පාස්කු ප්‍රහාරයෙන් බිමට සමතලා වුණු සංචාරක කර්මාන්තය | සිළුමිණ

පාස්කු ප්‍රහාරයෙන් බිමට සමතලා වුණු සංචාරක කර්මාන්තය

ලෝකයේ සංචාරක කර්මාන්තය කෙරෙහි අවධානය යොමු කිරීමේදී ශ්‍රී ලංකාවට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. වෙසෙසින් 'ඉන්දීය සාගරයේ මුතු ඇටය' ලෙස අතීතයේ සිටම කීර්තිමත්ව පැවති මෙරටේ පිහිටි ස්වාභාවික සම්පත්, විචිත්‍රවත් දේශගුණික හා පාරිසරික විවිධත්වය පිළිබඳ ලෝවැසියන් දක්වන්නේ විශාල උනන්දුවකි. වසර තිහක යුද්ධය පැවැති සමයේදී පවා විදේශ සංචාරකයන් මෙරටට ගලා ආවේ එබැවිනි. යුද්ධ නිමා වී‍මෙන් පසුද ලංකාව තුළ සිදු වූ වේගවත් සංවර්ධනය හේතුවෙන් සංචාරකයන්ගේ පැමිණීම තවත් වැඩි විය. මං-මාවත් පුළුල් කරමින් මාර්ග පද්ධතිය සංවර්ධනය වීමත්, අභ්‍යන්තර ගුවන් සේවා මෙන්ම අධිවේගී මාර්ග විවෘත වීමත් එලෙස විදේශ සංචාරකයන් පැමිණීම කෙරෙහි ඍජුව බලපෑ කරුණු විය.

කොළඹ, නුවර, ගාල්ල, මාතර ඇතුළු ශ්‍රී ලංකාවේ විදේශ සංචාරකයන් බහුල වශයෙන් ගැවසෙන නගර ආශ්‍රිතව තට්ටු පිට තට්ටු නිවාස සහ තරු පන්තිවලට අයත් නවීන පහසුකම් සහිතව ඉදි කරනු ලැබූ සුපිරි හෝටල් ඉකුත් වසරවලදී විදේශ සංචාරකයින්ගේ පිරී-ඉතිරී ගියේය.

කොළඹ නගරය ලෝකයේ අවධානයට යොමු වෙමින් වසර දෙකක්ම ලෝකයේ දියුණු වෙමින් පවතින නගරය සහ ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ හොඳම නැවැතුම්පොළ වශයෙන් පරිසර මෙන්ම මාර්ග උපදේශන සඟරා විසින් ඉකුත් වසර තුනේදීම නම් කිරීම කැපී පෙනෙන සිද්ධියක් වූ අතර, විදේශ සංචාරකයන් මෙරටට පැමිණීම ලක්ෂ ගණනින් ඉහළ යෑමට මෙය හේතුවක්ද විය.

එහෙත් ඉකුත් පාස්කු ඉරිදා ප්‍රහාරමාලාවෙන් පසු අද වන විට මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම කණපිට හැරී තිබේ. මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයක් තිබුණේද යන්න පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් උදා වී තිබේ. එහි ප්‍රතිඵල අත්විඳින ලක්ෂ ගණනක් වූ ජනතාව අසරණ තත්ත්වයකට පත්ව සිටිති. සංචාරක කර්මාන්තය සමඟ බද්ධව පැවැති ව්‍යාපාර රැසක් මේ වන විට සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබේ. පෞද්ගලික වශයෙන් සිදු කරගෙන ගිය ව්‍යාපාරද යළි ගොඩනගාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව ඒ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

ශ්‍රී ලංකාව වටා ඇදෙන උණුසුම් දියවැල්වල පහස විඳීමට පැමිණෙන යුරෝපීය සංචාරකයන් ඉලක්ක කරගෙන වෙරළ තීරයේ පදිංචිකරුවන් පවත්වාගෙන ආ කුඩා ව්‍යාපාර මෙන්ම වෙළෙඳසල් සංස්කෘතියද මේ වන විට බිඳවැටී තිබේ.

මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාරය ලෝකය පුරා ඉතා කෙටි වේලාවකින් ප්‍රචාරය වීමත් සමඟ මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටි සංචාරකයෝ දස දහස් ගණනක් තම සංචාරය අවලංගු කර දැමූහ. ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණෙන බොහෝ රටවල් තම වැසියන්ට නිවේදනය කළේ ශ්‍රී ලංකාවට සංචාර සඳහා නොයන ලෙසයි.

