ධර්ම සාහි­ත්‍ය­යෙන් තොර සාහි­ත්‍ය­යක් අපට නැහැ | සිළුමිණ

ධර්ම සාහි­ත්‍ය­යෙන් තොර සාහි­ත්‍ය­යක් අපට නැහැ

ශ්‍රී ලංකා භික්ෂූ විශ්ව­වි­ද්‍යා­ලයේ පාලි හා බෞද්ධ අධ්‍ය­යන අං­ශයේ ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය පාතේ­ගම ඤාණි­ස්සර හිමි

මහි­න්දා­ග­ම­න­යත් සමඟ මෙරට සාහිත්‍ය හා කලා ශිල්ප වර්ධ­නය වූ බව කියැ­වෙ­නවා. එසේ නම් ඊට පෙරා­තුව මෙරට සාහිත්‍යය හා කලාව පැව­තියේ කව­රා­කා­ර­යෙන් ද?

මිහිදු මහ­ර­හ­තන් වහන්සේ ශ්‍රී ලංකා­වට වැඩම කළා ය කියන කාර­ණය ඓති­හා­සි­ක­වත්, පුරා විද්‍යා­ත්ම­ක­වත් ඔප්පු වී තිබෙන කාර­ණා­වක්. සිංහල සංස්කෘ­තික කලා ශිල්ප කියන අංශය සිංහල සංස්කෘ­තිය තුළ වර්ධ­නය වන්නේ මිහිඳු මහ­ර­හ­තන් වහන්සේ ශ්‍රී ලංකා­වට වැඩම කළ­යින් පසු­වයි. මිහිඳු මහ­ර­හ­තන් වහ­න්සේට පෙර යුගය අප හඳුනා ගන්නේ ප්‍රාග් මහින්ද යුගය කිය­ලයි. සංවි­ධා­නා­ත්මක ව නිර්මා­ණා­ත්මක ව කලා ක්ෂේත්‍රය තුළ කිසිම පුරා­වි­ද්‍යා­ත්මක තොර­තු­රක් අපට ප්‍රාග් මහින්ද යුගය තුළ දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඓති­හා­සි­ක­වත් මහා­වං­ශය වැනි වංශ කතා අධ්‍ය­ය­නය කරන විට ඒ කාලය තුළ; සාහිත්‍ය කලාවේ හෝ සෞදර්ය මාධ්‍ය තුළ කිසි­යම් සංව­ර්ධ­යක් සිදු වූ බවක් පෙනෙ­න්නට නැහැ.

සාහි­ත්‍යක් ගොඩ­නැ­ඟෙන්නේ කිසි­යම් චින්ත­න­යක් හෝ දර්ශ­න­යක් මතයි. දර්ශ­න­යක් හෝ චින්ත­න­යක් නැති තැනක සෞන්ද­ර්ය­යක් කලා­වක් බිහි වුණයි කියල පිළි­ගන්න හැකි­යා­ව­කුත් නැහැ.

මිහිඳු මහ­ර­හ­තන් වහන්සේ වඩි­න්නට ප්‍රථම ශ්‍රී ලංකාව තුළ සෞන්ද­ර්යා­ත්මක වශ­යෙන් සංව­ර්ධිත තත්ත්ව­යක් නොති­බුණු බව මේ අනුව අපට පේනවා. නමුත් කිසි­වක්ම නොති­බුණා යැයි මින් අද­හස් වන්නේ නැහැ. සාමා­න්‍ය­යෙන් මනු­ෂ්‍ය­යන් ජීවත් වන තැනක රස වින්ද­නය කියන මාන­සි­ක­ත්වය නිර්මා­ණය වෙනවා. රස වින්දන මාන­සි­ක­ත්වය කියන එක මනු­ෂ්‍යයා මෙලො­වට බිහි වූ දා සිට ම පව­ති­න්නක්. එහෙම බැලු­වම සාමාන්‍ය මට්ටමේ නොදි­යුණු සෞන්දර්ය කලා මාධ්‍ය­යක් තිබුණා ය කියල විශ්වාස කරන්න පුළු­වන් තත්ත්ව­යක් මහි­න්දා­ග­ම­න­යට පූර්ව යුගයේ අපට දකින්න ලැබෙ­නවා.

