නිසි නායකත්වයකට මිස ජන හදවත්වල බිය-සැක යවන්නට බෑ | සිළුමිණ

නිසි නායකත්වයකට මිස ජන හදවත්වල බිය-සැක යවන්නට බෑ

යහපාලන ආණ්ඩුව ‍ගෙන ඒමට මූලිකව ක්‍රියා කළ රතන හිමි පසුගිය දිනක සිදු කළ උපවාසයට පාලකයන් කන් දුන්නේ නැහැ කියා විපක්ෂය චෝදනා කරනවා. එහෙත් ජනාධිපතිවරයා තමා පත් කළ ආණ්ඩුකාරවරුන්ගෙන් ඉල්ලීමක් කළා නේද ඉල්ලා අස් වෙන්න කියලා?

කෝ? ‍කොහෙද ඉල්ලා අස්වීම් ලිපි භාර දී තියෙන්නේ? ඔය ඔක්කෝම ජවනිකා විතරයි. බුද්ධිමත්ව කටයුතු කළ යුතු කාලයක් උදා වෙලා තිබෙනවා. මේ රඟපෑම්, නාටක සියල්ල පිටුපස අන්තර්ජාතික මුදල් හැසිරවීම් සිද්ධ වෙන්න පුළුවන්.

රතන හිමි කළ උපවාසයත් දේශපාලන න්‍යාය පත්‍රයක පියවරක් කියලාද කියන්නේ?

උන් වහන්සේ දේශපාලන දිවිය ආරම්භ කළේ කොතැනින්ද? ධනේශ්වර පන්තියට විරුද්ධව. නිර්ධන පන්ති සටනක් ආරම්භ කළ උන්වහන්සේ ප්‍රතිරූපය ගොඩනඟාගැනීමට මිස වෙනත් දේකට ගියේ නැහැ කියලයි මම දකින්නේ. ඒ නිසයි අපි මේ දේවල් ජවනිකා කියලා කියන්නේ.

පක්ෂ‍ භේදයකින් තොරව සියලු මුස්ලිම් ඇමැතිවරුන් ඉල්ලා අස්වීම් භාරදී තිබෙනවා නේද?

ඒත් මේ අය ලිඛිතව අස්වීම භාර දී නැහැ; වරදාන වරප්‍රසාද අතැර නැහැ; අඩුම තරමින් පසු පෙළ මන්ත්‍රී ආසනවත් මේ අයට තවම පනවලා නැහැ. මේක තමයි තිර නාටකය‍.

මෙයයි රඟපෑම. ලෝකෙට පරකාසේ තමයි! මේ බොරු කතාවලට ජනතාව රැවටෙන්නේ නැහැ. රටේ ඡන්දදායකයාවයි මේ රවටන්නේ.

කෙසේ වෙතත් මුස්ලිම් ඇමැතිවරුන්ගේ ඉල්ලා අස්වීමත් සමඟ අස්ථාවර වුණොත් නැවත ශ්‍රීලනිපය හවුල් ආණ්ඩුවකට සහාය දෙයිද කියලා ජනතාවට සැකයක් තිබෙනවා...

අවුරුදු හතරකට අධික කාලයක් බලය රැකගන්න කරන්න පුළුවන් හැම ජරා වැඩක්ම කරපු මේ ආණ්ඩුව ගෙදර යවන්න තමයි ජනතාව බලාගෙන ඉන්නේ. අපට හවුල් ආණ්ඩු ඕනෑ නැහැ.

ජනතාවගේ ඒකායන බලාපොරොත්තුව පසුගිය පළාත්පාලන මැතිවරණයේදි ලබා දුන්නා. ඉන් එහා ගිය ප්‍රතිඵලයක් ආයේ ලැබෙන්නේ නැහැ. අපට චෝදනා කර කර ඉන්නේ නැතුව මැතිවරණයක් තියන්න කියලයි අපි කියන්නේ. ඇයි පළාත් සභා තියන්නේ නැත්තේ? මෙයද ප්‍රජාතන්ත්‍රවාදය? මෙයද ජනතා පරමාධිපත්‍යය? රඟපෑමෙන් බොරුවෙන් කාලය ගත කරන්නේ නැතුව මැතිවරණ තියන්න කියලා අපි කියන්නේ.

