විය­තුන් සභා මැද අදත් සුදි­ලෙන සරත් සඳ | සිළුමිණ

විය­තුන් සභා මැද අදත් සුදි­ලෙන සරත් සඳ

සරච්චන්ද්‍රයන්ගේ සාහිත්‍ය කලා මැදිහත්වීම නොතකා හෝ එය මඟහැර හෝ සිංහල සාහිත්‍ය කලාව හෝ නිර්මාණ පිළිබඳ කතා කළ නොහැකි බව නොකිව මනාය. සාහිත්‍ය කලා නිර්මාණ සංග්‍රාම භුමිය මැද දළ ඇතකු බඳු සරච්චන්ද්‍රයන් වෙත ආ ඊතල බොහෝ විය. ඇතැම් ඊතල විෂ කැවුණු ඒවා ය. එහෙත් ඒ කිසිවකිනුදු සරච්චන්ද්‍රයන් මැඬලිය නොහැකි විය.

 සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණ ජීවිතය හා පේරාදෙණිය කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාප්ත වූ නූතන සාහිත්‍ය රැල්ල එදා මෙන්ම අදත් බොහෝ දෙනෙක් නොඉවසති. පේරාදෙණිය බටහිර අනුකාරකයන්ගේ පමණක් නොව සිංහල බෞද්ධ සාරධර්ම නොතකන ‘තුප්පහි’යන්ගේ නිරයක් ලෙස සැලකූ සරච්චන්ද්‍ර විරෝධී සාහිත්‍ය ව්‍යාපාරයක් එදා මතු වී තිබුණි. මේ නිසා සිංහල සාහිත්‍යට සිදු වූ විනාශය බොහෝ බව අද සමහරු පිළිගනිති.

ශ්‍රී ලංකාව මතු නොව පෙරදිග ලෝකයම ස්වකීය භාෂා, ශාස්ත්‍ර, සමය දර්ශන විශාරදත්වයෙන් හා අසාමාන්‍ය සෞන්දර්ය කලා ප්‍රතිභාවෙන් විචිත්‍ර කළ අතිශය දුර්ලභ ගණයේ ඥාන ගවේෂකයකු සංස්කෘතික ප්‍රාඥයකු ලෙස වියත් ජන සබා මැද බුහුමනට පාත්‍ර වු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ 105 වැනි ජන්ම දිනය ඉකුත් ජූනි 03 වැනි දිනට යෙදී තිබිණි. (එතුමන්ගේ උපන්දිනය 1914 ජූනි 03) එහෙත් මේ අසිරිමත් පුරුෂයාණන්ගේ උපන් දිනය නිමිත්තෙන් කවර හෝ මාධ්‍යයක අඟලක තරම් ඉඩක්වත් වෙන් වී තිබිණි දැයි මම නොදනිමි. උපහාර සැමරුම් සුලබ මෙවන් යුගයක එවන් මහා පුරුෂයකු පිළිබඳ නාමිකව හෝ සඳහන් නොවීම අප ජීවත්වන මේ යුගයෙහි සංස්කෘතික දරිද්‍රතාව පිළිබඳ සංකේතයක්ද? නොඒසේ නම් මේ අරුමෝසම් ව්‍යාජ සමාජ වටිනාකම් සමඟ එබඳු නාමයක් නොසැසඳීමක්ද? කුමක් වුවත් එමඟින් අප තුළ නැඟෙන්නේ දැඩි සංවේගය මුසු කලකිරීමකි. එනිසා පමා වී හෝ ඒ අද්විතීය පෙරදිග ප්‍රාඥයා පිළිබඳ මතක සටහනක් ලිවීම මඟ හැරිය නොහැක්කේ ය. අපගේ මේ දිළිඳු වෑයම ඒ සද්කාර්ය වෙනුවෙනි. එසේ නොවුවද සරච්චන්ද්‍රයන්ගේ කීර්තිනාමයට හෝ අනූපමේය සාහිත්‍ය කලා නිර්මාණ භූමිකාවට හෝ අබැටක අඩුවක් සිදු නොවේ. ඔවුන් විසින් මේ කුඩා දිවයිනෙහි දල්වන ලද බුද්ධිමය ආලෝකය අප්‍රමාණ විය. එසේම මතු මතු ව බිහිවන පරම්පරා උදෙසා කරන ලද සම්ප්‍රදාය ද බොහෝ ය.

