ප්‍රහාරය එල්ල වුණේ ආර්ථික ජයග්‍රහණ අතරෙයි | Page 2 | සිළුමිණ

ප්‍රහාරය එල්ල වුණේ ආර්ථික ජයග්‍රහණ අතරෙයි

ලබන ජූලි මාසයේ සිට රාජ්‍ය සේවකයන්ට මාසික ව රුපියල් 2500 ක අතුරු දීමනාව ලබාදීමට රුපියල් මිලියන විසිදහසක් වැයවන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා ප්‍රකාශ කරයි.

රාජ්‍ය සේවකයන්ගේ මාසික අතුරු දීමනාව පමණක් නොව ආරක්ෂක හමුදාවන්ගේ දීමනා ද මෙවර අයවැයෙන් වැඩි කළ බව පවසන මුදල් ලේකම්වරයා රට පුරා සෑම මැතිවරණ කොට්ඨාසයකම යටිතල පහසුකම්, ජනතා සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ගම්පෙරළියෙන් රුපියල් මිලියන 48000 ක් අයවැයෙන් වෙන් කොට ඇතැයි ද අවධාරණය කරයි.

ඊට අමතරව නව ව්‍යවසායකයන් ලක්ෂයක් බිහිකිරීමේ අරමුණින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රම හරහා රුපියල් මිලියන 10,000 ක පොලී සහනාධාර ජනතාවට ලබාදෙන බව ද කියා සිටියි.

එපමණක් නොව පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් බිඳ වැටුණු සංචාරක කර්මාන්තය නැවත ඉක්මනින් යථා තත්ත්වයට පත්කිරීමට රජය සහන වැඩපිළි‍වෙළක් සකස් කර ඇතැයි ද මුදල් ලේකම්වරයා පවසයි.

සංචාරක කර්මාන්තයේ සෞභාග්‍යය උදෙසා ඇවැසිම ශක්‍යතාව ආරක්ෂාව බව අවිවාදිත බව කී සමරතුංග මහතා මේ වන විට එය ක්‍රමික ව රටේ සහතික වෙමින් පවතින බව ද කියා සිටියේ ය.

ඉකුත් 21 වැනි පාස්කු ඉරිදා රටේ තැනින් තැන පිපිරුණු ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරවලින් පසු යළි රටේ ආර්ථිකය ගොඩනැඟීම සදහා ගත යුතු හා රජය ගනු ලැබූ ක්‍රියාමාර්ග පැහැදිලි කරමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙසේ සඳහන් කෙළේය.

අප කිසිවකුත් බලාපොරොත්තු නොවූ ත්‍රස්ත ප්‍රහාරයන් කිහිපයකට මුහුණදීමට සිදු වුණා. ඉන් ආර්ථික ක්‍රියාකාරීත්වයට විශේෂයෙන් සංචාරක කර්මාන්තයට විශාල බිඳවැටීමකට මුහුණදීමට සිදුවුණා නේද?

එයට දිය හැකි කෙටි පිළිතුර නම් ඔව්, එසේ සිදුවුණු බවයි. නමුත්, අප මේවාගේ අභියෝගවලට මුහුණ දී පෙරට පැමිණ හොඳ අත්දැකීම්, හොඳ හැකියා පෙන්වා දී ඇති රටක්; සමාජයක්. අපි මෙහිදීත් සිතන්නේ එල්ල වූ මේ නොසිතූ නොපැතූ ත්‍රස්ත අභියෝගය පවා දුරුකොට නැවත නැඟී සිටීම ගැනයි.

අපට ත්‍රස්තවාදය පරාජය කර නැඟී සිටිය හැකි අත්දැකීම් තිබෙන බව ඇත්ත. නමුත්, මේ අවස්ථාවේ රටට අහිතකර ආකාරයට මෙය බලපානවා නේද?

එසේ සිදුවන එක සාමාන්‍ය තත්ත්වයක්. ත්‍රස්ත ප්‍රහාර මාලාවක් එල්ල වුණා. ආර්ථීකයට විශාලතම ශක්තියක් ලබාදෙන සංචාරක අංශයට බලවත් පහරක් ඉන් එල්ල වෙනවා. එය හේතුකොට අපේ යම් යම් අංශ මන්දගාමී වෙනවා. ඒ වාගේමයි, සංචාරක අංශයෙන් අපට අත්විඳීමට වන පාඩුව පවා මේ වන විට දළ ඇස්තමේන්තුගත කිරීමක් කර තිබෙනවා.

කොපමණ අඩුවක් අපට ඉන් සිදුවූවාද?

ඇත්තට ම මේ ප්‍රහාර හේතුවෙන් සංචාරක කර්මාන්තයේ 10%ක බිඳවැටීමක් සිදුවෙනවා කියලා අපි සිතමු. මේ 10% මූල්‍යමය වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 500ක් ‍තරම් වන බවටයි අප දළ වශයෙන් ඇස්තමේන්තු ගතකොට තිබෙන්නේ. අප මෙවර ත්‍රස්ත ප්‍රහාර නිසා අඩුම තරමේ 30%ක බලපෑමක් සිදුවේ යැයි සිතුවොත් එහි මූල්‍යමය අගය එක්සත් ජනපද ඩොලර් මිලියන 1500ක් පමණ වන බවටයි දැනට ඇස්තමේන්තු ගතකොට තිබෙන්නේ.

