සම්මා­නය ගන්න විදෙ­ස්ගත වෙන්න තරම් මගේ සිත හදා­ගන්න බැරි­වුණා | Page 2 | සිළුමිණ

සම්මා­නය ගන්න විදෙ­ස්ගත වෙන්න තරම් මගේ සිත හදා­ගන්න බැරි­වුණා

නවකයො දක්ෂයි. ප්‍රවීණයන් ඔවුන්ට මඟ පෙන්වුවහොත් අපේ කලාවට කවදාවත් වරදින්නෙ නෑ

සිනමා දිවියේ දෙවැනි ගමන ලෙස අදටත් මම පවුරු වළලු සිනමාපටයට ආදරය කරනවා.

 

මා රඟපෑ චිත්‍රපට අතරින් වඩාත් කැමැත්තෙන් රඟපෑ චිත්‍රපට හතරක් තිබෙනවා

පාංශු රූ ගත කෙරුණේ අනුරාධපුරය ගලේවෙල කියන සුන්දර ගම්මානයේදි. එහිදී විසා අපිට වැඩමුළු දෙකක් පවත්වා කීවා මේ චිත්‍රපටයෙහි කිසි කෙනෙක් රඟපාන්න එපා. හැම චරිතයක්ම ගලාගෙන යන්න ඉඩ හරින්න කියලා. ඔහුගේ එවැනි නිර්මාණාත්මක හැකියාවත්, උනන්දුවත් නිසා මට ඔහු ගැන විශ්වාසයක් ගොඩ නැගුණා. ඔහුගේ අදහස්වලට අනුව ‘පාංශු‘ සෙට් එක ඔහු කී ආකාරයටම තම තමන්ගේ කාර්යයන් මනාවට ඉටු කළා. කැමරාකරණය කළ දිමුතුගේ හැකියාවත්, සංස්කරණය කළ සිතුම්ගේ දක්ෂතාවත් නිසා අපේ රංගන ප්‍රතිභාව තවදුරටත් ආලෝක වුණ බව මම නිහතමානීව කියන්න ඕන.

‘සතුටයි කඳුළුයි‘ සිනමා පටයෙන් 1965දි දේශීය සිනමාවට එක් වු නීටා ප්‍රනාන්දු දශක පහකට අධික කාලයක් පුරා මෙරට සිනමාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් සිදුකළ රංගන ශිල්පිනියකි. 1998 වසරේදි ‘පවුරු වළලු‘ සිනමාපටයේ ‘වයලට්‘ චරිතයට ආසියාවේ හොඳම නිළිය සම්මානය දිනූ ඇය වසර විස්සකට පසුව එනම් 2019 දි නැවතත් අන්තර් ජාතික සම්මානයකින් පිදුම් ලබන්නට වාසනාවන්ත වූයේ ප්‍රංශයේ නිස් නුවරදී පැවැත්වු හත්වැනි ‘නීස්‘ අන්තර්ජාතික සිනමා උලෙළේදිය. (Nice international film festival). එහිදී විදෙස් භාෂිත වෘතාන්ත සිනමාපට (foreign languge feature film) අංශයේ හොඳම නිළියට හිමි සම්මානයයෙන් පුද ලබන්නට නීටා වාසනාවන්ත වූයේ විසාකේස චන්ද්‍රෙස්කරම්ගේ ‘පාංශු‘ චිත්‍රපටය වෙනුවෙන් කළ රංගනය වෙනුවෙනි.

