රටම වඳ කරපු කුරුණෑගල අ‍ඳෝනාව | සිළුමිණ

රටම වඳ කරපු කුරුණෑගල අ‍ඳෝනාව

සිසේරියන් සැත්කමක පූර්ණ වගකීම විශේෂඥ වෛද්‍යවරයාට

ෂාෆි විශේෂඥ වෛද්‍යවරුන් 8ක් යටතේ සේවය කරලා කාගෙන්වත් පැමිණිල්ලක් නෑ...

SHO ට සැත්කම කළ හැක්කේ විශේෂඥ වෛද්‍ය නිර්දේශයකින් පමණයි

මේ දිනවල රටේ වඩාත් කතාබහට ලක් වන උණුසුම් මාතෘකාව වන්නේ වෛද්‍ය ෂෙයිගු සිතාබ්දීන් මොහොමඩ් ෂාෆි ය. අද වන විට රටේ ජනතාවට මාකඳුරේ මධූෂ් සහ සහරාන් මතක නැත. සියලු දෙනා ඇස් කන් යොමා සිටින්නේ වෛද්‍ය ෂාෆි වෙත ය. ඊට හේතුව කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී ඔහු කළ සිසේරියන් සැත්කම්වල දී එම කාන්තාවන්ගේ අනුදැනුමකින් තොරව වන්ධ්‍යකරණ සැත්කම් කළ බවට නැගෙන බරපතළ චෝදනාවය.

වසර ගණනක් මුළුල්ලේ වෛද්‍ය ෂාෆි විසින් සිදු කළ සිසේරියන් සැත්කම්වලදී සිංහල කාන්තාවන් 4000කට වඳ සැත්කම් කර ඇති බව මාධ්‍ය මඟින් හෙළිදරව් කිරීමත් සමඟය. ඉන්පසුව වෛද්‍ය ෂාෆි සේවය කළ කුරුණෑගල, දඹුල්ල යන රෝහල්වලින් සිසේරියන් සැත්කම් කළ සිංහල කාන්තාවෝ පෝලිම් ගැසී රෝහල් කරා පැමිණෙමින් ෂාෆි වෛද්‍යවරයා විසින් ඔවුන්ට සිසේරියන් සැත්කම් කළ පසුව ඔවුන්ට දරුවන් නොලැබුණු බවට පැමිණිලි කළහ.

එම සැත්කම්වලින් අනතුරුව ඔවුන්ට කොන්දේ කැක්කුම, අතපය හිරි වැටීම් වැනි රෝග ලක්ෂණ ඇති බව ද ඔවුහු පැවසූහ. පසුගිය 5 වැනි දා වන විට කුරුණෑගල රෝහලට මව්වරුන්ගෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 656 කි. දඹුල්ල රෝහලට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 109 කි. මුළු පැමිණිලි සංඛ්‍යාව 765කි. මුස්ලිම් වෛද්‍යවරයකු විසින් සිංහල මව්වරුන් වඳ කිරීමේ යටි අරමුණ සිංහල ජාතිය වඳ කිරීම යන අදහස සිංහල ජනතාවගේ සිත් සතන් තුළ පැලපදියම් වීමත් සමඟ ඔවුන් කෙරෙන් පළ වන්නේ පහන් හැඟීම් නම් නෙ‍ාවේ. වෛද්‍ය ෂාෆිට එරෙහිව සිංහලයන් අවි අමෝරා ගන්නේ එබැවිනි.

මේ වන විට වෛද්‍ය මොහොමඩ් ෂාෆි පොලිස් අත්අඩංගුවේ පසු වෙයි. එහෙත් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කාන්තාවන්ට වඳ සැත්කම් කළ බවට නැ‍ඟෙන චෝදනාවට නම් නොවේ. වෛද්‍ය ෂාෆිගේ වත්කම් උපයා ගැනීමේ ක්‍රම පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට ය. එහෙත් අද වෛද්‍ය ෂාෆි කරළියේ කුප්‍රකට වී සිටින්නේ සිංහල කාන්තාවන් 4000කට වඳ සැත්කම් කළේය යන චෝදනාව නිසාය.

