SISILI සමාගම මෙරට ප්‍රථම EECP ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කරයි | සිළුමිණ

SISILI සමාගම මෙරට ප්‍රථම EECP ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කරයි

වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥ සමාගමක්වන Sisili සමාගම මෙරට ප්‍රථම රුධිර වාහිනී ආශ්‍රිත රෝග සඳහා කැපීම්වලින් තොර ප්‍රතිකාර සහ බාහිර රෝගී කළමනාකරණ හෘද ප්‍රතිකාර මධ්‍යස්ථානය පසුගියදා විවෘත කළේය. සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූයේය. මෙම හෘද ප්‍රතිකාර මධ්‍යස්ථානය (HearAid Centre) හරහා ශ්‍රී ලාංකිකයන් හට නවත ම බාහිර ස්පන්දන චිකිත්සක (Enhanced External Counter Pulsation) පද්ධතියට ප්‍රවේශ වීමේ අවස්ථාව හිමිවී ඇත.

බෝ නොවන රෝග ශ්‍රී ලංකාවට දැන් ගැටළුවක් බවට පත්ව තිබෙන නිසා එම ක්ෂේත්‍රය සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රමුඛතාවක් ලෙස සලකා කටයුතු කරනවා. රෝහල්ගත මරණවලින් 65%කට ආසන්න ප්‍රතිශතයක් සිදු වන්නේ හෘද රෝග, හදිසි හෘද රෝග, දියවැඩියාව සහ නිදන්ගත ශ්වසන රෝග ආදී ප්‍රධාන පෙළේ බෝ නොවන රෝග නිසයි. හෘද රෝග හදිසි ප්‍රතිකාර ලබාදිය යුතු රෝග ඝණයට ගැනෙන අතර ඒ සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ අවධානය කඩිනමින් අවශ්‍ය වනවා. මෙවැනි කැපීම්වලින් තොර නවීන ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පුද්ගලික අංශයෙන් ගොඩනැගීම හරහා රෝගීන් හට මෙරටදී ම එම සේවාව ලබා ගැනීමට හැකිවනවා. සෞඛ්‍ය අමාත්‍යංශය මෙම ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබාදෙන අතර මෙරට ජනතාවට ප්‍රමිතියෙන් උසස් සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා ජාතික වශයෙන් අප සතු හැකියාව තවත් පුළුල් වීමට මෙවැනි ව්‍යාපෘති බලපානවා යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළේය.

EECP චිකිත්සක පද්ධතිය යනු දීර්ඝ කාලයක පටන් ස්ථාවරව පපුවේ වේදනාව (Chronic Stable Angina) පවතින රෝගීන් හට රුධිර නාල අවහිරය ඉවත් කිරීමේ විකල්පයෙන් තොරව කැපීම්වලින් තොරව ප්‍රතිකාර කළ හැකි ස්ඵන්දන මෙවලමකි. මෙය, පපුවේ වේදනාව (Angina) සහ හෘදය අකර්මන්‍ය වීම (Heart Failure) වැනි සංකීර්ණ රෝග සහිත රෝගීන් හට දැනට පවතින නවීනත ම මෙවලම් පෙළකි. මෙම පද්ධතිය නූතන සැකැස්මකට අනුව ගොඩනගා ඇති බැවින් එමගින් රෝගියාගේ පහසුව තහවුරු කරමින් රෝගී පරික්ෂාව වැඩිදියුණු කිරීමටත්, වෛද්‍යවරුන් හට භාවිතය පහසු කිරීමටත් හැකිවේ.

අදහස්