සැකකටයුතු විදෙස් ගනුදෙනු ගැන මූල්‍ය බුද්ධි ඒකකය සීරුවෙන් | Page 2 | සිළුමිණ

සැකකටයුතු විදෙස් ගනුදෙනු ගැන මූල්‍ය බුද්ධි ඒකකය සීරුවෙන්

කළු සල්ලි සුදු කිරීම (මුදල් විශුද්ධිකරණය) ත්‍රස්තවාදයට අරමුදල් සැපැයීම සහ සමූල ඝාතන අවි ගනුදෙනු වැළැක්වීම සඳහා මූල්‍ය බුද්ධි ඒකකය විශාල වැඩකොටසක් සිදු කරයි. ඒ ගැන වැඩිම කතා බහක් ඇති වූයේ පසුගියදා සිදු වූ පාස්තු ප්‍රහාරයෙන් පසුවය. විශේෂයෙන් අන්තවාදී සංවිධානවලට විදේශවලින් මුදල් ලැබුණාද යන්න ගැන රට තුළ ඇති වූ කතා බහ එම තත්ත්වයට හේතුවයි.

මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට අනුව රුපියල් මිලියනයකට හෝ ඊට සමාන විදේශ මුදල් ගනුදෙනු පිළිබඳ ව මෙරට බැංකු පද්ධතිය විසින් මූල්‍ය බුද්ධි ඒකකයට වාර්තා කිරීම අනිවාර්යයෙන්ම සිදු වෙයි. වසර 2018 දී එවැනි සැකකටයුතු ගනුදෙනු 1022ක් වාර්තා වී ඇත.

මුදල් විශුද්ධිකරණය යනුවෙන් හැඳින්වෙන්නේ නීත්‍යනුකූල නොවන ක්‍රියාවන්ගෙන් උපයන ලද මුදල් එහි නීත්‍යනුකූල නොවන සම්භවය සැඟවීම සඳහා සිදු කරනු ලබන ක්‍රියාවලියයි. එම කටයුතු සොයා බලන මහ බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකය විසින් සිය සේවා දේශීය මෙන්ම ජාත්‍යන්තරව දශකයකට වඩා වැඩි කාලපරිච්ඡේදයක් පුරා ලබා දී තිබේ. 2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතට (FTRA) අනුව, 2006 වර්ෂයේ එය ආරම්භයේ සිට ස්වාධීන ව්‍යවස්ථාපිත අධිකාරියක් ලෙසින් රටෙහි මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ නියාමකයා ලෙස කටයුතු කරයි.

මීට අමතරව, මුල්‍ය කාර්ය සාධක බළකාය විසින් නිකුත් කරන ලද මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රෙගුලාසිවලට අනුකූලව කටයුතු කිරීම සඳහා රටෙහි මුල්‍ය සහ මුල්‍ය නොවන ආයතනවලට පූර්ණ ආවරණයක් සපයන අතර, මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ සහ මුල්‍ය කාර්ය සාධක බළකායෙහි අධීක්ෂණයට ලක් වේ. මුල්‍ය බුද්ධි ඒකකයෙහි ප්‍රධාන කාර්යයන් අතරට මුදල් විශුද්ධීකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ දක්වා ඇති නිත්‍යනුකූල නොවන අනෙකුත් ක්‍රියාවන්ට අදාළ විය හැකි සම්බන්ධතා අනාවරණය කර ගැනීම සැක කටයුතු ගනුදෙනු පිළිබඳ විශ්ලේෂණයන්ට අදාළ විස්තර හා තොරතුරු ලබා දීම ඇතුළත් වේ.

තවද, 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සහ 2005 අංක 25 දරන ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ සම්මුති පනත යටතේ ද මුල්‍ය බුද්ධි ඒකකය සිය කටයුතු ක්‍රියාත්මක කරනු ලබයි.