සංචාරක කර්මාන්තය දියුණු වෙන්න නම්, ජාතික ආරක්ෂාව සහතික බවට දෙස් විදෙස් සියලු දෙනාගේ ම සිත්වල විශ්වාසයක් ගොඩනැඟිය යුතුයි. එයයි පවතින ප්‍රධානම අභියෝගය වන්නේ?

රටේ ආරක්ෂාව සහතික කිරීමට ආරක්ෂක අංශ උපරිම කැපවීමෙන්, ඉතා දැඩි වෙහෙසකර ක්‍රියාදාමවල නිරත වීමෙන් අනතුරුව දැන් සිදුකොට තිබෙනවා. අපේ රටේ ආරක්ෂාව ඉතා ඉහළ බවට ජනතාවගේ සිත්වල විශ්වසනීයත්වය ගොඩනැඟෙමින් පවතිනවා. අප පමණක් නොවෙයි ලෝකයේ ඉතා දියුණු, ඉතා ආරක්ෂිත යැයි සැලැකෙන රටවලට පවා ත්‍රස්ත ප්‍රහාර එල්ල වෙනවා. මේ වන විට ගෝලීය ත්‍රස්තවාදයේ ගොදුරු බවට බොහෝ රටවල් පත්වී තිබෙනවා. අපිත් ඒ නිසා මේ ගොදුරුවීමෙන් වැළැකී සිටීමට අවධියෙන්; අවධානයෙන් ඉන්න ඕනෑ. ඒ සමඟ තමයි ත්‍රස්ත ක්‍රියා අවම කරගත හැකි වන්නේ.

මෑතකදී රටේ ඇතිවූ ගැටලුකාරී ආර්ථික වටාපිටාවෙන් නිදහස් වීමට සංචාරක කර්මාන්තයේ නියුතු පිරිස්වලට යම් සහන ලබාදීමක් කළ යුතුයි නේද?

ඔව්. ඒ සඳහා රජය මූල්‍යමය අංශයේ සහන වැඩපිළිවෙළක් හඳුන්වා දුන්නා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී සිටින පිරිස් වෙත තමන්ගේ ව්‍යාපාර යළි නඟා සිටුවීමට ඉතා ම අඩු පොලී අනුපාත යටතේ බැංකු ණය ලබා දීම, දැනට ලබාගෙන ඇති ණය සඳහා වාරික හා පොලිය ගෙවීම් වසරකින් අත්හිටුවා සහන කාලයක් ලබා දීම, වැට් බදු ප්‍රතිශතය සියයට 15 සිට සියයට 05 දක්වා අඩුකර අය කිරීම ඉන් ප්‍රධානයි. මේවා ලබා දෙන්නැයි ඒ ඒ ව්‍යාපාර අංශවල ප්‍රධානීන් ජනාධිපතිතුමා, අගමැතිතුමා, මුදල් ඇමැතිවරයා සමඟ සාකච්ඡා කළ අවස්ථාවලදී පෙන්වා දුන්නා. ඒ අනුවයි අපට මේ තීරණ ගන්න පුළුවන් වුණේ.

ආර්ථීක අභියෝග රාශියක් යම් තරමකින් හෝ ජය ගනිමින් ඉදිරියට එන විටයි මේ අවාසනාවන්ත තත්ත්වය රටට සිදු වුණේ. ඒ ගැන ඔබගේ විග්‍රහය කුමක්ද?

අපේ රටේ ජනතාවගේ ආදායම් වැඩිකොට ඒ තුළින් ආර්ථික දියුණුව වඩා වර්ධනය කිරීම සඳහා රජය විවිධ පියවර ගත්තා. 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' රජයේ පොලී සහනාධාර ණය වැඩසටහන් ක්‍රියාත්මක කරමින් මේ වසරේ නව ව්‍යවසායකයන් ලක්ෂයක් බිහිකිරීමට සැලසුම් කළා. ඒවාගේමයි ගම්පෙරළිය ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරමින් සිටියේ. මේ සමඟ පිබිදීමක් රටේ ඇතිවී තිබුණා.

ඒ අතරේ අපේ අපනයන ආදායම් වැඩි වුණා. ඉතිහාසයේ සැලකිය යුතු ආකාරයට ආනයන වියදමට වඩා අපනයන ආදායම් වැඩි වී වෙළෙඳ හිඟය අඩු වුණා. එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ ව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 4.8 කින් අතිප්‍රමාණය වුණා. උද්ධමනය තනි මැද ඉලක්කමකට ගෙන ඒමට හැකි වුණා. ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වාර්තා කළා. එය අඛණ්ඩ ව පැවැතියා. මේවාගේ යහපත් ප්‍රතිඵල ලබාගන්නා අතරේ අප රටක් ලෙස විදේශයන්ට ගෙවිය යුතු විශාලතම ණය කන්ද සාර්ථකව ගෙවා දමමින් සිටියේ.