මේ දරුණු කඩාවැ‍ටීම හේතුවෙන් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව දින දහයකට වැඩි කාලයක් යන තුරු බණ්ඩාරනායක අන්තර්තර්ජාතික ගුවන්තොටුපොළෙන් මෙරටට සංචාරකයන් පැමිණියේ නැත. මේ තත්ත්වය සුළු වශයෙන් වෙනසකට හැරුණේ රුසියානු සංචාරක කණ්ඩායමක් මෙරටට පැමිණීමත් සමඟය.

විදේශ සංචාරකයන්ගේ මෙරටට විදේශ විනිමය ඩොලර් මිලියන ගණනින් වාර්ෂිකව ලැබේ. සාමාන්‍යයෙන් සති දෙකක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටින සංචාරකයකු රුපියල් මිලියනයක් වියදම් කරන බව සංචාරක මාර්ග උපදේශකයෝ (ගයිඩ්) පෙන්වා දෙති.

චිත්‍ර ශිල්පීන්, මූර්ති ශිල්පීන්, ගල් කැටයම්කරුවන්, සංචාරක මාර්ග උපදේශකවරුන් සහ එම ආයතන පලතුරු වෙළෙඳුන්, ත්‍රීරෝද රථ රියැදුරන්, කුඩා හෝටලයේ සිට තරුපන්ති හෝටල් දක්වා වූ හෝටල් හා ඒවායේ සේවය කරන සේවකයන්, විසිතුරු කොරල්පර හා ඩොල්පින් මසුන් පෙන්වීමට බෝට්ටු සවාරි ගෙන යන බෝට්ටුකරුවන් ඒවායේ සේවයේ යෙදෙන සේවකයන්, බතික් රෙදි ව්‍යාපාරිකයන්, ඒවා අලෙවි කරන්නන් ඇතුළු දස-දහස් ගණනක් වූ රැකියාවල යෙදී සිටි පුද්ගලයන් අද තමන්ගේ ජීවනෝපායන් සිදු කරගැනීමට නොහැකිව අන්ත අසරණ තත්ත්වයකට පත්ව තිබේ.

මේ අතර මහාපරිමාණ හෝටල්වල කොන්ත්‍රාත් පදනම යට‍තේ සේවය කළ සේවකයන් 2,000කට වැඩි පිරිසක් මේ වන විට සේවයෙන් ඉවත් කර ඇති බව හෝටල් සේවකයන්ගේ සංගම් සඳහන් කරයි. දැනට සේවයේ නියතුව සිටින සේවකයන්ගේ ද මාසික වැටුප අඩක් පමණක් ලබා දෙන බවත් එම මුදල රුපියල් 12,000කට අඩු බවත් සේවකයෝ පවසති.

හෝටල්වල සේවය කළ බොහෝ තරුණ -තරුණියන් කල් බදු (ලීසිං) පදනම මත යතුරු පැදි සහ ත්‍රීරෝද රථ මිලට ගෙන ඇති අතර මේ වන විට තමන්ට රැකියාව අහිමි වීම හේතුවෙන් ඒ වාරික මුදල් ගෙවා ගැනීමට නොහැකිව බරපතළ අර්බුදයකට මුහුණ පා ඇති බවත්, රජය මේ සඳහා යම් සහන වැඩපිළිවෙළක් සලස්වන්නේ නම් එය තමන්ට ලොකු සහනයක් වන බවත් රැකියා අහිමි වූ තරුණ-තරුණියෝ පෙන්වා දෙති.

මේ වසරේ මුල් කාර්තුව තුළ විදේශ සංචාරකයන්ගේ පැමිණීම වෙනත් වසර වලට වඩා ශිඝ්‍රයෙන් වැඩි වීම නිසා සංචාරකයින් සඳහා නව ගොඩනැගිලි සහ වෙනත් පහසුකම් ලබා දීමට කුඩා හෝටල් හිමියන් කටයුතු කළ අතර ඔවුන් ඒ සඳහා මුල්‍ය සමාගම් වලින් ණය ලබා ගෙන තිබිණි. මේ ණය පියවා ගැනීමට නොහැකිව ඔවුන්ද දැඩි අර්බුදයකට පත්ව තිබේ.

මේ ආකාරයට මුල්‍යමය වශයෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති සංචාරක කර්මාන්තයට සම්බන්ධ පුද්ගලයින් රජයෙන් හෝ සංචාරක අමාත්‍යාංශයෙන් තමන්ට සහන සලස්වනු තුරු බලා සිටිති.