මහාචාර්ය සරච්චන්ද්‍රයන් පිළිබඳ ව මගේ ආවර්ජන මෙන්ම ඔවුන්ගේ නිර්මාණ කලා භූමිකාව අරභයා මා තුළ වූ නොයෙක් ප්‍රතිචාර මෙයට පෙරද සඳහන් කර ඇත්තෙමි. මගේ ලිපි ලේඛන ඇසුරු කළ අය ඒවා ඉඳුරා දනිති. එසේ වුවද ඉතා සංක්ෂිප්තව හෝ සරච්චන්ද්‍ර සාහිත්‍ය කලා නිර්මාණ භූමිකාව මෙසේ සිහිපත් කරමි. ඒ පිළිබඳව ලියැවුණු සංවාදයට ලක්වුණු කරුණු ද බොහෝ වෙයි. සරච්චන්ද්‍රයන්ගේ සාහිත්‍ය කලා මැදිහත්වීම නොතකා හෝ එය මඟහැර හෝ සිංහල සාහිත්‍ය කලාව හෝ නිර්මාණ පිළිබඳව කතා කළ නොහැකි බව නොකිව මනාය. සාහිත්‍ය කලා නිර්මාණ සංග්‍රාම භුමිය මැද දළ ඇතකු බඳු සරච්චන්ද්‍රයන් වෙත ආ ඊතල බොහෝ විය. ඇතැම් ඊතල විෂ කැවුණු ඒවා ය. එහෙත් ඒ කිසිවකුත් සරච්චන්ද්‍රයන් මැඬලිය නොහැකි විය.

පේරාදෙණි සරසවියෙහි කුසුම් සමයෙහි සරච්චන්ද්‍රයන්ගේ පුරෝගාමිත්වයෙන් ඇරුඹුණු අභිනව සාහිත්‍ය කලා සංවාදය මෙන්ම නිර්මාණ ප්‍රබෝධය ද විස්මය ජනක විය. සරච්චන්ද්‍රයන් මෙන්ම මාර්ටින් වික්‍රමසිංහයන් එක්ව එදා හඳුන්වා දුන් සාහිත්‍ය විචාර සම්ප්‍රදාය ප්‍රාමාණික ව වර්ධනය නොවූවා විය හැකිය. එහෙත් පෙරදිග විචාරය මත පදනම් වු බටහිර නවීන සාහිත්‍ය දෘෂ්ටීන් ගෙන් සිංහල සාහිත්‍ය ප්‍රභාවත් කළෝ මේ මහා පුරුෂයන් දෙදෙනා ය. කොටහේනේ පඤඤාකිත්ති හිමියන් ද සාහිත්‍ය යනු ජීවිත විවරණයක් යන ආස්ථානයෙහි පිහිටි විචාරකයෙක් ලෙස අගය කළයුතු වෙති. මේ කාර්ය වඩාත් උද්දීපනය කිරීමේ මඟ සකස් කළෝ සරච්චන්ද්‍ර හා වික්‍රමසිංහ වියත්හු ය. පේරාදෙණිය ගුරුකුලය ලෙස හැඳින්වෙන සාහිත්‍ය ව්‍යාපාරයක් මෙරට තිබිණි. එහෙත් තමා ඒ ගුරුකුලයේ අධිපති බව සරච්චන්ද්‍රයෝ ජීවත් ව සිටි යුගයෙහිදිම ප්‍රතික්ෂේප කළහ. මුනිදාස කුමරාතුංගයන් අයත් හෙළ හවුල මේ පේරාදෙණි ගුරුකුලයෙහි නිරන්තර ප්‍රතිවාදීහු බවට පත්ව සිටියහ. ඔවුන්ගෙන් ද භාෂා සාහිත්‍යයට වු මෙහෙවර අවතක්සේරු කළ නොහැකිය.