මේ අවුරුද්දේ ඩොලර් බිලියන 5.9 ක ණය හා වාරික ගෙවිය යුතු වෙනවා. ඉන් ඩොලර් බිලියන 1.5 ක් මේ අප්‍රේල් මාසයේ ගෙව්වා. ජනවාරි මාසයේ ඩොලර් බිලියන 1ක් ගෙව්වා. ඒ ආකාරයට ජයග්‍රහණ ලබමින් සිටින විටයි මේ අවාසනාවන්ත ත්‍රස්ත ප්‍රහාරය සිදුවුණේ.

රටේ ආනයන අපනයන අතර පරතරය අඩු කිරීමට මහ බැංකුව ගත් තීරණ හේතු වුණා. ඒවාගේම රටේ පොලී අනුපාත පහත දැමීමටත් පියවර ගනිමින් නේද සිටියේ?

අපි අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීමට යම් යම් තීරණ ගත්තා. පෞද්ගලික පරිහරණයට රථවාහන ගෙන්වීම සීමා කිරීමට තීරණ ගත්තා. ඒ තීරණ ඵලදරා වාහන ගෙන්වීමට වැයවන මුදල සියයට 40 කට වඩා අඩු වුණා. අපනයන ආදායම් වැඩි වුණා. ඒ අතරේ ම පිටරට රැකියා කරන පිරිස් රටට එවන ප්‍රේෂණ වැඩි වුණා. මේ නිසා රුපියල ශක්තිමත් වුණා.

රටේ තැන්පතු හා ණය පොලී අතර පරතරය ඉහළයි. එය නව ව්‍යාපාරයක්, කර්මාන්තයක්, සේවාවක් ආරම්භ කිරීමට බාධාවක් නේද?

නව ව්‍යාපාරයක් ආරම්භ කරන්න හරි පවත්නා ව්‍යාපාරයක් වැඩිදියුණු කරන්න හරි කෙනෙක් බැංකු ණයක් ලබාගන්නවා නම් ඊට වැඩි පොළියක් ගෙවන්න වෙනවා නම්, එය ඔහුගේ ලාභය අඩුවීමට බලපානවා. අපි අරමුදල්වලට වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම නතර කළ යුතුයි; ඒවාගේම ගනුදෙනුකරුවන්ට අරමුදල් පහසුවෙන් ලබාගන්න ඉඩකඩ සැලැසිය යුතුයි. ඒ අනුව මුදල් මණ්ඩලය වරින්වර විවිධ පියවර ගත්තා.

ඔබ මුදල් මණ්ඩලයේ සාමාජිකයෙක්. රටේ පොලී අනුපාත පහත දැමීම සම්බන්ධයෙන් ගත් තීරණ මොනවාද?

ඇත්තට ම ඒ සඳහා විවිධ තීරණ අප ගත්තා. අපි බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන රටෙන්, ජනතාවගෙන් ලබාගන්නා අරමුදල් වෙනුවෙන් මහ බැංකුවේ තැන්පත් කළ යුතු ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2018 නොවැම්බර් හා මේ අවුරුද්දේ මාර්තු මාසයේදී අවස්ථා 02 කදී දර්ශකාංක 200 කින් අඩු කළා. ඒ නිසා මුල් අවස්ථාවේ රුපියල් බිලියන 90 කින් බැංකුවල අරමුදල් වැඩි වුණා. දෙවැනි අවස්ථාවේ රුපියල් බිලියන 60 කින් ඔවුන්ගේ අරමුදල් වැඩි වුණා. මේ අවස්ථා දෙකේදී රුපියල් බිලියන 150 ක්, රුපියල් කෝටි 15000 ක් අමතර මුදලක් ජනතාවට ණය ලබාදීමට බැංකුවල ඉතිරි වුණා. ඒ ඉතා ම අගය කළ යුතු තීරණ දෙකක් ගත් නිසයි සිදු වුණේ.

බැංකුවල තැන්පතු පොලිය අඩු කිරීමටත්, ණය පොලිය ද පහත හෙළීමටත් මහ බැංකුව උපදෙස් ලබා දුන්නා. මේ වන විට එහි ඇතිවී තිබෙන තත්ත්වය කුමක්ද?

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු පද්ධතියෙන් කළ ඉල්ලීමට අනුව තැන්පතු පොලිය අඩුකොට තිබෙනවා. දැන් බැංකු පද්ධතිය ණය පොළිය අඩු කිරීමට පියවර ගනිමින් ඉන්නවා.

මේ සමඟ ඉදිරියේදී ජනතාවට අඩු පොළියට බැංකු ණයක් ලබාගත හැකි වෙයිද?

එය එසේ සිදුවිය යුතුයි. ඒ ආකාරයට පොලී අනුපාත අඩුකොට වැඩි වැඩියෙන් බැංකු ණය ලබාදීම බැංකු පද්ධතියේ නියුතු පිරිස් විසින් ම සිදු කළයුතු දෙයක්. ඊට අවශ්‍ය වටාපිටාව අප රට තුළ මේ වන විට සකස් කර තිබෙනවා.

අදහස්