හුවාවි පාරි‍භෝගිකයන්ට ගැටලුවක් නැහැ සමාගම කියයි | සිළුමිණ

හුවාවි පාරි‍භෝගිකයන්ට ගැටලුවක් නැහැ සමාගම කියයි

ලොව සුපිරි වෙළෙද බලවතුන් ලෙස හැදින්වෙන ඇමරිකා එක්සත් ජනපදය හා චීනය අතර මේ වන විට මෝදු වෙමින් එන සීතල වෙළෙද යුද්ධය නිසා චීනයේ ප්‍රකට වෙළෙද සමාගම් කීපයක්ම අසාදු ලේඛන ගත කරන්නට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ.

සිය විධායක බලතල ක්‍රියාවේ යොදවමින් ඇමරිකානු ජනාධිපතිවරයා මේ තීරණය ගෙන ඇති බව පැවසෙන අතර එම තීරණයට අනුව චීනය සමග වෙළෙද ගනු දෙනු සිදු කරන ඇමරිකානු සමාගම් ඒ සදහා ඇමරිකානු රජයේ විශේෂිත අවසරයක් ලබා ගත යුතු වේ.

ඇමෙරිකානු ජනපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇත්තේ චීනය නිපද වූ ජංගම දුරකථන, ටැබ් හා පරිගණක ආදී උපකරණ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් පුරා ශීඝ්‍රයෙන් ජනප්‍රිය වී තිබීමත් සමගයි. නොයෙක් මාදිලියේ චීන සන්නිවේදන උපකරණ ඇමෙරිකාව පුරා ප්‍රචලිත වී තිබීම මගින් එරට බුද්ධිමය තොරතුරු වලට චීනයට පහසුවෙන් ප්‍රවිෂ්ට විය හැකි බවට ඇ‍ෙමරිකානු බුද්ධි අංශ අනතුරු අගවා තිබුණු අතර චීනයේ නිෂ්පාදිත ලොව ජනප්‍රියතම දුරකථන මාදිලියක් වන “හුවාවි” දුරකථන, ටැබ් හා උපාංග නිෂ්පාදනය කරනු ලබන “හුවාවි” සමාගම සිය තාක්ෂණික ක්‍රම උපයෝගී කර ගනිමින් චීනය වෙනුවෙන් ඇමෙරිකානු එක්සත් ජනපදය තුළ ඔත්තු බැලීම් සිදු කළ බවටද ඉතා බරපතළ චෝදනාවක් එල්ල වී ඇත.

පසුගිය වසර දෙක,තුනක කාලය ඇතුලත ලොව පුරා ඉතා වේගයෙන් ජනප්‍රිය වූ ජංගම දුරකථනයක් ලෙස “හුවාවි” හදුන්වා දිය හැකි අතර තවත් ජනප්‍රිය වෙළෙද නාම දෙකක් වන “ඇපල්” සහ “සැම්සුන්” හා කරට කර තරග කරමින් මෙම හුවාවි දුරකථන සිය වෙළෙදපොළ තහවුරු කර ගැනීමට සමත් කම් දක්වා තිබුණි. දුරකථන වෙළෙදපොළ ආරංචි මාර්ග ප්‍රකාශ කරන අන්දමට හුවාවි දුරකථනය මේ වන විට ජංගම දුරකථන වෙළෙදපොළේ දෙවන ස්ථානයට පත්ව ඇති අතර සමස්ත ජංගම දුරකථන වෙළෙදපොළෙන් 40% කට වැඩි වපසරියකට ඒ අනුව ඔවුන් හිමිකම් කියනු ලබයි.

කෙසේ වුවත් පසුගියදා චීනයේ හුවාවි විදුලි සංදේශ සමාගමද සිය අසාදු ලේඛණයට ඇතුලත් කිරීමට ඇ‍ෙමරිකානු රජය පියවර ගත් අතර ඒ හා සමගම ඇ‍ෙමරිකාවේ සිට තම මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන ගූගල් සමාගම මැයි මස 20 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේ තම සමාගමද හුවාවි සමාගම සමග ඇති කර ගත් සියලු වෙළෙද ගිවිසුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර දැමීමට තීරණය කළ බවයි. හුවාවි දුරකථන මෙතෙක් භාවිතා කර තිබුණේ ගූගල් සමාගම විසින් නිපදවා නොමිලයේ ලබා දුන් 'ඇන්ඩ්‍රොයිඩ්' මෙහෙයුම් පද්ධතිය වූ අතර ගුගල් සමාගමේ තීරණය ක්‍රියාත්මක වීමත් සමග මින් ඉදිරියට හුවාවි දුරකථන හා ටැබ් සඳහා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය භාවිත කිරීමට නොහැකි වනු ඇතැයි අනතුරු ඇඟවී තිබේ.

