‍ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසය ලෝකයටම තුන්දෙනයි | සිළුමිණ

‍ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසය ලෝකයටම තුන්දෙනයි

ඕනෑම ක්‍රීඩා තරගාවලියකදී අවසන් පූර්ව සහ අවසන් මහා තරග අතීශයෙන්ම වැදගත්ය. එනම් මෙම තරග ද්විත්වය ජයගැනීමෙන් අනිවාර්යෙන්ම ශූරතාවත් හිමි වන බැවිනි. මෙය ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියටත් අදාළය. මෙම තීරණාත්මක තරගවලදීත් වැඩිම දස්කම් දක්වන ක්‍රීඩකයා සුපුරුදු පරිදි වීරයා බවට පත් වේ.

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි ඉතිහාසය තුළදී ඉතා දුලබ දස්කමක් වේ. එනම් අවසන් පූර්ව සහ අවසන් මහා තරගවලදී තරගයේ වීරයා සම්මාන එක් ක්‍රීඩකයකු විසින් හිමිකර ගැනීමයි. මෙය කෙතරම් දුලබ දස්කමක් ද යත් මේ දක්වා එය කිරීමට සමත් වී තිබෙන්නේ ක්‍රීඩකයන් තිදෙනෙක් පමණකි. මෙම සුවිශේෂි ක්‍රීඩකයන් තිදෙනා වනුයේ ඉන්දියාවේ මොහින්දර් අමර්නාත්, ශ්‍රී ලංකාවේ අරවින්ද ද සිල්වා සහ ඔස්ට්‍රේලියාවේ ෂේන් වෝන්ය.

මොහින්දර් අමර්නාත් (ඉන්දියාව)

මොහින්දර් දකුණත් පිතිකරුවෙකි. එමෙන්ම දකුණතින් මද වේග පන්දු යැවීය. හෙතෙම අවසන් පූර්ව සහ අවසන් මහා තරගවලදී වීරයා වූයේ 1983 වසරේදීය. එවර එක්දින (ඕවර 60) ලෝක කුසලාන තරගාවලිය පැවැත්වූයේ එංගලන්තයේදීය. ප්‍රථම වරට ඉන්දියාව ලෝක ශූරයෝ වූයේ කපිල් දේව්ගේ (උපත 1959 ජනවාරි 06) නායකත්වය මතය.

එවර ප්‍රථම අවසන් පූර්ව තරගය පැවැත්වූයේ 1983 වසරේ ජුනි මස 22 වැනිදා ය. ඒ මැන්චෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදීය. එහිදී ඉන්දියාව කඩුලු 06කින් සත්කාරක එංගලන්තය පරාජය කළේය. මොහින්දර් තරගයේ වීරයා වූයේ තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වමිනි.

එංගලන්තය - ලකුණු 213 (ඕවර 60)

ඉන්දියාව - 217-4 (ඕවර 54.4)

මොහින්දර්ගේ පන්දු යැවීම වූයේ ඕවර 12 නොයිදුල් ඕවර 1ලකුණු 27ට කඩුලු 2කි. එහිදී වමත් පිතිකරු ඩේවිඩ් ගවර් (උපත 1957 අප්‍රේල් 01) දැවී ගියේ කඩුලු රකින සයෙඩ් කිර්මානිට (උපත 1949 දෙසැම්බර් 29) උඩපන්දුවක් ලබා දීමෙනි. ගවර්ට ලකුණු 17කි. මොහින්දර්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දකුණත් පිතිකරු මයික් ගැටිං (උපත 1957 ජුනි 06 ) දැවී ගියේ ලකුණු 18කට ය.

පිතිහරඹයේදී මොහින්දර් ලකුණු 46ක් රැස් කර ගැනීමට සමත් වූයේය. ඊට පන්දු 92කි. 4 පහර 4කි. 6 පහරකි. ඔහුට අර්ධ ශතකය අහිමි වූයේ දුවද්දී දැවී යෑමට ලක් වූ බැවිනි. ඊට දායකත්වය ලබා දෙනු ලැබුවේ පෝල් ඇලට් (උපත 1956 සැප්තැම්බර් 14) සහ ඉයන් බෝතම් (උපත 1955 නොවැම්බර් 24) විසිනි.