ගෞතම බුදු­න්ව­හන්සේ මිහිඳු හිමි­යන්ට ප්‍රථම තෙව­රක් මෙර­ටට වැඩම කළ බව මහා­වං­ශයේ සඳ­හන් වෙනවා. එහෙම නම් මේ බෞද්ධ දාර්ශ­නික හරය බුදුන් වහන්සේ වැඩම කිරී­මෙන් අන­තු­රුව වර්ධ­නය නොව­න්නත්, මහි­න්දා­ග­ම­න­යෙන් පසුව වර්ධ­නය වෙන්නත් හේතුව කුමක්ද?

පුරා­වි­ද්‍යා­ත්මක වශ­යෙන් තවම ඔප්පු වී නැතත් බුදුන් වහන්සේ තෙව­රක් මෙර­ටට වැඩම කළ බව අප වංශ­ක­තාව අනුව ඓති­හා­සික වශ­යෙන් පිළි­ගන්න කාර­ණා­වක්. ඒ වගේම ගෞතම බුදුන් වහන්සේ ශ්‍රී ලංකා­වට වැඩම කර සිදු කළ වැඩ කොටස පිළි­බ­ඳ­වත් ඒ ග්‍රන්ථ­වල සඳ­හන් වී තිබෙ­නවා. මීට අම­ත­රව ජන­ශ්‍රැ­තිය තුළත් මේ පිළි­බ­ඳව කරුණු කාරණා පෙනෙ­න්නට තිබී­මෙන් ඒ බව කිසි­යම් විදි­ය­කින් ඔප්පු වී තිබෙ­නවා. මෙහිදී අප තේරුම් ගත­යුතු වන්නේ බුදු­න්ව­හන්සේ මෙර­ටට වැඩම කර ඇත්තේ කිසි­යම් අර­මු­ණක් මත බව. ඒහිදී ඒ අර­මුණ සඵල වූ පසුව බුදු­න්ව­හන්සේ නැවත දඹ­දිව බලා වැඩම කළ බව අපට පේනවා. එත­කොට එවැනි ගමන් තුනක් පිළි­බ­ඳව තමයි මේ ඓති­හා­සික මූලාශ්‍ර මඟින් කියැ­වෙන්නේ.

බුද්ධ­ත්ව­යෙන් පස්වන මස බුදුන් වහන්සේ මහි­යං­ගණ­යට වඩම කර­නවා. එම­ඟින් හැඟ­වෙන්නේ උන්ව­හ­න්සේගේ ධර්මය තේරුම් ගැනී­මට හැකි ජන විඥා­න­යක් සහිත මානව ප්‍රජා­වක් මෙහි විසූ බව නේද?

බුදුන් වහන්සේ සර්ව­ඥතා ඥාන­යට පත් වුණ කෙනෙක්. මොන­යම් බුද්ධි මට්ට­මක සිටින කෙන­කුට වුණත් ධර්මය දේශනා කිරීමේ විධි­ක්‍ර­ම­යක් හැකි­යා­වක් බුදුන් වහ­න්සේට තිබුණා.

අංගු­ලි­මා­ලට ධර්මය දේශනා කළ ආකා­ර­යට නෙමෙයි බුදුන් වහන්සේ චිංචි­මා­ණ­වි­කා­වට ධර්මය දේශනා කළේ. සච්ච­කට, සෝපා­කට, කාල සිටු පුත්‍ර­යාට... මේ ආදී නොයෙක් දෙනාට උන්ව­හන්සේ ධර්මය දේශනා කළේ ඒ ඒ අයට ඔබින ආක­ර­ය­ටයි. ඒ අනුව කිසි­යම් අර­මු­ණක් වෙනු­වෙන් උන්ව­හන් සේ මේ රටේ එවක සිටි ජන­යාට ධර්මය දේශනා කරලා නැවත දඹ­දිව බලා වැඩම කළා. ඒ නිසා බුදුන් වහ­න්සේගේ ධර්මය තේරුම් ගන්න පුළු­වන් තරම් මාන­සික මට්ට­මක මේ අය හිටියා ය කියන මතය මා පිළි­ගන්නේ නැහැ. සමා­ජයේ බොහෝ දෙනා අත­රත් අද එවැනි මත­යක් තිබෙන බව පේනවා. නමුත් බුදු­න්ව­හ­න්සේගේ ධර්ම­ඥා­නය අධ්‍ය­ය­නය කරන කොට උන්ව­හන්සේ කුමන බුද්ධි­ත­ල­යක සිටින කෙන­කුට වුවත් ධර්මය පහදා දීමේ විශේෂ ගුණ­ය­කින් සිටි බව අපට පේනවා.

