මාධ්‍යයේ විකෘති වියරුව | සිළුමිණ

මාධ්‍යයේ විකෘති වියරුව

සිංගප්පූරු ජනතාවගේ සදාදරණීය නායකයා ලෙස සැලකෙන හිටපු අගමැති ලී ක්වාන් යූ අදද එරට තරුණ-තරුණියන් වෙතින් පවා වන්දනීය සැලකුම් ලබන්නෙකි. ඒ ඔහු සිංගප්පූරුව ආසියාවේ ප්‍රබලතම රාජ්‍යයක් බවට පත් කරන්නට අවැසි දර්ශනය සහ නායකත්වය දුන් නිසාය. ‘ලී ක්වාන් යූ’ නාමය ලෝක නායකයන් අතර දිදුලන සමයක් වූ 80 දශකයේ අග භාගයේදී -එනම් 1988දී- ඔහුට ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී එරට පුවත්පත් කතුවරුන්ගේ සංගමය අමතා දේශනයක් පවත්වන්නට අවස්ථාව හිමි විණි. මේ අවස්ථාව පෑදෙන්නට ආසන්නතම හේතුවක් තිබිණි. ඒ, ඇමෙරිකාවේ පමණක් නොව; ලෝකයේම පරසිදු ආර්ථික ප්‍රකාශනයක් වන ‘වෝල් සට්‍රීට් ජර්නල්’ පුවත්පත සිංගප්පූරුවේ විකිණීම තහනම් කිරීමට ඔහුගේ රජය පියවර ගැනීමය. මේ සිදුවීමෙන් ටික කලකට පසු ඇමෙරිකාවේදී එරට පුවත්පත් කතුවරුන් අමතා ඔහු කළ දෙසුමේදී ඒ පුවත්පත් තහනමට හේතු වූ කරුණු හෙතෙම පැහැදිලිව විග්‍රහ කළේය.

ඒ කතාව තරමක් දීර්ඝ එකකි. එහෙත් සංක්ෂිප්තය ගත හොත් ඔහු පවසන්නේ ඇමෙරිකාවේ මෙන් ජනමාධ්‍යයට අසීමිත නිදහසක් දුන හොත් එය සිංගප්පූරුව වැනි විවිධ ජාතීන් ජීවත් වන කුඩා රටක ඒකාග්‍රතාවට හානියක් විය හැකි බවයි. තම රටේත්, කලාපයේත් අනන්‍යතාව රඳවාගෙන යන දියුණුවේ ගමනට එය බාධාවක් විය හැකි බවයි. මේ කරුණ සාධාරණීකරණය කරන්නට ඔහු කරන කතාවේ ලී ක්වාන් යූ අගමැතිවරයා ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය භාවිතය ගැනද විශේෂ සඳහනක් කළේය. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ජනමාධ්‍ය භාවිත වන ආකාරය අනුව, ඒවා හැසිරෙන ආකාරය අනුව රටේ බෙදීමක්, ඒකාග්‍රතාවක් නැති කිරීමක් සහ අසමතුලිත විභේදනයක් නිර්මාණය වී ඇති බව ඔහු එහිදී පෙන්වා දෙයි. විවිධ ජාතීන් ජීවත් වන, විවිධ ආගම් අදහන ජනතාව සිටින රටක් ලෙස ඒ ඒ ජන කොටස්වල අනන්‍යතාව සමඟ ජීවත් වීමට සහ රටේ සංස්කෘතික ලක්ෂණවලට අනුගතව රට ඉදිරියට යෑම වෙනුවට මේ ජනමාධ්‍ය මඟින් රටේ බෙදීමක්, දේශපාලනික අර්බුදයක් නිර්මාණය කර ඇති බව ඔහු මෙහිදී ඇමෙරිකානු පුවත්පත් කතුවරුන් වෙත නිදසුනක් ලෙස ගෙනහැර පෑවේය. ඔහු අවසානයේ අවධාරණය කළේ ජනමාධ්‍යට සිංගප්පූරුවේ ජනතාව අතර එවැනි ගැටලුවක් නිර්මාණය කිරීමට ඉඩ දිය නොහැකි බවයි.

ලී ක්වාන් යූ පවසන්නේ ජනමාධ්‍ය යම් නියාමනයකට ලක් නොකළේ නම් තම රටට ලෝකයේ සිංගප්පූරු අනන්‍යතාව තබාගන්නට නොහැකි වන බවයි.

ලී ක්වාන් යූ අද එරට නායකයා වී සිටියේ නම් සාම්ප්‍රදායික ජනමාධ්‍ය අතික්‍රමණය කරමින් යන නූතන සමාජ-මාධ්‍ය හමුවේ කෙබඳු ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරනු ඇතිදැයි සිතීම උගහට වුවද, ඔහු කියන කතාව කොතරම් කාලීනද යන්න යහපත් සිහියෙන් යුතුව විමසීමෙන් අවබෝධ කරගත හැකිය. මීට වසර 30කට පෙර ඔහු ශ්‍රී ලංකාව ගැන කළ කතාව අද එදාටත් වඩා වලංගු වන තැනකට රටේ ජනමාධ්‍ය ගමන් කර නැතිදැයි අප අපගෙන්ම ප්‍රශ්න කළ යුතුය.

