මැතිවරණ තුනක් මේ වසරේ | සිළුමිණ

මැතිවරණ තුනක් මේ වසරේ

ජනාධිපතිවරණය හා පළාත් සභා මැතිවරණය යන දෙකම මේ වසර අවසානයේ ආසන්න දින දෙකක පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානමින් සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද‍ දේශප්‍රිය මහතා සිළුමිණට කීය.

මීට අමතරව කල් දමා ඇති ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයද මේ වසරේදී අනිවාර්යෙන්ම පැවැත්වීමට සිදු වනු ඇතැයිද ඒ මහතා කීවේය.

ලබන 11 වැනිදා සවස විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙන අතර එහිදී මැතිවරණ සම්බන්ධ වැදගත් කරුණු රැසක් සාකච්ඡාවට ගනු ලබන බවද ඒ මහතා සිළුමිණට අනාවරණය කළේය. ජනාධිපතිවරණය මේ වසරේ නොවැම්බර් 15 හා දෙසැම්බර් 7 අතර දිනයක පැවැත්වෙන අතර පළාත් සභා මැතිවරණයද අක්‍රියව ඇති සීමා නිර්ණ පනත වෙනුවට පැරැණි ක්‍රමයට අනුව පැවැත්වීමට කටයුතු යෙදෙනු ඇතැයිද ඒ මහතා වැඩි දුරටත් පැවසීය. එම මැතිවරණයද බොහෝ විටම මේ හා ආසන්න දිනයකම පැවැත්වීමට කටයුතු යෙදෙනු ඇත.

ජනාධිපතිවරයා, අගමැතිවරයා හා කතානායකවරයා විසින් පළාත් සභා ඡන්ද විමසීම හැකි ඉක්මනින් පැවැත්වීමට පොරොන්දු වී ඇති බවද ඒ මහතා අනාවරණය කළේය.

පළාත් සභා මැතිවරණය කල් දැමීම සම්බන්ධව මේ වන විට අධිකරණයේ නඩු 6ක් විභාග වෙමින් පවතින කී ඒ මහතා එම නඩු පැවරීම් සිදු කෙළේ මේ වසරේ වන හෙයින් තීන්දු ලබා දීම කල් ගිය බවත් පසුගිය වසරේ නඩු පැවරීම් සිදු කෙළේ නම් මේ වන විට පළාත් සභා ඡන්දය පවත්වා අවසන් වනු ඇතියිද කීය.

කෙසේ වුවත් විභාග වන නඩුවල තීන්දු ඉදරි මාස කිහිපය තුළදී ලබා දීමට නියමිතය. මැතිවරණය ජනතාවගේ මූලික අයිතිවාසිකමක් ලෙස පිළි ගැනෙන හෙයින් එය නොපමාව පැවැත්වීමට අධිකරණය මඟින් තීන්දුවක් ලබා දෙනු ඇති බවට නඩු පැවරූ දේශපාලන පක්ෂ නියෝජිතයින් බලාපොරොත්තුව සිටින හෙයින් හා මේ වන විටත් ඇතැම් පළාත් සභාවල කාලය ඉකුත්ව වසර එකහමාරක් පමණ ගතව ඇති හෙයින් මේ වසර තුළදීම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු යෙදෙනු ඇති බව වාර්තා වේ.

අදහස්