‘‘විසාකේස ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට දවසක් මට කතා කළා. ඔහු කතාකර කීවේ 88, 89 භීෂණ යුගයේ සිදුවුණු කතාවක් සිනමාපටයකට නගන්න අදහසක් තිබෙනවා. එහි ‘බබා නෝනා‘ නමැති චරිතය රඟපාන්න කැමැතිද කියායි. හැබැයි ඒකට පීනන්න පුරුදු වෙන්නත් ඕනෑ කියා ඔහු කීවා. මම එ් අවස්ථාවේ විසාට කීවා මට පීනන්න බැහැ එම චරිතයට වෙන කෙනෙක් ගන්න කියලා. එහෙත් ඔහු මාස හයක් දෙන්නම් කොහොමහරි පීනන්න පුරුදු වෙන්න කීවා. මාස හයක්ම පීනන්න පුරුදු වුණා. නමුත් වැඩක් වුණේ නෑ. ඔය කාලයේ විසා ලංකාවට ඇවිත් චිත්‍රපටයේ රූප රාමු අඳින ලද සිතුවම් කිහිපයක් මට පෙන්වා චිත්‍රපටය ගැන කතාබහ කර නැවතත් සිඩ්නි ගියා. මම ඔහුට කතාකර කීවා කොච්චර උත්සාහ කළත් මට පිහිනන්න බැහැ. ඒ නිසා වෙන කෙනෙක් ගන්න කියලා. එයට පිළිතුරු ලෙස ඔහු කීවේ යටි අතට පිහිනන්න බැරිනම් උඩු අතට හෝ පිහිනන්න පුරුදු වෙන්න කියායි. ඉන් පසුව උඩු අතට පිහිනන්න උත්සාහ කළා. එම උත්සාහය සාර්ථකවුණා. මටත් වඩා මට පිහිනන්න ඉගැන්වු සුමිත් පෙරේරාගේ උනන්දුව නිසයි ‘බබා නෝනා‘ නමැති රෙදි සෝදන ගැහැනියගේ චරිතය සාර්ථක කරගන්න හැකිවුණේ‘‘

ඇය ළෙන්ගතුව නිහතමානී සතුටකින් යුතුව අතීත ආවර්ජනයක යෙදෙන්නීය. 88, 89 භීෂණ සමයේ තම පුතු අල්ලාගෙන යෑමත් සමග දරු සෙනෙහසින් පුතු සොයා යුක්තිය, සාධාරණය පතා සටන් වදින ‘බබා නෝනා‘ නමැති රෙදි සෝදන ගැහැනිය නූතන වර්තමානයේ දරුවන් කුණු බක්කි තුළ, පාරවල්වල දමා යන මවුවරුන්ට ආදර්ශයකි.

‘‘පාංශු රූ ගත කෙරුණේ අනුරාධපුරය ගලේවෙල කියන සුන්දර ගම්මානයේදි. එහිදී විසා අපිට වැඩමුළු දෙකක් පවත්වා කීවා මේ චිත්‍රපටයෙහි කිසි කෙනෙක් රඟපාන්න එපා. හැම චරිතයක්ම ගලාගෙන යන්න ඉඩ හරින්න කියලා. ඔහුගේ එවැනි නිර්මාණාත්මක හැකියාවත්, උනන්දුවත් නිසා මට ඔහු ගැන විශ්වාසයක් ගොඩ නැගුණා. ඔහුගේ අදහස්වලට අනුව ‘පාංශු‘ සෙට් එක ඔහු කී ආකාරයටම තම තමන්ගේ කාර්යයන් මනාවට ඉටු කළා. කැමරාකරණය කළ දිමුතුගේ හැකියාවත්, සංස්කරණය කළ සිතුම්ගේ දක්ෂතාවත් නිසා අපේ රංගන ප්‍රතිභාව තවදුරටත් ආලෝක වුණ බව මම නිහතමානීව කියන්න ඕන.‘‘

ඇය මෙවර සම්මානය ලබාගැනීම සඳහා ප්‍රංශයේ නීස් නුවරට ගියේ නැත. ඒ කිසියම් හේතුවක් නිසාවෙනි. පසුගිය පාස්කු ඉරිදා එල්ල වු ම්ලේච්ඡ ත්‍රස්තවාදි ප්‍රහාරයෙන් තවමත් වික්ෂෝපයෙන් සිටින නීටා ඒ පිළිබඳව අප සමග මෙසේ කීවාය.

‘‘ ජේසුස් ස්වාමීන් වහන්සේ මරණයෙන් නැගිටින උත්ථාන වූ දවස හැටියටයි කතෝලික භක්තිකයන් වන අප පාස්කු දවස හඳුන්වන්නේ. එවැනි උතුම් දවසක වන්දනාමාන කරන්න පල්ලි ගිය කතෝලික භක්තිකයන්ට තමයි මේ ම්ලේච්ඡයන් පහර දුන්නේ. වන්දනාමාන කරන්න පැමිණි මිනිසුන්ට මිනිසුන් කළ අපරාධය මගේ ජීවිතයට බලපාපු ලොකුම වේදනාවයි. ඒ දවස් ටිකේ කොහොම දවස් ගෙව්වද කියල තවම මතක නෑ. හරියට අසිහියෙන් වගෙයි අපි හිටියේ. ඒ කාලය පුරාම එඬේරෙක් බැටළු රැල පාලනය කළාක් මෙන් කාදිනල් පියතුමා කළ මෙහෙවර ප්‍රශංසනීයයි. රටේ මෙවන් තත්වයක් පවතිද්දී සම්මානයක් ගන්න විදෙස්ගත වෙන්න තරම් මගේ සිත හදාගන්න බැරිවුණා. ඒ නිසයි ‘පාංශු‘ රංග වස්ත්‍රාභරණ නිර්මාණය කුමාර කරව්දෙණිය උලෙළේ සියලුම අංශයන් නියෝජනය කළ චිත්‍රපට අතරින් හොඳම වස්ත්‍රාභරණ උදෙසා හිමි සම්මානය ලබා ගැනීමට තනියම ගියේ‘‘

