෙක්ම විදේශයන් හී සිට මෙරටට පැමිණි අය වෙති. 2013 වසරේ මැලේරියා රෝගීන් 95 දෙනකු ද 2014 වර්ෂයේ 49 දෙනකු ද වාර්තා වී ඇතත් ඒ සියලුම රෝගීන් විදේශ රටවල සිට මෙරටට පැමිණි මැලේරියා රෝගීන් මිස රට තුළ මැලේරියා පරපෝෂිතයන් ශරීරගත වීමෙන් මැලේරියාවට ගොදුරු වූ අය නොවෙති. 2015 වසරේ මෙරටින් හමුවන මැලේරියා රෝගිහු ද පිටරට දී රෝගයට ගොදුරු වූ අය වෙති. ඒ අනුව 2012 න් පසු ශ්‍රී ලංකාව තුළ සම්ප්‍රේෂණ වූ මැලේරියා රෝගීන් වාර්තා වී නැත. ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් වශයෙන් සහතික කරනු ලැබුවේ එමනිසාය.

එහෙත් අදටත් අපේ රටේ මැලේරියා රෝගිහු හමු වෙති. 2017 දී මැලේරියා රෝගීන් 57 ක් වාර්තා වූ අතර ඉන් 33ක් ශ්‍රී ලාංකිකයෝ ද 14 ක් විදේශිකයෝ ද වූහ. 2018 වර්ෂයේ වාර්තා වූ මැලේරියා රෝගීන්ගේ ගණන 47 කි. මැලේරියාව තුරන් කළ රටක් ලෙස සහතික ලබා තිබියදී මැලේරියා රෝගීන් වාර්තා වන්නේ කෙසේදැයි බොහෝ දෙනකුට ගැටලුවක් වී තිබේ.

“2012 න් පසුව ශ්‍රී ලංකාවේ හමු වන මැලේරියා රෝගීන් හඳුන්වන්නේ ආනයනික මැලේරියා රෝගීන් ලෙසටයි. මේ අය විදේශ රටවල දී රෝගය ආසාදනය වූ අයයි. දකුණු ආසියාවේ මැලේරියාව තුරන් කළ එකම රට ශ්‍ර‍ී ලංකාව. ඒත් ලෝකයේ මැලේරියාව බහුල රටවල් හුඟක් තිබෙනවා. ලෝක ජනගහනයෙන් මිලියන 220 ක් තවමත් මැලේරියා රෝගීන් වශයෙන් වාර්තා වී තිබෙනවා. රටවල් වශයෙන් ගත්තොත් රටවල් 87 ක රෝගය පවතිනවා. අවුරුද්දකට මැලේරියාවෙන් ලක්ෂ 4ක් මිය යනවා. ඒ වගේම මැලේරියාව පතුරුවා හරින ඇනෝෆිලස් මදුරු විශේෂය තවමත් අපේ රටේ සිටිනවා. ඒ නිසා අපි මැලේරියාව තුරන් කළ රටක් වුණත් එම රෝගය පැතිරීමේ අවදානමක් තිබෙනවා. ඒ අවදානම හරහා නැවතත් මැලේරියාව වසංගතයක් දක්වා වර්ධනය විය හැකියි.” යනුවෙන් ගැටලුවට පිළිතුරු සැපයුවේ මැලේරියා මර්දන ව්‍යාපාර මූලස්ථානයේ අධ්‍යක්ෂ, වෛද්‍ය හේමන්ත හේරත් ය. මෙම වර්ෂයේ ලෝක මැලේරියා දිනය සැමරීමේදී “මැලේරියාව නැවත එපා” යන්න තේමා කර ගනු ලැබුවේද පවතින අවදානම නිසා ය.