1983 ලෝක කුසලාන අවසන් මහා තරගය පැවැත්වූයේ ජුනි මස 25 වැනිදා ය. ඒ ලන්ඩන් නුවර සුප්‍රකට ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදීය. එහිදී ඉන්දියාව ලකුණු 43ක විශිෂ්ට ජයක් අත් කර ගත්තේය. එහිදී පරාජය වූයේ 1975 සහ 1979 ලෝක ශූර ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් දූපත්ය.

ඉන්දියාව - ලකුණු 183 ( ඕවර 54.4)

බටහිර ඉන්දීය කොදෙව් දූපත් - 140 (ඕ. 52) මෙහිදීත් මොහින්දර් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වීය. පිතිහරඹයේදී ඔහුට ලකුණු 26කි. ඊට පන්දු 80කි. 4 පහර 3කි. ඔහු දැවී ගියේ දකුණතින් වේග පන්දු යැවූ මයිකල් හෝල්ඩිංගේ (උපත 1954 පෙබරවාරි 16) පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි.

මොහින්දර්ගේ පන්දු යැවීම - ඕවර 7-0- ලකුණු 12ට කඩුලු 3කි. දකුණත් පිතිකරු ජෙෆ් ඩුජෝන් (උපත 1956 මැයි 28) ලකුණු 25කට දැවී ගියේ මොහින්දර්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි. දකුණත් පිතිකරු මැල්කම් මාෂල් (උපත 1958 අප්‍රේල් 18 - විපත 1999 නොවැම්බර් 04) ලකුණු 18ක් ලබා සිටියදී දැවී ගියේ මොහින්දර්ගේ පන්දුවකට සුනිල් ගවස්කාර්ට (උපත 1949 ජුලි 10) උඩපන්දුවක් ලබා දීම නිසාය. තරගයේ අවසන් කඩුල්ල ලෙසට හෝල්ඩිං ලකුණු 06කට දැවී ගියේ මොහින්දර්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට ය.

මොහින්දර් අමර්නාත් භාර්ද්වාජ් 1950 වසරේ සැප්තැම්බර් මස 24 වැනි දා උපත ලැබීය. ඒ පන්ජාබ් ප්‍රාන්තයේ පටියාලා නුවරදීය. හෙතෙම සුප්‍රකට අමර්නාත් ක්‍රිකට් පවුලේ සාමාජිකයෙකි. ඔහුගේ පියා ලලා අමර්නාත්ය. ඔහු (උපත 1911 සැප්තැම්බර් 11 - විපත 2000 අගෝස්තු 05) දකුණතින් පන්දුවට පහර දුන් දකුණතින් මද වේග පන්දු යැවූ තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ ක්‍රීඩකයෙකි. ලලා නිදහස් ඉන්දියාවේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් නායකයා ය. එමෙන්ම ඉන්දීය මංගල ටෙස්ට් ශතකලාභියාය. තවද සිය මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් රැස්කළ ඉන්දියාව නියෝජනය කළ ප්‍රථමයාය.

මොහින්දර්ගේ වැඩිමහල් සොහොයුරා වන්නේ සුරින්දර්ය. වමත් පිතිකරුවකු වූ සුරින්දර් (උපත 1948 දෙසැම්බර් 30) සිය මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් රැස්කර ගත්තේය. ඔහුගේ පුත් දිග්විජේ (උපත 1993 මාර්තු 13) පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. මොහින්දර්ගේ මල්ලී ‍රාජින්දර් (උපත 1956 ජුනි 30) පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. මොහින්දර් වඩාත් ප්‍රචලිත වූයේ ‘ජිමී’ නමිනි. හෙතෙම පන්ජාබ්, බැරෝඩා, දිල්ලි (ඉන්දියාව), එංගලන්තයේ දරම් සහ විල්ට්ෂයර් කණ්ඩායම්වලටත් ක්‍රීඩා කළේය.

ඔහුගේ අන්තර්ජාතික තරග කාලය 1969 – 1989 දක්වා ය. එහිදී එක්දින ජගත් තරග 85කි. ලකුණු 1924 කි. වැඩිම නොදැවී 102කි. සාමාන්‍යය 30.53කි. ශතක 02කි. අර්ධ ශතක 13කි. උඩපන්දු 23කි. කඩුලු 46කි. තරගයක හොඳම 12- 3කි. සාමාන්‍යය 42. 84කි.