1998දී පවුරු වළලු චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 11වැනි සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උලෙළේදී ආසියාවේ හොඳම නිළිය වුයේ නීටායි. මෙවර ලැබූ සම්මානයත් සමග ඇය දෙවැනි වරටත් අන්තර්ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඇයට අමතරව මාලිනී, නිත්‍යවානි, දමිතා, අනෝමා, වැනි රංගන ශිල්පිනියන් කිහිප පළක් පමණක් විවිධ අන්තර් ජාතික සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

 

‘‘පවුරු වළලු අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ මාව පවුරු වළලු සිනමාපටයට සම්බන්ධකර ගන්න පෙරම කීවේ නීටා අක්කාගේ සිනමාවේ දෙවැනි ගමනට වගකියන්නේ ඔහුයි කියා.

ඒ කිව්වා වගේම මගේ සිනමා දිවියේ දෙවැනි ගමන ලෙසයි අදටත් මම පවුරු වළලු සිනමාපටයට ආදරය කරන්නේ. එදා ඒ විදිහට ප්‍රසන්න විවරකළ දොරෙන් අද විසාකේස මාව ඇතුළු කළා. දැන් මම රජ පවුලකට සම්බන්ධවුණා හා සමානයි. රජ පවුලකට සම්බන්ධ වුණාම අපේ නිදහස සීමා වෙනවා. අපිට ඕනෑ විදිහට වැඩකරන්න බෑනේ. ඒ වගේ තමයි දෙවරක්ම ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වුණාම රංගනයේදි තමන්ටම සීමා පනවා ගන්න සිදුවනවා. ඒ නිසා ලැබෙන හැම චරිතයක්ම භාර නොගෙන කලාවට, රටට යමක් කළ හැකි චරිත පමණක් තෝරාගෙන ගෞරවාන්විතව රඟ පාන්නයි බලාපොරොත්තුව‘‘

1965 සිට 1975දක්වා මෙරට සිනමාව වෙනුවෙන් රංගන දායකත්වය ලබාදුන් ඇය 1975දී විදෙස්ගත වන්නේ සිය සැමියා සමගිනි. රංගන දිවියේ සුන්දරම කාල පරිච්ඡයේදී සිනමාවෙන් දුරස්ව සිටින නීටා නැවත කලාවට ගොඩවැදෙන්නේ සිය සැමියා නිෂ්පාදනය කළ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘පවුරු වළලු‘ සිනමා පටය සමගිනි.

‘‘මා රඟපෑ චිත්‍රපට අතරින් වඩාත් කැමැත්තෙන් රඟපෑ චිත්‍රපට හතරක් තිබෙනවා. ඒ චිත්‍රපට හතරේම චරිත ප්‍රේක්ෂක සිත් සතන් හි සදා ලැගුම්ගත් චරිත. පළමු එක ‘හදවත් නැත්තෝ‘ සිනමාපටය. එහි මෙහෙකාරියකගේ චරිතයක් තමයි මම රඟපෑවේ. හදවත් නැති මිනිසුන්ගේ නොමිනිස් ගති හමුවේ අසරණවන ඇය අවසානයේ මෙහෙණියක වනවා. ‘දුහුළු මලක්‘ හි නිලුපා අනෙක් චරිතය. අසම්මත ආදරයෙ අනිටු ප්‍රති විපාක අත්විඳින්නට සිදුවන ගැහැනියක් තමයි දුහුළු මලක් හි නිලුපා නිරූපණය කළේ. ඉන් පසුව සම්මානනිත ‘පවුරු වළලු‘ හි වයලට්. ආදරයෙන් බැඳෙන මැදිවියේ කාන්තාවකට ජීවිතයේදි මුහුණදෙන්න සිදුවන අනේක දුක් පීඩා වයලට් චරිතයෙන් නිරූපිතයි. ඊ ළඟට පසුගියදා සම්මානයට පාත්‍ර වු ‘පාංශු‘ චිත්‍රපටයේ බබා නෝනා චරිතය. මේ චරිත හතරම එකිනෙකට වෙනස්. ‘‘