මැලේරියා වසංගතයෙන් ශ්‍රී ලංකාව බැට කෑවේ වරක් දෙවරක් නොවේ. ඉන් ඉතිහාසගත වූ මැලේරියා වසංගතය ඇති වූයේ 1934 – 1935 වකවානුවේය. එම කාලයේ රටේ ජනගහනය ලක්ෂ 60 ක් වූ අතර එයින් ලක්ෂ 5කට පමණ මැලේරියාව වැලඳුණ බවත් 80,000 ක් මරණයට පත් වූ බවත් අතීත වාර්තාවල සඳහන් වී තිබේ. ඒ කාලයේ විදේශීය අධ්‍යාපනය අවසන් කර ලංකාවට පැමිණෙන ඇන්. ඇම්. පෙරේරා, කොල්වින් ආර්. ද. සිල්වා, ඊ. ඩබ්ලිව්. අදිකාරම් යන තරුණ පිරිස රට වෙනුවෙන් යම් මෙහෙවරක් කිරීමේ අරමුණින් හොරණ විල්මට් ඒ. පෙරේරාගේ නිවසේ සාකච්ඡා කළ අතර එම සාකච්ඡාවට වෛද්‍ය ඇස්. ඒ. වික්‍රමසිංහගේ බිරිය ඩොරින් වික්‍රමසිංහ තරුණිය ද සහභාගි වූවාය. එම තරුණ පිරිස සමාජ සුබසාධනය අරමුණු කරගෙන සුරියමල් ව්‍යාපාරය ආරම්භ කළ අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් නොවැම්බර් 11 වැනි දින පොපිමල් දිනය සමරද්දී මේ තරුණ පිරිස නොවැම්බර් 11 වැනි දින සුරියමල් ව්‍යාපාරය ඇරඹුවේ අධිරාජ්‍ය විරෝධි ව්‍යාපාරයක් වශයෙනි.

සුරියමල් ව්‍යාපාරයෙන් උපයාගත් මුදල් සමාජ සුබසාධනය සඳහා තෝරා ගනිද්දී ඇන්. ඇම්. පෙරේරා තෝරා ගෙන තිබුණේ තුන් කෝරලයට අයත් යටියන්තොට, කරවනැල්ල, රුවන්වැල්ල වැනි ප්‍රදේශවල මැලේරියා රෝගීන්ගේ සුබසාධනයයි. රෝගීන්ගේ පෝෂණය ඉහළ නැංවීම උදෙසා පරිප්පු සහ මාමයිට් බෙදා දුන් ඇන්. ඇම් පෙරේරාව එදා හැඳින්වූයේ “පරිප්පු මහත්තයා” ලෙසිනි. මැලේරියා රෝගීන්ට භාණ්ඩ රැගෙන යෑමට කැපූ පාරවල් අද පවා හැඳින්වෙන්නේ “මැලේරියා පාරවල්” යනුවෙනි. දැරණියගල නක්කාවිට සිට යටිවල ඇති මාර්ගය සහ රුවන්වැල්ල අඟුරුවැල්ලේ කරව්දෙණියේ සිට වැටී ඇති ගල්පාත පාර ඊට නිදසුන් කීපයකි.

තුන් කෝරලයට අමුත්තකු සේ පැමිණි ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා රුවන්වැල්ල ආසනයෙන් තරග වැදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබා රාජ්‍ය මන්ත්‍රණ සභාවට පිවිසියේ මැලේරියා වසංගතය නිසා ය. ඉසිවර අසපුව ටෙලි නාට්‍යයට පාදක වූයේ ද 34 – 35 කාලයේ පැවැති මැලේරියා වසංගතයයි.

1958 දී ආරම්භ කළ මැලේරියාව මර්දනය කිරීමේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය නිසා ම 1963 වන විට ලංකාව තුළ වාර්තා වූ මැලේරියා රෝගීන් ගණන 17 දක්වා පහතට වැටිණි. මෙම 17 දෙනාගෙන් 11 දෙනෙක්ම මාලදිවයිනෙන් පැමිණි අය වූහ. මැලේරියාව තුරන් කිරීමේ ආසන්න මට්ටමක සිටියදී සාර්ථකත්වය හා නියමිත පාලනය රඳවාගැනීමට බලධාරීන් අපො‍හොසත් වීමෙන් නැවතත් 1968-1969 වන විට මැලේරියා රෝගීන් ගණන ලක්ෂ 5ක් විය. මැලේරියාව තුරන් කිරීමේ ඊළඟ අවස්ථාවට ළඟා වීමට අපට හැකි වූයේ එයින් වසර 50ක් පමණ ගත වූ පසුවයි.

