එෆ්.බී.අයි. මූලස්ථානයෙන් එළියට එන සහරාන්ගේ රහස් ගබඩාව | Page 2 | සිළුමිණ

එෆ්.බී.අයි. මූලස්ථානයෙන් එළියට එන සහරාන්ගේ රහස් ගබඩාව

ලැප්ටොප් එක ගැන තොරතුරු ලැබෙන්නෙ කල්මුණේ සියාම් හෙවත් අබු හස්තාන්ගෙන්...

කලපුවට විසි කළ නිසා පරිපථ විනාශ වෙලා...

යළි ගොඩනඟාගන්න තාක්ෂණය ලංකාවේ නෑ...තාක්ෂණික පිහිට ඇමරිකාවෙන්...

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරගෙන යන විමර්ශන මේ වන විට ඇත්තේ අවසන් අදියරේය. සහරාන්ගේ කල්ලියේ වැඩි දෙනෙක් සිටින්නේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේය. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේද සැලකිය යුතු පිරිසක් සිටිති. අත්අඩංගුවට ගැනීමට දැනට ඉතිරි වී සිටින සහරාන්ගේ කල්ලියේ වැඩකරුවෙකු වන්නේ මොහොමඩ් මිල්හාන්ය. සහරාන්ගේ අන්තවාදී ත්‍රස්ත කල්ලියේ සන්නද්ධ අංශයේ නායකයා ලෙස සැලකෙන ඔහු මේ වන විට සිටින්නේ සෞදි අත්අඩංගුවේය. පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වන විට මක්කම වන්දනාවේ ගොස් සිටි ඔහු සෞදි ආරක්ෂක අංශ විසින් සෞදි ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගන්නේ මෙරටින් කළ දැනුම් දීමකට අනුවය. ඒ අප්‍රේල් 30 වෙනිදාය.

ඔහු මෙරටට රැගෙන එන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් රාජ්‍ය බුද්ධි සේවයේත් නිලධාරීන් කණ්ඩායමක් ඊට සතියකට පසු සෞදියට ගියද සති දෙකක් තිස්සේ එහි රැඳී සිටි ඔවුන්ට මෙරටට එන්නට සිදු වන්නේ හිස් අතිනි. ඒ මිල්හාන්ව මෙරටට භාරදීමට සෞදි බලධාරීන් මැළිකමක් දක්වන්නට වූ බැවිනි.

මඩකලපුව වව්නතිව් හී පිහිටි පොලිස් මුරපොළක රාත්‍රී රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඉකුත් 2018 වසරේ නොවැම්බර් 30 වැනිදා ඝාතනය කර එම නිලධාරීන් සතුව තිබුණු ගිනිඅවි පැහැරගැනීමත්, වනාතවිල්ලුවේ සහරාන්ගේ පුහුණු කඳවුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැටලීමට සහාය දුන් හිටපු ඇමති කබීර් හසීම්ගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු වන තස්ලිම්ට මාවනැල්ලේදී වෙඩි තැබීමත් කර ඇත්තේ මොහොමඩ් මිල්හාන්ය.

සහරාන්ගේ ලැප්ටොප් එක

සහරාන්ගේ කල්ලියේ සන්නද්ධ අංශ නායක මිල්හාන් මඟහැරුණද සහරාන්ගේ රහස් ගබඩාවම මේ වන විට ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවය අතේය. ඒ සහරාන් දිවි හිමියෙන් රැකගත් ලැප්ටොප් එකය. සිරියාවේ අයි.එස්. ත්‍රස්ත මූලස්ථානය සමඟ සහරාන්ගේ ඇති සියලු සම්බන්ධතා ජාලය මෙන්ම මෙරට ඔහුගේ සියලු සම්බන්ධතා ගැන තොරතුරු ඇත්තේ එම ලැප්ටොප් එකේය. රාජ්‍ය බුද්ධි සේවයඑම ලැප්ටොප් එක සොයාගන්නේ ඉකුත් 31 වෙනිදාය. ඒ අක්කරෙයිපත්තුවේ පාලමුනේ කලපුවට විසි කර තිබියදීය.

සහරාන්ගේ රහස් ගබඩාව එසේ සොයාගැනීමට රාජ්‍ය බුද්ධි සේවයට ඉවහල් වන්නේ සහරාන්ගේ කල්මුණේ සම්බන්ධිකාරක ලෙස සැලකෙන සාවුල් හමිඩ් හමීස් මොහොමඩ් හෙවත් කල්මුණේ සියාම් අත්අඩංගුවට ගැනීමට හැකි වීමය. ඉකුත් මැයි 20 වැනිදා ඔහුව අත්අඩංගුවට ගන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ රහස් මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිනි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සහරාන්ගේ බිරිය ඇතුළු කල්ලියට රැකවරණය දෙන්නේ කල්මුණේ සියාම්ය. ඒ සඳහා ඔහු සමන්තුරේ, නින්දවූර් සහ සයින්දුමරුදු හී නිවාස තුනක්ම සොයා දී තිබිණි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සතියක් ඉක්ම යන්නට මත්තෙන් පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගත් සමන්තුරේ සහ නින්දවූර්හී පිහිටි නිවාස දෙකම කුලියට ගෙන තිබුණේ කල්මුණේ සියාම්ගේ මැදිහත් වීම මතය.