අද මෙරට බොහෝ ජනමාධ්‍ය හැසිරෙන්නේ කුලප්පූ වූ සතකුගේ ස්වරූපයෙන්ය, යන්න අතිශයෝක්තියෙන් හෝ ද්වේෂයකින් හෝ කරනු ලබන ප්‍රකාශයක් නොවේ. ඇතැම් විට ජනමාධ්‍යකරණයේ පවතින ප්‍රාථමික ආචාරධර්ම පවා මොවුන් කඩ කරන්නේ නිර්භීත ජනමාධ්‍ය වීරත්වයක් මවා පාමිනි!

විශේෂයෙන් පසුගිය පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු ඇතැම් මුද්‍රිත සහ විද්යුත් ජනමාධ්‍ය යෙදී සිටින වගකීම් විරහිත වාර්තාකරණය මේ වන විටත් රට තුළ මහත් කැලඹීමක් නිර්මාණය කර ඇත. ජනමාධ්‍ය නිදහසේ හා භාෂණයේ සහ ප්‍රකාශනයේ නාමයෙන් ලද නිදහස වල්බූරු අපහරණයකට ලක් කරමින් කරන මේ නින්දිත ජනමාධ්‍ය හැසිරවීමේ අරමුණ රජය එක් පැත්තකට තල්ලු කිරීම සහ ජනතාව අතර රජය සහ රාජ්‍ය යන්ත්‍රණය කෙරෙහි වෛරි හැඟීමක් ජනත කරවීම බව පැහැදිලිය. එක් අතකින් එය රටකට ඉවසිය හැකිය. අද එයින්ද එහා ගිය, ජන වර්ග අතර කැලඹීමක් සහ වෛරයක් නිර්මාණය කරන මට්ටමේ ජනමාධ්‍ය භාවිතාවක් අපට නිරන්තරව දැකිය හැකිය. නිදසුනක් ලෙස: කුරුණෑගල වෛද්‍යවරයාට එල්ල වන වඳ සැත්කම් චෝදනාව විද්‍යාත්මක පසුබිමක තහවුරු කිරීමකින් තොරව, ඔහු එල්ලා මැරිය යුතු දුෂ්ටයකු බවට පත් කරන්නට මේ ජනමාධ්‍ය එක පෙළට සිටගෙන කටයුතු කරනු දැකිය හැකිය. තවත් ජනමාධ්‍ය හැකි සැම මොහොතකම මිථ්‍යාව ඉස්මතු කොට, ජනතාව උන්මාදයට පත් කොට මුදල් උපයන්නට උත්සාහ ගන්නා ආකාරය අපට දැකිය හැකිය.

කෙසේ වුවද මේ වන විට බුද්ධිමය වශයෙන් යම් ප්‍රාගුණ්‍යයකට පිවිසෙමින් සිටින ශ්‍රී ලාංකික ජනතාව මේ ජනමාධ්‍යකරණයේ සැබෑව ටික ටික තේරුම් ගනිමින් සිටීම සමස්තයක් ලෙස ජනමාධ්‍ය කර්මාන්තයේ නියැළී සිටින අප දකින්නේ එක්තරා අභාග්‍යයක් ලෙසය. ඒ මන්ද යත්: එහි ඍජු ප්‍රතිඵලය වන්නේ ජනමාධ්‍ය කර්මාන්තයේ විශ්වසනීයත්වය මත යැපීම වෙනුවට, එයින් ඈත් වී වෙනත් විකල්ප කෙරෙහි ඇදී යෑම වන බැවිනි. මේ විකල්ප සොයන ජනතාවට අවශ්‍ය විකල්පය මේ වන විටත් අත්ල මතට පැමිණ ඇත. ඒ ‘ස්මාර්ට්’ ජංගම දුරකතනයයි. ඒ ඔස්සේ විකල්ප සමාජ-මාධ්‍යවලට ඔවුහු මේ වන විටත් සැණෙකින් එළඹෙති. මේ සමාජ-මාධ්‍ය විශ්වාස කරන තැනට ඔවුහු ඉබේම තල්ලු වෙති. එයින් සිදු වන්නේ රටකට බලපෑම් කළ හැකි බලසම්පන්න ජනමාධ්‍යයක් වෙනුවට, දුර්වලව මියැදෙන විහිළුකාර ජනමාධ්‍යයක් රටේ ශේෂ වීමය.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය මේ සා අභාග්‍ය සම්පන්න තැනකට තල්ලු වුණේ කාගේ වරදින්ද යන්න එය මෙහෙයවන ව්‍යාපාරික පැලැන්තියත්, ඔවුන්ට සේවය සලසන මාධ්‍ය වෘත්තිකයනුත් තේරුම් ගත යුතුව ඇත. ඒ තුළ යම් ස්වයං-නියාමනයකට එළඹීම ක්ෂේත්‍රයේ ගෞරවය සේම වෘත්තීය ගෞරවය පිණිසද හේතු වනු ඇත.

Comments