සරච්චන්ද්‍රයන්ගේ ඥාන ගවේෂණ මාර්ගය මෙන්ම පෙරදිග ආධ්‍යාත්මික සම්ප්‍රදාය පිළිබඳ ඔවුන් තුළ වූ ළැදියාව හා භක්තිය ඔහුගේ බොහෝ ප්‍රතිවාදීන් නුදුටු දෙයකි. සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම් වූ ඔහු ඒ හා සමාන ළැදියාවකින් බටහිර සාධනීය දේවල් ඇසුරු කරගත් බව මගේ අදහස ය. සරච්චන්ද්‍රයන්ගේ සිත කය පුබුදු කළ අසපුව පේරාදෙණි සරසවි පරිශ්‍රය බව නිසැක ය. පේරාදෙණි ගුරුකුලයේ නිර්මාතෘ ලෙස තම හිසට කඩා පාත් වූ විවේචනය සරච්චන්ද්‍රයන් අවඥාවෙන් බැහැර කළ අයුරු ඔවුන්ගේ සමකාලීනයෝ මෙන්ම සමීප සිසු සිසුවියෝ ද දනිති. එහෙත් ඔවුහු කිසිවිටෙක ඒ විචිත්‍ර සරසවි යුගය හා එයින් ප්‍රභාවත් වූ සාහිත්‍ය කලා නිර්මාණ ක්ෂේත්‍රය නොමැනවයි නොකීහ. මගේ මතකයට නැඟෙන්නේ ‘හෙට එච්චර කළුවර නෑ’ නවකතාවේ සමාරම්භයයි.

“පේරාදෙණි මිටියාවතෙහි, විවේකීව පත පොත බැලීමෙන් හා තම තමන් අතර සම්මන්ත්‍රණය කිරීමෙන් ලෝක ස්වභාවය අවබෝධ කර ගැනීමට තැත් කරමුයි කියා තමාගේ ඇකයට පැමිණෙන්නාවු සිසු මාණවක මාණවිකාවන් කෙරෙහි උපන් දයාවෙන් දෝ අවුරුද්ද මුළුල්ලෙහි ඔවුන් වෙත සොමි ගුණය පාන්නාවු ප්‍රකෘති තොමෝ ඔවුන්ගේ දෑස් පිනවා, සිත් සතන් සැනසීමට මෙන් වර්ෂයේ එක් කාලයක විශ්වවිද්‍යාලය හාත්පස ඇති භූමිභාගය වෙසෙසින් අලංකාර කොට අතිශය මනෝහර ශෝභාවකින් සරසා දක්වන්නීය.”

මෙම නවකථාවේ එන විශ්වවිද්‍යාල ආචාර්යවරයා ‘දේශපාලනයට සම්බන්ධ නොවූ ශාස්ත්‍ර ඥානයෙහි ඇලී ගැලී, තම නියම කාර්ය වශයෙන් තමාට පෙනුණු කටයුතු අවංකව ඉටු කිරීමෙහි නියුක්ත වූ අයකු ලෙස සරච්චන්ද්‍රයෝ ම දක්වති. සැබැවින් ම මේ ආචාර්යවරයා තුළ ඇත්තේ තමන් තුළ වූ විචිකිච්චාඡාවන් හා අපේ රටේ උසස් අධ්‍යාපනයේ අනාගතය වැනි සංකීර්ණ ගැටලු බව ද ඔහු නිහතමානී ව සඳහන් කර තිබේ. එකල එනම් 1970 හා ආසන්න කාලවල සැබෑ සිදුවීම් මෙන්ම 1971 කැරැල්ල සමයෙහි ඇති වූ මනෝභාවයන්ද මෙම නවකතාව කියවන සහෘදයකුට දැනෙනු ඇත. සරච්චන්ද්‍රයන් පේරාදෙණියට දක්වන ඇල්ම, බැඳීම කෙබඳු ද යන්නත් එයින් මනාව විශද වේ.

සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණ ජීවිතය හා පේරාදෙණිය කේන්ද්‍ර කරගනිමින් ව්‍යාප්ත වු නූතන සාහිත්‍ය රැල්ල එදා මෙන්ම අදත් බොහෝ දෙනෙක් නොඉවසති. පේරාදෙණිය බටහිර අනුකාරකයන්ගේ පමණක් නොව සිංහල බෞද්ධ සාරධර්ම නොතකන ‘තුප්පහි’යන්ගේ නිරයක් ලෙස සැලකූ සරච්චන්ද්‍ර විරෝධී සාහිත්‍ය ව්‍යාපාරයක් එදා මතු වී තිබිණි. මේ නිසා සිංහල සාහිත්‍යට සිදු වූ විනාශය බොහෝ බව අද සමහරු පිළිගනිති. එකල ප්‍රචලිත ව තිබුණු ඉංගිරිසි මාධ්‍ය අධ්‍යාපනය පේරාදෙණිය පිළිබඳ වෛරය දැල්වීමට හේතු වූ බව අද අපට කල්පනා කළ හැකිය. කලකට පෙර මහාචාර්ය සිරි ගුනසිංහයන් විසින් පළ කරන ලද අදහසක් වූයේ ද සිංහල, පාලි, සංස්කෘත පමණක් නොව සම්භාව්‍ය සාහිත්‍ය, සැළලිහිණිය හා ගුත්තිලයද ඉංග්‍රිසියෙන් උගත් ද්විභාෂික බුද්ධිමතුන් කෙරෙහි කිසියම් නොපහන් හැඟීමක් එකල තිබෙන්ට ඇති බව ය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිංහල නූගත් පිරිසක් ලෙස සැලකූ බවද ඔහු ප්‍රකාශ කර ඇත. පේරාදෙණි සාහිත්‍ය මෙන්ම විචාරයද නොඉවසූ ඇතැම් සිංහල උගතුන් පමණක් නොව පෙරදිග භාෂා ඥානයෙන් යුතු භික්ෂුන් වහන්සේලාද සාහිත්‍ය හා සංස්කෘතිය දෙස බැලූ දෘෂ්ටිය වෙනස් එකක් විය. විශ්ව සාහිත්‍යය දෙස ඔවුහු නොබැලූහ. සංකර නිර්මාණ ලෙස පේරාදෙණියෙන් බිහි වූ නවකතා හා කවිය ද ඔවුහු බැහැර කළහ.

සරච්චන්ද්‍රයන්ට අවශ්‍ය වූයේ සම්ප්‍රදාය හඳුනා ගැනීම හා නවීනත්වය සමග ඒ විශ්ව සාහිත්‍ය කලා නිර්මාණ වෙතට යෑම ය. නව බුද්ධිමතුන් පරපුරක් බිහි කිරීම සඳහා අධ්‍යාපනය යොමු විය යුතු බව ඔහුගේ අදහස විය. එය ඉටු නොවීම වෙනම කරුණකි. කොළඹ කවිය තුළ හිරවූ කවීහු පේරාදෙණි කවියට අවමන් කළහ. එකල ඇති වු විවිධ සංවාද මෙවේලේ සිහිපත් වුවද මේ කුඩා සටහන අපට රිසි ලෙස දීර්ඝ කළ නොහැකිය.

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ සාහිත්‍ය කලා නිර්මාණ මෙන්ම පසුකාලීනව ඔවුන් තුළ වු ආකල්ප දෙස විවේක බුද්ධියෙන් විමසන කිසිවකුට සරච්චන්ද්‍රයන් ගේ පෙරදිග ආධ්‍යාත්මික ළැදියාව හඳුනා ගැනීම අසීරු නොවේ. පෙරදිග භාෂා හා දර්ශනය පිළිබඳ ඔවුන් තුළ වූයේ අප්‍රමාණ දැනුමකි. ඉන්දු ආර්ය භාෂා හැදෑරීම මෙන්ම රවින්ද්‍රනාත් ඨාකූරයන්ගේ ශාන්ති නිකේතනයෙන් ලද ශික්ෂණයද සරච්චන්ද්‍ර චර්යාවෙහි විශිෂ්ට ලකුණු විය. ශාන්ති නිකේතනයේදී ඔහු භාරතීය දර්ශනය හැදැරූ අතර පසු කාලීනව ශාස්ත්‍රපති හා ආචාර්ය උපාධි සඳහා තෝරා ගත්තේ ද දර්ශන විෂයයි. (පේරාදෙණි විශ්වවිද්‍යාලයේ දර්ශන මහාචාර්ය පදවිය හෙබවු ආර්.ඩී. ගුණරත්න මහතා සරච්චන්ද්‍රයන්ගේ දාර්ශනික පසුබිම ගැන අගනා විමර්ශනයක් කර ඇත.)

