සංඝරත්නයේ කාලීන තිරිංගය | සිළුමිණ

සංඝරත්නයේ කාලීන තිරිංගය

යම් ප්‍රශ්නයක් ඇති වූ විට එය දෙස ගුවනේ සිට බැලිය යුතුයැයි ව්‍යාපාර ලෝකයේ කතාවක් තිබේ. එසේ කියන්නේ ප්‍රශ්නය හට ගත් තලයේම සිට ඒ දෙස බලන විට අපට නොපෙනෙන විශ්ලේෂණාත්මක දසුනක් ගුවනේ සිට දැකගත හැකි නිසාය. ඕනෑම සංවේදි ප්‍රශ්නයකදී මෙවැනි විශ්ලේෂණාත්මක ඇසකින් බලන්නට නොහැකි වුව හොත් සිදු වන්නේ ප්‍රශ්නයේ එක් කොනක් අල්ලාගෙන එය තවත් ඇවිස්සීම හෝ තවත් පටලැවීම පමණි; එසේ නැති නම් එය විසඳෙන්නේද මහත් වැර-වීරියක් දැරීමෙන් පසුවය. මේ යථාර්ථය අපට පසක් කළ සිදුවීම් පෙළක්ම පසුගියදා මෙරටේ ඇති විණි.

ඉකුත් අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් පසු එකිනෙක පෙළගැසුණු සිදුවීම් සහ පෙරළි මාලාව දෙස බලන කල අප දුටුවේ මේ ප්‍රශ්නයේ සැබෑ හැඩ-රුව නිසි ලෙස නොදැක ගනු ලබන තීරණවලින් එය අවුල්-වියවුල් වන ආකාරයයි. පසුගිය සතියේ අලුතින් නිර්මාණය වූ සිදුවීම් මාලාවට වේදිකාව තනන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලි‍යේ රතන ස්වාමීන් වහන්සේය. උන් වහන්සේ මහනුවර ශ්‍රී දළදා මාලිගය අසල උපවාසයක් ආරම්භ කරන්නේ අන්තවාදි ත්‍රස්ත සංවිධානයට ඍජුව හෝ වක්‍රව ආධාර අනුබල සපයා ඇති බවට චෝදනා ලැබ සිටින හිස්බුල්ලා, අසාද් සාලි යන පළාත් ආණ්ඩුකාරවරුන් සහ අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් තනතුරුවලින් ඉල්ලා අස් විය යුතු බවට බල කරමිනි. රත් වුණු ලේ සහිතව සිටි මෙරට මුස්ලිම් අන්තවාදයට එරෙහි ජනතාව මේ උපවාසය වටා එක්-රොක් වූ අතර, මේ පෙළගැසීම්වලට අගරදගුරුතුමන්ගේ අනුබලය සහ විපක්ෂ දේශපාලන පක්ෂවලින් ලද ඍජු සහ වක්‍ර සහාය හුදෙක්ම හේතු-පාදක විය. කෙසේ වුවද උපවාසයෙන් දින තුනක් ඉකුත්ව යද්දී උන් වහන්සේට උපවාසය අත්හරින්නට හේතු වූ කරුණක් වූයේ අසාද් සාලි සහ හිස්බුල්ලා ආණ්ඩුකාරවරුන් තනතුරුවලින් ඉවත් වීමය. එපමණක් නොව, රජයේ ඇමැතිකම් දැරූ සියලු මුස්ලිම් අමාත්‍යවරු ධුරවලින් ඉවත් වන බව ප්‍රකාශ එදිනම කළහ. ඒ සමඟම රට එතෙක් ගමන් කරමින් සිටි ඊනියා රැල්ලට යම් තිරිංගයක් වැටිණි. මේ තිරිංගය මුලින්ම පාගන්නේ උපවාස බිමේ ප්‍රබලව කැපීපෙනුණු භික්ෂු චරිතයක් වූ, පසුගියදා ජනාධිපති සමාව ලැබ හිරෙන් නිදහස්ව පැමිණි ගලගොඩඅත්තේ ඥානසාර හිමිය. උන් වහන්සේ පසුදාම කොළඹට පැමිණ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ මෙහෙම ගියොත් රටේ මහා ප්‍රශ්නයක් ඇති වන බවයි. මුස්ලිම් අන්තවාදීන්ට එරෙහිව කටයුතු කිරීම පැත්තකට දා සමස්ත මුස්ලිම් සමාජයම බැහැර කිරීමේ චේතනා‍වෙන් යුතුව රතන හිමියන් හෝ අන් යමකු හෝ ක්‍රියා කරන්නේ නම් එයින් සමාජයට වන අවැඩ උන් වහන්සේ පැහැදිලි කළහ.