වඳ සැත්කම්

මෙම අවස්ථාවේදී වඳ සැත්කම් කිරීම සම්බන්ධයෙන් දළ අදහසක් ලබා ගැනීම වටී. කාන්තාවන්ට සිදු කරන වඳ සැත්කම් ලංකාවේ හැඳින්වෙන්නේ එල්. ආර්. ටී. නමිනි. මෙහි සිදු කෙරෙන්නේ පැලෝපිය නාල අවහිර කිරීමයි. පැලෝපිය නාල අවහිර කිරීමෙන් ඩිම්බයකට ගමන් කිරීමට ඇති මාර්ගය වැසී යන අතර ඩිම්බය ශුක්‍රාණුවක් සමඟ සංසේචනය වී කලලයක් ලෙස වර්ධනය වීමට ඇති ඉඩකඩ ඇහිරී යයි. එල්.ආර්.ටී. සැත්කමේදී පැලෝපිය නාලය මඳක් ඔසවා එය ලූප් එකක් සම්බන්ධ වන තැනට දිය වන මැහුමක් දමා පසුව ලූපයෙන් කොටසක් කපා දැමීමේ ක්‍රමය ලංකාවේ වඩාත් ජනප්‍රිය ක්‍රමය ලෙස සැලකේ. ඒ හැර පැලෝපිය නාලය මුළුමණින්ම ඉවත් කිරීම ද එක් වඳ සැත්කමකි.

මෙම ඉවත් කිරීමේ සැත්කමෙන් පසු කාන්තාවන්ට නැවතත් දරු උපත් අපේක්ෂා කළ නොහැකිය. එබැවින් මෙම සැත්කම් සිදු කරනු ලබන්නේ සිසේරියන් සැත්කම් 3ක් සිදු කළ මව්වරුන්ට සහ දරු ප්‍රසූතිය අවදානම් කාන්තාවන්ට පමණි.

ඇස් වසා වඳ කිරීම

මෙම එල්.ආර්.ටී. සැත්කම, සිසේරියන් සැත්කමකදී සිදු කෙරෙන නමුත් එය ශල්‍යගාරයේ සිටින සෙසු පිරිසගේ ඇස් වසා සිදු කළ හැකිදැයි යන ප්‍රශ්නය මතු වීම වැළැක්විය නොහැකිය. පැලෝපිය නාලය ගැට ගැසීම වැනි සිද්ධියක් ශල්‍යාගාරයේ සේවයේ යෙදී සිටින කාර්ය මණ්ඩලයට හොර රහසේ කළ හැක්කේ කෙසේදැයි සිතා ගැනීමට අසීරු වන්නේ සැත්කම සිදු කරන ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයාට (SHO) සහය වන වෛද්‍යවරයා, නිර්වින්දන වෛද්‍යවරයා සහ ප්‍රධාන හෙදිය යන අයගේ ඍජු අවධානය රෝගියා වෙත යොමු වී ඇති නිසා ය. ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයා (SHO), ඔහුගේ සහය වෛද්‍යවරයා, නිර්වින්දන වෛද්‍යවරයා, ප්‍රධාන හෙදිය, උපකරණ යනාදිය ලබා දෙන හෙදිය, ඇගේ සහයට සිටින හෙදිය, විදුලි ලාම්පු සීරුමාරු කිරීම හා ඇඳ සකස් කරන කම්කරුවා යන අය ශල්‍යාගාරයක අනිවාර්යයෙන් සේවයේ යෙදී සිටිති. ඇතැම් ශල්‍යකර්ම සඳහා මීට වඩා වැඩි පිරිසක් සේවයේ නිරත වෙති.

සැත්කම සිදු කරන ප්‍රදේශය, ඒ සඳහා භාවිතා වන ශල්‍ය උපකරණ, ශරීර අභ්‍යන්තරයේ කෙරෙන කැපීම් සියල්ලම සහය වෛද්‍ය, නිර්වින්දන වෛද්‍ය සහ ප්‍රධාන හෙදියගේ නිරීක්ෂණයට හසු වේ. මේ සා පිරිස‍කගේ දෙනෙත් රෝගියා වෙත එල්ල වී තිබියදී පැලෝපීය නාලය අවහිර කිරීමේ හැකියාවක් වෛද්‍යවරයකුට තිබේද ?. ඇතැම් ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන් පවසන්නේ සිසේරියන් සැත්කම් සිදු කරන අවස්ථාවකදී පැලෝපිය නාල අතින් පොඩි කිරීමෙන් හානි කළ හැකි බවය.

