පාඨක බුද්ධි­යට ගෞර­ව­නීය ආම­න්ත්‍ර­ණ­යක් මම කතා කර­නවා-2 | සිළුමිණ

පාඨක බුද්ධි­යට ගෞර­ව­නීය ආම­න්ත්‍ර­ණ­යක් මම කතා කර­නවා-2

පරාක්‍රම කොඩිතුවක්කුගේ “මම කතා කරනවා-2” කෘතියෙහි ඇතුළත් ලිපි කිහිපයක් ගැන පමණක් අප විසින් සාකච්ඡා කරන්නට යෙදුණත් ඔහුගේ රසවත් ජීවන අත්දැකීම් මෙන් ම සාහිත්‍ය හා සමාජය පිළිබඳ විවිධ ආකල්ප රැසක් ද මෙහි අන්තර්ගතය. එයින් ද නොනැවතී විමල් දිසානායක, ආරියවංශ රණවීර, නන්දන වීරසිංහ, සුනන්ද මහේන්ද්‍ර ද මැල්, ජයතිලක කම්මැල්ලවීර වැනි කෘතහස්ත නිර්මාණකාරකයන්ගේ නිර්මාණ කාර්ය භාරය පිළිබඳ බොහෝ විමර්ශන ද මීට ඇතුළත් ය. හැම ලේඛකයකුම තමන් විසින් පවත්වන දෙසුම්, තමන් විසින් කරන විචාර රැක තබා, නැවත කෘති ලෙස පාඨකයාට පිරිනැමීමේ වැදගත්කම මින් ගම්‍යමාන වෙයි.

ජාතික තලයේ කවියකු වූ පරාක්‍රම කොඩිතුවක්කු විද්වත් සභා අමතමින් පැවැත්වූ කතා, වරින්වර විරචිත ලිපි මෙන් ම පුවත්පත් කලාවේදීන් විමසූ පැනවලට සැපයූ පිළිතුරු ඇතුළත් සංවාදවලින් සංගෘහිත දෙවැනි ලිපි සරණිය ‘මම කතා කරනවා 2’ නමින් සරසවි ප්‍රකාශනයක් ලෙස පාඨක වින්දනාස්වාදයට පත්වී තිබේ. හැත්තෑව දශකයේ නිර්මාණ භූමියට පා තැබූ ඔහු කාව්‍ය නිර්මාණකාරයකු පමණක් නොව, සැබෑ දාර්ශනිකයකු ලෙස හැඳින්වීමේ ඉඩ හසර ද අපට තිබේ. එවන් ව‍ූ ඔහු හේ අදහස් යානයක් වූ මෙය පිටු හාරසිය හතළිස් පහක් පුරා දිවෙන ලිපි පනස් පහකින් සමන්විත ය.

ඒ සියල්ල අතරින් මගේ සිත තදින් පැහැර ගත්තේ, රචකයාගේ සැබෑ ජීවන අත්දැකීම් සමඟ බද්ධ වූ ‘ලංකාවේ ලස්සනම තැන කොතැනද?’ යන ශීර්ෂය රැගත් ලිපියයි.

“77 ආණ්ඩු පෙරළියත් එක්කම විදුලි පුවතකින් මම මේ කැලෑ කන්දට පිටුවහල් කරන ලදිමි. බළන්ගොඩ සිට මයිල 10 ක් ගිය තැන හමුවන බෙලිහුල්ඔය ළඟින් බසයෙන් බැස ඉහළ ගලගමට තව මයිල 5 ක් හෙලේ නැංගවිට ඉහළ ගලගම ඉස්කෝලයයි. මේ කන්දට තනි දොර පාන් බාගේ බස් රථයක් ඇතත් හැමදාම දුනු කොළ කැඩී යාමෙන් දුවන්නේ එහෙමත් දවසකය.”

දේශපාලන පළිගැනීමක් ලෙස රචකයා ව ඉහළ ගලගම කනිටු විදුහල වෙත මාරු කර යවා ඇතත්, ඔහු එහි අසුන්දරත්වයක් නොදකී. සුන්දර මනුෂ්‍ය අධ්‍යාත්ම සමඟ මුසු වෙයි‍.

“ඒ ළමයින්ට පාවහන් නැත. ටයිපටි පොත් බෑග් ක්‍රීඩා පිටි නැත. රෙදි ගුලිවලින් හදාගත් බෝල සෙල්ලම් කරති. උන්ගේ හද අමතන ගුරුවරුන්ට ඔවුහු පණ එපා කියා ආදරය කරති. ඉස්කෝලෙ කටේම තිබුණු ඇස්කිමෝ ගෙයක් වැනි දිළිඳු පැල්පතේ සිටි ලතාගේ පවුලේ නංගි මල්ලි පාසලට ගියේ නැත. එහෙත් ඒ ගෙදර මිනිස්කමින් පිරි සුවඳ කුටියකි.”