තොරතුරු එක්රැස් කිරීම, විශ්ලේෂණය කිරීම සහ තොරතුරු බෙදාහැරීම

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම පිළිබඳව මුල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කිරීම පහසු කිරීම පිණිස විශේෂයෙන් හඳුන්වාදී දී ඇති “ලංකා ෆින්” (Lanka FIN) මාර්ගගත දත්ත පද්ධතිය ඔස්සේ මුල්‍ය ආයතන විසින් සැක කටයුතු ගනුදෙනු වාර්තා ඇතුළු මුදල් ගනුදෙනු පිළිබඳ තොරතුරු මුල්‍ය බුද්ධි ඒකකය වෙත ඉදිරිපත් කිරීම අනිවාර්ය කොට තිබේ. ඒ අනුව, බලපත්‍රලාභී වාණිජ බැංකු , බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මුල්‍ය සමාගම්, කොටස් තැරැව්කරුවන්, මුදල් හෝ මුල්‍ය වටිනාකම හුවමාරු කිරීමේ සේවා සපයන ආයතන සහ රක්ෂණ සමාගම් විසින් රුපියල් මිලියනයක් හෝ ඊට සමාන වූ විදේශ මුදල්වලින් වූ මුදල් ප්‍රමාණයක් ඉක්මවන මුදල් ගනුදෙනු සහ විද්‍යුත් මුදල් ප්‍රේෂණ ගනුදෙනු (දේශීය සහ විදේශීය) මුල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කිරීම නොකඩවා සිදු කරගෙන යන ලදී.

මීට අමතරව, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතෙහි 7 වන වගන්තිය අනුව සැක කටයුතු ගනුදෙනු වාර්තාවන් ද මුල්‍ය බුද්ධි ඒකක‍ය වෙත වාර්තා කරන ලදී. ඒ අනුව, 2018 වසර තුළදී රුපියල් මිලියන 11.9කට වඩා වැඩි මුදල් ගනුදෙනු සහ මුදල් ප්‍රේෂණ සංඛ්‍යාවක් ද, සැක කටයුතු ගනුදෙනු 1022 ක්ද වාර්තා කර ඇත. තවද, බලයලත් විදේශ මුදල් හුවමාරු කරන්නන් ද එම ක්ෂේත්‍රය අධීක්ෂණය සහ නියාමනය කරනු ලබන විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා හරහා රුපියල් මිලියනයක් සහ ඊට වැඩි වන අගයකින් යුතු මුදල් ගනුදෙනු මුල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කරනලදී. මුල්‍ය බුද්ධි ඒකකය විසින් වැඩිදුර පරීක්ෂණ සඳහා 2018 වසර තුළ දී නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ නියාමන අධිකාරීන් වෙත සැක කටයුතු ගනුදෙනු වාර්තා 317 ක් යොමු කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රි ලංකා රේගුව ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව වැනි ආයතනවලට මෙන්ම දෙස් විදෙස් මූල්‍ය බුද්ධි විමර්ශන ඒකක වෙත පරීක්ෂණ කටයුතු සහ අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේවා ලබා දී තිබේ.

වාර්තාකරණ ආයතන නියාමනය කිරීම

මීට අමතරව පසුගිය වසර තුළදී මූල්‍ය බුද්ධි ඒකකය විසින් මාර්ගෝපදේශ හතක් මූල්‍ය ආයතන සහ බැංකු නොවන මුල්‍ය ආයතන වෙත නිකුත් කර ඇත. ඒවා මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ අවදානම් කළමනාකරණය, කැසිනෝ සහ සූදු ගෙවල් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දී තිබේ. එසේම ම නිශ්චිත දේපළ සම්බන්ධ ගනුදෙනු සහ ක්‍රියාකාරකම් , වටිනා ලෝහ වෙ‍ළෙඳුන් සහ මැණික් ගල් සහ අඩ මැණික් ගල් වෙළෙඳුන් සම්බන්ධයෙන් මුදල්, ‍ ගල් සහ අඩ මැණික් ගල් වෙළෙඳුන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීම සඳහා වන අනුකූලතාව, ප්‍රතිලාභී හිමිකරුවන් හඳුනාගැනීම එක්සත් ජාතීන්ගේ (කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාණ්ඩුව සහ ඉරානය සඳහා වන) සම්බාධක සහ සැකකටයුතු ගනුදෙනු වාර්තා කිරීම යන ක්ෂේත්‍ර මත පදනම් විය.