“සිසේරියන් සැත්කමකදී උදරය කපා විවෘත කළ විට පෙනෙන්නේ ගර්භාෂයේ පහළ ප්‍රදේශය පමණයි. ඩිම්බ කෝෂ, පැලෝපිය නාල ඒ කිසිම දෙයක් පෙනෙන්නේ නැහැ. සිසේරියන් සැත්කමක් කරන විට වෛද්‍යවරයා ඇඟිල්ල දමලා පැලෝපිය නාලය පහතට අදිනවා. එය වෛද්‍යවරයා සමඟ සිටින අයට ‍පෙනෙනවා. ඒ අයට නොපෙනී එය කරන්න බැහැ. ඉතින් කොහොමද කාටත් හොරෙන් පැලෝපිය නාලය මිරිකලා, පොඩි කරලා හානි කරන්නේ? ඒ විදිහට 4000ක් කරන තුරු ශල්‍යාගාරයේ හිටපු කණ්ඩායම නිශ්ශබ්දව සිටියේ ඇයි?.. අවුරුදු ගණනක් තිස්සේ එය සිදු කරන තුරු කිසිම කෙනෙක් කතා නොකළේ ඇයි.

අනික් කාරණය තමයි සැත්කම් කරන විට එකම කණ්ඩායමක් වැටෙන්නේ නැහැ. නිර්වින්දන වෛද්‍යවරයා, හෙදියන්, සහය වෛද්‍යවරයා වෙනස් වෙනවා. අවුරුදු ගණනක් තිස්සේ ඔය විදිහට පැලෝපිය නාලයට අවහිර කරනවා නම් කී දෙනෙක් දකින්න ඕනෑ ද?” යනුවෙන් සඳහන් කළේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ මහාචාර්යවරයෙකි. ඔහු පුවත්පත සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, දුරකථනයෙන් මා අමතා අමාත්‍යාංශයේ ඉහළ බලධාරින් විසින් වෛද්‍ය ෂාෆි සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් පළ ‍නොකරන ලෙස දන්වා ඇති බැවින් ඔහුගේ අනන්‍යතාව සඳහන් නොකරන ලෙස ඉල්ලීමක් කළේය. ඔහුගේ නම සඳහන් නොකරන්නේ එබැවිනි.

වෛද්‍ය සභාවේ හැසිරීම

කෙසේ හෝ මේ වන විට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවද ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරු ද වෛද්‍ය ෂාෆි සිදු කළා යැයි පැවසෙන වඳ සැත්කම් සම්බන්ධයෙන් විද්‍යාත්මක ව කරුණු පැහැදිලි කිරීමෙන් වැළකී සිටිති. ඒ අමාත්‍යාංශයේ ඉහළ බලධාරින් ඔවුන්ට මුඛවාඩම් බැඳ ඇති නිසා ය.

ඒ අතරවාරයේදී ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් එහි සභාපති මහාචාර්ය අතුල කළුආරච්චි ගේ සහ ලේකම් විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු ගේ අත්සනින් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරනු ලැබීය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමියගේ ඉල්ලීම පරිදි සංගමයේ සාමාජිකයන් දෙදෙනෙක් විමර්ශන කමිටුවට පත් කළ බවත් මෙවැනි විමර්ශන සිදු කිරීමට ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයට නෛතික බලයක් නැති බවත්, බලධාරින් විසින් මේ පිළිබඳව කඩිනම් හා පාරදෘශ්‍ය විමර්ශනයක් කිරීමට කටයුතු කළ යුතු බවත් ඔවුන් සෑම විටම ජනතාවට අවශ්‍ය වෘත්තිමය සහය ලබා දීමට ඉදිරිපත් වන බවත් සඳහන් කර ඇත.

මූලික විමර්ශන අතුරු වාර්තාව

වෛද්‍ය මොහොමඩ් ෂාෆිට විරුද්ධව ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පත් කළ සය පුද්ගල විමර්ශන කමිටුවේ මූලික විමර්ශනයේ අතුරු වාර්තාව කමිටු සභාපති වෛද්‍ය අනිල් සමරනායක විසින් අමාත්‍යාංශ‍ය ලේකම්වරියට භාර දෙනු ලැබුවේ පසුගිය 3 වැනිදා ය. එම අතුරු වාර්තාවේ මූලික කරුණු 4ක් ඇතුළත් කර තිබේ. එය මතු දැක්වේ.

