දැන් නිදහසට කරුණු කියන්න බෑ | සිළුමිණ

දැන් නිදහසට කරුණු කියන්න බෑ

නවසීලන්ත තරගයේ දී දෙවැනි පන්දුවෙන් ළහිරු දැවී ගියත්, කුසල් ජනිත් වැටිලා තිබුණු ඉනිමට ජීවයක් දෙන්න සමත් වුණා. ඉදිරි පාදයේ අපි හොඳට ක්‍රීඩා කරන කොට පන්දුවේ පවා අපි හිතපු තරම් දෝලනයක් තිබුණේ නෑ. කුසල් ජනිත් පවා සැහැල්ලුවෙන් මුල් පන්දුවට පහර දුන්නේ ඒ නිසයි.

වැරදුණේ

අපි පසුපාදයට ගියාම තමයි නවසීලන්ත පන්දු යවන්නෝ ඉදිරියට ආවේ. ඔවුන් පවා මුල දී එතරම් විශ්වාසයකින් නෙවෙයි කුසල් ජනිත් පහර දෙන කොට පන්දු යැව්වේ.

අපි හිතපු විදියට ඉක්මනට අපේ දිසාව හදා ගන්න හදුනා ගන්න බැරි වුණා. අපි පසු පාදයට යනවත් එක්කම වගේ තමයි නවසීලන්ත පන්දු යවන්නන් ඔවුන්ගේ පීඩනය වැඩි කළේ. අපට එය පාලනය කරගන්න බැරි වූණා. අපට මුලින් ම වැරැදුණේ එතැනයි.

මානසිකත්වය?

අපි පුළුවන් තරම් ඉක්මනට මානසිකව නැගිටින්න බලන්න ඕනෑ. අපේ අවුල තියෙන්නේ මානසිකත්වය බිඳ වැටීමක් කියලා තමයි හිතන්නේ. මේ තත්ත්වයෙන් ඉහළට ආවොත් අපිට මීට වඩා හොඳට ක්‍රීඩා කරන්න පුළුවනි.

පන්දුවාර කිහිපයයි

නවසීලන්ත තරගයේ දී පන්දු වාර කිහිපයක් තමයි තර්ජනාත්මක වුණේ. ඒ ටික පාලනය කරගෙන නවසීලන්ත පන්දු යවන්නන්ට මුහුණ දුන්නා නම් මෙතරම් තර්ජනයක් එල්ල නොවෙන්න තිබුණා. පීඩනය අප විසින් ළඟා කර ගත්තා කියලා හිතෙනවා. ඒ පීඩනය දරා ගෙන හිටියා නම් දිගු ඉනිම්වලට පිතිකරුවන්ට ලෙහෙසියෙන් ම යන්න තිබුණා.

ඉදිරි තරගවල මේ අඩුපාඩු හදාගෙන මානසිකත්වය ඉහළින් තියාගෙන යන්න ඕනෑ. අපට මේ දේ කරන්න බැරි කමක් නෑ. මීට වඩා අවධානයක් මේ ගැන යොමු කරන්න ඕනෑ.

විකට් එකේ වාසිය? පන්දු යවන්නන්ට

විකට් එකේ මුල දී වාසියක් තිබුණා. හැබැයි කුසල් ජනිත් පන්දුවට පහර දෙන විට ඔවුන් පවා යම් දෙගිඩියාවක හිටියේ නවසීලන්ත තරගයේ අපි ගත්ත හුඟක් තීරණ අපට අවාසියට තමයි පෙළ ගැසුණේ.

කඩුල්ලේ වාසිය පන්දු යවන්නන් ට තිබුණාට අපට ලකුණු අතරට යන්න බැරිකමක් තිබුණේ නෑ. ඔවුන් පවා ඒ විකට් එකේ හොඳට පන්දුවට පහර දුන්නා. මේ වගේ ලොකු තරගාවලියකට එන කොට අපි ටීම් එකක් විදියට ම ඉහළ මානසිකත්වයකින් එන්න ඕනෑ. මේ වගේ තරග තණතීරු හමුවන කොට අපි තමයි සැලසුම් හදා ගන්න ඕනෑ. ඒවාට හරියන විදියට ක්‍රීඩ‍ා කරන්න. මේ තරගයක පන්දුවාර 50ක් තියෙනවා. පන්දුවාර 50 මුලින් ම ක්‍රීඩා කරන තැනක අපි හිටගන්න ඕනෑ.

හොඳ ටාගට් එකක්

හොඳ ලකුණු සංඛ්‍යාවක් දා ගන්න මුලින් ම ටාගට් කරන්න ඕනෑ. එහෙම නැතුව ඉදිරියට යන්න අමාරුයි. අපි හැම වෙලාවෙම පන්දු යවන්නන්ට අවස්ථාවක් දෙන්න පුළුවන්. ලකුණු සංඛ්‍යාවකට යන්න ඕනෑ. හොඳ ලකුණු සංඛ්‍යාවක් නවසීලන්තයට එරෙහිව තිබුණා නම් මීට වඩා යමක් කරන්න තිබුණා කියලා හිතනවා. නවසීලන්ත පන්දු යවන්නන්ට වේගය, ඉපිලීම වගේ දේවලින් උපරිමයට යන්න පුළුවන් වුණා. අපේ පන්දු යවන්නන්ට ලකුණු එකසීය තිස් ගණනක් ආරක්ෂා කරන්න අමාරුයි. පන්දු යවන්නන්ට දොස් කියන්න ඔවුන් ගැන කලකිරෙන්න හේතුවක් නෑ.

ජය පරාජය

ජය පරාජය කොහොම වුණත්, අපට ඕනෑ හොඳට ක්‍රීඩා කරන්න. තරගයක් දෙන්න තමයි අපට හැම වෙලාවේම වුවමනාව තියෙන්නේ. තරගයක් දීලා පැරදුණත් කමක් නෑ. ඊට කලින් ගොඩක් දේවල් කරන්න තියෙනවා. අපට තව තරග තියෙනවා. ඉදිරි තරගවල හොඳට කරලා තරගාවලියට එන එක තමයි මූලිකම බලාපොරොත්තුව. අපට ප්‍රේක්ෂක අවධානය වගේම ඔවුන්ගේ ආදරයත් අවශ්‍යයි. ඉදිරි තරග මීට වඩා සැලසුම් කරලා තරග කරන්න ඕනෑ. පන්දුවට පහරදීම වගේම පන්දු යැවීම වගේ දේවල් ගැන මීට වඩා අවධානයක් යොමු කරන්න ඕනෑ. දැන් අපට නිදහසට කරුණු කියන්න බෑ. හොඳට ක්‍රීඩා කරලා තරගාවලියට අවතීරණ වෙන්න ඕනෑ.

මහේලගේ බලාපොරොත්තුව

පසුගිය කාල‍යේ ශ්‍රී ලංකාව තරග ජය ගැනීමේ රිද්මයේ නැති වුණත් ඔවුන් සතුව හොඳ කණ්ඩායමක් සිටින බව මහේල ජයවර්ධන පවසයි. ඔවුන්ට සෑම විට ම කණ්ඩායමක් විදියට නැ‍ඟී සිටිය හැකියි. අවශ්‍යම දේ වන්නේ කණ්ඩායමක් විදියට නැ‍ඟී සිටීම සහ සාමුහිකව දස්කම් දැක්වීම බව මහේල වැඩිදුරටත් පවසයි.

අදහස්