“සමහරු හිතන්නේ රටේ මැලේරියාව නැති නම් ව්‍යුහයක් තියා ගන්නේ මොකටද, මර්දනය කිරීමේ වැඩසටහන් මොකටද කියලා. එය වැරදි අදහසක්. අපේ රටේ මැලේරියාව නැති වූණත් පිටරට ඉඳලා එන අයගෙන් පරපෝෂිතයා පැමිණෙන්න පුළුවන්. අපේ අරමුණ එය වැළැක්වීමයි. මැලේරියාවෙන් රෝගීන් මිය යන්න පුළුවන්. මිය නොගියත් පසුකාලිනව ඇති වන අහිතකර විපාක නිසා ජනතාවගේ ජීවනෝපායට බලපෑම් සිද්ධ වෙන්න පුළුවන්. ඒ මඟින් සමාජ හා ආර්ථික අංශවල විශාල බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසයි මැලේරියාව මර්දනය කිරීමේ වැඩසටහන් අපි අඛණ්ඩව පවත්වා ගෙන යන්නේ.” යනුවෙන් මැලේරියා මර්දන ව්‍යාපාර මූලස්ථානයේ අධ්‍යක්ෂ, වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් ‍කළේය.

මැලේරියාව, ලංකාව පුරා වසංගතයක් ලෙස අවස්ථා කීපයකදීම හිස එස වූ අතර 90 දශකයේදී ද මැලේරියා රෝගීන්ගේ ව්‍යාප්තියක් දැක ගත හැකි විය. 1986 දී මැලේරියා රෝගීන්ගේ සංඛ්‍යාව ලක්ෂ 6ක් වූ අතර 1991 දී ලක්ෂ 4ක් විය. 1999 වසරේදී 2,64,549 ක් ලෙස මැලේරියා රෝගීන් හඳුනාගෙන තිබේ. එහෙත් 1999 න් පසු මැලේරියා මර්දන ව්‍යාපාරයේ දැඩි ඇපකැප වීම නිසාම මෙය සාර්ථක ලෙස මර්දනය කරගැනීමට හැකි විය.

මැලේරියාව වැල‍‍ඳෙන්නේ ඇනෝපිලස් මදුරුවා, මිනිසා සහ පරපෝෂිතයා යන ජාලය නිසාය. 1958 දී ඩී.ඩී.ටී. සාන්ද්‍රණය යෙදීමෙන් මදුරුවන් විනාශ කළ ද මෙවර සිදු කරනු ලැබුවේ පරපෝෂිතයන් විනාශ කිරීම සඳහා ප්‍රතිකාර කිරීමයි.

“මැලේරියාව හදන පරපෝෂිතයන් ඇනෝපිලස් මදුරුවන් තුළ හෝ මනුෂ්‍ය ශරීරය තුළ පමණයි ජීවත් වෙන්නේ. ඒ හැර වෙනත් මදුරුවන්ගේ ශරීර තුළ ජීවත් වෙන්න බැහැ. ආසාදිත මදුරුවෙක් ලේ උරා බොන විට තමයි මිනිසාට පරපෝෂිතයන් ශරීරගත වෙන්නේ. එම පර‍පෝෂිතයන් අක්මාවේ නිද්‍රෝපගතව සිටිමින් ඉතා වේගයෙන් වර්ධනය වෙනවා. ඒ වර්ධනය වේගවත් වීමෙන් රුධිරය තුළ වර්ධනය වෙනවා. ඒ අවස්ථාවේ තමයි උණ සමඟ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ.

ආනයනික මැලේරියා රෝගීන් හඳුනාගැනීමට ගුවන් තොටුපොළේ රුධිර පරික්ෂාවක් කරන්න බැරිද කියලා සමහරු අපෙන් අහනවා. ඒත් එය සාර්ථක නැහැ. මොකද පරපෝෂිතයන් අක්මාවේ රැඳී සිටින අවස්ථාවේ රුධිර පරීක්ෂණ කළාට හසු වන්නේ නැහැ. රුධිරය දක්වා පැතිරුණු විට පමණයි රුධිර පරීක්ෂාවකින් තහවුරු වෙන්නේ. ඒ නිසා පරපෝෂිතයන් නැති කරන්න මැලේරියා රෝගීන් පසුපස එළවාගෙන ගිහින් අපි බෙහෙත් කරනවා. ඔවුන්ගේ පවුල්වල අයගේ, නවාතැන් ගෙන සිටින අයගේ රුධිර සාම්පල් පරීක්ෂා කරනවා. ඒ විදිහට අපි රෝගීන් වෙනුවෙන් එක දිගට දින 14ක් ප්‍රතිකාර ලබා දෙනවා. ඔවුන් ඖෂධ ලබා ගැනීම ගැන පවා අපි අවධානයෙන් සිටිනවා. මැලේරියා මර්දන මූලස්ථානය වගේම දිස්ත්‍රික් කාර්යාල හරහා අපි ක්‍රියාත්මක වෙනවා. හැබැයි මෙම අවස්ථාවේදී සාමාන්‍ය ජනතාව පමණක් නොවෙයි වෛද්‍යවරුන් පවා මැලේරියාව අමතක කර දමලා. තද උණ ආපු ගමන් වෛද්‍යවරුන් පවා හිතන්නේ ඩෙංගු කියලා. ඩෙංගු කියලා ප්‍රතිකාර කරලා පසුව මැලේරියාව කියලා දැනගත් අවස්ථා අපිට වාර්තා වෙලා තිබෙනවා. ඒ නිසා මැලේරියාව අමතක කරන්න එපා කියලා මේ හැමෝටම මතක් කරන්න මම කැමතියි.” යනුවෙන් විස්තර කළේ මැලේරියා මර්දන ව්‍යාපාරයේ මූලස්ථානයේ අධ්‍යක්ෂ, වෛද්‍ය හේමන්ත හේරත් ය.