සංචාරක කර්මාන්තයේ නොයෙක් අංශවල රැකියාවේ යෙදී සිටි පුද්ගලයින් සිය අදහස් පළ කළේ මෙසේය:

* නිලූකා ෂාමාල් සමරසේකර

මම මගේම වෑන් රථයෙන් සංචාරකයන් ප්‍රවාහනය කරනවා. ඔවුන්ට අවශ්‍ය නවතැන් පහසුකම් සපයා දෙනවා. ලංකාව වටේම ඔවුන් රැගෙන යන එක සිදු කරනවා. ගාල්ල සහ හික්කඩුව ප්‍රදේශයේ ආශ්‍රිතව තමයි මම මගේ ව්‍යාපාරය කරගෙන යන්නේ.

කටුනායක ගුවන් තොටුපොළින් හෝ හික්කඩුවෙන් සම්බන්ධ වන විදේශීය සංචාරකයන් මා රැගෙන යනවා. ඔවුන් මාතර, යාල, කතරගම, අම්පාර, බණ්ඩාරවෙල, නුවර, කෑගල්ල ආදී ප්‍රදේශවලත් අනුරාධපුර, පොලොන්නරුව, මඩකලපුව, යාපනය ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක සංචාරය කරනවා.

මේ සංචාරකයන් මා සමඟ ගමන් ගන්නා විට මා ඔවුනට සාමාන්‍ය මට්ටමේ හෝටල්වල නවාතැන් පහසුකම් සලස්වනවා. එහිදී මට වගේම ඒ හෝටල්වලටත් හොඳ ආදායමක් ලැබෙනවා. සාමාන්‍යයෙන් සංචාරකයන් එලෙස ගමන් ගන්නා වාරයකදී රුපියල් ලක්ෂ අටකට වැඩි මුදලක් වියදම් කරනවා. මේ මුදල් සියල්ල ලංකාවට ලැබෙන්නේ විදේශ විනිමය වශයෙන්.

අද වන විට මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. මට මාස තුනක් ඉදිරියට සංචාරකයන් කණ්ඩායම් හයකට වැඩිය ගෙනයන්නට වෙන් කරලයි තිබුණේ. මේ සිද්ධිය නිසා ඒ ඔක්කෝම අවලංගු වුණා. දැන් සති පහක් වෙනවා. කිසිම සංචාරකයෙක් සමඟ යන්න බැරි වුණා. ඒ කියන්නේ මගේ අදායම සම්පූර්ණයෙන්ම බිඳවැටිලා තිබෙන්නේ.

ලොකු මුදලක් වැය කරලා කොටස් වශයෙන් ගෙවන්නයි වෑන්-එක ගත්තේ. එහි බැංකු වාරිකය මසකට රු. 55,000ක් වෙනවා. දැන් මේක ගෙවාගන්න බැරි තත්ත්වයක් තිබෙන්නේ. ඒ නිසා සංචාරක අමාත්‍යාංශය හරි රජය හරි ඉදිරිපත් වෙලා අපට මූල්‍යමය වශයෙන් සහනයක් දෙන්න කියලා මා ඉල්ලා සිටිනවා. මා වගේම මේ ගැටලුවට තවත් සිය ගණනක් පත්ව සිටිනවා.

* වැලිගමගේ සංජීව උදය කුමාර

මම අවුරුදු 20ක පමණ කාලයක් කොළඹ සහ ඒ අවට සංචාරක කර්මාන්තයේ නියැළෙන්නේ. ඒ ය‍ටතේ විදේශික සංචාරකයන් ඉලක්ක කරගෙන නොයෙක් රැකියා සිදු කරනවා; විටක රියැදුරකු වනවා; තවත් විටක මාර්ග උපදේශකයෙකු වනවා; තවත් විටක රෙදිපිළි අලෙවි කරන පුද්ගලයකු වනවා. සංචාරකයන්ට ආරක්ෂිත හොඳ නවාතැන් ස්ථාන ලබාදීම සඳහා මා ප්‍රංසයේ ප්‍රසිද්ධයි.

අන්තර්ජාලය ඔස්සේ ප්‍රංසයේ සහ ස්වීඩනයේ සිටින සංචාරකයන් සමඟ මම සම්බන්ධ වෙනවා. ඔවුන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ලංකාව වටේම ගෙනයනවා. වසරකට මේ ආකාරයේ සංචාර පනහක් විතර සිදු කරනවා.