ඒ හැරෙන්නට මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ ක්‍රියාවලියට අදාළ පරීක්ෂණ සැලැස්මක් මත වූ චක්‍රලේඛයක් නිකුත් කරන ලදී.

දේශීය සහ විදේශීය සහයෝගීතාව

ඔවුනොවුන් අතර තොරතුරු හුවමාරු කරගැනීම සඳහා වසර තුළදී මූල්‍ය බුද්ධි ඒකකය අවබෝධතා ගිවිසුම් ගණනාවකට එළැඹි අතර, මුල්‍ය බුද්ධි ඒකකයේ නිලධාරීන්ගේ දැනුම වර්ධනයට සහ දැනුම හුවමාරු කරගැනීමේ අවශ්‍යතා මත අන්තර්ජාතික සහයෝගීතා වැඩසටහන් ගණනාවක් නියෝජනය කර ඇත.

අවබෝධතා ගිවිසුම්

2018 වර්ෂය තුළදී දේශීය වශයෙන්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සමඟ අවබෝධතා ගිවිසුම් තුනක් අස්සන් කරන ලදී. ඒ අනුව, 2018 වර්ෂය අවසන් වන විටදී දේශීය නියෝජිත ආයතන සමඟ අස්සන් තබා ඇති මුළු අවබෝධතා ගිවිසුම් සංඛ්‍යාව 8ක් වේ.

එග්මොන්ට් කණ්ඩායම (Egmont Group)

විමර්ශන පවත්වාගෙන යෑමේ දී අවශ්‍ය තොරතුරු එක්රැස් කර ගැනීම පිණිස ගෝලීයව මූල්‍ය බුද්ධි ඒකක 155කින් සමන්විතව පිහිටුවා ඇති එග්මොන්ට් කණ්ඩායමේ සහාය මුල්‍ය බුද්ධි ඒකකය විසින් ලබාගනී. ඒ අනුව 2018 වසර තුළදී මූල්‍ය බුද්ධි ඒකකය විසින් අවස්ථා 94ක දී විදේශීය මුල්‍ය බුද්ධි ඒකක සමඟ තොරතුරු හුවමාරු කරගෙන ඇත. දැනට සිදු කරගෙන යන විමර්ශනවලට අදාළව ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය විසින් විදේශීය මුල්‍ය බුද්ධි ඒකකවලින් සිදු කරන ලද තොරතුරු ඉල්ලීම් 24ක් සඳහා ප්‍රතිචාර දක්වා ඇති අතර, ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය විසින් විදේශීය මුල්‍ය බුද්ධි ඒකකයන් වෙතින් තොරතුරු ඉල්ලීම් 70ක් සිදු කර ඇත.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවක්ද ඇත. ඊට ආයතන 22ක ප්‍රධානීහු ඇතුළත් වෙති. එහි මහ බැංකු අධිපති (සභාපති) වේ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්, අධිකරණ අමාත්‍යංශ ලේකම්, විදේශ කටයුතු අමාත්‍යාශ ලේකම්, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදකවරයා, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු දෙපාර්තමේන්තුවෙහි ලේකම්, ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුවෙහි පාලක, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙහි පාලක ජනරාල්, පොලිස්පති , ආයෝජන මණ්ඩලයෙහි සභාපිත, සුරැකුම්පත් හුවමාරු කිරීමේ කොමිසමෙහි අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා රේගුවෙහි අධ්‍යක්ෂ ජනරාල්. සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්, ගිනුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයෙහි අධයක්ෂ ජනරාල්, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයෙහි අධ්‍යක්ෂ ජනරාල්, අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලයෙහි සභාපති, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙහි කොමසාරිස් ජනරාල්, සුරාබදු දෙපාර්තමේන්තුවෙහි කොමසාරිස් ජනරාල්, අල්ලස් හා දූෂණ විමර්ෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ අය සෙසු සාමාජිකයෝ වෙති.

