ශක්තික සත්කුමාර හා පොලීසියේ පාදඩකම | සිළුමිණ

ශක්තික සත්කුමාර හා පොලීසියේ පාදඩකම

ශක්තික සත්කුමාර කෙටි කතාවක් ලියා තම ෆේස්බුක් ගිණුමේ එය පළ කළේ ය. එම කෙටි කතාවේ අඩංගුවෙන් කිපුණු පොල්ගහවෙල ප්‍රදේශයේ භික්ෂූහු පිරිසක් ඒ සම්බන්ධව පොලීසියට පැමිණිලි කළහ. පොලීසිය වහා මැදිහත් වී ශක්තික සත්කුමාර අත් අඩංගුවට ගත්තේ ය. පසුව පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඔහුව ඉදිරිපත් කළේ ය. චෝදනා සම්බන්ධයෙන් සත්කුමාරව රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේ ය. ඒ අනුව ඔහු දැනට මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ රිමාන්ඩ් බන්ධනාගාරයේ බත් රස බලමින් සිටී.

පසුගිය මැයි 13 වන දින රටේ විවිධ ප්‍රදේශයන්හි අවුලුවා ලූ ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා නිසා පොලීසියට විසින් සැකකරුවන් පිරිසක් අත් අඩංගුවට ගන්නා ලදි. ඔවුන් කුරුණෑගල හා ගම්පහ දිස්ත්‍රික්කයන්හි මුස්ලිම් ජනයා ඉලක්ක කරගත් ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුණ බවට චෝදනා එල්ල විය. ඒ ඒ ප්‍රදේශයන්හි මහේස්ත්‍රාත් අධිකරණයන්ට ඉදිරිපත් කළ ඔවුන් ව පළමුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කළත් පසුව සමහරු නිදොස් කර නිදහස් වූහ. තවත් සමහරුන්ට ඇප ලැබී නිවෙස් වලට එන්නට හැකි විය.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් උනන්දු වන්නකුට පැහැදිලි වන කරුණක් වන්නේ ද ඒ මාධ්‍ය හැසිරෙන්නේ වගකීමක් ඇති පරිදි නොවන බව ය. පදනම් සාක්ෂි නොමැතිව දේශපාලන අරමුණකින් යුක්තව අසත්‍ය ප්‍රකාශ කිරීම ලංකාවේ මාධ්‍යවල සංස්කෘතිය බවට පත් ව තිබේ. මාධ්‍ය හැසිරිය යුත්තේ අඩමාන කරුණු හෝ විය හැකි දේ හෝ මානසික භීතිය මත හෝ නොවේ. යම් කරුණකට අදාළ පැහැදිලි සාක්ෂි මත සන්නිවේදන ක්‍රියාවලිය පදනම් විය යුතුය. එහෙත් දේශපාලන පක්ෂ බල ව්‍යාපෘතිය තුළ කටයුතු කරන බොහෝ විද්‍යුත් මාධ්‍යය හා පුවත් පත් සමාජ වගකීම සම්බන්ධයෙන් තුට්ටුවකට මායිම් කරන්නේ නැත.

ශක්තික සත්කුමාරට එල්ල වූ චෝදනාව වූයේ මහජන කැළඹීමකට හේතුවිය හැකි කෙටි කතාවක් ලියා ෆේස්බුක් අවකාශයේ පළ කිරීම ය. එහෙත් ඇවිලී ගිය ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත්තේ අපරාධමය වරදකට ඝෘජු ව ම මැදිහත් වූ පිරිසකි. දයාසිරි ජයසේකර හා මධුමාධව අරවින්ද ද සමාජයේ සිවිල් චරිත වුවත් ඔවුන් ද චෝදනා ලැබුවේ අපරාධමය වරදකට ය. පියල් නිශාන්ත මන්ත්‍රීවරයාට එල්ල වූයේ ද අපරාධමය වරදක චෝදනාවකි. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වලට එල්ලවන චෝදනාව ද සාපරාධී අපරාධමය ගණයට වැටෙන චෝදනා ය.