ලබන දෙසැම්බර් මස වනතුරු මට සංචාරකයන් හමුවෙලයි තිබුණේ. එහෙත් මේ බෝම්බ සිද්ධිය නිසා ඔවුන් ලංකාවට එන එක නැවැත්තුවා. දැන් තත්ත්වය සම්පූර්ණයෙන්ම කණපිට හැරිලා තිබෙන්නේ. ඒ කියන්නේ සංචාරකයින් නැතිකමින් අපගේ ව්‍යාපාරය ගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදාවෙලා දරු පවුල රැකගන්න මුදල් ඕන. මේ ටික තේරුම් අරගෙන රජයෙන් අපි සහනයක් බලාපොරොත්තු වනවා.

* අසංක ප්‍රියදර්ශන ගොඩකුඹුර

(කටුනායක ගුවන්තොටුපොළ සංචාරක මාර්ගෝපදේශක රියැදුරු සංගමයේ ලේකම්)

අපගේ සංගමයේ අත්වැල් බැදගත් සාමාජිකයන් 400කට වඩා ඉන්නවා. මේ වන විට මේ පිරිසෙන් බාගෙට බාගයක් ඉන්නේ ගෙවල්වල ඒකට හේතුව තමයි සංචාකරකයන් නොපැමිණීම. සංචාරකයන් නොපැමිණීම නිසා අපි දැඩි අර්බුදයකට මුහුණ පාලා තිබෙන්නේ. සාමාන්‍යයෙන් මසකට රුපියල් ලක්ෂ එක හමාරේ සිට දෙක දක්වා වූ මුදලක් ගුවන්තොටුපොළ රියදුරකු උපයා ගන්නවා. එහෙත් අද වන විට රු. 500ක මුදලක්වත් දවසකට හොයාගන්න බැරි තත්ත්වයක් උද්ගත වී තිබෙන්නේ.

ගුවන්තොටුපොළ අපෙන් මාසිකව රු. 20,000ක කුලියක් ලබා ගන්නවා. ඒක නතර කරන්න කියලා අපි රජයට යෝජනා කරනවා. මේ මොහෙ‍ාතේ අපට අපගේ මෝටර් රථ පවා නඩත්තු කරගැනීමටත් ඒවායේ ලීසිං වාරික ගෙවා දැමීමටත් නොහැකි තත්ත්වයක් උදාවෙලා තිබෙන්නේ. රජයෙන් අපි ඉල්ලා සිටිනවා අපට මේ සඳහා සහනයක් ලබාදෙන ලෙස.

අනික් වැදගත්ම කරුණ තමයි: හඳුනාගෙන සිටින අපට ගුවන්තොටුපොළ අසලට යන්න අවසර දෙන්න කියලා. ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කරන්න. සංචාරකයන් වැඩි කැමැත්තක් දක්වන්නේ එලෙස අසලටම එන රියැදුරන්ට. අනික අපි සංචාරක මණ්ඩලයේ අනුමැතිය ඇතිව සංචාරක මණ්ඩලයේ පුහුණුවකින් පසුවයි මෙම රැකියාවේ නිරත වී සිටින්නේ.

වසරකට මිලියන 2කට වැඩි සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙන බව සංචාරක මණ්ඩලය පවසයි. මේ තත්ත්වය දිගටම රදවා ගැනීම සඳහාත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු කඩා වැටුණු සංචාරක කර්මාන්තය නගාසිටුවීම සඳහා ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බවද සංචාරක මණ්ඩලයේ නිලධාරියෙකු පැවසීය.

* සංචාරක ඇමැති ජෝන් අමරතුංග

සංචාරක කර්මාන්තය ඉතිහාසයේ අන් කවරදාක වත් මේ තරම් කඩාවැටීමකට ලක් වෙලා නැහැ. අප සියලු දෙනා එක්ව කටයුතු කරලා මේ කර්මාන්තය නඟාසිටුවීමට කටයුතු කළ යුතුයි. මේ ව්‍යාපාරයේ නියැළී සිටි බොහෝ දෙනකුට අද මූල්‍ය අර්බුද ඇති වෙලා තිබෙනවා. අප මේ වන විටත් රජයක් හැටියට ඔවුන්ට අවශ්‍ය සහන සලසා දීමට කටයුතු සිදු කර අවසන්. ප්‍රදේශ කිහිපයකම ඇවිදලා ජනතාව මුහුණ දීපු ගැටලු අප හඳුනාගත්තා. දැන් ඒවා පිළිබඳ අදාළ අංශ සමඟ සාකච්ඡා කරගෙන යනවා. ඉතා ඉක්මනින් මේ සියලු දෙනාට සහන සලස්වන්න පියවර ගන්නවා.

අදහස්