2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත, මුදල් විශුද්ධිකරණ වරද අපරාධයක් ලෙස නම් කරයි.

මුදල් විශුද්ධිකරණ වරද සඳහා දඬුවම් මහාධිකරණය ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට දේපළෙහි වටිනාකමට නොඅඩු හා දේපළෙහි වටිනාකම මෙන් තුන් ගුණයකට නොවැඩි දඩයකට හෝ; අවුරුදු 5කට නොඅඩු හා අවුරුදු 20 නොඉක්මවන කාලයකට බන්ධනාගාරගත කරනු ලැබීමට හෝ; දඩය හා බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම හෝ යටත් වන්නේය.

ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ සමාලෝචන කණ්ඩායමේ ඇගයීම

ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ක්‍රියාවලිය, ඊට අදාළ ජාත්‍යන්තර සම්මුතීන්ට ඇති අනුකූලතාව ඇගයීමේ අරමුණින් මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම විසින් අන්‍යෝන්‍ය ඇගයීම් ක්‍රියාවලියේ දෙවන වටය 2014 / 2015 වර්ෂ තුළදී පවත්වන ලදී. 2015 ජූලි මාසයේ දී සම්මත කර ගන්නා ලද අන්‍යෝන්‍ය ඇගයීම් වාර්තාවේදී මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ “කඩිනම් සහ පුළුල් පසු විපරම් ක්‍රියාවලිය” යටතේ ක්‍රියාත්මක කිරීමට ක්‍රියාමාර්ග රාශියක් නිර්දේශ කරන ලදී. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ සඵලදායීතාව සම්බන්ධව ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සොයා බැලීම සඳහා මුල්‍ය කාර්ය සාධක බළකායේ අන්තර්ජාතික සහයෝගීතාව පිළිබඳ සමාලෝචන කණ්ඩායමේ (ICRG) ඇගයීමට ශ්‍රී ලංකාව ලක් වන බව මුල්‍ය කාර්ය සාධක බළකාය විසින් 2016 ඔක්තෝම්බර් මස ශ්‍රී ලංකාව දැනුම් දෙන ලදී.

2017 ඔක්තෝබර් මාසයේ දී ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස්හි දී පැවැති වාර්ෂික රැස්වීමේ දී, ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ ක්‍රමෝපායන්ගේ දුර්වලතා සහිත රටක් ලෙස මුල්‍ය කාර්ය සාධක බළකායේ අනුකූලතා ලේඛනයෙහි ලැයිස්තුගත කරන ලද අතර, එය “අළු ලේඛනයට” ඇතුළත් කිරීම ලෙස හඳුන්වයි. එසේ ලැයිස්තුගත කිරීමෙන් අනතුරුව එම හඳුනාගත් ක්‍රමෝපාය දුර්වලතා මඟහරවා ගැනීම සඳහා කාල රාමුවකට යටත් වූ ක්‍රියාකාරී සැලැස්මක් ශ්‍රී ලංකාවට ලබාදෙන ලදී.

2017 නොවැම්බර් මස ලැයිස්තුගත වීමෙන් පසුව, ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් මුල්‍ය කාර්ය සාධක බළකායේ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ඵලදායී පියවර රැසක් ගෙන ඇත.

එම පියවර මඟින් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය, ආසියා ශාන්තිකර කලාපීය ඒකාබද්ධ කණ්ඩායම විසින් පිළිගෙන ඇත. එම නිසා 2019 වසර මැද වන විට ශ්‍රී ලංකාව “අළු ලැයිස්තුවෙන්” ඉවත් වනු ඇතැයි අපේක්ෂිතය.

අදහස්