සමීප රූප | සිළුමිණ

සමීප රූප

 

 

එෆ්.එම්. නාළිකා ගිරා පෝතිකාවනි කටට බ්‍රේක් තිබුණොත් හොඳයි

ඉන්ද්‍රචාපගෙ සමීපරූප අතරට නොයෙක් විකාර එකතුවෙනවා. අපේ රූපවාහිනී නාළිකා දෙක තුනක් දවස් තුන හතරක් බලා ගෙන හිටියොත්, බුදු සන්තෝ පේන්න ගන්න සමීපරූප තොගය. දේශපාලනය ද කලාව ද, සාහිත්‍යය ද, සෞඛ්‍යය ද, අධ්‍යාපනය ද, ඉතිහාසය ද, විද්‍යාව ද, සංගීතය ද, සිනමාව ද, ලෝක දේශපාලනය ද, පරිසරය ද, ආගම ද, අධිකරණය ද, ක්‍රීඩාව ද මෙකී නොකී ඕනෑම විෂයයක් ගැන අපේ ටීවී චැනල්ස්වල ඉන්න විශේෂඥ නෝනලා මහත්වරු, එතකොට නංගිලා මල්ලිලා දෙන ශාස්ත්‍රීය ටෝක්ස් බලා ගෙන ඉන්න කොට ඒ ගොල්ලන්ගෙ දැනුම් සම්භාරය, ගැන හිතිලා අපේ ඇඟ පත හිරි වැටිල යනව වගේ දැනෙනව වෙලාවකට. සමීපරූප අතරින් දකින මේ විද්වත් ශාස්ත්‍රීය කතාවලට අමතරව, රූප නැති වුණාට කතාවෙන් ඉන්ද්‍රචාප මුලින් කියපු ඕනම සබ්ජෙක්ට් එකක් ගැන අවසාන විනිශ්චය දෙන්න පුළුවන් දැනුමැති එෆ්. එම්. නංගිලා මල්ලිලාගෙ කතා අහන්න ඕන නම් දවසෙ ඕනම වෙලාවක ටියුන් කරල බලන්නකො එෆ්. එම්. චැනල් එකක්. ටීවී එකේ රූප එක්ක දෙන පඬි ටෝක්ස් මේ එෆ්.එම්. ගිරා පෝතිකාවො සමීපරූප මවල කියවන කියවිල්ලට ගහන්න කියවිල්ලක් ලොවෙත් නෙවි ලොවි ගහෙත් නැතුව ඇති.

මේ එෆ් එම්. පෝතිකාවන්ගෙ කච බචේ අහල නැති කනක් මොකට ද කියල ඉන්ද්‍රචාපට කල්පනා වෙනව. මේ දෑස් කුමට ද නෙවි, මේ සවන් කුමට ද කියලයි අද අහන්න වෙන්නෙ. ඒ තරමටම කර්ණ රසායනයි, මාධූර්යයි, බුද්ධිමය ආමන්ත්‍රණයයි, සුන්දරයි, අප්පිරියාවයි, ඕක්කාරයයි. මේ කට්ටිය මොනවද නොදන්නෙ? ඒ ගොල්ලන්ට ඔය චැනල්ස් අහන් ඉන්න ඕනම ටාර්ගට් ගෲප් එකක අසන්නන්ට දනුම විනෝදය අධ්‍යාපනය ලැබෙන විදියට කච බච ගාන්න පුළුවන් බව නම් බහුතර ගිරා පෝතිකාවො ඔප්පු කරනවා හැම මොහොතකම, හැම පැයකම. මේ නංගිලා ඒ ගොල්ලන්ගෙ ශ්‍රාවකයො අමතන්නෙ මොන බාසාවෙන් ද කියල නම් ඉන්ද්‍රචාපගෙන් අහන්න එපා. කරුණාරත්න අමරසිංහ වගේ භාෂා විශාරදයකුගෙන් ඇහුවොත් හරි, ජේ.බී. දිසානායක වගේ ජන බස, ජන මාධ්‍ය පිළිබඳ මහාචාර්යවරයකුගෙන් ඇහුවොත් හරි පොඩි අදහසක් ගන්න පුළුවන් වෙයි, මොකක් ද මේ ගොල්ලන්ගෙ භාෂාව කියලා. හැබැයි ඉන්ද්‍රචාපට නම් මේ ගිරා පෝතිකාවන්ගෙ කච බචේ ප්‍රධානම ලක්ෂණය විදියට දැනෙන්නෙ, කට්ටියගෙන් හුඟ දෙනකුගෙ කටවල්වලට බ්‍රේක් නෑ කියන එකයි. එහෙම කතාවක්, ඕ මයි ගෝඩ්, දියවන්නාවෙ කතානායකතුමාටවත් කරන්න බැරිවෙයි. කච බචේ ඩිංගක් පැත්තකින් තියමුකො, මොනවද මේ ගොල්ලො කියවන්නෙ?