නිර්මාණකරණයෙන් විනිර්මුක්ත ගුරුවරයකුට මෙවන් ස්ථාන මාරුවක් පීඩාවට හේතුවක් වුවත්, කවියකුට එසේ නොවේ. එය නිර්මාණ කෝෂ්ඨාගාරයක් වෙත යොමු වීමකි.

අස‍ූ විය සපිරි රත්නෙ ආතා, කරුණාවතී, හීන්මැණිකේ ගැන පරාක්‍රම අව්‍යාජ ව හෙළි කරයි.

“අසූ විය පිරූ රත්නෙ ආතා ගහකොළ අතගාගෙන යයි. මොක හෝ වැඩක් කරයි. දවසකට රෑ බෝ වෙත්ම ගෙදර ගාවට ඇවිත් “මහත්තයෝ” කියා ළමිස්සියක මෙන් ලජ්ජාවෙන් අතින් කට වහගෙන කියන්නේ මොකක්දැයි මට නොතේරේ. “රසයෙන් අග්‍රයි බොමුද?” හෙළ උඩගම මලකින් සට සට ගා පැහෙන රා ටික අපි දෙන්නා බොන්නේ පෙම්වතුන් දෙපළක් මෙනි.” තවමත් පරාක්‍රමගේ බොහෝ කාව්‍ය නිර්මාණ මෙහි දැවටී ඇතැයි සිතේ.

පරාක්‍රම උත්තම මනුෂ්‍යයකු බව මේ ලියන මා පසක් කොටගෙන බොහෝ කල් ය. ඔහුට නිර්මාණයක නිර්මාණාත්මක බව විනා ආධුනික, ප්‍රවීණ බව කිසිසේත් අදාළ නොවේ. ඔහු රචිත හැම ලිපියක් මෙන් පවත්වන හැම දෙසුමක් ම කාව්‍යමය ගුණයෙන් ආඪ්‍ය බව පැවසීම කිසිසේත් ආධානග්‍රාහී ප්‍රකාශයක් නොවේ.

කැලණිය විශ්වවිද්‍යා‍ලයේ ජනසන්නිවේදන පීඨයේ පවත්වන ලද ආරාධිත දේශනය ‍ඔහු අරඹන්නේ මෙසේ ය.

“මම මෙහි ආවේ ප්‍ර‍ීතියත්, ශෝකයත් ඇතිවයි. ප්‍රීතිය තරුණ අය සමඟ නිසා. තරුණ දවස් හිරු එළියෙන් ආදරයෙන් පිරිලා. මියුසික් ඩෑන්ස් තියෙනවා. ශෝකය තමයි මැරුණු විශ්වවිද්‍යාල පද්ධතියක කතා කරන්ට සිද්ධ වීම. අද ලෝකයේ ම විශ්වවිද්‍යාලය මිය ගිහින් ය කියල නිදහස් චින්තකයන් කියනවා.”

එලෙසින් හඬ අවදි කරන ඔහු තවත් මොහොතකින් මෙසේ ප්‍රකාශ කරයි.

“නෝම් ඩොමිස්කි අද මිහිපිට සිටින උසස් ම දාර්ශනිකයෙක්. අවුරුදු 84 යි. පොත් 108 ක් ලියල තිබෙනවා. අධ්‍යාපනය ගැන ඔහු ලියූ පොත්...”

එතැන් සිට කොඩිතුවක්කු නම් විචාරකයා ප්‍රගල්භ විචාරයක යෙදෙයි.

“ලෝකයේ කිසිම විශ්වවිද්‍යාලයක් මනුෂ්‍ය ගුණාංග ගොඩනඟන්නේ නැහැ. විශ්වවිද්‍යාලවල ගොඩ ගසා ඇත්තෙ බොරු ව්‍යාජ දැනුම් පද්ධති. එ‍ලොව මෙලොව දෙලොවටම පලක් ඇති ඒවා නෙවෙයි... අපේ රටේ විශ්වවිද්‍යාල පවත්වන සාහිත්‍ය සම්මන්ත්‍රණ, සම්මාන ප්‍රදාන හරියට ඒ ආයතනවල මරණ සහතික වගේ. විශ්ව විද්‍යාලවල විභාගවලින් සියයට 90 ක් කටපාඩම් වැඩ කඩදාසි පිටපත්... ඇතැම් විට මේ අධ්‍යාපනය කාරණා වැඩියි, තොරතුරු වැඩියි.... ඒවායින් කිසි දෙයක් වෙන්නේ නැහැ... දීපක් චොප්රා, වන්දනා ශිවා පමණක් නොවෙයි, එලිසබත් ෂටෝරිස්, රූපට් ෂෙල‍්ඩ්‍රොක් වැනි බටහිර ජීව විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ විශ්වවිද්‍යාල පිහිටි පොළොවේ පිහිටුවිය යුතු සැටියි.”

