මිය ගිය පැටවා සොඬෙන් ගෙන වනයේ සරනා ඇති­න්න­කගේ කතාව | සිළුමිණ

මිය ගිය පැටවා සොඬෙන් ගෙන වනයේ සරනා ඇති­න්න­කගේ කතාව

‍වෙන­දාට වඩා වැඩි ගෝර­නා­ඩු­වක් වැව් පිටිය දෙසින් ඇසෙ­න්නට පටන් ගෙන හෝරා­වක් දෙකක් ගත වී ඇත. සවස් වෙද්දී එකා පසු පස එකා බැගින් එක­සිය පන­හක් දෙසී­යක් පමණ වන වන­අලි රංචු වැව් පිටි­යට පැමිණ නිහ­ඬ­වම තණ පත් බුදීම මේ දින­වල සුලභ දසු­නකි. ඒ අතරේ රැළෙන් කිහි­ප­දෙ­නෙක් වැව දෙසට ඇදෙන්නේ වතුර පොදක් බොනු රිසි­යෙනි. එසැ­ණින් ජල­යෙන් නික්ම වැව් පිටිය වෙත ඇදී එන්නේ තණ කොළ කෑම­ටය. ජලා­ශයේ ජල මට්ටම ක්‍රම­යෙන් අඩු වෙද්දී එසේ අඩු වන වප­ස­රියේ ඇති තෙතැති පසේ දිය­සී­රා­වට අලුත් තණ­පත් මෝදුවේ. සවස් කරේ වට වැහි අල්ලක් දෙකක් නිසා තණ පිටියේ මෝදු වන ළා තණ පත් අලින්ට මේ දින­වල රස බොජු­නකි. වනයේ විවිධ ඉස­ව්වල සිට වැව් පිටිය කරා ඇදී එන වන අලි රංචු­ව­ලට සැරි­සැ­රී­මට මින්නේ­රිය ජලාශ පිටියේ ඕනෑ­ව­ටත් වඩා ඉඩ­ක­ඩය.

සුපු­රුදු දින චර්යාව එසේ වුවත් අද නම් වන අලි රැලේ කිසි­යම් වෙන­සක් දක්නට ලැබීම අප කාගේත් සිත්හි ඇති කළේ කුකු­සකි. වනයේ සිට පිටි­යට එන වන­අලි ද වැව් පිටියේ විසිරී සිටින සෙසු සාමා­ජි­ක­යින් වෙතට යති. සියලු වන­අ­ලින් කවා­කා­රව රැළ මැදට වී සිටි ඇති­න්නක වෙත ආර­ක්ෂාව සප­ය­න්නාක් මෙන් පෙනේ. කිසි විටෙක හෝ රැළේ මැද සිටින අලින් පිට­තට නොපෙනී ආව­ර­ණය කර­මින් සිටී­මට උත්සාහ ගන්නා බවකි. මේ නම් කලා­තු­ර­කින් නිරී­ක්ෂ­ණ­යට ලක්කි­රී­මට ලැබෙන වන­අ­ලින් සතු දුර්ලභ චර්යා­වකි. ඇති­න්න­කට දරු ප්‍රසූ­ති­ය­කදී, අලි­යකු හෝ පැට­වකු තුවාල ලැබ අස­රණ වූ විටෙ­කදී හෝ පැට­වුන් බාහිර අන­තු­ර­කින් ආරක්ෂා කිරී­මට මෙන්ම මර­ණ­ය­කදී මෙවැනි හැසි­රීම් වන­අ­ලින් අත­රින් දක්නට ලැබේ. මෙවැනි අවස්ථා යනු වන අලින් දුකෙන් සහ කෝප­යෙන් සිටිනා අවස්ථා ලෙසද හැඳි­න්විය හැකිය.

