සම්බුලාට පණ දුන් පෝරකය ළඟ මිනිස්සු | සිළුමිණ

සම්බුලාට පණ දුන් පෝරකය ළඟ මිනිස්සු

 වෙසක් කලාපය වෙනුවෙන් තොරණ පහන් කූඩු නිර්මාණය කරන්නට ඔවුන් සුදානම් වූයේ සිංහල අවුරුද්ද අවසන් වනවාත් සමඟය. එහෙත් වාසනාවන්ත සිදු වීමත් සමඟ මෙවර වෙසක් උත්සවය නොපැවැත්විණි. ඒ සඳහා සුදානම් කළ තොරණ සියල්ල ප්‍රදර්ශනය කිරීම නැවතිණි.

වැලිකඩ හිරගෙදර වෙසක් කලාපය මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් මහරගම තරුණසේවා සභාව මඟින් පවත්වන පොසොන් කලාපයට එක් විය. තරුණසේවා සභා පොසොන් කලාපය ඉකුත් 13 දා ආරම්භ කෙරිණි. මෙහිදි වැලිකඩ රැඳවියන් විසින් නිර්මාණය කරන ලද සම්බුලා ජාතක කතා වස්තුව ඇතුළත් තොරණ මෙන්ම මහර බන්ධනාගාරය , කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය මැගසින් බන්ධගාරය ආදියෙන් ද වෙසක් පහන් කූඩු ආදිය ඉදිරිපත් කර තිබිණි.

සිරකරුවන් විවිධ දක්ෂතාවන්ගෙන් යුක්තය. ඇතැමුන්ට සුවිශේෂි හැකියා ඇත. තවකෙකු අත්කම් නිර්මාණයට දක්ෂය. තවකෙක් නවකතා කෙටි කතා ලියන්නට මෙන්ම වෙනත් දේ ලියන්නට දක්ෂය. තවකෙක් චිත්‍ර අඳින්නට දක්ෂය. නමුදු ඔවුන්ගේ මේ දක්ෂතාවලින් පල ප්‍රයෝජනයක් ගැනෙන්නේ එහෙමත් වේලාවකය. එල්ලුම් ගහට නියම වී සිටියද හැකියාවට තැනක් දෙමින් කලා නිර්මාණවලට වටිනාකමක් දුන් රැඳවියෝද සිටිති.

“මරන්නේ කවද්ද කියලා නියමයක් නැහැ. ඒත් මම මරණයට නිම වුණ කෙනෙක්. නමුත් මට මගේ හිත සන්සුන් කර ගන්න ඕන. ඒ නිසයි මම මේ කටයුත්තට මගේ දායකත්වය දෙන්නට සිතුවේ.”

සම්බුලාජාතක කතා වස්තුව ඇතුළත් තොරණෙහි නිර්මාණ කටයුතුවලට සම්බන්ධ වූ රැඳවියෙකු පවසන්නේ එසේය.

වැලිකඩ බන්ධනාගාර නිලධාරීන්ගේ බෞද්ධ සංගමයේ මුල්‍ය දායකත්වය ඇතිව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ උපදෙස් අනුව වැලිකඩ බන්ධනාගාර අධිකාරි තුසිත ඉන්ද්‍රජිත් උඩුවර මහතාගේ අධීක්ෂණය යටතේ තොරණ නිර්මාණය විය. කවදත් කලා කටයුත්තකදි මුල් තැන ගන්නා නියාමක ජානක ජයලත් විසින් තොරණ සැලසුම් කළ අතර එහි කතාව රචනයද ඔහුගේය.

“අපේ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් ප්‍රසාද් ප්‍රේමතිල මහත්මයා මේ කටයුත්තේදී අපට බොහෝ උදව් දුන්නා. තොරණේ විදුලිය නිර්මාණය කළේ මරණ දණ්ඩනයට නියම වී සිටින රැඳවියෙක් . තොරණේ චිත්‍ර ඇන්දෙත් දිර්ඝකාලින දඩුවම් ලබන රැඳවියෙක් . ඔහුට සහායට සිටියෙත් රැඳවියෙක්මයි. අපේ නාට්‍ය කණ්ඩායම, නර්තන කණ්ඩායම, පිරිත් කණ්ඩායම, සංගීත කණ්ඩායම තොරන සෑදීම සඳහා අපට සහයෝගය දුන්නා. ඒ වගේම බෞද්ධ සංගමයේ ලේකම් ජේලර් අතුල කුමාරසිරි මහත්තයත් මේ කටයුතුවලට සම්බන්ධ වුණා. විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ පුනරුත්ථාපන නිලධාරි පියසිරි වටගොඩ මහත්තයා ඒ සියලු කටයුතු සොයා බලා අපට අවශ්‍ය සියලු පහසුකම් ලබා දුන්නා.

රැඳවියෝ කිසිම විටෙක මේ බෞද්ධ කටයුත්තට කම්මැළි වුණේ නෑ හැමෝම තම තමන්ට පුළුවන් විදිහට සහයෝගය ලබාදුන්නා. තොරණ බලන්න ආව අයත් බොහෝ අගයකිරීම් කෙරුවා. අපි මීට පෙරත් තොරණ කිහිපයක්ම නිර්මාණය කර තිබෙනවා.” නර්තන උපදේශක නියාමක ජානක ජයලත් පවසන්නේය.

සිරකරුවෝද මනුෂ්‍යයෝය. කුමන වරදක් කර හිරේ පැමිණියද ඔවුන්ට ද යහපත් සිතුවිලි ඇත. සම්බුලා ජාතක කතා වස්තුව රැගත් අලංකාර තොරණ එහි ප්‍රතිඵලයකි.

සේයාරූ - බන්ධනාගාර මාධ්‍ය අංශය
- ඉසවි 

අදහස්