මොහින්දර් එක්දින ලෝක කුසලාන තරගාවලි 03කට ක්‍රීඩා කළේය. ඒ 1975, 1979 සහ 83 වසරවලදීය. එමෙන්ම 1986/87 සිට 1991/92 අතර කාලය තුළදී වරින් වර ඉන්දීය එක්දින නායකයාත් වූයේය. ඔහුගේ පිතිහරඹය වේග පන්දු යවන්නන් ඉදිරියේ වඩාත් සාර්ථක වූයේය. එමෙන්ම පන්දුව දෝලනය කිරීමට ඔහු වඩාත් දක්ෂයෙක් විය. 1984 වසරේ විස්ඩන් ක්‍රිකට් සම්මානලාභියෙකි.

අරවින්ද ද සිල්වා (ශ්‍රී ලංකාව)

අරවින්ද ඉතා අලංකාර පිතිහරඹයක් සහිත දකුණත් පිතිකරුවෙකි. එමෙන්ම කඩුලු දවා ගැනීමටත් හැකියාවක් තිබූ දකුණත් පිට දඟ පන්දු යවන්නෙකි. හෙතෙම ශ්‍රී ලංකාව ලෝක ශූරයෝ වූ 1996 තරගාවලියේ අවසන් පූර්ව සහ අවසන් මහා තරග වීරයාය. එම ලෝක ශූර කණ්ඩායමේ නායකය‍ා වූයේ අර්ජුන රණතුංග (උපත 1963 දෙසැම්බර් 01) විසිනි. එහිදී අරවින්ද උපනායකයා විය.

1996 ලෝක කුසලානයේ ප්‍රථම අවසන් පූර්ව තරගය පැවැත්වූයේ කොල්කටාවේ ඊඩන් ගාර්ඩන්ස් ක්‍රීඩාංගණයේදීය. ඒ මාර්තු මස 13 වැනි දාය. එහිදී සත්කාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තරග කළේය. තරගයේ ජය ශ්‍රී ලංකාවට පිරිනැමීමට ප්‍රධාන තරග තීරක ක්ලයිව් ලොයිඩ් (උපත 1944 අගෝස්තු 31) තීරණය කළේය. ඒ නරඹන්නන්ගෙන් තරගයට බාධා එල්ල වූ බැවිනි. ලොයිඩ් 1975,79 ලෝක ශූර සහ 1983 ලෝක අනුශූර බටහිර ඉන්දීය කොදෙව් දූපත් නායකයා ය.

ශ්‍රී ලංකාව :- 251-8 (ඕවර 50)

ඉන්දියාව :- 120-8 (ඕවර 34.1)

පිතිහරඹයේදී අරවින්ද ඉතා අනඟි පිතිහරඹයක නිරත විය. ඒ ලකුණු 66 ක් රැස් කරමිනි. ඊට පන්දු 47කි. 4 පහර 14කි. ඔහුගේ ඉනිම නිමා වූයේ දකුණතින් පා දඟ පන්දු යැවූ අනිල් කුම්බ්ලේගේ (උපත 1970 ඔක්තෝබර් 17) පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි.

ශ්‍රී ලංකාවේ පළමු කඩුල්ලට දකුණත් පිතිකරු රොමේෂ් කළුවිතාරණ (උපත 1969 නොවැම්බර් 24) ලකුණු නොලබා දැවී ගි‍යේය. එවිට ශ්‍රී ලංකාව ලකුණු 01ට කඩුල්ලකි. එය ලකුණකට කඩුලු 2ක් බවට පත් විය. ඒ වමත් පිතිකරු සනත් ජයසූරිය (උපත 1969 ජුනි 30 ) ලකුණකට දැවී යාම නිසාවෙනි. තෙවන කඩුල්ල ලකුණු 35දී බිඳ වැටුණි. ඒ වමත් පිතිකරු අසංක ගුරුසිංහ (උපත 1966 සැප්තැම්බර් 16) ලකුණකට දැවී යාමෙනි.

