පියල්-නන්දා වැනි පෙම­්ව­තුන් වෙනු­වෙන් ගැයුණු ගීත­යක් | සිළුමිණ

පියල්-නන්දා වැනි පෙම­්ව­තුන් වෙනු­වෙන් ගැයුණු ගීත­යක්

මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් ගම්පෙරළිය නවකතාව ලියන ලද්දේ මෙයින් වසර හැත්තෑ පහකට පෙරය. එකල සමාජයේ තිබු පරිසරයත් අද සමාජයේ තිබෙන පරිසරයත් හාත් පසින්ම වෙනස් බව අප ගම්පෙරළිය තුළින් දකින සමාජ ආර්ථික දේශපාලනික වටපිටාව ගැන නැවත නැවත විමසා බැලීමේදි වැටහේ. ඒ කුමක් වෙනස් වුවත් යම් යම් සිද්ධි සම්බන්ධව මිනිසාගේ සිතුම් පැතුම් වල වෙනසක් නැතැයි වැටහෙන්නේ එවැනි එක් එක් සිදුවීම් වලදී පුද්ගලයින් කටයුතු කරන ආකාරය එදත් අදත් වෙනසක් නැතැයි සිතන විටය.

ගම්පෙරළියේ මහගෙදර නන්දා පෙම් බඳින්නේ පියල්ටය. නමුදු කිසිදු වත්කමක් ධනයක් නැති පියල්ට ඇත්තේ උගත්කම පමණි. ඔහුට මහගෙදරින් හිරයක් ගැනීම සිහිනයකි. එය සිහිනයක් බව දැන දැනම පියල් නන්දාට යෝජනාවක් ගෙන එන්නේය. පියල්ගෙන් නන්දාට යෝජනාවක් පැමිණී බව මාතර හාමිනේ කයිසාරුවත්තේ මුහන්දිරම්ට පවසන්නේ බය පක්ෂපාතිත්වය.

“උන්ට කවුද හිර දෙන්නේ“

මාතර හාමිනේගේ කතාව ඇසූවිට මුහන්දිරම්ට එලෙස කිය වෙන්නේ ඉබේටමය.

පවුල් පරිසරය, වලව්වේ කටයුතු කෙරෙන ආකාරය, අම්මාගේ තාත්තාගේ සිතුම් පැතුම් හොඳින් හඳුනන නන්දා පියල්ට පවසන්නේ “අම්මා කැමැති නම් මං කැමැතියි“ කියාය.

කෙසේ වෙතත් පියල් ගමෙන් පිටව යන්නේ සල්ලිකාරයකු වී ගමට පැමිණෙන අදහසිනි. පියල්ගේ ඒ ඉලක්කය එලෙසින්ම ඉටුවන්නේය. ජිනදාසගේ මරණයෙන් කනවැන්දුම් වී බංකොළොත් බාවයට පත් වූ මහගෙදර නන්දා දෙවැනි වර පියල් හා විවාහ වන්නීය. එදවස ඇගේ විවාහයට අකුල් හෙළන්නෙක් නැත. සල්ලි ඇති දා කළ නොහැක්කක් නැත. මීට අවුරුදු හැත්තෑ පහකට ඉහත සමාජයේ අද සමාජයේත් ඇතැමුන් විවාහයක් කර ගැනීමේදි කුලය, ධනය, බලය ගැන විශේෂ අවධානයක් යොමුකරනු ඇත. විවාහයේදී ප්‍රේමය කොතෙක් තිබුණ ද වැඩිහිටියන් මෙන්ම ඇතැම්විට පෙම්වතුන්ද වැඩිපුර විමසිලිමත් වන්නේ වත් පොහොසත්කම් ගැනය.