පසුගියදා ලේඛකයන් දෙදෙනකු විසින් සරච්චන්ද්‍රයන්ට දැඩි චෝදනා පත්‍රයක් එල්ල කර තිබුණේ සිංහල බෞද්ධ නාඩගම වල පල්ලට යැවූ බවක් ද පවසමින් ය. මේ දෙදෙනාට අනුව සරච්චන්ද්‍රයන්ගේ ආචාර්ය උපාධි නිබන්ධනය ‘දි සිංහලීස් ෆෝක් ප්ලේ’ නම් වේ. මේ මුළාව ශාස්ත්‍රීය මූග්ධත්වයක් නොව කුහක කමක් බව ඒ සමස්ත ලිපිය කියවන සහෘදයකුට හැඟී යයි. අවම වශයෙන් සිංහල ගැමි නාටකයේ පෙරවදනවත් කියවූයේ නම් එය සරච්චන්ද්‍රයන්ගේ ආචාර්ය උපාධි නිබන්ධය නොවන බව වටහා ගැනීමට තිබිණි. ලන්ඩන් විශ්වවිද්‍යාලය විසින් සරච්චන්ද්‍රයන්ට ආචාර්ය උපාධිය පිරිනමන ලද්දේ The Buddhist Psychology of Perception and the They of Bhavanga නමැති පර්යේෂණ නිබන්ධයට ය.

සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාටකය පිළිබඳ ඔවුන් විසින් කරන ලද විවේචනය ද හුදු මුග්ධ බව ම පළකරන්නකි. මනමේ නාඩගමින් පසු බෞද්ධ නාඩගම මහජනයාගෙන් ප්‍රතික්ෂේප වී අභාවයට පත් වු බවක් ද මේ පඬිවරු කියති. එයින්ම ඔවුන්ගේ දැනුමේ පරිමාව පෙනේ. මනමේ නිපදවූයේ බෞද්ධ සම්ප්‍රදායන් හා සිරිත් සියල්ල හලා ඉවත් කරමින්ලු. අහෝ! මූග්ධභාවයක තරම! මෙයට සුළු හෝ පැහැදිලි කිරීමක් නොකළහොත් මේ මූග්ධ ප්‍රලාපය ගෙඩිය පිටින්ම ගිල ගන්නා අයට වන්නේ මහා විනාශයකි.

මනමේ නාටකය සඳහා සරච්චන්ද්‍ර තෝරා ගන්නේ ජාතක පොතේ එන චුල්ලධනුද්ධර ජාතකය වුවද එහිදී මනමේ ගැමි නාටකය කවි නාඩගම ද ඇසුරු කර ගෙන ඇත. සිංහල ගැමි නාටකයක් ලෙස රඟ දැක්වූ මනමේ කතාව එදා ගැමි රඟමඬලෙහි ද ජනප්‍රිය වුවකි. සරච්චන්ද්‍ර සිය නාට්‍ය පිටපත නිර්මාණය කිරීමේදි නාට්‍යයට උචිත වෙනස්කම් කර ඇත. කාලිදාස පවා සකුන්තලා දෘෂ්‍ය කාව්‍යය නිර්මාණය කිරීමේදී මහාභාරත පුවතට උචිත වෙනස් කම් කර ඇත. මේ නාටකයේදී සරච්චන්ද්‍රයන් විසින් ජපන් මහා සිනමාකරු අකිර කුරසාවාගේ රෂොමොන් චිත්‍රපටයේ අාභාසයක්ද ලද බව පෙනේ. රෂොමොන් චිත්‍රපටයේ දැක්වෙන්නේ කුලවතකුගේ බිරියක් ඔහු ඉදිරියේ ම දූෂණය කරන මංකොල්ලකරුවකුගේ පුවතකි. එය අකුතගාවා නම් ජපන් ලේඛකයකු විසින් රචනා කරන ලද කෙටි කතාවකින් ලියූ තිර කතාවකි. ජාතක කතාව හා ගැමි කතාව අනුව මනමේ කුමරිය සිය සැමියා මැරීම සඳහා වැදි රජුට කඩුව දෙන්නීය. එහෙත් සරච්චන්ද්‍රයෝ මනමේ නාටකයෙහි කඩුව උදුරා ගන්නා වැදි රජ කුමරුන් මරා දමන අයුරු දක්වා ඇත. ජාතක කතාව කියන්නේ පතිද්‍රෝහී ළඳක් ගැන ය. පතිවත බිඳිමේ ආදීන ව ගැන ය.