අලි විලාප

වන­අලි රංචුවේ මැදට වෙන්නට සිටින අලි­ය­කුගේ ගෝර­නා­ඩු­වක් ඔය අතරේ නැඟී ආවේ මේ වන­අලි රැළේ සාමා­ජි­ක­ය­කුට මොන­යම් හෝ විප­ත්ති­යක් සිදුව ඇති බවක් අප සිත්හි ජනිත කර­ව­මින්ය. ඔය අතරේ කවා­කා­රව එක්ව සිටි වන අලින් කෙමෙන් ඈත්මෑත් වන්නට විය. ඒ අතරේ එක දිගට ගෝර­නාඩු කර­මින් කවය මැදට වන්නට සිටි අලි­යකු පිට­තට පැමි­ණියේ තවත් මහ හඬින් ගෝර­නාඩු නග­මින්ය. ඒ හඬේ ඇත්තේ කිසි­යම් වේද­නා­වකි. විලා­ප­යකි. පිට­තට පැමි­ණියේ ඇති­න්නකි. ඇයගේ පැමී­ණී­මත් සමඟ කවය මැදට වන්නට සිටි අනෙක් වන­අ­ලිද එකා දෙන්නා බැගින් ඉව­තට ඇදී ආහ. දැන් වන­අ­ලින්ගේ විසල් උදර හා වංගෙඩි පා අත­රින් මැද හොඳින් පෙනේ. අලි කවයේ මැදට වන්නට පුංචි අලි පැට­වෙක් වැතිර හිඳී. හේ නිසො­ල්මන්ය. මේ පුංචි අලි පැටවා අස­ලට දිව යන ලොකු අලියා නොවැ­ර­දී­වම මවු ඇතින්න විය යුතුය. සෙසු අලි දිගු සොඬ­වැ­ල්ව­ලින් පුංචි අලි පැටවා වැතිර සිටින දෙසට යන මවු ඇති­න්නගේ හිසත් සොඬත් ස්පර්ශ කරන්නේ ඇගේ සිත සන­ස­න්නට මෙනි. ඒ සියලු අස්ව­සා­ලීම් මැද ඇගෙන් දිස් වන්නේ කල­බ­ල­කාරී හැසි­රී­මකි.

පිටත සිට මේ වන­අලි හැසි­රීම් දෙස බලා සිටින අපට සිතෙන්නේ අලි පැටවා කිසි­යම් විප­ත්ති­ය­කට මුහුණ පා ඇති බවත් මවු ඇතින්න මේ හදිසි විපතේ දුකින් පීඩා­වට පත්ව කෑ මොර ගසනා බවකි. අලි මව සහ පැට­වාට විප­තක් බව දැන­ගත් අලි රැළ දෛනික හුරු පුරුදු අත­හැර ඔවුන් දෙදෙනා සමී­පයේ පසු වන්නේ දුක බෙදා ගැනී­මට මෙනි.

වන­අලි රංචුව මැද වැතිර ගත්ව­නම පසුවූ වන­අලි පැටවා දෙසට ළංවූ මවු ඇතින්න යැයි සිතිය හැකි ඇතින්න තම ඉදිරි පාද­යෙන් සියුම් ලෙස පැටවා සොල­ව­න්නට වූයේ වැතිර ගත් පැටවා අවදි කර­න්නට මෙනි. නමුත් පැටියා නිසො­ල්ම­නේම වැතිර ගත් වන­මය. පෙනෙන හැටි­යට නම් මේ පැටවා ගැඹුරු නින්දක සිටින්නා සේය. මීළ­ඟට හැඩි­දැඩි ඇති­න්නක් ඔවුන් දෙදෙනා අස­ලට ගොස් වැතිර සිටින පැටවා සොඬ­ඟින් ඉව කර­න්නට වූවාය. ඇය ළයෙහි සිර කර ගත් මහා සුසුම් පොදක් පැටවා දෙසට පිඹ හැරියේ යම් බලා­පො­රො­ත්තු­වක් ඇතිව විය යුතුය. නමුත් අලි පැට­වාගේ බාහිර රෝම­කූප එම සුළ­ඟින් සැලෙනු මිස අලි පැටවා වැතිර සිටි ඉරි­ය­ව්ව­නම් වෙනස් නොවීය. ඒ බව වටහා ගත් වැඩි­හිටි ඇතින්න සියුම් කුංච­නා­ද­යක් නඟා තම සොඬ මවු ඇති­න්නගේ බඳ වටා යව­මින් තමන් වෙත ළං කර ගත්තේ සිදුව ඇති දේ මේ ළාබාල මවට පහදා දෙන්නාක් මෙනි.