මෙරටට මැලේරියා පරපෝෂිතයන් රැගෙන එන අවදානම් කණ්ඩායම් 5ක් මේ වන විට හඳුනාගෙන තිබේ.

1. සංක්‍රමණික කම්කරුවෝ

2. මැණික් ව්‍යාපාරය සඳහා අප්‍රිකානු රටවල්වලට යන එන අය

3. සාම සාධක හමුදා සේවයට යන අය (අප්‍රිකානු රටවලට)

4. දඹදිව වන්දනාකරුවෝ

5. දෙස් විදෙස් සංචාරකයෝ

මොවුන් අතරින් සාම සාධක හමුදා සේවයට යන පිරිසට මෙරටදී ඹෟෂධ ලබා දෙන බැවින් ඔවුන්ගෙන් පරපෝෂිතයන් පැමි‍ණීමේ අවදානම ඉතා අවම මට්ටමක පවතී. එහෙත් සාම්ප්‍රදායික මැණික් පතල් කර්මාන්තයේ නියැළීම සඳහා අප්‍රිකා රටවල ගන කැලෑ මාධ්‍යයේ වාඩි ගසා ගෙන සිටින අය මෙරටට පැමිණීමේදී ද මැණික් ව්‍යාපාරය සඳහා මැඩගස්කරය, මොසැම්බික් වැනි රටවලට යන අය පැමිණිමේ දී ද මැලේරියා පරපෝෂිතයන් මෙරටට පැමිණීමේ ලොකු අවදානමක් තිබේ.

පසුගිය දෙසැම්බරයේදී මොනරාගල කර්මාන්තශාලාවක සේවය සඳහා පැමිණි විජාතිකයකුට මැලේරියා පරපෝෂිතයන් ශරීරගත වී ඇති බව වාර්තා වීමෙන් පෙනෙන්නේ සංක්‍රමණික කම්කරුවන් මඟින් මැලේරියා පරපෝෂිතයන් මෙරටට සංක්‍රමණය වන බවය. දඹදිව වන්දනාවේ හෝ එතෙර සංචාරයක් නිමවා පැමිණි පසු තද උණ, හිසරදය වැනි රෝග ලක්ෂණ පහළ වූ සැණින් මැලේරියාව ගැන අවධානය යොමු කළ යුත්තේ එම නිසාය.

ගිනි පෙනෙල්ලෙන් බැට කෑ පුද්ගලයා කණමැදිරි එළියටත් බයයි. යනුවෙන් ගැමි කියමනක් තිබේ. එහි අදහස වරක් පහර කෑමෙන් රිදුම් ලද පසු දෙවැනි වාරයේදී වඩාත් පරෙස්සම් වීම ඉතා වැදගත් බවය. එය මැලේරියා රෝගය සම්බන්ධයෙන් ද උචිතය. මැලේරියා වසංගතවලින් බැට කෑ අප තවත් වරක් මැලේරියා වසංගතයකට මුහුණ දිය යුතු නැත. මැලේරියා රෝගය ගැන මහජනතාව මෙන් ම වෛද්‍යවරුන් ද අවධානය යොමු කළ යුතු වන්නේ එබැවිනි.

Comments