එහෙත් අරවින්ද ශ්‍රී ලංකා ඉනිම සවිමත් කළේ ඉතා විශිෂ්ටතම පිතිහරඹයක නිරත වෙමිනි. හෙතෙම සිවුවැනි කඩුල්ල ලෙසට දැවී ගියේය. එවිට ශ්‍රී ලංකාවේ මුළු ලකුණු ගණන 85කි. එක්දින ජගත් තරග ඉතිහාසයේ විශිෂ්ටතම පිතිහරඹයක් ලෙසට ඉහත අරවින්දගේ ඉනිම සැළකෙයි. අරවින්දගේ පන්දු යැවීම ඕවර 2 – 0 - ලකුණු 03ට කඩුල්ලකි. ඔහු දවා ගත්තේ දකුණත් පිතිකරු නයන් මොන්ගියාවයි. ලකුණක් ලබා සිටි මොන්ගියා (උපත 1969) අරවින්දගේ පන්දුවකට සනත් ජයසූරිය‍ට උඩපන්දුවක් ලබා දෙනු ලැබීය.

1996 ලෝක කුසලානයේ අවසන් මහා තරගය පැවැත්වූයේ මාර්තු 17 වැනිදාය. ඒ පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදීය. එහිදී ශ්‍රී ලංකාව කඩුලු 07කින් ඔස්ට්‍රේලියාව පරාජය කිරීමට සමත් විය. එහිදී අරවින්ද තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වීය.

ඕස්ට්‍රේලියාව : 241 – 7 (ඕවර 50)

ශ්‍රී ලංකාව : 245 – 3 (ඕ. 46.2)

පන්දු යැවීම - ඕවර 9-0- ලකුණු 42‍ට කඩුලු 3කි. එහිදී නායක සහ වමත් ආරම්භක පිතිකරු මාර්ක් ටේලර් (උපත 1964 ඔක්තෝබර් 27) ලකුණු 74ක් ලබා සිටියදී දැවී ගියේ අරවින්දගේ පන්දුවකට ජයසූරියට උඩපන්දුවක් ලබා දීමෙන් ය. දකුණත් පිතිකරු රිකී පොන්ටිං (උපත 1974 දෙසැම්බර් 19) ලකුණු 45ක් රැස් කර තිබියදී අරවින්දගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය. ඒ ආකාරයටම දකුණත් පිතිකරු ඉයන් හීලි (උපත 1964 අප්‍රේල් 30 ) දැවී ගියේය. හීලිට ලකුණු 02කි. මීට අමතරව අරවින්ද උඩපන්දු දෙකකුත් රැක ගත්තේය. ඒ දකුණත් පිතිකරුවන් වන ස්ටීව් වෝ (උපත 1965 ජුනි 02) ලකුණු 13ක් සහ ස්ටුවර්ට් ලෝ (උපත 1968 ඔක්තෝබර් 18) ලකුණු 22ක් රැස් කර තිබියදීය. මෙම අවසන් තරගයේදීත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය අසාර්ථක වූහ. එහෙත් තෙවන කඩුල්ලට ගුරුසිංහ සහ අරවින්ද ලකුණු 125 සබඳතාවයක් පිහිටු වුහ. ගුරුසිංහට ලකුණු 65කි. පසුව අර්ජුන සහ අරවින්ද සිවුවැනි කඩුල්ලට ලකුණු 97ක නොබිඳුණු සබඳතාවයක් රැස් කරමින් ශ්‍රී ලංකා ජය තහවුරු කළහ. අර්ජුනට නොදැවී ලකුණු 47කි.

අරවින්දට නොදැවී ලකුණු 107කි. මෙම විශිෂ්ට ඉනිමට පන්දු 124කි. 4 පහර 13කි. එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ශතකයක් රැස් කරමින් කඩුලු 03ක් දවා ගත් ලොව ප්‍රථම සහ දැනට එකම ක්‍රීඩකයාත් අරවින්ද වේ. පින්නදූවගේ අරවින්ද ද සිල්වා 1965 වසරේ ඔක්තෝබර් මස 17 වැනි දා උපත ලැබීය. හෙතෙම උසැති ක්‍රීඩකයකු නොවේ. බොහෝ ක්‍රිකට් විචාරකයන්ට අනුව ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ උසින් අඩු (අඩි 5 අඟල් 5ට අඩු) පිතිකරුවන් අතරින් විශිෂ්ටතමයා අරවින්දය.