සරච්චන්ද්‍රයන් සිය නාටකය තුළ ස්ත්‍රීත්වය මුහුණ දෙන ගැටලුවක් වෙත අප යොමු කරවයි. වැඩවසම් සමාජ ක්‍රමය තුළ ස්ත්‍රියට නිදහසක් නොවීය. ඇය ස්වාමියාට කීකරු බිරියක් පමණි. ඇයට ස්වාධීන චින්තනයක් ද නැත. පංචතන්ත්‍රය, ප්‍රත්‍යය ශතකය වැනි පොත්වල ස්ත්‍රියට බොහෝ අවමන් කර තිබේ. “අත්තික්කා මල්ද, සුදු කපුටන්ද, මසුන්ගේ පාද සටහන්ද දැකිය හැකියැයි කීවත් ස්ත්‍රියක් නම් ඇදහිය නොහැකිය වැනි වැඩවසම් ආකල්ප එකල මෙරටේ සාහිත්‍ය නිර්මාණකරුවන් අතර මුල් බැස ගෙන තිබිණි.

සති පූජාව යන ව්‍යාජ අලංකාරය දවටා සැමියා මිය ගිය ස්ත්‍රිය ගිනිමැලයට තල්ලු කළ හින්දු සමය, බුදුසමයට පටහැණි ය. එහෙත් ජාතක පොත මෙන්ම ගැමි කවියා ස්ත්‍රිය ලවා පතිවත රැක්ක වීමට උචිත පරිදි ඒ කතා ඉදිරිපත් කරයි. සරච්චන්ද්‍ර මේ සම්මතයට විරුද්ධව මනමේ දෙස බලයි. එදා නෝමන් ගුණසිංහ ගුරුනාන්සේ ද එයට එරෙහිව “මොකටද මහත්තයෝ වල් ගෑනුන්ට අනුකම්පා කරන්නේ” යැයි විමසා තමන් සමග උරණ වූ බවද සරච්චන්ද්‍රයන් සඳහන් කර තිබේ. (පිං ඇති සරසවි වරමක් දෙන්නේ බලන්න)

අප දන්නා පරිදි සරච්චන්ද්‍රයන්ගේ නා‍ට්‍ය රැසක් ම බෞද්ධ ජාතික කතා ඇසුරෙන් නිවමා තිබේ. ඒවා බෞද්ධ දර්ශනයෙන් හා මනෝවිද්‍යාවේ ආභාසයෙන් ඉදිරිපත් කර තිබේ. මනුෂ්‍යත්වයේ දුබලතා මෙන්ම මානව සබඳතා වල ඛේදවාචක වෙත ද ඔහු අපගේ අවධානය යොමු කරවයි.

සිංහබාහු නාටකය ජනප්‍රවාදයකින් ගත් තේමාව මහාවග්ග පාලියේ එන පුත්‍ර වියෝගය සමග මුසු කළ අගනා දෘශ්‍ය කාව්‍යයකි. සියබස් මල්දම කෘතියේ එන කතාව හා සිංහබාහු සැසඳීමේදී සරච්චන්ද්‍රගේ බෞද්ධ සංස්කෘතික ළැදියාව මනාව පිළිබිඹු වේ. ලෝමහංස, පේමතෝ ජායතී මෙන්ම වෙස්සන්තර වැනි නාට්‍ය විමසා බලා සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය දෘෂ්ටිය විනිශ්චය කළ යුතුය. එසේ නැතිව ආරංචි මාත්‍රයෙන් කරුණු දැනගෙන සරච්චන්ද්‍ර බෞද්ධ නාඩගම වළපල්ලට යැවු චෝදනාව නැගීම සාහසික ය; මූග්ධය. එය නොදැනුම, කුහක කම මෙන්ම ශාස්ත්‍රීය දරිද්‍රතාව විදහා පෑමක්ද වේ.

අප මේවා දැක්වුයේ ඉතා සැකෙවින්ය. සරච්චන්ද්‍රයන් මේ විකට සාහිත්‍ය විචාරකයන්ට වටහා ගත නොහැකි මහා ප්‍රාඥයකු බවට තවත් නිදසුන් බොහෝ දැක්විය හැකිය. ස්ත්‍රිය තුළ තිබෙන සියුමැලි ගුණය රැකවරණය අපේක්ෂා කිරීම යුක්තිය හා සාධාරණය විනිශ්චය කිරීමේ අසීරුතාව සරච්චන්ද්‍ර මනමේ, ස්වර්ණ තිලකා, සුප්පා දේවි මෙන්ම ලෝම හංස නාටකයේ බිසවගෙන් ද අපට පෙන්වා දෙයි.