01. මූලික විමර්ශනයට අදාළ සිදුවීම් මාලාව දීර්ඝ කාල සීමාවක් තුළ පැතිර ඇති බැවින් හා මේ සම්බන්ධව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාත්මක වශයෙන් ඉතා ඉහළ අගයක් ගෙන ඇති හෙයින් විමර්ශන කමිටුවේ සංයුතිය හා සාමාජික සංඛ්‍යාව පුළුල් කිරීම.

02. අදාළ කාලසීමාව තුළ කුරුණෑගල රෝහල තුළ සීසර් සැත්කමට භාජනය වී ද්විතීය මඳ සරුභාවයට පත් වී ඇති කාන්තාවන්ගේ සියලුම පැමිණිලි විමර්ශනය කිරීම.

03. මෙම විමර්ශනය සහ ඉදිරි කටයුතු සාර්ථකව කර ගෙන යෑම පිණිස අත්‍යවශ්‍ය පරිපාලනමය සහයෝගය කමිටුව වෙත ලබා දෙන ලෙසට කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළු සමස්ත කාර්යය මණ්ඩලය දැනුම්වත් කිරීම.

04. අදාළ කාල සීමාව තුළ කුරුණෑගල රෝහලේ දී සිසර් සැත්කම්වලට බඳුන් වූ පසු මඳ සරුභාවයට පත් වූ සියලුම මවුවරුන්ගේ හා ඒ ඒ සැත්කම සඳහා සහභාගි වූ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සියලුම තොරතුරු කමිටුව වෙත ලබා දෙන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා වෙත දැක්වීම.

මෙහි සඳහන් සිව්වැනි කරුණ අනුව වෛද්‍ය ෂාෆි සමඟ ශාල්‍යාගාරයේ කටයුතු කළ කාර්ය මණ්ඩලය ද අනාවරණය වනු ඇත. එවිට ඔහු සමඟ සියලුම සැත්කම් සඳහා සහභාගි වී තිබෙන්නේ එකම කණ්ඩායමක් ද, ඔවුන් සියලු දෙනා වෛද්‍ය ෂාෆි සිදු කළා යැයි පැවසෙන වඳ සැත්කම් සඳහා සහයෝගය ලබා දුන්නාද, වසර ගණනක් පුරා ඔහු වඳ සැත්කම් කළේ නම් එය දුටු අයකු සිටී ද යන කරුණු රැසක් අපට හෙළිදරව් කර ගත හැකිය.

රෝහල් අධ්‍යක්ෂගේ විරෝධය

එහෙත් මෙම විමර්ශන කමිටුවට සහයෝගය ලබා දීමට කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ ඇතුළු කාර්ය මණ්ඩලය ප්‍රතික්ෂේප කළ බැවින් කමිටු අතුරු වාර්තාවේ සඳහන් කරුණු ක්‍රියාත්මක වේ දැයි සැක සහිතය. කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය සරත් වීර බණ්ඩාර සඳහන් කරන්නේ ඔවුන් සෞඛ්‍ය ඇමතිවරයාගේ විමර්ශන කමිටුව ප්‍රතික්ෂේප කරන බවය. ඊට හේතුව ලෙස ඔහු පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විමර්ශන කමිටුව වෛද්‍ය ෂාෆිට පක්ෂග්‍රාහිව කටයුතු කිරීම බවය.

වෛද්‍ය මොහොමඩ් ෂාෆි අද පුවත් මවන්නකු වී සිටියද, ඔහුගේ වෛද්‍ය වෘත්තීය සේවා කාලය පුරා සිසේරියන් සැත්කම් 8,000 ක් පමණ සිදු කළ ද ඔහු තවමත් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු නොවේ. ඔහු ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයෙක් (SHO) පමණි.

ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයෙකුගේ වගකීම

ශික්ෂණ, ප්‍රාදේශීය හා මූලික රෝහල්වල ශල්‍ය, ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකවලට පත් කරනු ලබන (පශ්චාත් උපාධි නොමැති) ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරුන්ගේ වගකීම් හා කාර්යයන් නම් සිරස්තලය යට‍තේ 1993 ඔක්තෝබර් 5 වැනි දින සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය ජෝ ප්‍රනාන්දුගේ අත්සනින්, මගේ අංකය MAD 43/93 දරන චක්‍රලේඛයට අනුව ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යව‍රුන් ඔවුන්ගේ විශේෂඥ වෛද්‍යවරුන්ට සහාය විය යුතු බව සඳහන් වී ඇත.

රෝගීන්ට කාර්යක්ෂම හා වැදගත් සේවාවක් ලබා දීමේ පරමාර්ථයෙන් වාට්ටු, විශේෂඥ සායන සහ ශල්‍යාගාරවලදී ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරුන් ඔවුන්ගේ විශේෂඥ වෛද්‍යවරුන්ට සහාය විය යුතු බව මෙම චක්‍රලේඛයේ සඳහන් වන අතර ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරුන් විසින් කරුනු ලබන ශල්‍ය /ප්‍රසව/ නාරි ශල්‍යකර්ම යන උප සිරස යටතේ ඇති (අ) ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරුන්ට ශල්‍යකර්ම කිරීමට අවසර දීමට පෙර ඔවුන්ගේ නිපුණතා සහ හැකියාව විශේෂඥ වෛද්‍යවරයා විසින් ඉතා ප්‍රවේශමෙන් තක්සේරු කර තීන්දු කළ යුතුය.

(ආ) ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරුන්ගේ හැකියාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා පූර්ණ ලෙස සෑහීමකට පත් වන්නේ නම් ඔවුන්ට ශල්‍යකර්ම කිරීමට අවස්ථාව දිය හැක්කේ ඕනෑම විශේෂ අවස්ථාවක් සඳහා විශේෂඥ වෛද්‍යවරයා ශල්‍යාගාරය තුළ සිටී නම් පමණි.

වගන්තිවලට අනුව ෂාෆි වෛද්‍යවරයාව තක්සේරු කළ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් සිටිය යුතුය. අනෙක එම චක්‍රලේඛයට අනුව පුහුණු කිරීමෙන් පසුව වුවද ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරුන්ට භාර දිය හැක්කේ සුළු සහ සාමාන්‍ය ශල්‍ය/ ප්‍රසව/ නාරි ශල්‍යකර්ම පමණි.

මෙම චක්‍රලේඛයට අනුව වෛද්‍ය මොහොමඩ් ෂාෆි වෙත එල්ල වන චෝදනාවල වගකීම කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥවරුන් භාර ගත යුතුය. ඔවුන්ට එම වගකීම් පැහැර හැරීමට හැකියාවක් නැත.

“චෝදනාව එල්ල වෙන්නේ ෂාෆි වෛද්‍යවරයාට නම් ඒ වගකීම් භාර ගන්න වෙන්නෙ එයා. එයා කරපු වැරැද්දට වෙන අය වග කියන්න අවශ්‍ය නැහැ. එහෙම නම් මම රෝහලේ අධ්‍යක්ෂ කියලා රෝහලේ කාර්යය මණ්ඩලය කරන වැරදි භාර ගන්න වෙන්නෙ මටයි .” කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීර බණ්ඩාර පවසන්නේ එසේ ය.

කෙසේ නමුදු තොරතුරු සොයා යෑමේ දී වෛද්‍ය මොහොමඩ් ෂාෆි ප්‍රසව හා නාරිවේද ‍විශේෂඥ වෛද්‍යවරුන් අට දෙනකු යටතේ සේවය කර තිබෙන බව සොයා ගැනීමට හැකි විය. එහෙත් එම වෛද්‍යවරුන් මාධ්‍යයට කතා කිරීමට අකමැත්තක් දක්වන‍්නේ ඔවුන්ට ඉහළ බලධාරීන්ගෙන් ප්‍රශ්නයක් ඇති වේ යැයි යන බිය නිසාය.