විශේෂ කාර්ය බළකාය සහ සමන්තුරේ පොලිසිය සමඟ එක්ව රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් සමන්තුරේ නිවස ඉකුත් අප්‍රේල් 26 වැනිදා වටලා පුපුරනද්‍රව්‍ය සොයාගන්නා විට සහරාන්ගේ බිරිය ඇතුළු මුළු පවුලම රැඳී සිටින්නේ නින්දවූර් නිවසේය. සමන්තුරේ නිවස පරීක්ෂාවට ලක් වන විට සහරාන්ගේ බිරිය ඇතුළු මුළු පවුලම සයින්දු මරුදු නිවසට ආරක්ෂාකාරීව රැගෙන යන්නේ කල්මුණේ සියාම්ය.

සහරාන්ගේ රහස් ගොන්නක් සැඟවුණු ලැප්ටොප් පරිගණකය කල්මුණේ සියාම්ගේ අතට පත්වන්නේ එදා නින්දවූර් සිට සයින්දුමරුදු නිවස වෙත සහරාන්ගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන් රැගෙන එන අතරතුරදීය. කල්මුණේ සියාම් අතට එම පරිගණකය පත් කරන්නේ සහරාන්ගේ සහෝදරයෙකු වන සයිනිය. පරිගණකය ඔහු අතට පත් කරමින් ඔහු ඉල්ලීමක් කරන්නේ එය ජීවිතය හා සමාන ලෙස රැකගන්නා ලෙසිනි.

ඒත් එක්කම සහරාන්ගේ අනෙත් සහෝදරයා වන රිල්වාන් කල්මුණේ සියාම් අත තබන්නේ රුපියල් 5000 නෝට්ටු මිටියකි. රිල්වාන් එහිදී කල්මුණේ සියාම්ට පවසන්නේ සංවිධානය ඉදිරියට පවත්වාගෙන යෑමට එම මුදල් යොදාගන්නා ලෙසය.

ආරක්ෂක අංශ සෝදිසියේදී සයින්දුමරුදු නිවසේදී සහරාන්ගේ සහෝදරයන් ඇතුළු මුළු පවුලම බොම්බ පුපුරවාගෙන මුරුමුවට පත් වීමෙන් පසු සහරාන්ගේ කල්ලියේ නැගෙනහිර පළාතේ නායකත්වයට පත්වන්නේ කල්මුණේ සියාම්ය. ඔහු ඒ වන විටත් සිටියේ සහරාන් ඉදිරියේ අන්‍යාගමිකයන් මරාගෙන මැරෙන්නට අයි.එස්. දිවුරුමද ලබාදීය. ඒත් එක්කම ඔහුට ලැබී ඇති අයි.එස්. නාමය වන්නේ අබු හස්තාන්ය.

කල්මුණේ සියාම් සහරාන්ට එකතු වන්නේ 2017 වසරේදීය. සහරාන්ගේ කල්ලියට ඔහු පූර්ණ සාමාජිකයෙකු ලෙස එක් වන්නේ හම්බන්තොට සහරාන්ගේ පුහුණු මධ්‍යස්ථානයේ දේශනවලට සහභාගි වීමෙන් අනතුරුවය. එම පුහුණු මධ්‍යස්ථානය තිබී ඇත්තේ සිප්පිකුලමේ පිහිටි නිවසකය. සහරාන් අන්තවාදීන් පුහුණු කිරීමට එය මධ්‍යස්ථානයක් කරගෙන තිබුණේ 2017 සිටය. වරකට එහි පුහුණුව ලැබූ පිරිස 15 දෙනෙකි. ගෙවී ගිය කාලය තුළ කණ්ඩායම් හතරක් එහි පුහුණුව ලබා තිබිණි.

හම්බන්තොට පුහුණු මධ්‍යස්ථානය

හම්බන්තොට පුහුණු මධ්‍යස්ථානය සොයාගැනීම එතරම් පහසු කටයුත්තක් නොවීය. අවසානයේදී ඒ තැන සොයාගැනීමට මඟ පෑදෙන්නේ කල්මුණේ සියාම් අත්අඩංගුවට ගැනීමය.