නන්දලා පියල්ලා ජීවත් වූ පරිසරයට වඩා අද පරිසරය හාත්පසින්ම වෙනස්ය. නමුදු අදද අපට නන්දලා පියල්ලා කොතෙකුත් නම් හමුවේ. ප්‍රවීණ සංගීතවේදි වික්ටර් රත්නායකයන් මේ ගයන්නේද එවැනි පියල් කෙනකු ගැනය. තාමත් යෞවනයට කතා කළ හැකි හඬකට හිමිකම් කියන වික්ටර් රත්නායකයන් අරුත්බර පෙළක් වඩාත් අරුත් ගන්වා ඇත්තේ මෙලෙසිනි. නව පරපුරේ සංගීතවේදියකු වන, සොඳුරු තනු නිර්මාණ ශිල්පියකු වන විශාරද දර්ශන වික්‍රමතුංග

මම පියල් ගම්පෙරළියේ ගීතය සංගීතවත් කර ඇත.

මම පියල් ගම්පෙරළියේ රචනා කරන්නේ නව පරපුරේ පද රචකයකු වන චන්දිමාල් මයාදුන්නේය. මින් පෙරද ගී කිහිපයක්ම රචනා කර ඇති ඔහු තමන් විසින් ලියන ලද ගීතයේ අත්දැකීම පිළිබඳ පවසන්නේ මෙලෙසිනි.

‘‘මෙය මගේ හද සසල කළ සිදුවීමක්. මගේ මිත්‍රයා පිටිසර ගමක උපන් කෙනෙක්. නමුත් ඔහු පෙම් බැන්දේ ව්‍යාපාරිකයකුගේ දුවකට. ඒ තරුණිය ඔහුට කැමැති වුණත් පවුලේ අය ඔහුට කැමැති වුණේ නැහැ. ඔහු හිටියේ හරිම හිතේ අමාරුවෙන්. එහෙත් ඔහුට බැරි වුණා අර තරුණිය කෙරෙහි බැඳුණු පෙම අමතක කරන්න.

ඔහු අහිංසක ආදරවන්තයෙක්. අවසානයේ ඔහු ගමෙන් ගියා. ඔහු ගමෙන් ගියේ සල්ලිකාරයකු වී යළිත් ගමට පැමිණිමේ අදහසින්. ඔහු වසර කිහිපයකට පස්සේ ගමට ආවා. ඒ ආවේ ධනවතෙක් වෙලා. ඔහු එනතුරු තරුණිය බලාගෙන හිටියා. දැන් ඔවුන් විවාහකයි. මේ සිදුවීම වූ දවස් වල මට මතක් වුණේ ගම්පෙරළිියේ නන්දා හා පියල් පෙම් යුවළ.

ඒ අනුව මම මේ ගීතය ලිව්වේ මීට වසර තුනකට පමණ පෙරයි. මේ ගීතයත් සමඟ තවත් පද රචනා කිහිපයක්ම වික්ටර් රත්නායක මහතාට ලබා දුන්නා. ඔහු ඉතාම කැමැත්තෙන් තමයි මේ පද පෙළ තෝරාගෙන තිබුණේ. මම ලියූ ගී අතරින් මං මේ ගීතයට බොහොම කැමැතියි. මගේ මිත්‍රයාට පමණක් නොව මෙවැනි සිදුවීම් වූ තරුණ තරුණියන් තවත් කොතෙකුත් මේ සමාජයේ ඉන්නවා.

සමහරු තමන්ගේ ඉලක්ක කරා ගිහිල්ලා අරමුණ වලට ළඟා වුණත් ධනය බලය කියන තැනදි වෙන් වී, දෙපසකට වුණ පෙම්වතුන් බොහොමයක් අප අතර ඉන්නවා. අන්න ඒ පෙම්වතුන් සියලු දෙනාම වෙනුවෙන් තමයි මං මේ පද පෙළ රචනා කළේ. ඉතාම කෙටි කාලයක් තුළ දී බොහෝ දෙනෙක් මේ ගීතය ආදරයේ වැලඳගෙන තියෙනවා. එය මට සතුටක්. “ චන්දිමාල් පවසන්නේ සතුටිනි. 

Comments