එමෙන්ම වෛද්‍ය ෂාෆි පිළිබඳව හෝ කාන්තාවන්ට වඳ සැත්කම් කිරීම සහ ද්විතීය මඳ සරුභාවය ගැන විද්‍යාත්මකව කතා කරන වෛද්‍යවරුන්ට ෂාෆිගෙන් මුදල් ලබා ගෙන ජාතිය පාවා දෙන අය ලෙස අපහාස කෙරෙන බැවින් කිසිවකු මේ සම්බන්ධයෙන් කතා කිරීමට ඉදිරිපත් නොවන අයුරු පෙනේ. එක් වෛද්‍යවරියක් ෂාෆි වෛද්‍යවරයා ගැන කතා කළ විට, ඈ වෛද්‍ය ෂාෆි සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වන නිසා ඒ ආකාරයට කතා කරන බවට චෝදනා කළ පුවතක් ද අපට වාර්තා විය.

දේශප්‍රේමී වෛද්‍ය සංගමය

මේ අතරවාරයේදී දේශප්‍රේමි වෛද්‍යවරුන්ගේ සංගමයක් ගැන මුහුණු පොත හරහා දැක ගත හැකි විය. පොදු ජනතාව බිල්ලට ගෙන නිරන්තරයෙන් වැඩ වර්ජනය කරන වෛද්‍යවරුන් අඩුම වශයෙන් රට ගැන, ජාතිය ගැන කැක්කුමකින් සංවිධානය වීම ඉතා හොඳ ය.

“ෂාෆි වෛද්‍යවරයා පැලෝපීය නාල අතින් පොඩි කරලා හානි කළා කියලා අපි හිතමුකො. එහෙම කළා නම් මවට රුධිරය වහනය වීම වැනි සංකූලතා ඇති වෙන්න ඕනෑ. වෛද්‍ය ෂාෆි මා යටතේ කලක් වැඩ කළා. ඔය කියන විදිහේ පශ්චාත් සංකූලතා මට නම් ව‍ාර්තා වුණේ නැහැ. මම දැනුවත්ව කුරුණෑගල රෝහලේ අනෙක් විශේෂඥ වෛද්‍යවරුන් ට වත් එහෙම පැමිණිලි ලැබිලා නැහැ. සාමාන්‍ය සිසේරියන් සැත්කමක් ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයකුට දුන්නාට සිසේරියන් සැත්කමෙන් පසුව එන රෝග හා සංකූලතා ගැන පරීක්ෂා කරන්නේ විශේෂඥ වෛද්‍යවරුන්.

ඒවා ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන්ට දෙන්නේ නැහැ. රුධිර වහනය වීම වැනි විවිධ ආබාධ ඇති වුණු අය අපි ළඟට එන්න ඕනෑ. අපට වාර්තා වන පරිදි සාමාන්‍යයෙන් කුරුණෑගල රෝහලේ මාසෙකට දරු උපත් 1500ක් පමණ සිද්ධ වෙනවා. එයින් 400 – 500ක් වැනි ප්‍රමාණයක් සිදු වෙන්නේ සිසේරියන් සැත්කම්වලින්. සිසේරියන් සැත්කම්වලින් පස්සේ ආබාධ, ප්‍රශ්න තියෙන අය වැඩිපුරු විශේෂඥ වෛද්‍යවරුන් ළඟට එනවා නම්, ඒ සැත්කම් සියල්ලම ෂාෆි වෛද්‍යවරයා කර තිබෙනවා නම් ඔවුන් වෛද්‍ය ෂාෆිට නැවත සිසේරියන් සැත්කම් කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒත් ඔවුන්ට එහෙම දෙයක් කවදාවත් වාර්තා වෙලා නැති බව ඔවුන් කියනවා.” යනුවෙන් සඳහන් කළේ වෛද්‍ය ෂාෆිව කලක් මෙහෙයවූ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකි.

පැමිණිලි පෝලිම

නමුත් මේ වන විට මවුවරු ෂාෆි වෛද්‍යවරයාට විරුද්ධව පැමිණිලි කිරීමට පෝලිමේ පැමිණෙති. මෙතරම් වි‍ශාල සංඛ්‍යාවක් වෛද්‍යවරයාට එරෙහිව වන විට මෙහි කුමක් හෝ ඇත්තක් ඇතැයි කෙනෙකුට සිතුණා නම් එය පුදුමයට කාරණයක් විය යුතු නැත.