ශක්තික සත්කුමාර ප්‍රකට ලේඛකයෙකි; කවියෙකි; සම්මානනීය නිර්මාණශීලීයෙකි. එහෙත් ඔහු විසින් ලියූ කෙටි කතාවකට චෝදනා එල්ල වූ වහා පොලීසිය උපරිම දඩුවම් ඇති නීතියක් උපුටා දක්වමින් ඔහුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ ය. ඔහුට ඇප නියම කළ හැක්කේ මහාධිකරණයකට පමණි. ඒ තරමට පොලීසිය විසින් යොදා ගත් නීතිය බලවත් ය.

නමුත් දේශපාලකයන්ගේ කීම් බස් වලට ප්‍රචණ්ඩක්‍රියා වලට සම්බන්ධ වන ගම් ගොඩවල රස්තියාදුකාරයන් පිරිසක් සාපරාධී අපරාධ මහ දවල් කර තිබිය දී පොලීසිය විසින් ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කරන්නට යොදා ගත්තේ මහේස්ත්‍රාත් අධිකරණයටම ඇප ලබා දිය හැකි නීතියකි.

මුළු සමාජය ම විද්‍යුත් මාධ්‍යයෙන් දුටු පරිදි පියල් නිශාන්තලා, දයාසිරි ජයසේකරලා, මධුමාධව අරවින්දලා සාපරාධී අපරාධමය වරදක චෝදනා ලබද්දී අවම වශයෙන් ඔවුන්ව අධිකරණයට හෝ ඉදිරිපත් කරන්නට පොලීසිය අසමත් විය.

එසේම විද්‍යුත් මාධ්‍ය හා සමහර මුද්‍රිත මාධ්‍ය අමු අමුවේ ජාතිවාදය වපුරද්දී සාමාන්‍ය නීතිය යටතේවත් කටයුතු කරන්නට පොලීසිය අසමත් විය. ශ්‍රී ලංකා පොලීසියේ මේ අශ්ලීල හා නිවට ක්‍රියාව තරයේ හෙළා දැකිය යුත්තකි. එසේම එකම වරදකට වෙනස් දඩුවමක් ලබාදීමට සහායවීම යටතේ ශ්‍රී ලංකා පොලීසියේ හැසිරීම ප්‍රශ්න කළ යුතුය.

ශක්තික සත්කුමාරට එක නීතියකුත් ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුණා යැයි හා ඊට අනුබල දුන්නා යැයි චෝදනා එල්ල වූවන්ට තවත් නීතියකුත් ක්‍රියාත්මක වීම අධිකරණයේ වරදක් නොවේ. අධිකරණය තීන්දු තීරණ ගන්නා එය ඉදිරියට ඉදිරිපත්වන සාක්ෂි මත ය. අපරාධමය වරදක දී අධිකරණයට සාක්ෂි ගොනු කරන්නේ ශ්‍රී ලංකා පොලීසියයි. ඒ අනුව නීතිය සාධාරණව ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් වරදකරු වන්නේ ශ්‍රී ලංකා පොලීසියයි. පොලීසිය නිවට නියාළු අන්දමින් පුද්ගල සාධක මත නීතිය ක්‍රියාත්මක කරන්නට යෑම නින්දා සහගත ය.

අධිකරණය විසින් කරන්නේ යුක්තිය පසිදලීමයි. යුක්තිය පසිදලීමේ අධිකරණ ක්‍රියාවලියට බාධා එල්ල කරන්නේ නීතිය ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකා පොලීසිය හා නීතිපති දෙපාර්තමේන්තුවයි. ශක්තික සත්කුමාරට සිදුවී ඇති අසාධාරණය හා ඝෘජු ව ම ප්‍රචණ්ඩ ක්‍රියා වලට සම්බන්ධ යැයි චෝදනා එල්ල වූ පිරිස් වලට වෙනස් ආකාරයෙන් සැලකීම සම්බන්ධයෙන් පොලීසිය හෝ නීතිපති දෙපාර්තමේන්තුව හෝ මේ වනතුරු සංවේදී නොවීම ලැජ්ජා සහගත ය.