ඒ ගැන බොහෝ දෙනෙක් බොහෝ දේ කතා කළහ. එයින් තවත් දින දෙකක් ගත වන්නට මත්තෙන් ත්‍රෛනිකායික කාරක මහා සංඝ සභාව එක්වර මහනුවරට රැස්ව ප්‍රකාශ කළේ මුස්ලිම් අමාත්‍යවරුන් සියලු දෙනා ඉල්ලා අස් නොවිය යුතු බවයි. උන් වහන්සේ ඒ අවස්ථාවේ ප්‍රකාශ කර සිටියේ අප රටක් ලෙස එක්සත්ව, සියලු ජාතීන් එක්ව කටයුතු කළ යුතු බවයි. මේ කතාවෙන් නොකියා කියවුණේ එක් ජාතියක් හෝ ජාතීන් කිහිපයක් හෝ එක් වී තවත් කොටසක් කොන් කිරීම රටක පැවැත්මට බරපතළ හානියක් එල්ල වන බව නොවේද?

ඉස්ලාම් ආගම අදහන ජන කොටසින් සුළු පිරිසක් පමණක් නියෝජනය කරන උන්මත්තක ආගමික අන්තවාදය හේතු කරගෙන ඒ සමස්ත ජන කොටසම ගර්හාවට ලක් කිරීම හෝ ඔවුන් දෙස හැම විට වපර ඇසකින් බැලීම හෝ ජාතියක් ලෙස කිසි සේත් නුහූලන කාරණයක් බව මේ හිමිවරු අවසාන මොහොතේ පසක් කර දුන්හ.

අද අප පුවත්පතට ප්‍රකාශයක් සිදු කරන අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද හිමියන් පවසන කරුණ මෙහිලා වැදගත්ය. එනම්: සමස්ත බෞද්ධ ජනතාව යන අතට තමන් වහන්සේද යා යුතුයැයි සිතීම නුසුදුසු බවය. භික්ෂූන් වහන්සේ වඩාත් බුද්ධිමත්ව මනා අවබොධයකින් යුතුව බුදුදහමේ හරය වටහාගෙන ක්‍රියා කළ යුතු බව උන් වහන්සේ අපට පසක් කරති. ඒ කතාවෙන් පෙනෙන්නේ රැල්ලේ ගිය හොත් ඒ මත දේශපාලකයන්ට වේදිකා නිර්මාණය වීමට වඩා වැඩි දෙයක් සිදු නොවන බවයි. එසේ වුණොත් සිදු වන්නේ විනාශයක් පමණි. එබැවින් රතන හිමියන්ගේ උපවාසයෙන් පසු මහා විහාරයීය භික්ෂූන් වහන්සේ ඇතුළු ත්‍රෛනිකායික සංඝ රත්නය සාධනීය ප්‍රවේශයකට පැමිණීම වන්දනීයත්වයට පත් විය යුතුය.

මේ වන විට මහත් ව්‍යාකුලත්වයකට රටත් සමාජයත් ගෙන ගිය දැවැන්තම ප්‍රශ්නය ඉස්ලාම් අන්තවාදයයි. එය අද ලෝකයටම හිසරදයකි. මේ හිසදරය ශ්‍රී ලංකා භූමියෙන් ඉවත් කිරීමට පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ලක් රජය අපොහොසත් වූ බව අප පිළිගත යුතුය. එසේ වුවද මේ ප්‍රහාරයෙන් පසු රජයත් ආරක්ෂක හමුදාවනුත් මේ සම්බන්ධයෙන් සාධනීය පියවර රැසක් ගෙන තිබේ. එමඟින් මේ වන විට රටේ ජනතාව තුළ යම් විශ්වාසක්ද ගොඩනැඟී ඇත. විදෙස් රටවල්ද ඒ විශ්වාසය ඇති කරගන්නා බවක් පෙනී යන්නේ මේ වන විට අප රටේ සංචාරය නොකරන ලෙස ඇතැම් ප්‍රධාන පෙළේ රටවල් නිකුත් කළ නිවේදන කෙමෙන් ඉවත් කරගන්නා ප්‍රවණතාවක් පෙනෙන්නට තිබීමෙනි. ඔවුන් ඒ තීරණ ගන්නේ හොඳින් විමසීමෙන්, සොයා බැලීමෙන් පසුවය. මේ රටේ රජය ගැන හෝ පාලකයන් ගැන හෝ විශ්වාසයක් නැති අයට රටේ ආරක්ෂාව පිළිබඳ යථා තත්ත්වය අවබෝධ කරගැනීමට එයද හොඳ දර්ශකයකි.

එවැනි ප්‍රගතියක් රට තුළ අන්තවාදයට එරෙහිව පවතිද්දී බොරදියේ මාළු බෑමට උත්සාහ කරන්නේ කවුරුන්ද යන්න අපට අවබෝධ කරගත හැකිය. භික්ෂූන් වහන්සේ හමුවට අටපිරිකර ගෙන ගොස් මුසා පවසා රට අවුළුවන්නේත්, ජනතාව තුළ ජාතිවාදි හැඟීම් ඇති කොට ඔවුන් පාරට බස්සා රට කරන්නේත් එකම පිරිසකි. ඔවුන්ගේ ආස්වාදයට තිරිංග දමන්නට ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේ එක්ව කළ ප්‍රකාශය අතිශය වැදගත්ය.

අදහස්