මිනිස් කුයිල ඉව වැටී

විප­තට පත් අලි­ම­වගේ ශෝකී­රා­වය වන අලින්ගේ කෑ මොර­දීම් අතරේ වුවද පැහැ­දි­ලිව අව­බෝධ කර ගත හැකිය. මේ නම් නිදා ගෙන සිටිනා පැටවා අවදි කර ගත නොහී කෑ මොර ගසනා මව­කගේ කෑ මොර­යක් නොවන බව වනයේ කල්ගත කරන කෙන­කුට නොර­හ­සකි. ඒ පිළි­බඳ විප­රම් කර බැලිය යුතු­මය. වන­ස­තුන් විප­තට පත් වූ කල ඒ ගැන සොයා බලා පිහි­ට­වීම වන­ජීවී සංර­ක්ෂණ නිල­ධා­රීන් සතු වග­කී­මකි. එවැනි අව­ස්ථා­ව­න්හීදී ඔවුන් තම ජිවිත පවා පර­දු­වට තබ­මින් රුදුරු වන­ස­තුන් අභි­මු­වට ගොස් විප­තට පත් සතුන් ගැන සොයා බල­මින් පිහිට වන්නේ තම­න්ගෙන් ඉටු විය යුතු වග­කී­මක් හා යුතු­ක­මක් සේ සිත­මිනි. එවැනි රාජ­කා­රි­ව­ලදී දිවි­යෙන් පවා සමු­ගත් වන­ජීවී නිල­ධා­රීන් වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ සිටි බවද සිහි­පත් කරන්නේ ඔවුන්ට කෘත­ගුණ දැක්වි­මක් වශ­යෙනි.

මින්නේ­රිය ජාතික උද්‍යා­න­යට අනු­යු­ක්තව සේවයේ නියුතු වන­ජීවී සංර­ක්ෂණ නිල­ධා­රීන් ද මේ මොහොතේ සූදා­නම් වන්නේ මේ නිසො­ල්මනේ පසු­වන වන­අලි පැටවා පිළි­බඳ විප­රම් කර බැලී­ම­ටය. විවෘත තණ පිටි­යක එවැ­න්නක් කිරීම ද අප­හ­සුය. මන්ද යත් සුළං හමනා දිශාව ද නිශ්චිත වන්නේ නැත. මෙතෙක් අලි රැළ සිටි පැත්තේ සිට වන­ජීවී නිල­ධා­රීන් සිටි දෙසට හමා ගිය සුළං, එක්ව­රම අනෙක් පසට ගමන් කරන බව වැට­හුණේ මිනිස් කුයි­ලය දැනී වන අලින් යළිත් අලි පුංචා වට­ක­ර­ගත් නිසාය. දැන් නම් අලි පැටවා තබා මවු ඇති­න්න­වත් නොපෙනේ. වන­අලි රැළේ නාය­ක­ත්වය හිමි වන්නේ පරි­ණත ඇති­න්න­ක­ටය. ඈ මුළු රැළම මෙහෙ­ය­ව­න්නීය. වටේට සිටින්නේ හයි­කාර ඇති­න්නන් බව­නම් ඒකා­න්තය. ඇති­න්නියෝ දිඟු සොඬ ඇන්ටෙනා මෙන් ඉහ­ළට ඔස­ව­මින් සුළං පහර ඉව කර­මින් මිනිස් කුයිල ඉව කරති.

වන­අ­ලින් සිටින විවෘත තණ පිටිය දෙස වනයේ ගස් අතරේ සිට කොතෙක් වෙලා බලා සිටි­යත් මේ අලි­ප­වුරේ නම් සෙල­වී­ම­ක්වත් නැත. එහෙත් සුළං හමනා අත කෙසේ වුව විප­තට පත් අලි පැට­වාට පිහි­ට­වී­ම­ට­නම් එතැ­නට ළංවිය යුතුය. අප වන­අ­ලින් සිටින දෙසට ළං වත්ම රැළේ සාමා­ජි­ක­යින් අතරේ යම් නොස­න්සුන් තාවක් ඇති විය. රැළ මැද්දේ සිටින මවු ඇති­න්නි­ය­ගෙන් වඩාත් ප්‍රකෝ­ප­කාරී හැසි­රී­මක් පෙනේ. ඇතින්න මහා හඬින් කුංච නාද කර­මින් අලි කව­යෙන් ඉදි­රි­යට දිව ආවේ ප්‍රහා­ර­ය­කට මෙනි. ඇගෙන් පළ­වන්නේ භයං­කර ලීලා­වෙනි. නගුට රිටක් මෙන් උඩට දික් කර­ගෙන සොඬ අග මුවේ රුවා ගෙන විසල් උද­රය පුම්බා ගත් ඈ දකිද්දී සිතුණේ මිනිස් කුයිල දැනුණු දෙසට දුව­විත් මේ දැන් ප්‍රහා­ර­යක් එල්ල කරනු ඇතැයි කියාය. නමුත් සිදු වුයේ නොසිතූ දෙයකි. මදක් ඉදි­රි­යට දිව ආ ඇතින්න හිටි­ව­නම නතර වූවාය. ආපසු හැරුණු ඇය එක් වරම අලි කවය මැදට යළි දිව ගොස් බිමට පාත් වෙන අන්දම අප බලා සිටියේ පුදු­ම­යෙනි. නමුත් එතැ­නින් පසුව සිදු වන්නේ කුම­ක්දැයි අපට නොපෙනේ. සෙසු වන අලි යළිත් වරක් ඈ වට­කර ගත්හ.