මහාසාර නාටකයේ එන උත්ප්‍රාසය හා හාස්‍ය මොනතරම් ප්‍රබල ද? නාට්‍යමය අවස්ථා, සංගීතය, ගීත නිර්මාණය ආදිය විමසා බලද්දීත් සරච්චන්ද්‍රයන්ට සමීප විය හැකි නාට්‍යකරුවකු හෝ කවියකු නැති බව සඳහන් කළ යුතුය. ගුණදාස අමරසේකරට අනුව ‘සිංහබාහු’ ඔහුගේ කවිත්වයෙහි අග්‍රඵලයයි. මුළු නිර්මාණය සෝකී කවක් සේ ප්‍රේක්ෂක හද කම්පා කරවන අයුරු සිංහබාහු නැරඹු ප්‍රේක්ෂකයෝ දනිති. සැබැවින් ම බෞද්ධ සංස්කෘතික විඥානයේ සොඳුරු මල්පල මේසා අනගි ලෙස අපට පිරි නැමූ කවියෝ සිටිත්ද?

මේ සටහන නිම කිරීමට පෙර සරච්චන්ද්‍රයන්ගේ ජාතිකත්වය හා බැඳුණු සමාජවාදී දැක්ම ගැනද වචනයක් සඳහන් කළ යුතුය. අපේ සාරධර්ම යට කරගත් වෙ‍ෙළඳ සමාජය හා තෘෂ්ණාවෙන් ගිලන් වු භෞතික ආශාවන් ගැන ද ඔහුගේ විරෝධය එල්ල කරන ‘ධර්මිෂ්ට සමාජය’නමැති කෘතිය මෙහිදී සිහිපත් කළ යුතුය. ජනතාව ගොදුරු වී සිටින ආධ්‍යාත්මික දරිද්‍රතාව හා සංවර්ධනයේ ව්‍යාජ මුහුණුවර අනාවරණය කළ ධර්මිෂ්ඨ සාමාජය සරච්චන්ද්‍රයන් ශාරීරික පීඩාවටද ලක් කළ කෘතියකි.

පරාර්ථචර්යාව සමාජයක ගැබ් විය යුතු යහගුණයක් බව ඔහු තරයේ අදහයි. කලාව හා ශාස්ත්‍රඥානය වෙළඳ පොළට දමා බාල්දු නොකළ යුතු බව ඔහුගේ අවධාරණයයි. සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණ තුළ ඇත්තේ බෞද්ධ සංස්කෘතික වටිනාකම්වලින් භරිත වූ මානව දයාවකි. අධිරාජ්‍ය විරෝධී හැඟීම ද දේශීයත්වය හා බැඳුණු චාම්, සරල එහෙත් ගම්භීර සමාජ දැක්මක් ඔහු සතු විය. ඔහු අපිස් සරල ජීවිතයක පරමාදර්ශයක් වැන්න. එසේම ඔහු දේශීය සංස්කෘතික හර පද්ධතියට අප්‍රමාණ ව භක්තිමත් ව නවීන සංස්කෘතිය විචාරාත්මක ව අවශෝෂණය කරගත් විශිෂ්ටයකු ලෙසද බුහුමනට පාත්‍ර විය.

කේරළයේ කුමාරන් අසාන් සාහිත්‍ය සම්මානය මෙන්ම මැග්සේසේ සම්මානයද ඔහුට හිමි වන්නේ ඒ පසුබිම නිසා ය. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ දාර්ශනික තලයෙහි ගැඹුරු පර්යේෂණ හා හැදෑරීම් පිළිබඳව සිංහල පාඨක හා ප්‍රේක්ෂක සමාජය තුළ ප්‍රමාණවත් අවබෝධයක් නැති වුවද ඔහුගේ දාර්ශනික දෘෂ්ටිය හා ආකල්ප බටහිර දර්ශනය පිළිබඳව ප්‍රාමාණික විද්වතුන්ගේ ප්‍රශංසාවට යොමු වු බවද සඳහන් කළ මනා ය. විශිෂ්ට පුවත්පත් කලාවේදියකු වූ ඩී.බී. දනපාල සරච්චන්ද්‍රයන් හැඳින්වූයේ අපූර්ව ගණයේ දාර්ශනිකයකු ලෙස ය. කෙසේ වුවද සරච්චන්ද්‍ර නිර්මාණ හා සාහිත්‍ය කලා විචාර පිළිබඳ දුර්මත සමාජ ගත කිරීම සාපරාධී ක්‍රියාවක් බවද අවසන් වශයෙන් සඳහන් කළ යුතුය.

 

අදහස්