අරවින්ද ශ්‍රී ලංකාවේ නොන්ඩස්ක්‍රිප්ට්ස් ක්‍රිකට් සමාජය හෙවත් එන්.සී.සී. නවසීලන්තයේ ඕක්ලන්ඩ් සහ එංගලන්තයේ කෙන්ට් වැනි කණ්ඩායම් පළමු පෙළ තරගවලදී නියෝජනය කළේය. ඔහු අන්තර්ජාතිකව එක්දින ජගත් තරගවලට ක්‍රීඩා කළේ 1984 සිට 2003 දක්වාය. එහිදී එක්දින තරග 308 කි. ලකුණු 9284කි. වැඩිම 145 වේ. සාමාන්‍යය 34.90කි. ඊට ශතක 11කි. අර්ධ ශතක 64කි. උඩපන්දු 95කි. දවාගත් කඩුලු ගණන 106කි. තරගයක හොඳම 30-4කි. සාමාන්‍යය 39.40වේ.

අරවින්ද 1992 -96 අතර ශ්‍රී ලංකා එක්දින නායකත්වයත් දරනු ලැබීය. එමෙන්ම ‍ඔහු එක්දින ලෝක කුසලාන තරගාවලි 05කටත් ක්‍රීඩා කළේය. ඒ 1987, 1992 (නායක), 1996 (ශූරතාව) , 1999 සහ 2003 (අවසන් පූර්ව) වශයෙනි. එමෙන්ම ඔහු 1996 විස්ඩන් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

ෂේන් වෝන් (ඔස්ට්‍රේලියාව)

බොහෝ ක්‍රිකට් විචාරකයන් සහ ක්‍රිකට් ක්‍රීඩා ලෝලින් එකඟ වන පොදු මතයක් තිබේ. එනම් ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ටතම පාදඟ පන්දු යවන්නා වෝන් බවයි. හෙතෙම පන්දු යැව්වේ දකුණතිනි. එමෙන්ම ඔහු සාර්ථක දකුණත් පිතිකරුවෙකි. තවද විශිෂ්ට පන්දු රකින්නෙකි. වෝන් 1999 වසරේ ලෝක කුසලාන අවසන් පූර්ව සහ අවසන් මහා තරග වීරයාය. එම ලෝක ශූර කණ්ඩායමේ නායකය‍ා වූයේ ස්ටීව් වෝ (උපත 1965 ජුනි 02 ) විසිනි.

1999 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන සත්කාරක රට වූයේ එංගලන්තයයි. එවර දෙවන අවසන් පූර්ව තරගය පැවැත්වූයේ ජුනි මස 17 වැනි දාය. එම තරගය පැවැත්වූයේ බර්මින්හැම් නුවර එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේ දීය. දකුණු අප්‍රිකාව සමඟ මෙම තරගය ලකුණු සම වීමෙන් නිමාවට පත් විය. එසේ වුවත් සුපර් 06 වටයේදී ඔස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාවට ඉදිරියෙන් සිටි බැවින් ඔවුන් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

ඔස්ට්‍රේලියාව : ලකුණු 213 (ඕවර 49.2)

දකුණු අප්‍රිකාව :213 (ඕ. 49.4)

එහිදී පිතිහරඹයේදී වෝන් තීරණාත්මක ලකුණු 18ක් රැස් කර ගැනීමට සමත් විය. ඊට පන්දු 24කි. 4 පහරකි. ඔහු දැවී ගියේ දකුණතින් මද වේග පන්දු යැවූ ෂෝන් පොලොක්ගේ (උපත 1973 ජුලි 16) පන්දුවකට දකුණු අප්‍රිකා‍නු නායක හැන්සි ක්‍රොන්යේට (උපත 1969 සැප්තැම්බර් 25- විපත 2002 ජුනි 01) උඩපන්දුවක් ලබා දීමෙන්ය.