ප්‍ර‍ෙකා්පකාරී වූ ඇතින්න

මද වේලා­වක් රැඳී සිටිද්දී නායක ඇතින්න නැඟූ කුංචනා හඬට අව­නත වෙමින් පිටත කවයේ වන අලි කීප­දෙ­නෙකු එහා­මෙ­හා­වෙත්ම ඒ හිඩැ­සින් දුටු­දෙ­යින් මෙප­මණ වේලා­වක් අලි රැළේ හැසි­රීම් දෙස අව­ධා­න­යෙන් බලා සිටි අපි සැවොම මවිත වීමු. මව් ඇතින්න සොඬෙන් ඔසවා ගත් යම් දෙයක් පරි­ස්ස­මෙන් ඔසවා ගෙන ඉදි­රි­යට පැමි­ණෙ­මින් සිටි­න්නීය. පෙර තිබූ ආවේ­ග­කාරී බව වෙනු­වට ඈ වෙතින් ප්‍රද­ර්ශ­නය වන්නේ පරා­ජිත ස්වරූ­ප­යකි. හීන් හඬින් කැඩුණු ඉකි­යක් නඟ­මින්ම ඇය ඔසවා ගෙන ආයේ පුංචි පැට­වාගේ සිරු­රය. ඇතින්න සොඬින් පැටවා ඔසවා ගෙන සිටි ආකා­ර­යෙන් පෙනුණේ ඒ පැටවා ජීව­යෙන් තොර වූවකු බවය.

ඇතින්න තම සොඬෙන් පැට­වාගේ නගුට තදින් ග්‍රහ­ණය කර ගෙන ඔසවා ගෙන හිඳියි. පැට­වාගේ කුඩා හිස පහ­තට වැටී ඇත. මවගේ ගම­නට අනුව පැට­වාගේ පුංචි සොඬ ඒ මේ අත සෙලවේ. පැටවා මිය ගොස් ඇතිවා නිසැ­කය. එසේ මිය ගොස් ඇත්තේ අලුත උපන් අලි පැට­යෙකි. පැටවා මිය­ගොස් සිටින බව දැන දැනත් ඇතින්න පැටවා අත නොහැර යන්නේ මවු සෙනෙ­හස නිසාය. පැටවා සුපු­රුදු පරිදි තමන් අසල දැව­ටෙ­මින්, කිරි බුරු­ල්ලට හොඬ නොත­බන බව දැන දැනත් ඇය තමන් යන සෑම තැන­ක­ටම මේ ආකා­ර­යට පුංචි අලි පැටවා රැගෙන යන්නීය. ඇය ආහාර බුදි­ද්දීද පැටවා තම සිරු­රුරේ ගෑවෙ­මින්ම තබා ගන්නීය.

ඇති­න්නක සන­සන වන අලි

ඒ පැටවා මළ පැට­වකු බව ඒත්තු ගැන්වී­මට උත්සාහ කළද ඉන් ඵලක් නොවන බැව් වටහා ගෙනදෝ වැඩි­හිටි ඇති­න්නියෝ දරු වියෝ­වෙන් දුකට පත් මවු ඇති­න්නට කිසිදු හෝ විරු­ද්ධ­ත්ව­යක් නොපෙ­න්වති. නමුත් ඇතුම් විට ඒ බව වටහා දීමට උත්සාහ ගන්නා ආකා­ර­යක්ද රැළේ පරි­ණත ඇති­න්නන්ගේ පෙනේ. එවැනි අව­ස්ථා­ව­න්හීදී ඊට එකඟ නොවන මවු ඇතින්න නුරු­ස්සනා හඬින් කෑ මොර නඟ­න්නීය. එවිට ඇය කරන්නේ පැටවා නඟු­ටෙන් ඔසවා ගෙන දිව යෑමය. මේ දෙස දෙස බලා සිටි අපට සිතුණේ ඇතින්න කුළු­දුලේ පැට­වකු බිහි කළ අත්දැ­කීම් අඩු මවක විය යුතු බවයි. එබැ­වින්දෝ රැළේ සෙසු සාමා­ජි­කයෝ මවු ඇති­න්නට ඇත්ත ඒත්තු යන තෙක් කල් මර­මින් සිටිති.