එත­කොට බුදු­න්ව­හ­න්සේට මේ රට තුළ පිහිටුවන්න නොහැකි වූ දහ­මක්ද පසු කාලී­නව මිහි­දු­හි­මි­යන් පිහි­ටු­වී­මට කට­යුතු කරන්නේ?

අප මෙත­නදි තේරුම් ගන්න ඕන මේ අවස්ථා තුනේදී බුදු­න්ව­හන්සේ ශ්‍රී ලංකා­වට වඩින්නේ කිසි­යම් අර­මු­ණක් පෙර­දැ­රිව බව. ඒ අර­මුණ ඉටු වූ පසු උන්ව­හන්සේ නැවත දඹ­දිව බලා වැඩම කර­නවා. ශ්‍රී ලංකාවේ බුදු­ද­හම පිහි­ටු­විය යුතුයි කියන අද­හස මේ පැමිණි කිසිදු අව­ස්ථා­වක අර­මුණු වී තිබුණේ නැහැ. එනිසා මෙරට තුළ බුදු දහම දිගට ම පව­ත්වා­ගෙන යෑමේ වැඩ පිළි­වෙ­ලක් උන්ව­හන්සේ විසින් දේශනා කර නැහැ. කිසි­යම් දර්ශ­න­යක් සමාජගත­වෙන්න නම්; ඒ දර්ශ­නය පිළි­ගෙන ඊට ගෞරව කර­මින් එය ඉදි­රි­යට රැගෙන යන අනු­ගා­මික පිරි­සක් ඒ රට තුළ බිහි වෙන්න ඕන. ඒ වගේම ඒ අනු­ගා­මික පිරිස ශක්ති­මත් අනු­ගා­මික පිරි­සක් වෙන්න ඕන. නමුත් බුදු බණ අහපු පම­ණින් ශක්ති­මත් අනු­ගා­මික පිරි­සක් මේ රටේ බිහි වුණේ නැහැ කියල කියන කාර­ණාව ඒ නිසා අපිට පැහැ­දි­ලියි. මොකද ඊට අවශ්‍ය සංවි­ධා­නා­ත්මක පරි­ස­ර­යක් ඒ වන­විට රට තුළ නිර්මා­ණය වී තිබුණේ නැහැ.

බුදු දහම ජනතා ආග­මක් වුණාට එය ඉදි­රි­යට ගෙන යන පිරිස තමයි සංඝයා. උප­ස­ම්ප­දා­ලාභී භික්ෂූන් නැතිව ගිය­හොත් ලංකාවේ බුද්ධා­ගම ඉති­රි­වන්නේ නැහැ. ඒකේ තේරුම මිනිස්සු ඔක්කෝම ධර්මය දන්නේ නැහැ කියන කාර­ණාව නෙවෙයි. ධර්මය දන්න අය ඉන්න පුළු­වන්. නමුත් බුදු දහම ලංකාවේ නැහැ. ඒ සඳහා උප­ස­ම්පදා භික්ෂූන් වහ­න්සේලා ඇති කරලා; එය පව­ත්වා­ගෙන යෑම සඳහා සංවි­ධා­න­යක් ඇති කරලා මෙහි නතර කර යෑමේ අව­ශ්‍ය­තා­වක් බුදු­ර­ජා­ණන් වහ­න්සේට තිබිල නැහැ. බුදු­න්ව­හන්සේ කිසි­යම් අර­මු­ණක් සඳහා වැඩම කළා. ඒ අර­මුණ ඉටු වූ පසු නැවත දඹ­දිව බලා ගමන් කළා. ඒ නිසා බුදුන් වහන්සේ පැමිණි ගමන් තුනේ­දිම බුදු දහම සංවි­ධා­නා­ත්මක දහ­මක් ලෙස මේ රට තුළ රෝපිත දහ­මක් බවට පත් වුණේ නැහැ.

එහෙම නම් මිහිඳු මහ­ර­හ­තන් වහ­න්සේගේ වැඩම කිරීම; බුදුන් වහන්සේ මෙර­ටට වැඩම කිරී­මෙන් වෙනස් වෙන්නේ කොහො­මද?

