ගැටලුවලට උත්තර නැති කුකුළු මස් සහ බිත්තර ව්‍යාපාරය | Page 2 | සිළුමිණ

ගැටලුවලට උත්තර නැති කුකුළු මස් සහ බිත්තර ව්‍යාපාරය

දිවයින පුරා අලෙවි කරනු ලබන කුකුළු මස් සහ බිත්තර සම්බන්ධව නොයෙකුත් මතයන් ජනතාව අතර ඉතා වේගයෙන් පැතිරෙමින් පවතී. මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ද නොයෙකුත් කරුණු මේ සම්බන්ධව සංසරණය වේ. මේ සම්බන්ධව සමස්ත ලංකා කුකුළු මස් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතාගෙන් අපි කරුණු විමසුවෙමු.

• කුකුළුමස්වලට වස මිශ්‍ර කර අලෙවි කරන බවට කටකතා පැතිරෙනවා. ඇත්තක් ද මේ ප්‍රචාරය වන්නේ?

සම්පූර්ණයෙන් ම අසත්‍යයක්. මා වගකීමෙන් යුතුව කියනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රටේ ඇතැම් ජනතාව නොයෙක් අසත්‍ය ප්‍රචාරයන් සිදු කරනවා. ප්‍රථමයන් ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ අසත්‍ය ප්‍රචාර නොකරන ලෙසයි.

මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන් කුකුළු මස් අලෙවියට සම්බන්ධ බව ඇත්ත. නමුත්, එලෙසම සිංහල දෙමළ ඇතුළු සෑම ජාතියක ම ආගමකම අය ‍ෙම් සඳහා සම්බන්ධයි. අප සංගමයේ සාමාජිකයින් විශාල පිරිසක් මෙම කර්මාන්තයේ යෙදෙනවා. කුකුළු මස් මෙන් ම බිත්තර වෙළෙඳාම සහ නිෂ්පාදනය මෙම සාමාජිකයින් විසින් සිදු කරනවා.

ඒ සඳහා ව්‍යාපාරිකයන්ගේ සිට කම්කරුවා දක්වා ලක්ෂ දහයකට ආසන්න පිරිසක් මේ සඳහා එක්ව සිටිනවා.

බෝම්බ ප්‍රහාරයෙන් පසුව සංචාරක කර්මාන්තයට අදාළව අපගේ නිෂ්පාදන මෙන්ම අලෙවිය 40% පමණ අඩු වුණා. දැන් ක්‍රමක්‍රමයෙන් ඒ තත්ත්වය මඟ හැරෙමින් පවතිනවා.

• බිත්තරවලට විසක් එක්කළාය කියන කතාව ගැන ඔබ මොකද කියන්නේ?

ඇත්තට ම බිත්තරවලට කිසිම විසක් එකතු කරන්න බැහැ. ඔය කියන ආකාරයට, බිත්තර හිල් වෙලා හරි, ඉරි තැළිලා හරි තිබෙනවා නම් අලෙවියෙන් ඉවත් කරනවා. අනික බිත්තරවලට විසක් එකතු කරනවා කියන එක ප්‍රායෝගික ක්‍රියාවක් නොවෙයි. අනික බිත්තර වෙළෙඳාම වැඩිපුර කරන්නෙ සිංහල බෞද්ධයන්. මුස්ලිම් ප්‍රජාව බිත්තර අලෙවිය සිදු කරනු ලබන්නේ ඉතා අඩු වශයෙන්.

දිනකට බිත්තර ලක්ෂ 80 සිට 90 දක්වා ප්‍රමාණයක් පාරිභෝජනය කරනු ලබනවා. ඒ නිසා මෙම කර්මාන්තය අත්‍යවශ්‍ය කර්මාන්තයක් බවට පත්වෙලා තිබෙනවා. දිනෙන් දින මෙම ඉල්ලුම වැඩි වෙමින් පවතිනවා. ඒ සඳහා අප නිරන්තරයෙන් ම සූදානම් වෙනවා.

• කුකුළු මස් පරිභෝජනය ගැන ජනතාවට ඇතිවෙලා තිබෙන මතය දුරලන්නේ කෙසේද?

ඇත්තට ම ලංකාවේ ව්‍යාපාරිකයන් අතර කුකුළු මස් වෙළෙඳාම සිදු කරන්නේ බොහොම පිරිසුදුවයි. අනික මස්වලට කිසිවක් මිශ්‍ර කරන්න බැහැ කියන එක මම නැවත කියනවා. මස් වෙළෙඳාම සිදු වන්නේ එම අවස්ථාවේදීමයි. අනික, ශ්‍රී ලංකාව පුරා කුකුළු මස් මෙට්ට්‍රික් ටොන් 15,000 ක් පරිභෝජනය කරනවා. එම පරිභෝජන අවශ්‍යතාව අප ඉටු කරනවා.

මස් හෝ බිත්තර අපි කිසි විටෙකවත් පිටරටකින් ගෙන්වන්නේ නැහැ. මොකද කුරුලු උණ නිසා. මේ වන විට අප සංගමයට ශක්තිය තිබෙනවා අවශ්‍ය ඕනෑම ප්‍රමාණයකට කුකුළු මස් සහ බිත්තර පාරිභෝගිකයාට ලබා දීමට.

ව්‍යාපාරිකයාගේ සිට මේ සඳහා එක්ව සිටින කම්කරුවා දක්වා අප ලොකු කැප කිරීමක් සිදුකරලා තමයි පාරිභෝගිකයාට මෙම සේවාව ලබා දෙන්නේ.

• මේ දිනවල කුකුළු පැටව් මරා ඉවත් කරනවා කියන්නේ ඇත්තක් ද?

ඒක සත්‍යයක්. මොකද, මේ දිනවල වෙළෙඳපොළට කුකුළු මස් නිකුත් කිරීමේදී අතිරික්තයක් තිබෙනවා. වැඩිපුර කෑම දීම, මස් වැඩිපුර තබා ගැනීම විශාල පාඩුවක්. ඒ නිසා කුකුළු පැටව් ඉවත් කරනවා. ඇත්තටම මේ තත්ත්වය උඩ ඒක අපිට කරන්න සිදුවෙලා තිබෙනවා. බිත්තර, කුකුළු මස්වල වස නැහැ. කටකතා බොරු.

Comments