සාමා­න්‍ය­යෙන් වන­අලි ඇවිද යමින් ආහාර බුදි­මින් සංචා­රක දිවි පෙව­තක් ගත කිරී­මට ප්‍රිය කරති. මෙවැනි අන­පේ­ක්ෂිත අව­ස්ථා­ව­කදී වුව රැළේ සුපු­රුදු දින චර්යා­වට බාධා එල්ල වෙද්දී අලි රැළක සාමා­ජි­ක­යන් දක්වන්නේ අස­තු­ටකි. එවැනි අව­ස්ථා­ව­න්හීදි රැළේ සුපු­රුදු දින චර්යා­වට මෙවැනි සාමා­ජි­ක­යන් බාධා­වක් නොවනු පිණිස තනි­යෙන් හැසි­රි­මට වන­අලි පෙල­ඹෙති. අලි පැට­වුන් වන­ජීවී නිධා­රීන්ගේ භාර­යට පත් වන්නේ පැට­වාගේ මවගේ වියෝ­වී­මෙන් පසු එවැනි පැට­වුන් රැළෙන් ප්‍රති­ක්ෂේප වීම හේතු­වෙනි. මවු කිරි අහි­මි­වන එබඳු පැට­වුන් දින ගණන් වනයේ අත­රමං වෙමින් කුස­ගි­න්නෙන් පීඩි­තව දුර්ව­ලව හමු­වන අවස්ථා එම­ටය. පුංචි පැට­වුන් මිය ගිය පසුව ඒ පැටවා සමඟ දව­සක් දෙකක් ගත කරන මවු ඇතින්න තත්ත්වය වටහා ගැනී­මෙන් පසු මිය­ගිය පැටවා අත­හැර යළිත් රැළේ සාමා­ජි­ක­යින් සමඟ එක­තු­වීම සාමාන්‍ය සිදු­වී­මකි.

පැටවා මිය ගිය අලුත ඒ අස­ලම ගැව­සෙ­මින් මළ පැටවා තම සිරුරේ ගෑවෙ­මින්ම තබා ගනි­මින්, යන යන තැන ඔසවා ගෙන යන මෙවැනි ළාබාල ඇති­න්නන් ගැනද වාර්තා වන අවස්ථා නැතිවා නොවේ.

මින් වසර කිහි­ප­ය­කට පෙරා­තුව මෙබ­ඳුම සිද්ධි­යක් නිරී­ක්ෂ­ණය කළ වන­ජීවි නිල­ධා­රි­යෙක් තමා ලද අත්දැ­කීම මා හා විස්තර කළේය. “එක දව­සක් මං කැලේ ඇතුළේ යද්දි තනිවූ ඇති­න්නක් දැක්කා. එවැනි ඇති­න්නන් හමු­වීම සාමාන්‍ය දෙයක් වුවත් මේ ඇති­න්නගේ යම් අමු­ත්තක් මට පෙනුණා. ඇතින්න හිටියේ තණ කොළ කමින්. ඇති­න්නගේ පැත්ත­කින් ගෝනි පඩං­ගු­වක් වගේ දෙයක් මං දැක්කා. මේ ඇතින්න හැම වෙලේම මේ ගෝනි පඩං­ගුව හොඬෙන් ඉව කර­නවා. මං හුළං අත­බලා ඇති­න්නට ළංවෙලා විප­රම් කළා. ඇතින්න ඉන්න පැත්තෙන් මට ආවේ කුණු ගඳක්. ළංවෙලා බලද්දි දැක්ක දෙයින් මං පුදුම වුණා. ඇති­න්නගේ පා මුල ගෝනි­යක් වගේ තිබුණේ මැරුණු පැට­වෙ­කුගේ කුණක්. ඒක වේලිලා ගිහින්. පැටියා මැරිලා කියා දැන­දැ­නත් ඇතින්න යන යන තැන මළ­කුණ අරන් යනවා. ඒ ඇතින්න රැළෙ­නුත් වෙන්වෙලා.”

මෙවන් සිදු­වීම් දකිද්දී අපට සිහි­පත් වනුයේ අලුත උපන් බිලි­ඳුන් මහ­මඟ අතැර දමා පැන යන අපගේ ඇතැම් මවු­ව­රුන්ය. එවන් කලෙක වන සතුන්ගේ මෙවැනි හැසි­රීම් අපට කියා පාන්නේ වන සතුන්ගේ මව් සෙනෙහේ අරු­මය නොවේද?

සේයාරූ - රෝහිත ගුණ­ව­ර්ධන

අදහස්