බෝම්බ ඇටවීමටත් පුපුරවා හැරීමටත් ගිනි අවි භාවිතයටත් මනා පුහුණුවක් ලබා සිටි කල්මුණේ සියාම් රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් කොටු කරගන්නේ කල්මුණේදීය. ඒ කල්මුණ කුඩි හී පිහිටි ඔහු පදිංචිව සිටි නිවසේදීය. අනතුරුව ඔහුගේ තොරතුරු මත තවත් සිවු දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. අබුසාලි, අබු රූබි, මොහොමඩ් නලීම් සහ මොහොමඩ් හුසේන් යන ඔවුන්ද සහරාන්ගේ අන්තවාදී කල්ලියේ ප්‍රබල ක්‍රියාකාරිකයෝය. නුවරඑළියේ බ්ලැක්ෆූල් හී පිහිටි පුහුණු මධ්‍යස්ථානයේදී ඔවුහු පුහුණුව ලබා සිටියහ. ඒ අතරින් හුසේන් සහ නලිම්ව සහරාන් තෝරාගෙන සිටියේ මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා වැඩිදුර පුහුණුව ලබාදෙන්නටය. ඒ සඳහා ඔවුන්ගේ ඔළුගෙඩි වෙනස් කරන්නට යොදාගත් සහරාන්ගේ දේශන ඇතුළත් සී.ඩී. තැටි 31ක් රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් සොයා ගන්නේ අක්කරෙයිපත්තුවේ පාලමුණේ පාළු ඉඩමක පිහිටි ළිඳකිනි. නින්දවූර් සිට සයින්දුමරුදු එන අතර තුර “සයිනි“ විසින් ලැප්ටොප් පරිගණකයක් ද සියාම් අත තබා ඇතැයිද රාජ්‍ය බුද්ධි සේවයට ඒත් එක්කම තොරතුරු ලැබිණි. එම ලැප්ටොප් පරිගණකය සහරාන්ගේ බව රාජ්‍ය බුද්ධි සේවය පවා ඒ වන විටත් දැන සිටියේ නැත. එය සහරාන්ගේ ලැප්ටොප් එක බව රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් පවා දැනගන්නේ කල්මුණේ සියාම්ගෙන් දීර්ඝ ලෙස එම ලැප්ටොප් පරිගණකය ගැන ප්‍රශ්න කරන විටදීය.

“මම ඒක මුහුදට විසි කළා“ ... කල්මුණේ සියාම් ලැප්ටොප් එක ගැන ප්‍රශ්න කරන විට රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් හමුවේ පැවසුවේ එවැන්නකි.

කල්මුණේ සියාම් එසේ කීවත් සැබෑ ලෙසම ඒ වන විට එම ලැප්ටොප් පරිගණකය මුහුදට විසි කර නොතිබිණි. රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගන්නා විටත් එය තිබුණේ ඔහුගේ නිවසේය. මුහුදට දැමුවේ යැයි කීවේ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වන විට එය මුහුදට විසි කරන්නැයි ඔහු සිය මාමා වන ෆරීඩ්ට පවසා තිබුණු නිසාය. එහෙත් ෆරීඩ් එය මුහුදට දමා ‍නොතිබිණි. දින කිහිපයකට පසු එය ඔහු විසි කරන්නේ කලපුවටය.

කලපුවට විසි කරන ලද එම ලැප්ටොප් පරිගණකය රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් සොයා ගන්නේ කල්මුණේ සියාම්ගේ මාමාගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවය. ඒත් එක්කම සහරාන්ගේ කල්ලිය නැවත ගොඩනැඟීමට රිල්වාගෙන් ලද 5000 නෝට්ටු මිටියෙන් තවත් රුපියල් ලක්ෂ 35 ක්ද සොයාගනු ලැබීය. ඒ සියාම්ගේ මාමාගේ නිවසේ ඩී.වී.ඩී. යන්ත්‍රයක් අස්සේ සඟවා තිබියදීය.

කලපුවෙන් සොයාගත් සහරාන්ගේ ලැප්ටෝප් පරිගණකය නවීන එකකි. කලපු ජලයේ එය ගිලී තිබීමෙන් පරිපතයට සිදුව ඇත්තේ දැඩි හානියකි. රාජ්‍ය බුද්ධි සේවයේ තාක්ෂණික විශේෂඥයන් විසින් එය නැවත යථාතත්වයට පත්කිරීමට උත්සහයක් ගත්තද එය එතරම් පහසු කටයුත්තක් නොවීය. ඒ මෙරට පවතින තාක්ෂණය ඊට ප්‍රමාණවත් නොවූ බැවිනි. ඒ අනුව සහරාන්ගේ ලැප්ටොප් පරිගණකයේ සැඟ වී ඇති රහස් එළියට ගන්නට තාක්ෂණික සහය ලබාදෙන්නට ඉදිරිපත් වන්නේ ඇමරිකාවේ එෆ්.බී.අයි. විමර්ශකයන්ය. වැඩි කල් නොගොස් සහරාන්ගේ රහස් ගබඩාවම හෙළිවනු ඇත.

Comments