“අපි ඉස්සෙල්ලාම මේ මවුවරුන්ගේ ගැටලු සැබෑ ලෙස හඳුනා ගන්න ඕනෑ. සමහරු කියනවා කොන්දේ කැක්කුම, අත පය හිරි වැටීම වැනි රෝග ලක්ෂණ. ඒ එකක්වත් මඳ සරුභාවයේ රෝග ලක්ෂණ නොවෙයි. තවත් අම්මලා එනවා 2017 බබා ලැබුණේ, ඊළඟට පිළිසිඳ ගත්තේ නැහැ කියලා. බබාට මවුකිරි දීම නවත්වලා උපත් පාලන ක්‍රම කිසිවක් නැතිව අවුරුද්දක් විතර ගියාට පස්සේ තමයි බබෙක් නැත්තේ ඇයි කියලා බලන්න පුළුවන්. 2017 බබාලා ලැබුණු අම්මලාව මේ පැමිණිලි ගොඩට දාන එක වැරදියි.

ඒ විදිහට ලැබෙන පැමිණිලිවලින් අවධානය යොමු කළ හැකි පැමිණිලි මොනවාද ප්‍රතික්ෂේප කළ හැකි පැමිණිලි මොනවාද කියලා වෛද්‍ය විද්‍යානුකූලව වෙන් කර ගෙන ඉදිරි පරීක්ෂණ කරනවා නම් ඉතා හොඳයි. නැති නම් කිසිම පදනමක් නැතිව පැමිණිලි සංඛ්‍යාව ඉහළ යනවා.” යනුවෙන් කාලයක් කුරුණෑගල රෝහලේ සේවය කළ එක් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක් පැහැදිලි කළේය.

ෂාෆි එල්ලන්න පෙර

අප සමඟ පුවත්පත් සාකච්ඡාවට එකතු වූ තවත් ප්‍රසව හා නාරිවේද විශේෂඥ මහාචාර්යවරයෙක් පවසන්නේ වර්තමානයේ මවුවරුන්ගෙන් 10% කට පමණ ද්විතීය මඳ සරුභාවය දක්නට ලැබෙන බවය. ගැබ් ගැනීමකදී ඩිම්බයක් ගමන් කරන්නේ නාලය තුළ ඇති කෙඳි චලනයෙන් සහ ඒ තුළ ඇති තරලය මාංශපේශිවල ක්‍රියාකාරිත්වයෙන් ඉදිරියට තල්ලු වීමෙනි.

මෙම කාලය තුළ නාලයේ ඇති තරලය සුවිශේෂි තරලයක් ලෙස සැලකේ. මන්ද ඩිම්බය සංසේචනය වී සෑදෙන යුක්තානුව දින 5- 7 අතර වර්ධනය වීමෙන් පසුව ගර්භාෂය කරා තල්ලු වී ගොස් ගර්භාෂයේ තැන්පත් වන තුරු යුක්තානුව නොනැසී තබා ගැනීමට අවශ්‍ය පෝෂණ ද්‍රව්‍ය, ආම්ලිකතාව සහ උෂ්ණත්වය රඳවා තබා ගන්නේ මෙම තරලය වන නිසාය. මෙම කරුණු වෙනසක් වුවහොත් මවට පසු අවස්ථාවක ගැබ් ගැනීමට හැකි නොවේ. ඊට අමතරව පැලෝපීය නාලය යම් පැසවීමකට භාජනය වීම, රුධිරය ඇතුළු වීම, ගබ්සා වීම, මවට සමාජ රෝග වැලඳී‍ම වැනි කරුණු රැසක් ද ද්වීතීය මඳ සරුභාවයට හේතු වේ. වෛද්‍ය ෂාෆිට විරුද්ධව පැමිණිලි කරන මවුවරුන්ගේ වඳභාවය පරික්ෂා කළ යුතු වන්නේ ද්වීතීය මඳ සරුභාවය 10% දක්වා වර්ධනය වී ඇති පසුබිමක සිට ය.

මේ සඳහා HSG යනුවෙන් හැඳින්වෙන එක්ස් - රේ පිටපතක් ලබා ගැනීම සහ ලැපරස්කොපි පරීක්ෂණය යොදා ගත හැකි බවත් එම ක්‍රම ලොව පිළිගත් ක්‍රම ලෙස භාවිත වන බවත් මහාචාර්යවරයා සඳහන් කළේ පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු වෛද්‍ය ෂාෆි සැකකරුවකු මිස වරදකරුවකු නොවන බව ද අවධාරණය කරමිනි.

අදහස්