මවු භාෂා­වෙන් ලිවීම ­රන් හැන්ද­කින් අතු­රු­පස කනවා වගේ සුන්ද­රයි | සිළුමිණ

මවු භාෂා­වෙන් ලිවීම ­රන් හැන්ද­කින් අතු­රු­පස කනවා වගේ සුන්ද­රයි

 

මට මගේ මවු බසින් ලියන එක තමයි ලස්සන. ගොඩක් අය හිතනවා ප්‍රංසයේ ජීවත් වීම පහසුයි කියලා. එහෙත් ප්‍රංසයේදි මා ජීවත් කළේ පොත් හා මගේ ලේඛනය. ජීවිතේ හොඳ සහ නරක කාල තිබුණා. ඒ කාලවල මට ජීවිතය දුන්නේ පොත් සහ මගේ ලේඛනය. 

මංජුල සේනාරත්නගේ නවතම කෘතිය 12.12.12 රහස් පරීක්ෂක නවකතාව මේ මස 15දා සවස 3.00 කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී ජනගත වේ.

මුහුණු පොතේ සැරිසරද්දි අපට විවිධාකාර ලේඛකයෝ හමුවෙති. මේ අතර පොත් ලියා පළ කළ ලේඛකයෝ ද වෙති. ඇතැම් ලේඛකයන් දැන් සිටින්නේ විදෙස් ගතව ය. ගව් සිය ගණනක් දුරින් සිටියද අප හා ඔවුන් බැඳීම ඇතිවන්නේ ඔවුන්ගේ නිර්මාණ වලිනි. වසරකට වරක් දෙවරක් එළි දක්වන පොතකින් මේ ලේඛකයන් අපට හමු වේ. නමුදු , ඊටත් වඩා ඔවුන් අපට දැන් සමීප වන්නේ මුහුණු පොතෙනි. විදෙස්හි පදිංචි ව සිටිය ද සිය ලේඛන කලාව අත්නොහැරිය මුහුණු පොතේ දිගු කෙටි කතා ලියන්නකු ඔහු දැන් වඩාත් ජනප්‍රිය මුහුණ පොතේ ලේඛකයකු ලෙසිනි. නමුදු මීට වසර කිහිපයකට පෙර ඔහු විසින් ලියන ලද දිගු කෙටි කතා ඇතුළත් “ප්‍රියා සමඟ ඉරිදාවක්” පොත තවමත් මා මතකයේ ඇත. මෙනිසාම නිතර නිතර ඔහුගේ නිර්මාණ පිළිබඳ විමසිලිමත් වීමි. මංජුල සේනාරත්න නම් වූ ලේඛකයා ගේ අලුත්ම කෘතිය වන '12.12.12' එළි දැක්වීම මේ මස පහළොස් වනදා කොළඹදී සිදු කෙරේ. ප්‍රංසයේ වෙසෙන මංජුල සමඟ අප නොබෝදා ඔහුගේ නිර්මාණ කරණය පිළිබඳ සාකච්ඡා කළෙමු.

පාසල් වියේ සිටම ලේඛන කලාවට ඇල්මක් දැක්වූ මංජුල පුවත්පත් කලාවට පිවිසෙන්නේ බාල වියේදි ම ය.

“ අපේ ගෙදරට හැම පත්තරයක් වගේම ගේනවා. තාත්තා (ප්‍රවීණ ගීත රචක මර්වින් සේනාරත්න) රාජකාරිය කළේ තානාපති සේවයේ. මම මේ පත්තර කියවනවා. මම වයස අවුරුදු දොළහේ ඉදලා පත්තර වලට ලිව්වා. මට අවුරුදු පහළොවක් විතර ඇති. ඒ කාලේ මට තරුණයා පත්තරයෙන් ලිපියක් ආවා. ලිපිය එවා තිබුණේ රොඩ්නි විදානපතිරණ අයියා. මම ඔහු හමුවන්න ගියේ පාසල් ඇඳුම පිටින් මයි. ඔහු හිතලා නැහැ මම ඒ වන විටත් පාසල් යන කෙනෙක් කියලා. ඔහු මට කිව්වේ පාසල් ගිහින් ඉවර වුණාට පස්සේ එන්න කියලා. මම ඉගෙන ගත්තේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ. උසස් පෙළ ලිව්වට පස්සේ මම පත්තරයට ලියන්න පටන් ගත්තා. මට අවරුදු දහනවය වන විට මම ප්‍රධාන ‍ෙපළේ විශේෂාංග ලේඛකයෙක්. ඔය කාලේ තමයි සති මැද ලංකාදීප පුවත්පත පටන් ගත්තේ. ඒ පුවත් පතේ ක්‍රීඩා පිටුව දුන්නා මට කරන්න කියලා. මම ඒක කරගෙන ගියා. ඔය අතර තමයි මට ප්‍රංසයට යන්න ලැබුණේ. ප්‍රංසයේදි සිංහල පොත් නැති නිසා මට කියවන්න පටන් ගත්තේ ඉංග්‍රීසි පොත්. අවුරදු තුනක් යනතුරු මුකුත්ම ලිව්වේ නැහැ. නමුත් ඒ අතර කවුළුව කියලා සඟරාවක් කළා.”