ඒ ගොල්ලන්ට නිදහසේ කියවන්න තියෙන දේවල් ගැන ටිකක් අමතක කරමුකො. අසන්නන් දැනුවත් කරන ප්‍රවෘත්තියක්වත් හරියට කියවනව ද මේ පෝතිකාවො? ඉතාම ආසන්න දවසක ගිරා පෝතිකාවක් එයාලගෙ චැනල් එකේ හවස නිව්ස් බුලටින් එකේ හෙඩ් ලයින් එකක් කියෙව්වෙ මෙහෙමයි. ජනපති චීනයට. වැඩ බැලීමට රුවන් විජේවර්ධන. කොහොමද නංගිලගෙ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම? තවත් දවසක දවල් කාලෙක ඉන්ද්‍රචාපට ඇහෙනවා මේ වර්ගයේ පෝතිකාවක් අමුතුම වර්ගයේ උපදෙස් ටිකක් දෙනවා. ඉන්ද්‍රචාපට හිතුණෙ එයා අමතන්නෙ ගෙදර දොරේ ඉන්න අම්මලා අක්කලාට කියල. දරුවන්ට දෙන උපදෙස් තමයි මෙයා කියන්නෙ. මේ උපදෙස් දෙන නංගිගෙ වයස අහන්න ඕන නෑ නේ. දරුවන්ට හොඳ සිරිත් පුරුදු කරන්න ඕනලු, ඒ වගේම ගෙදර දොර වැඩට උදව් කරන්න පුරුදු වෙන්න ඕනලු, ඒ වගේම පිරිසිදුකම ගැන හිතන්න ඕනලු, ඒ වගේම කාල කළමනාකරණය ගැන පොඩි කාලෙ ඉඳලම කියල දෙන්න ඕනලු, ඒ වගේම ජීවත්වන පළාත ගැන දැන ගෙන ඉන්න ඕනලු, ඒ වගේම, ඒ වගේම, ඒ වගේම, අහගෙන ඉන්න කොට ඒ වගේම විතරයි අන්තිමට. ඒ වගේම අප්පිරියාවයි. මේ වර්ගයෙ විහිළුකාරියන්ට මයික්‍රෆෝන් එකක් දුන්නම වෙන හානිය කොච්චරද කියල මේ චැනල්ස් අයිති සමාගම් හිතන්නෙ නැත්තේ ඇයි කියල ඉන්ද්‍රචාපට වැටහෙන්නෙ නෑ. ප්‍රින්ට් මීඩියා, ඉලෙක්ට්‍රොනික් මීඩියා, සෝෂල් මීඩියා, මොකක් වුණත් ඒවට ඇවිත් ලියන කියන කට්ටියට, අත, කට වගේම ඔළුවකුත් තියෙනව නම් තමයි වටින්නෙ. අපිට එෆ්.එම්. වලින් ඇහෙන ගිරා පෝතිකාවන්ට නැත්තෙම ඔළුව තමයි කියල ඉන්ද්‍රචාපට හිතෙනව.

 

අදහස්