දැනෙන්න ආණ්ඩුවක් තියෙන්න එපැයි! | Page 2 | සිළුමිණ

දැනෙන්න ආණ්ඩුවක් තියෙන්න එපැයි!

ආණ්ඩුව ගෙදර යවන්න ඔබ පක්ෂය පැවැත්වූ පෙළපාළිය සාර්ථකද?

මේ ආණ්ඩුව රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න අසමත් වෙලා. රට අරාජික කරලා. බදු බර වැඩි කරලා. බඩු මිල ඉහළ නංවලා. එවැනි ආණ්ඩුවක් පවත්වාගත යුතු නැහැ. ඒ නිසා ආණ්ඩුව වහා ඉල්ලා අස් විය යුතු බව පවසමිනුයි අප මේ උද්ඝෝෂණය සිදු කළේ. ජනතාවට මේ ආණ්ඩුව පිළිකුල් වෙලයි තිබෙන්නේ. ජනතා ප්‍රතිචාර වගේම සහභාගිත්වයත් ඉහළින් තිබුණා.

ඒත් ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන් පවසා තිබුණා එය දැනුණේවත් නැහැ කියලා...

දැනෙන්න ආණ්ඩුවක් තියෙන්න එපැයි! අද කැබිනට් එක රැස් වනවාද? අගමැති කරන දේ ජනාධිපති දන්නෙ නැහැ! ජනාධිපති කරන දේ අගමැති දන්නේ නැහැ! ඒ නිසා ආණ්ඩුවට අප කරන කියන දේ දැනෙන්නෙ නෑ තමයි. ඒ කතාව හරි.

හදිසි නීතිය පනවා ඇති අවස්ථාවක මේ අයුරින් උද්ඝෝෂණ පෙළපාළි යෑම හදිසි නීති රෙගුලාසි උල්ලංඝනයක් ලෙස ඔබ දකින්නේ නැතිද?

අප රටේ නීතියට පිටින් කිසි දෙයක් කරන පක්ෂයක් නොවෙයි. දේශපාලන ක්‍රියාමාර්ග මෙන්ම වෘත්තීය සමිති ක්‍රියාදාමවලට එරෙහිව හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න බෑ; ක්‍රියාත්මක කරන්න දෙන්නෙත් නෑ.

ඒත් මේ උද්ඝෝෂණ පෙළපාළි නිසා ජනතාවට ඇතිවන පීඩා ගැන ඔබ පක්ෂය නොසිතන්නේ ඇයි?

අප මේ උද්ඝෝෂණ පෙළපාළි කරන්නේ ජනතාව වෙනුවෙන් තමයි. ජනතාව ඒ බව දන්නවා. රට රැකගැනීම උදෙසා අප කරන මේ ව්‍යායාමයට ජනතාවට පැයක පමණ මාර්ග අවහිරතාවයක් ඇති වේවි. ඒත් ඔවුන් තේරුම් ගෙන තියෙනවා ජනතාව පැය 34ම විඳින පීඩනයෙන් මුදාගන්නයි අප මේ කටයුතු කරන්නේ කියලා. අපේ මේ සටන ජනතාව වෙනුවෙන් මිසක්, අපේ පෞද්ගලික දෙයක් උදෙසා නොවෙයි.

හිටපු මුස්ලිම් නියෝජ්‍ය ඇමැති කාසිම් කියා තිබුණා කොළඹ කාසල් රෝහලේදී මුස්ලිම් කාන්තාවන්ට වඳ සැත්කම් කරපු කතාවක්. මේ කතාව ගැන පක්ෂයේ මතය කුමක්ද?

මේ අවස්ථාවේ එක එක අය දැන් ජාතිවාදී ප්‍රකාශ කරනවා. ඒ නිසා ඇතිව තිබෙන මේ සමාජ ප්‍රශ්නය තවත් අවුල් වෙනවා. ඔහු හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැතිවරයා. එහෙම දෙයක් වුණා නම් මෙතෙක් කල් තීන්දුවක් නොගත්තේ ඇයි? ඒකම බරපතළ වැරැද්දක් නෙ! දැන් ඒ කතා කියලා වැඩක් නැහැ. එතුමාට දැන් වුණත් පුළුවන් ඒ වගේ ක්‍රියාවක් වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධව පැමිණිලි කරලා පරීක්ෂණයක් ඉල්ලා සිටින්න, මාධ්‍ය ඔස්සේ විවිධ කතා කියන්නේ නැතිව. තමන්ගේ වාසියට කතා කිරීම නිසා දැන් දේශපාලනඥයන් විහිළුකාරයන් තත්ත්වයට පත් වෙලා.

පසුගියදා උද්ඝෝෂණයේදී ඔබේ පක්ෂයෙන් පවසා තිබුණා වෙනස්ම ආකාරයක නායකයකු අවශ්‍ය බවක්. ඒත් ඒ ‘වෙනස් නායකයා‘ මොනවිදිහේ අයෙක්ද යන්න පැහැදිලි නෑ...