අවුරුදු තුනක් නොලියා සිටි ඔබ එක්වරම කෙටි කතා පොතක් කරනවා. කොහොමද එය ඇරඹෙන්නේ?

“කවුළුව සඟරාව සංස්කරණය කරද්දි මම එයට කෙටි කතා ලියන්න ගත්තා. මේ කතා මම මේ කාලයේ වික්ටර් හියුගෝගේ ‘ලේමිසරාබ්ලේ‘ කෘතිය කියෙව්වා. ඒ පොත මගේ ලේඛන ජීවිතය වෙනස් කිරීමට සමත් වුණා. ආදරය, ප්‍රේමය, කරුණාව, මේ කෘතියේ අඩංගුයි. මම ගියා වික්ටර් හියුගෝගේ කෞතුකාගාරය බලන්න. එහි තිබෙනවා ඔහු ලියූ අත්පිටපත. එය දුටුවාම මගේ හිතට විශාල ධෛර්යයක් ආවා ලියන්න ඕන කියලා. මම ලියන්න පටන් ගත්තා. එහි ප්‍රතිඵලයක් තමයි 'ප්‍රියා සමඟ ඉරිදාවක්' පොත. එය 2004 වසරේ සාහිත්‍ය සම්මාන උලෙළේ ප්‍රශස්ත කෘතිය බවට පත් වුණා. ඉන් පස්සේ ‘ෂේන් ගඟේ රැළිත් එක්ක, ආයුබෝවන් නිහැඬියාව, රෝස මාලිගාවේ මනුසත්තු, ජීවිතයෙන් මාස හයක් යන කෘති එළි දැක්වූවා. මම ප්‍රංසයේ ජීවත් වුණාට මගේ කෘති සඳහා ලංකාවේ සිටින මගේ පාඨකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. එය මට විශාල ධෙර්යයක්.”

ඔබේ නවතම කෘතිය 12.12.12. මොකද්ද මේ නවකතාවේ විශේෂත්වය.

මෙය රහස් පරීක්ෂක කතාවක්. පැරිස් නගරයේ ජීවත්වන ලාංකේය පවුලක සිදුවන අබිරහස් මරණයක් හා එය සොයා ගන්නා ආකාරය තමයි මේ පොතෙන් කියැවෙන්නේ. මම බොහෝ රහස් පරීක්ෂක කතා පොත් කියවා තිබෙනවා. ඒ වගේම මම මාස හයක් තිස්සේ ඒ ගැන සෙව්වා. මේ රටේ වගේම වෙනත් රටවල රහස් පොලීසි ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සෙව්වා. සියල්ල අධ්‍යයනය කරලා තමයි මම කතාව ලිව්වේ. කෙසේ වෙතත් පොතේ ප්‍රකාශක වන කවීෂ නඳුන් කත්ගොඩආරච්චි සහෝදරයා ගේ උනන්දුව නිසයි, මේ නවකතාව මෙතරම් ඉක්මනට පාඨකයා අතට පත්කරන්නට ලැබෙන්නේ. වෙනදා වගේම මේ කෘතියේ සාර්ථක අසාර්ථක බව පාඨකයන් තීරණය කරාවී.

කලක් තිස්සේ ප්‍රංසයේ ජීවත් වන ඔබ, ප්‍රංස සාහිත්‍යයට ආදරය කරන ඔබ අපේ රටේ සිටින පාඨකයන් වෙනුවෙන් ප්‍රංස නවකතා පරිවර්තන කාර්යයට තවමත් නොපිවිසියේ ඇයි?