මේ අය සමඟ ඉදිරියේදි හවුල් ආණ්ඩුවකට ගියොත් මේ ශ්‍රීලනිප යැයි කියා ගන්නා පාර්ශ්වයන්ට පක්ෂයක් තිබුණද කියලාවත් හොයාගන්න බැරි තත්ත්වයට පරිහාණියට යන්නට සිදු වෙනවා. අපට යන්න අප ගෙයක් හදමින් යනවා. අප කියන්නේ මේ අයටත් අපේ මේ නව නිවෙසට එන්න කියලා. මොකද, ගිලෙන නැව්වලට නැඟලා වැඩක් නැහැ!

පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවේදී ජාතික බුද්ධි අංශ ප්‍රාධාන නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයා පළ කළ ඇතැම් අදහස්වලට පරස්පර අදහස් ආණ්ඩුවේ ඇතැම් අය ප්‍රකාශ කරනවා කියලා ඔබේ පක්ෂ‍යේ ඇතැම් දේශපාලඥයන් සඳහන් කරනවා...

පළමුවන කාරණාව රටක ආරක්ෂක කමිටුව ආරක්ෂක වළල්ල. ඒකේ කතා කරන දේවලින් මාධ්‍ය සන්දර්ශන තියන්නේ‍නැහැ. අපි ගෙදරක ආර්ථික වශයෙන් යම් යම් තීන්දු ගන්නවා නම් මවුපියන් තමයි තීන්දු තීරණ ගත යුතු වන්නේ. ඒවා පිළිබඳ ලෝකයට කියාගෙන, මාධ්‍ය ජවනිකා දාගෙන කතා කරන දෙයක් නොවෙයි. මේ ආණ්ඩුවකරන්නේ රඟපාන එක මේ ප්‍රශ්න විසදන්න ඒ අයට අවශ්‍යතාවක් නැහැ. රටක ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගන්නා ලද තීන්දු තීරණයන් සම්බන්ධයෙන් රටට ඇහෙන්න හෙළිදරව් කරමින් කෑ‍කෝ ගහන්නේ නැහැ. කොහෙන්ද තොරතුරු ගත්තේ කියලා අහන්නේ නැහැ. මේවා මේ රඟපෑම්වලම කොටස්. බුද්ධි අංශ යම් සැලැසුමක් ඇතිව ක්‍රියාත්මක වෙනවා නම් ඒ සම්බන්ධයෙන් තොරතුරු එළි කරන්න හොඳ නැහැ. මිලේනියම් සිටිවලදී එදා ඒ වගේ දෙයක් වුණේ නැද්ද? එහි අවසාන ප්‍රතිඵලය අප දැක්කා. රටක ජාතික අාරක්ෂාව කියන්නේ ප්‍රසිද්ධියේ කතා කරන කාරණා නොවෙයි. පැහැදිලිවම මේ කරන්නනේ රටේ ජාතික ආරක්ෂාවට ඉන්න අපෙ බුද්ධි අංශය විනාශ කිරීමක් කියලයි මම හිතන්නේ. විදෙස් රටවල වුවමනාවට සහ විදේස් රටවල විශේෂඥයන් මේ රටට ඈඳාගැනීමට කරන කූට උපක්‍රමයක්. මේ අයට ජනතාව ගැන කිසිදු හැඟීමක් නැහැ.

මේ මොහොතේ විපක්ෂයටත් යම් කාර්යභාරයක් පැවැරී තිබෙයනවා නේද?

ජනතාවගේ බය නැති කරන්න, ජනතා හදවත්වල විශ්වාසය ඇති කරන්න නම් නිසි පරිදි රාජ්‍ය යන්ත්‍රණය හා බුද්ධි අංශ වහාම ක්‍රියාත්මක කරන්නට ඕනෑ. ඒ වගේම ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය නායකත්වය දෙන්න ඕනෑ. නැවත කළු ජූලියක් ඇති කරන්න උත්සාහ කරන-එක නොවෙයි කළ යුතු.

වසර දහයකට පස්සේ ජනතාවගේ හදවත් අද වන විට බියෙන් ඇලළිලා. ඒකට හේතුව ජනතාව‍ට මේ ආණ්ඩුව ගැන කිසිදු විස්වාසයක් නැහැ. මේ රටේ තිබෙන්න ඕනෑ එක නීතියයි. එකම රටක එකම නීතියයි ක්‍රියාත්මක විය යුතු වන්නේ. මේ රටේ පාලකයන් දෙපැත්තට අදින කොට කවදාවත් ඒ වගේ ගමනක් යන්න බැහැ. නිසි නායකත්වයක් යටතේ හැර ජන හදවත්වල බිය සැක යවන්නට බැහැ.

අදහස්