අප අවුරුදු 71ක්ම ප්‍රධාන පක්ෂ දෙකක් හරහා බැට කෑව නේ. ඒ පක්ෂ දෙකම දැන් ඔප්පු කර අවසන් ඒ අයට රට හදන්න බෑ කියලා. දැන් අවශ්‍ය වන්නේ රට හදන්න පුළුවන්, රටේ ආරක්ෂාව තහවුරු කළ හැකි, රටට ආදරේ, ජනතාවට ආදරේ නායකයෙක්. රටේ ජනතාව ඉල්ලන්නේ තමන්ට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදල දෙන්න පුළුවන් නායකයෙක්.

ජනතාවට බලය විමධ්‍යගත වන ආකාරයේ නායකත්වයක් අවශ්‍ය බවත් එහිදී කරුණු කියවුණා. ඒ ගැන පැහැදිලි කළොත්...

මෙතෙක් කල් රට පාලනය කළ නායකයන් ජනතාවට උඩින් ඉඳගෙන තමයි රට දිහා බැලුවේ; රට පාලනය කළේ. පුරවැසියා ශක්තිමත් කිරීමට අවශ්‍යතාවක් ඔවුන්ට තිබුණේ නැහැ.

ඒ නිසා ජනතාව හා පාලකයන් අතර හිඩැසක් තිබෙනවා. අපි බලාපොරොත්තු වන්නේ ඒ හිඩැස නැති කර පුරවැසියාගේ බලය හා දේශපාලන නායකත්වය අතර ඓන්ද්‍රීය පාලනයක් ඇති කරන්නයි. ජනතා ප්‍රශ්න තේරුම් ගත හැකි වන්නේ එවිටයි.

ජනතා විමුක්ති පෙරමුණ අප පුවත්පතටම ප්‍රකාශ කළා මැයි මාසය අවසන් වන විට 20 වන සංශෝධනය ක්‍රියාවට නඟන්න නොහැකි වුණොත් ජනාධිපති අපේක්ෂකයකු නම් කරනවා කියලා. දැන් ජූනි මාසෙත් මැද හරියේ. කෝ අපේක්ෂකයා?

අප්‍රේල් 21 වැනිදාට කලින් අපේ පැහැදිලි සැලැස්මක් තිබුණා ඒ වෙනුවෙන්. ඒත් මේ ව්‍යවසනය හමුවේ දින වකවානු පොඩ්ඩක් එහාට මෙහාට වුණා. අපේ පක්ෂයේ මූලිකත්වයෙන් රට ගොඩනඟන්න කලාකරුවන් බුද්ධිමතුන්, උගතුන් එකතු වෙලා වැඩසටහනක් මෙහෙයවමින් යන්නේ. ජූලි අගෝස්තු වන විට අපේ ඉදිරි සැලසුම් දැක-බලාගන්න පුළුවන් වේවි.

අද ඔබේ පක්ෂය ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කළාට, මේ ආණ්ඩුව බලයට පත් කිරීමේ වගකීම ඔබ පක්ෂයටත් තිබෙනවා නේද?

කොහෙත්ම නැහැ. රනිල් වික්‍රමසිංහගේ පක්ෂය වෙනම මැතිවරණයට ඉදිරිපත් වුණේ. අප වෙනම ඉදිරිපත් වුණේ. අප එදාම කිව්වා අප පාර්ලිමේන්තුවේ විපක්ෂයේ හොඳ ශක්තිමත් පක්ෂයක් ලෙස කටයුතු කරන බවට. ඒ වගේම ජනාධිපතිවරණයේදීත් අප කිව්වා රාජපක්ෂ කඩේ වහලම දාන්න ඕන කියල. ඒ වගේම මෛත්‍රීපාලගේ කඩේ බඩුත් අපට ෂුවර් නැහැ කියල කිව්ව.

ඔබ පක්ෂය ඇමෙරිකා හා ඉන්දීය සබඳතා ගැන දැඩි විරෝධයක් දක්වනවා?

අප සබඳතා ගැන කිසිදු විරෝධයක් නැහැ. අප විරුද්ධ වන්නේ රට පාවාදෙන ගිවිසුම් සම්බන්ධව කටයුතු කිරීම ගැනයි. කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය මේ වන විට ඉන්දියාවට විකුණා අවසන්. පාස්කු ප්‍රහාරයේ අවධානයට ජනතාව යොමුව සිටියදී ආණ්ඩුව ජනතා ඇස් වසා කරපු දෙයක් තමයි මේ. අප කියන්නේ රට පාවාදෙන ගිවිසුම්, රටේ සම්පත් විකුණන ක්‍රියාමාර්ග කරන්න එපා කියලයි. එහෙම නැතිව අපට ලෝකයේ හුදෙකලාව ජීවත් වන්න බැහැ. ඇමරිකා එක්සත් ජනපදයත් එක්ක අලුතින් ගහන්න යන ආරක්ෂක ගිවිසුම්, රටේ සම්පත් චීනයට ඉන්දියාටව අලෙවි කිරීමේ සූක්ෂ්ම ක්‍රියාදාමවලට අප විරුද්ධයි.

Comments