පන්දු යැවීමේදී වෝන්ට ඕවර 10 - නොයිඳුල් ඕවර 4- ලකුණු 29 ට කඩුලු 4කි. වමත් පිතිකරු ගැරී කර්ස්ටන් (උපත 1967 නොවැම්බර් 23) වෝන්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේ ලකුණු 18ක් ලබා තිබියදීය. අනෙක් ආරම්භක දකුණත් පිතිකරු හර්ෂල් ගිබ්ස් (උපත 1974 පෙබරවාරි 23) ලකුණු 30 දී දැවී ගියේත් වෝන්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන්ය. දකුණත් පිතිකරු ක්‍රොන්යේ ලකුණු නොලබාම දැවී ගියේය. ඒ වෝන්ගේ පන්දුවකට මාර්ක් වෝට (උපත 1965 ජුනි 02) උඩපන්දුවක් ලබාදීම නිසාවෙනි. දකුණත් පිතිකරු ජාක්ස් කාලිස් (උපත 1975 ඔක්තෝබර් 16) ලකුණු 53 ක් ලබා සිටියදී දැවී ගියේ වෝන්ගේ පන්දුවකට ස්ටීව් වෝට උඩපන්දුවක් ලබාදීමෙනි.

1999 ලෝක කුසලාන අවසන් මහා තරගය ජුනි මස 20 වැනිදා පැවැත්වීය. ඒ ලන්ඩන් නුවර සුප්‍රකට ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදීය. එහිදී ඔස්ට්‍රේලියාව පහසු ජයක් අත්කර ගත්තේ කඩුලු 08කින් පාකිස්තානය පරාජය කරමිනි.

පාකිස්තානය : ලකුණු 132 (ඕවර 39)

ඔස්ට්‍රේලියාව: 133 – 2 (ඕ. 20.1)

වෝන්ගේ පන්දු යැවීම වූයේ ඕවර 9-1- ලකුණු 33ට කඩුලු 4කි. වෝන්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දකුණත් පිතිකරු ඉජාස් අහ්මඩ් (උපත 1968 සැප්තැම්බර් 20) දැවී ගියේ ලකුණු 22ක් ලබා තිබියදීය. දකුණත් පිතිකරු මොයින් ඛාන් (උපත 1971 සැප්තැම්බර් 23 ) ලකුණු 06 දී දැවී ගියේ කඩුලු රකින ඇඩම් ගිල්ක්‍රිස්ට්ට (උපත 1971 නොවැම්බර් 14) උඩපන්දුවක් ලබා දීමෙන්ය. තවත් දකුණත් පිතිකරුවෙක් වූ ෂහිඩ් අෆ්රිඩි (උපත 1975) ලකුණු 13දී දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදටය. පාකිස්තාන් නායක සහ වමත් පිතිකරු වසිම් අක්රම් (උපත 1966 ජුනි 03) ලකුණු 08දී ස්ටීව් වෝට උඩපන්දුවක් ලබා දීමෙන් දැවී ගියේය.

ෂේන් කීත් වෝන් 1969 වස‍රේ සැප්තැම්බර් මස 13 වැනිදා උපත ලැබීය. ඔහුගේ පියා කීත්ය. මව ජර්මනියේ උපන් බ්‍රිජිට්ය. වෝන් අඩි 6ක් උසැතිය. හෙතෙම වෘත්තීයම මට්ටමින් ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා, මෙල්බර්න් ස්ටාර්ස්, එංගලන්තයේ හැම්ප්ෂයර්, ඉන්දියාවේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම්වලට ක්‍රීඩා කළේය. මීට අමතරව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි. සී. සී.) ලෝක පිල සහ සෙසු ලෝක පිලටත් ක්‍රීඩා කළේය. වෝන් 1993 වසරේ සිට 2007 දක්වා එක්දින ජගත් තරගවලට ක්‍රීඩා කළේය. එහිදී තරග 194 කි. ලකුණු 1018 කි. වැඩිම 55 වේ. සාමාන්‍යය 13.05කි. අර්ධ ශතක 01කි. උඩපන්දු 80 කි. කඩුලු 293 කි. තරගයක හොඳම 33- 5කි. සාමාන්‍යය 25. 73කි. ඔහු 1998 – 99 අතර ඔස්ට්‍රේලියානු එක්දින නායකයාය.

මේ විශිෂ්ට පන්දු යැවීමේ ශූරයා එක්දින ලෝක කුසලාන තරගාවලි ත්‍රිත්වයකට ක්‍රීඩා කළේය. ඒ 1996 (අනුශූරතාව), 1999 (ශූරතාව) සහ 2003 (ශූරතාව ) වශයෙනි. 1994 විස්ඩන් වසරේ ක්‍රීඩකයා සහ 2000 වසරේ එක්දින ජගත් වසරේ ක්‍රීඩකයා වූයේත් වෝන්මය.

Comments