රාජ්‍ය ආයතනයන්හි ක්‍රියාකාරීත්වය නිසා ජන සමාජයක පුරවැසි අයිතීන් වලට හානියක් වන්නේ නම් මහජන නියෝජිතයන් වහා මැදිහත්විය යුතුය. ඒ ඒ රාජ්‍ය ආයතනයන් භාරව අමාත්‍යංශයක් ද ඒ ඒ අමාත්‍යංශයන් බාරව මහජන නියෝජිතයන් ද සිටින්නේ ඒ නිසා ය. එහෙත් ශක්තික සත්කුමාරට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් හෝ ප්‍රචණ්ඩ ක්‍රියා වල යෙදුන අපරාධකරුවන්ට නීතියෙන් ලැබුන සහනය සම්බන්ධයෙන් හෝ ඒ ඒ අමාත්‍යංශ බාර ව සිටින අමාත්‍යවරුන් හෝ අමාත්‍ය මණ්ඩලය හෝ සංවේදී නොවීම ලැජ්ජාසහගත ය.

ශ්‍රී ලංකා පොලීසිය අයත් වන්නේ නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශයට ය. නීතිපති දෙපාර්තමේන්තුව අයත් වන්නේ අධිකරණ අමාත්‍යංශයට ය. නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශයේ අමාත්‍යවරයා ජනාධිපතිවරයාම වන්නේ ය. අධිකරණ අමාත්‍යවරයා වන්නේ තලතා අතුකෝරාලයි.

රාජ්‍ය පාලනයේ දී මහජනයාට විඳින්නට සිදුවන ගැහැට සම්බන්ධයෙන් සංවේදී නොවීම ශ්‍රී ලංකාවේ පාලක පන්තියේ නෛසර්ගික ලක්ෂණයක් යැයි කිවහොත් වඩා නිවැරැදි ය. යම් අසාධාරණයක දී ක්ෂණිකව හෝ වහා මහජන නියෝජිතයන් ඊට මැදිහත් වන්නේ ඉතා කලාතුරකිනි. ශක්තික සත්කුමාරට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීමේ දී යම් අගතියක් වූ බව වාර්තා වී දැනට මාස තුනකට ආසන්න වුවත් ලංකාවේ පාලක පන්තිය ඒ සම්බන්ධයෙන් වගේ වගක් නැතිව සිටීම කණගාටුදායක ය. එසේම නීතිය ක්‍රියාත්මකවීමේ දී සැමට නීතියක් නොවීම නිසා අපරාධ සහායකයන් නීතියෙන් ගැලවීම සම්බන්ධයෙන් ද පාලකයන්ට වගේ වගක් නැත. ඒ සම්බන්ධයෙන් ද ඔවුන්ට විළිලැජ්ජාවක් නොවීම නින්දා සහගත ය.

යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය යුක්ති යුක්ත වන්නේ නීතිය ක්‍රියාත්මක කරවීම සාධාරණ වූ විට ය. යුක්තිය පසිදලීමට ආණ්ඩුවකට මැදිහත්විය නොහැකි වුවත් නීතිය සාධාරණව ක්‍රියාත්මක කරවීම ආණ්ඩුවේ වගකීමකි. එහෙත් ආණ්ඩුව කරන්නේ අත්හළ නොහැකි ඒ වගකීම ඉෂ්ඨ නොකර අහක බලාගෙන සිටීම ය.

නමුත් පටු පක්ෂ දේශපාලන අවශ්‍යතා සදහා නම් මහජන නියෝජිතයෝ ඕනෑ තරම් යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියට මැදිහත් වෙති. ඥානසාර භික්ෂුව අධිකරණයෙන් දඩුවම් ලබා තිබියදීත් පටු අවශ්‍යතා මත ඔහුව නිදහස් කරන්නේ එබැවිනි. එහෙත් ඒ සංවේදීතාව රාජ්‍යයේ නොමනා හැසිරීම නිසා පීඩා විදින ශක්තික සත්කුමාර සම්බන්ධයෙන් ඇති නොවේ.

රාජ්‍යයක ගෞරවනීයභාවය හා ඒ කෙරෙහි මහජන විශ්වාසයක් ගොඩනැඟෙන්නේ මහජන අයිතිවාසිකම් සම්බන්ධයෙන් රාජ්‍යය කරවන ආණ්ඩුව සංවේදී වූ විට ය. එසේ නොවූ කළ රාජ්‍යය කෙරෙහි වූ ඒ ගෞරවය හා විශ්වාසය අහෝසි වී එය බිද වැටීම අනිවාර්යෙන් සිදුවන්නේ ය.

අදහස්