“මම වෙනස්, මගේ ජාතික ඇඳුම අත්කොට කමිසෙයි, කලිසමයි” මැයෙන් ඇති ලිපිය පරාක්‍රම කොඩිතුවක්කු නම් මානවහිතවාදියා ඉසුරු ප්‍රසංග නම් යොවුන් ලේඛකයා සමඟ ‘මවුබිම’ පුවත්පත උදෙසා පැවැත්වූ සංවාදයයි. එහිදී රචකයා අද්‍යතනයේ අප රට මුහුණපා ඇති ‍ඛේදවාචකය චිත්‍රගත කර ඇත්තේ මෙසේ ය.

“ත්‍රස්තවාදය මැඬලීමට සමත්වීම අප ලත් විජයග්‍රහණයක්. ඒ ජාත්‍යන්තර රකුස් බලවේගය ජය ගැනීමට අප වැනි කුඩා රටකට හැකි වුණේ කොහොමද යන්න අදහාගත නොහැකි යථාර්ථයක්. දෙවියන් බුදුන්ගේ පිහිටක් ලැබෙන්න ඇති. බුද්ධයෙන් අප දිනූ සමාජය අද දිනෙන් දින බොල් වී යන සැටි යුද්ධයටත් වඩා භයානකයි.

එය දූෂිත දේශපාලනයකට බිලිබාන්ට ඉඩ දීම මේ රටේ ජනතාව මේ නායකත්වයෙන් බලාපොරොත්තු වූ දෙයක් නොවේ. අද වැඩි ම පීඩා විඳින්නේ සුළුම මිනිසා‍. ජනතාව ස්පර්ශ නොකරන මේ පාලනය ජනතාවාදී එකක් නොවේ. හැම තැනකින් ම පේන්නේ සමාජය තැළී ලේ ගලන ආකාරය පමණයි” සැබෑ ලේඛකයා ප්‍රාඥයෙකි.

තුන් කල් දක්නා ඉසිවරයෙකි. ගොම රිටි මතු කර මේ සැබෑ කවියාගේ පළමු නවකතාව, පද්‍ය සංග්‍රහයන් කිහිපයක් ම පළමු වටයෙන් ම ප්‍රතික්ෂේප කළ බොල් සාහිත්‍ය විනිශ්චයකාරයෝ කෙදිනක සැබෑ නෙත් ලබත් ද?

අප රට සුවිශේෂී ලේඛකයකු වන නීල් විජේරත්නයන් පිළිබඳව පරාක්‍රම කොඩිතුවක්කු විරචිත ලිපිය “නීල් ගැන ප්‍රමාද වී අලුත් ලිපියක්” නමින් හඳුන්වා තිබේ. සැබෑ පාඨකයන්ගේ අවධානයට යොමු ව‍ූවත්, අප රට බොහෝ විචාරකයන්ගේ අවධානයයෙන් ගිලිහුණු නීල් විජේරත්න පිළිබඳව පරාක්‍රම කොඩිතුවක්කුගේ විචාරක ඇස යොමුවීම අතිශයින් අගය කළ යුත්තකි.

“මා පාඨකයාට මුණ ගස්වන නෙක මාදිලියේ ඉන්දියානුවන් නැවත මුණගැසීමට වුවමනාව වරින් වර මා සිත විදුලි කොටන්නට විය.

ඇත්තටම ඔවුහු අද දවසේ කවර දෙසක වෙසෙත්ද? කවරාකාර ජීවිත ගත කරත්ද? මේ පිරිස කිසි දිනෙක නැවත මට මුණ නොගැසෙන්නේ ය යන අනුමානය මා තුළ ඇති කරන්නේ කිසියම් ශෝකී සාංකාවකි.”