ඇය කොතරම් සම්මානයට පාත්‍ර වුවද අදවන විට හුදකලා දිවියක් ගත කරන්නීය. ආදරණීය සැමියාගේ වියෝවත්, ආදරණීය මෑණියන්ගේ වියෝවත් ඇගේ දිවිය හුදකලා බවට පත්කර ඇත. එහෙත් කොතරම් දුක්, ගැහැට අභියෝග පැමිණියද ඒවාට නොබියව මුහුණ දෙන්නට නීටා ශක්ති සම්පන්නය.

‘‘මෑතකදී කිසිම අලුත් නිර්මාණයක් භාර ගත්තේ නැහැ. ‘තේජා‘, ‘ස්වර‘ කියන චිත්‍රපට දෙකම ඉදිරියේදි තිරගතවීමට නියමිතයි. ඒ වගේම ‘සමනළ දඩයම‘ ටෙලි නාට්‍යය එන්න තිබෙනවා. එම නිර්මාණ ප්‍රදර්ශනය වූ පසුව නව නිර්මාණයකට දායක වෙනවා. මගේ මවට මම අවුරුදු අටක් ඇප උපස්ථාන කළා. ඇය දැනට වසර දෙකකට පෙර මියගියා. මහත්තයා නැතිවුණා. අම්මා මියගියාට පසුව ඇය ජීවත් වු කටුනේරිය නිවෙසේත්, පැලවත්ත මගේ නිවෙසේත් මාරුවෙන් මාරුවට ජීවත් වෙනවා‘‘

ඇය කෙතරම් ප්‍රවීණ වුවත්, සම්මානික වුවත් නවක රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් පිළිබඳවත්, කලාව පිළිබඳවත් දරන්නේ සුබවාදී ආකල්පමය සිතුවිල්ලකි. ඇතැම් ප්‍රවීණයන් නවකයන්ගේ රංගනය හෑල්ලුවට ලක් කරද්දී නීටා ඊට හාත්පසින්ම වෙනස් අදහසක් දරන්නීය.

‘‘මම දකින විදිහට හැම රංගන ශිල්පියෙක් වගේම ශිල්පිනියක්ම විශේෂයි. ඒ සෑම කෙනකු තුළම විශේෂ රංගන හැකියා තිබෙනවා. පාංශු චිත්‍රපටයේ මා සමඟ රඟ පෑ නදී කම්මැල්ලවීර, මයුර, ජගත් මනුවර්ණ, ග්‍රේෂ් ආරියවිමල්, ඇතුළු සියලුම ශිල්පීන් සහ ශිල්පිනියන් හොඳින් වැඩකළා. ඒ වගේම තිරය පිටුපස සිටින කාර්ය මණ්ඩලයත් අපට හොඳ සහයෝගයක් දුන්නා. නවකයො දක්ෂයි. ප්‍රවීණයන් ඔවුන්ට මඟ පෙන්වුවහොත් අපේ කලාවට කවදාවත් වරදින්නෙ නෑ. මම හැමදාමත් වැඩ කරන්නෙ ඒ සිතුවිල්ලෙන්‘‘

නීටා කිසිම දිනක සම්මාන බලාපොරොත්තුවෙන් රඟ නොපෑවාය. ඇය කළේ චරිතවලට පණ දීම පමණි.

‘‘මම ආස චරිතවලට මිසක් සම්මානවලට නෙවෙයි. එහෙත් කිසියම් චරිතයකට සම්මානයක් ලැබුණු විට එයට ගෞරවයක්, ආඩම්බරයක් හිමි වනවා. ඒ වගේම මිනිස්සු අතර කතාබහට ලක්වෙනවා. වයලට්, බබා නෝනා චරිත ගැන ප්‍රේක්ෂකයන් කතා වෙන්නෙත් ඒ නිසයි.‘‘ ශ්‍රී ලාංකේය සිනමාව ලෝකයේ ඉහළම තැනකට ඔසවා තබන්නට දායක වුණු ප්‍රවීණ, ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියට සම්මානය වෙනුවෙන් සුබ පැතුම් එක්කරන අතර දීර්ඝායුෂ පතමු.! 

Comments