පරිවර්තන කාර්යය ලෙහෙසි කාර්යයක් නොවෙයි. අනුන්ගේ පොතක් සමඟ ගැටීම බොහෝම ප්‍රවේශමෙන් කළ යුත්තක්. මේ දිනවල මම ප්‍රංස භාෂාවෙන් ම පොතක් සිංහලයට පරිවර්තනය කරමින් සිටිනවා. අද අපේ රටේ බොහෝ හොඳ පරිවර්තක ලේඛකයෝ ඉන්නවා. නමුත් රටක තැන දිය යුත්තේ ස්වතන්ත්‍ර ලේඛකයන්ට. ඔවුන්ගේ ස්වතන්ත්‍ර නිර්මාණවලට. මේ මගේ පෞද්ගලික මතය. රටක සාහිත්‍ය දියුණු වෙන්නේ ස්වතන්ත්‍ර නිර්මාණවලින්. ජනමාධ්‍ය මුල්තැන දිය යුත්තේ ස්වතන්ත්‍ර නිර්මාණවලට; ස්වතන්ත්‍ර ලේඛකයන්ට. පරිවර්තන පොත් විකිණෙනවා, එය හොඳයි. නමුත් ප්‍රංසයේදි මා දකින දෙයක් තමයි එරට මාධ්‍ය, රූපවාහිනි මාධ්‍ය ස්වතන්ත්‍ර නිර්මාණකරුවන්ට විශේෂ සහයක් දක්වනවා. එරට ලේඛකයන්ට, කලාකරුවන්ට හොඳ පිළිගැනීමක් තියෙනවා. ප්‍රංසයේ සාහිත්‍යයට හොඳ රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙනවා. රජය හැම විටම ලේඛකයාව, කලාකරුවාව රැක ගන්නවා. අපේ රටෙත් ඒ තත්ත්වය ඇති වෙනවා නම් කොයිතරම් හොඳද? කොහොම වුණත් එවැනි රටක ජීවත් වීමට ලැබීම එක්තරා අතකින් සතුටක්.

කලක් තිස්සේ ප්‍රංසයේ ජීවත් වන ඔබ ගැන එරට අය දන්නේ කොයි ලෙසින්ද?

මම අවුරුදු විසි අටක් තිස්සේ ජීවත් වන්නේ ප්‍රංසයේ. මම සූපවේදියෙක්. එහෙත් මම ඉන්න තට්ටු නිවාසය ඉස්සරහා ඉන්න කෙනාවත් මාව අඳුනන්නේ නැහැ. මට ප්‍රංස මිතුරෝ ඉන්නවා. මම ප්‍රංසයේ ජීවත් වුණාට මම ප්‍රංසයේ දෙවන පුරුෂයෙක්. මට මගේ මවු බිමට ආවාමයි මම ජීවත් වෙනවා කියලා දැනෙන්නේ. මම ලංකාවට ආවාම වෙලක් අයිනේ , පාරක් අයිනේ කඩේකින් තේ එකක් බොන කොට , මේ රටේ සුළඟ අැගේ වදිනකොට තමයි මට ජීවත් වෙනවා කියලා දැනෙන්නේ. මම මගේ මවු භාෂාවෙන් ලියන එක හරියට රත්තරන් හැන්දකින් අතුරුපස කනවා වගේ සුන්දරයි. මට මගේ මවු බසින් ලියන එක තමයි ලස්සන. ගොඩක් අය හිතනවා ප්‍රංසයේ ජීවත් වීම පහසුයි කියලා. නමුත් ප්‍රංසයේදි මාව ජීවත් කළේ පොත් හා මගේ ලේඛනය. ජීවිතේ හොඳ සහ නරක කාල තිබුණා. ඒ කාල වල මට ජීවිතය දුන්නේ පොත් සහ මගේ ලේඛනය.

ඔබ පොත් ලියනවාට වඩා ඉක්මනට මුහුණු පොතේ කතා ලියනවා. මේ ගැන ඔබ මොකද කියන්නේ?

ඇත්ත මම පොත් ලියනවාට වඩා මුහුණු පොතේ ලියනවා. මමයි මගේ රටයි අතර බැඳිම පවත්වාගෙන යන්නේ මගේ ලියවිල්ල. පොතක් ලිව්වාම පාථකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. 'ජීවිතයෙන් මාස හයක්' පොතට බොහෝ හොඳ ප්‍රතිචාර ලැබුණා. එනිසා තමයි මට ලියන්න තවත් උනන්දුව ඇති වුණේ. පොත් වලට ලැබෙන ප්‍රතිචාර ලැබෙන්න ටිකක් කල් යනවා. එහෙත් මුහුණු පොතේ ලිව්වාම හරි ඉක්මනට ප්‍රතිචාර ලැබෙනවා. මම බොහෝ අත්දැකිම් එකතු කරගෙන ඉන්නවා නවකතා සඳහා. මේ අත්දැකීම් පිටු තිහ හතළිහ ලියලා තියෙනවා. ඒවා තමයි මම මුහුණු පොතේ ලියන්නේ. මුහුණු පොතේ ලිව්වාම ඒ කතාවලට එවලේම ප්‍රතිචාර ලැබෙනවා. මගේ දවස ප්‍රබෝධවත් කරන්නේ ජීවිතයට අලුත් බවත් ගෙනෙන්නේ මේ පාඨක ප්‍රතිචාර.

 

අදහස්