නීල්ගේ “කේරළ නළඟන” කෘතියේ කර්තෘ සටහන උපුටා දක්වන පරාක්‍රම කොඩිතුවක්කු ලේඛකයා ගැන මෙසේ පවසයි.‍

“ලේඛකයාගේ මේ වචනවලින් පෙනෙන්නේ කුමක්ද? ඔහු තම පාත්‍ර වර්ගයා සමඟ ආත්මීයව ජීවත් වන බව ය. නීල් විජේරත්න ගේ සංචාරක සාහිත්‍යයෙහි මේ මානවීය පොහොසත්කම ගැන ඉවකින් ය කියවන සමාජය ඔහු සමඟ සිටින්නේ.”

නීල්ගේ “මදුරාසි කොලුවා” කෘතියෙහිත් “කේරළ නළඟන” කෘතියෙහිත් අනගි ලිවීම් අගැයීමට ද කොඩිතුවක්කු නම් විචාරකයා අමතක කර නැත. පදික වේදිකාවෙහි වෙළෙඳාමේ යෙදෙන පියා හා පුතා රාත්‍රියෙහි මහ පාරේම තැනක් සෝදා පිටි ගුලියක් තළා රොටියක් සාදා අනුභව කරන සැටිත් මුළු ජීවිත කාලයේ ම බස් පළේ පත්තර ලෑල්ලක නිදාගන්නා ඉන් එපිට ලෝකය ගැන කිසිවක් නොදන්නා කොලුවකු ප්‍රාන්තවල ගමන් විස්තර දර්ශනීය ලෙස මවාපාන අයුරුත් රචකයා විස්තර කර ඇති අයුරු ඉහළින් අගය කර තිබේ.

පරාක්‍රම ඕනෑම කෘතියක හොඳ මෙන් ම නරක කීමට ද කිසිවිටෙක නොපැකිළෙයි. එහෙත් ඔහු දුබලතා දක්වන්නේ ලේඛකයා ගැරහීමට නොවේ. නීල් ගැන වියූ වියමන පරාක්‍රම අවසන් කරන ආකාරයෙන් එය මැනවින් පසක් කොටගත හැකි ය.

“සැරිසර විත්ති, ගමන් විත්ති, සංචාරක කතා යන සරල සුන්දර නම්වලින් තම ලිවීම හඳුන්වන නීල් “චාරාඛ්‍යාන” යන දිව උළුක් කරන පදයක් යොදා නොගන්නවා නම් හොඳයි.

නීල් විජේරත්නගේ මේ විත්ති කතා ඉන්දියාවටවත් යන්නට අතමිට නැති මේ රටේ අහිංසක රසික ජනයාට ඉන්දියාව මැදින් දිවෙන මහා දුම්රිය ගමනකට සහභාගිවීමත් හා සමාන ය. අපරිමිත ස්නේහයකින් අනෙක් මිනිසුන් සොයා යෑමක් නිසා නීල් විජේරත්නගේ ගමන් - සංචාරයන් නොව, වන්දනා ය කියා මෙහි කැටයම් කරමි.”

පරාක්‍රම කොඩිතුවක්කුගේ “මම කතා කරනවා 2” කෘතියෙහි ඇතුළත් ලිපි කිහිපයක් ගැන පමණක් අප විසින් සාකච්ඡා කරන්නට යෙදුණත් ඔහුගේ රසවත් ජීවන අත්දැකීම් මෙන් ම සාහිත්‍ය හා සමාජය පිළිබඳ විවිධ ආකල්ප රැසක් ද මෙහි අන්තර්ගතය. එයින් ද නොනැවතී විමල් දිසානායක, ආරියවංශ රණවීර, නන්දන වීරසිංහ, සුනන්ද මහේන්ද්‍ර ද මැල්, ජයතිලක කම්මැල්ලවීර වැනි කෘතහස්ත නිර්මාණකාරකයන්ගේ නිර්මාණ කාර්ය භාරය පිළිබඳ බොහෝ විමර්ශන ද මීට ඇතුළත් ය.

හැම ලේඛකයකුම තමන් විසින් පවත්වන දෙසුම්, තමන් විසින් කරන විචාර රැක තබා, නැවත කෘති ලෙස පාඨකයාට පිරිනැමීමේ වැදගත්කම මින් ගම්‍යමාන වෙයි.

ඇතැම් අවස්ථාවක පුවත්පතක පාඨක නෙත නොගැටෙන අගනා ලිපි පරිශීලනය කිරීමේ භාග්‍යය ද ඉන් අත්වන බව ලියා තැබිය යුතුමය. මෙවන් ලිපි එකතුවක් පළ කිරීම සැබවින් ම පාඨක බුද්ධියට ගරු කිරීමක් ම ය.

අදහස්