මිහිඳු මහ­ර­හ­තන් වහන්සේ ශ්‍රී ලංකා­වට වැඩම කළේ බුදුන් වහන්සේ වැඩම කළ ආකා­ර­යට නෙමෙයි. බුදුන් වහන්සේ කිසි­යම් අර­මු­ණ­කට වැඩම කළා. ඒ අර­මුණ ඉෂ්ට වුණාම නැවත තම රටට වැඩම කළා. නමුත් මිහිඳු මහ­ර­හ­තන් වහන්සේ ලංකා­වට වැඩම කළේ ලංකාවේ බුදු දහම තියන්න ඕන; බෞද්ධා­ග­මික රටක් බවට ලංකාව පත් කරන්න ඕන කියන කාරණා නිසයි. ඒ සඳහා අවශ්‍ය කළ­මනා කරුණු ටික අර­ගෙන තමයි මිහිදු මහ­ර­හ­ත­න් ව­හන්සේ මෙර­ටට වැඩියේ. ඒ අනුව තුන්වන ධර්ම සංගා­ය­නා­වෙන් සංශෝ­ධ­නය වුණ ධර්මය උන්ව­හන්සේ විසින් ලංකා­වට අර­ගෙන ආව කියන පිළි­ගැ­නීම විශ්වා­සය අද දක්වාම තියෙ­නවා.

මේ විදි­යට උන්ව­හන්සේ ලංකා­වට වඩි­න­කොට රහ­ත­න්ව­හ­න්සේලා, උප­ස­පන් භික්ෂූන් වහ­න්සේලා, සාම­ණේර භික්ෂූන් වහ­න්සේලා හා ගිහි­යන් යන සියලු දෙනා දඹ­දි­වින් අර­ගෙන ආවා. ඒ අනුව ශාස­නික විනය පන­වන්න පුළු­වන් විදි­යට උප­ස­ම්පදා භික්ෂූන් හා භෞතික සම්පත් අර­ගෙන ආවා. උන්ව­හන්සේ ලංකා­වට වැඩම කළ හැටි­යෙම පාලි භාෂාව මේ රටේ ජන­තා­වට උග­න්වන්න කට­යුතු කළා. උන්ව­හන්සේ සමඟ ආපු අය සිංහල ඉගෙන ගත්තා.

අනු­බුදු මිහිඳු මහ­ර­හ­තන් වහන්සේ ලංකා­වට වැඩම කරන්න ඉස්සෙල්ලා දූප­තක ඉඳ­ගෙන සිංහල ඉගෙන ගත්තා කියන කාර­ණය. අද එය පිළි­ගත් සාධ­ක­යක් බවට පත් වී තිබෙ­නවා. උන්ව­හන්සේ සිංහල ඉගෙ­න­ගෙන පාලි භාෂා­වෙන් තිබුණු ශ්‍රී සද්ධ­ර්මය සිංයල භාෂා­වෙන් ලිව්වා. මේ විදි­යට අරිට්ඨ හාමු­දු­රුවො ඇතුළු පිරිස කමි­ටු­වක් හදා­ගෙන එහි අනු­මැ­තිය ඇතිව තමයි ඒවා ලිව්වේ. ඒ අනුව බුදු­න්ව­හන්සේ දේශනා කළ ශ්‍රී සද්ධ­ර්මය ප්‍රථ­ම­යෙන් සිංහ­ලෙන් ලියන්නේ මිහිදු මහ­ර­හ­තන් වහ­න්සේයි.

ඒ සඳහා පිළි­ගත් සාධක තියෙ­න­වද?