මේ සමග මෙතෙක් හුවාවි දුරකථන වලට ලොල් බැදී පාරිභෝගිකයින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අසීරුතාවලට මුහුණ දී ඇති අතර ඒ පිළිබදව සොයා බැලීම් සිදු කළ ජාත්‍යන්තර මාධ්‍ය කීපයක්ම වාර්තා කර තිබුණේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හුවාවි වෙත අහිමි වීමත් සමග ප්ලේ ස්ටෝර් හරහා ලබාදී තිබූ ගූගල් මැප්, ජීමේල්, අනෙකුත් ගූගල් ඇප් සහ යූ ටියුබ් ආදී ගුගල් විශේෂාංග රැසක් හුවාවි දුරකථන හා වෙත අහිමි වී යනු ඇති බවයි. කෙසේ වෙතත් දැනට වෙළෙඳ පොළට නිකුත් කර ඇති හුවාවී ජංගම දුරකථන සඳහා ගූගල් සමාගමේ සේවා සැපයීම සිදුවන නමුත් 2019 අවසන් කාර්තුවේදී නිකුත් වීමට නියමිත අන්ඩ්‍රොයිඩ් නවතම සංස්කරණයන් වෙත මේ නිසා දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි අපේක්ෂා වී තිබේ.

හුවාවි දුරකථන,ටැබ් හා උපාංග මුහුණ දී ඇති මේ අර්බුධයත් සමග එය දැනට අප රටේ එම වර්ගයේ දුරකථන හා ටැබ් භාවිතා කරන පාරිභෝගිකයින් වෙත බලපානු ඇත්තේ කෙලෙසද?මෙම ගැටළුව මේ වන විට මෙරට දුරකථන පාරිභෝගිකයින් මුහුණ දී ඇති ගැටළුවක් ලෙසද ඉස්මතුව තිබේ. එම නිසා අප ඒ සම්බන්ධයෙන් දුරකථන අලෙවි ක්ෂේත්‍රයේ කටයුතු කරන පාර්ශව කීපයකින්ම අදහස් විමසා බැලූ අතර එහිදී තහවුරු කර ගත හැකි වූවේ දැනට හුවාවි දුරකථන හා ටැබ් භාවිතා කරන පාර්භෝගිකයින්ට මේ නිසා දැඩි බලපෑමක් සිදු නොවනු ඇති බවයි. එලෙස දැනට භාවිතා කරන හුවාවි දුරකථන සදහා සිදු වන එකම බලපෑම වන්නේ ගුගල් සේවා මගින් සිදු කෙරෙන දුරකථනයේ මෘදුකාංග යාවත්කාලීන වීම (සොෆ්ට්වෙයා අප්ඩේට්) සිදු කර ගැනීමට නොහැකි වීම පමණි. ඒ හැරුණු විට දැනට භාවිතා වන හුවාවි දුරකථනයන් සදහා බා ගත කර තිබෙන ඇප් ස්ටෝර් සහ අනෙක් සියලුම ගූගල් සේවා (Youtube, Gmail, Google Maps ඇතුළුව ) කිසිම බාධාවකින් තොරව භාවිතා කිරීමට හුවාවි පාරිභෝගිකයින්ට හැකියාව ලැබෙන අතර ගැටලුකාරී තත්ත්වයක් මතු වීමට ඉඩ ඇත්තේ Youtube, Gmail, Google Maps ඇතුළු විශේෂාංග අලුතෙන් නිෂ්පාදනය කෙරෙන හුවාවි දුරකථන හා ටැබ් සදහා එක් කිරීමට හුවාවි සමාගමට අවස්ථාව නොලැබීම නිසාය. මේ නිසා ඉදිරියට නිෂ්පාදනය වන හුවාවි දුරකථන හා ටැබ් වර්ග සදහා අසීරු වෙළෙදපොළ තරගයකට මුහුණ දීමට සිදු වනු ඇතැයි ඇතැම් පාර්ශ්ව මත පළ කරති. එහෙත් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට විකල්ප මෙහෙයුම් පද්ධතීන් හුවාවි සමාගම සතු බව කියවෙන අතර සියලු දුෂ්කරතා හා අභියෝග මැඩගෙන නවීනතම මාදිලීන් හී ජංගම දුරකථන හා ටැබ් වර්ග වෙළෙදපොළට හදුන්වා දීම සදහා ඔවුන් ඉදිරියේදී සිය උපරීම ශක්තීන් යොදවනු ඇති බවටද,ඇතැම් විට මේ සිදුව ඇති දෑ හුවාවි සමාගමට වෙස් වළාගත් ආශීර්වාදයක් වනු ඇති බවටද තවත් පාර්ශවයන්හී විශ්වාසය වී තිබේ.

මේ අතර ශ්‍රී ලංකා වෙළෙඳපොළ තුළ දැනට පවතින හුවාවි ජංගම දුරකතන සඳහා අඛණ්ඩව සිය සහාය ලබාදෙන බව ද එම දුරකථන හා ටැබ් නිෂ්පාදනය කර වෙළෙදපොළ වෙත මුදා හරින හුවාවි සමාගම මෙරට ජනතාව වෙත නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ ගුගල්-ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය වෙනුවට ස්ථිරසාර මෘදුකාංගයක් නිර්මාණය කිරීමටද හුවාවි සමාගම කටයුතු කරමින් සිටින බවයි.

හුවාවි පාරිභෝගිකයන් දැනට භාවිත කරන සහ තම සමාගම මගින් ඉදිරියේදී වෙළෙදපොළට හදුන්වාදීමට කටයුතු යොදා තිබූ සියලුම හුවාවි ජංගම දුරකතන සහ ටැබ් සඳහා සියලු ආරක්ෂක යාවත්කාලීන කිරීම් සහ අලෙවියන් පසු සේවා අඛණ්ඩව ඉදිරියටත් ලබාදෙන බව ද හුවාවි සමාගම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් විය.

Comments