ඔව්, ඒ තමයි හෙළ අටු­වාව. ත්‍රිපි­ට­කය අධ්‍ය­ය­නය කරන හැම උග­තෙක් බුද්ධි­ම­තෙක් ම හෙළ අටුවා කියන්නේ මොන­වද කියල දන්නවා. ‘හෙළ’ කියන්නේ සිංහල කියන එකයි. ‘අටුවා’ කියල කියන්නේ විස්ත­ර­යයි. ඒ අනුව ‘සිංහ­ලෙන් ලියූ විස්ත­රය’ හෙළ අටු­වාව කියල කියන්න පුළු­වන්. මහා අට්ඨ කථා, මහා පච්චරි අට්ඨ කථා, කුරුන්දි අට්ඨ කථා, අන්ධ­ට්ඨ­කථා, සංඛ­පට්ඨ කථා යනු­වෙන් අටුවා පොත් පහක් මේ ආකා­ර­යට ලියැවී තිබුණු බව පිළි­ගැ­නෙ­නවා. අද අපට මේ පොත් නම්ව­ලින් පම­ණයි දකින්න තිබෙන්නේ. මේ සියලු හෙළ­ටු­වාව බුද්ධ­ඝෝස හමු­දු­රුවො කිය­වලා පාලි භාෂා­වට පරි­ව­ර්ත­නය කළා. ඒ බව උන්ව­හන්සේ මෙර­ටට පැමිණි කාර­ණය පිළි­බඳ ව මහා­වං­ශයේ තිස් හත්වෙනි පරි­ච්ඡේ­දය කිය­වන විට අපට වටාහ ගන්න පුළු­වන්.

බුද්ධ භාෂි­තය සිංහ­ලෙන් රචනා වී තිබූ කාලය වන විට ඒ ආශ්‍ර­යෙන් ලියැ­වුණු පොත් ගණ­නා­වක්ම සිංහ­ලෙන් තිබුණා. හෙළ අටුවා පොත් පහට අම­ත­රව විශාල පොත් ප්‍රමා­ණ­යක් ඊට එකතු වී තිබුණා. දඹ­දි­වින් වැඩම කළ බුද්ධ­ඝෝෂ හිමි­යන් සියලු අටුවා පොත් කිය­වලා ඒවයේ නැවත නැවත එක ම දේ ලියා තිබූ තැන් විමසා බලා ඒවා සාරාංශ කර අවශ්‍ය ම කරුණු ටික පම­ණක් ඇර­ගෙන මේ අටුවා පාලි­යට පරි­ව­ර්ත­නය කළා. ඒවා හඳු­න්වන්නේ පාලි අටුවා කිය­ලයි. ඒවා අද දක්වාම පව­ති­නවා.

මින් අපට පැහැ­දිලි වන්නේ මිහිදු හිමි­යන් ශ්‍රී ලංකා­වට වැඩම කළා­යින් පසුව තමයි ලංකාවේ නිශ්චිත අක්ෂර කලා­වක් පිහි­ටන්නේ. එතෙක් ලංකාවේ පැවති අක්ෂර කලාව විධි­මත් කරන්නේ උන්ව­හ­න්සේයි. සිංහල භාෂා­වෙන් උන්ව­හන්සේ බුද්ධ වච­නය ලියන කොටම සිංහල භාෂාව තව­දු­ර­ටත් ඉහළ ගියා. මේ නිසා සිංහල භාෂා­වට ලෝකයේ වටිනා කමක් හිමි­වෙන්න පටන් ගත්තා. සිංහල භාෂා­වෙන් ධර්මය ලිය­පු­වාම සිංහල ජන­තාව ඒ ධර්මය තේරුම් ගන්න පටන් ගත්තා. ධර්ම සංකේත තේරුම් ගන්න පටන් ගත්තා.

මිහිදු හිමි­යන් විසින් සිදු කළ මේ ධර්ම කාර්යය මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රය පෝෂ­ණය කිරී­මට ඉව­හල් වෙන්නේ කොහො­මද?

මා කලින් පැහැ­දිලි කළ විධි­යට කලා­නු­රූ­පව විවිධ ආකා­ර­යට බුදුන් වහ­න්සේගේ ධර්මය ලේඛන ගත­වෙන්න පටන් ගන්නවා. අප සාහිත්‍ය හැටි­යට හඳු­න්වන්නේ මෙලෙස ලේඛ­න­ගත වීමයි. මේය අපට නම් කළ හැක්කේ ධර්ම සාහිත්‍ය ලෙසයි. ඒ අනුව සිංහල සාහිත්‍ය යනු බෞද්ධා­ග­මික සාහි­ත්‍යයි කියල අපට කියන්න පුළු­වන්. ත්‍රිපි­ට­කය, පාලි අටු­වාව, මහා­වං­ශය, දීප­වං­ශය, මහා බෝධි­වං­ශය, ධාතු වංශය, කව් සිළු­මිණ, සද්ධ­ර්ම­ර­ත්නා­ව­ලිය, අමා­ව­තුර, බුද්ස­රණ, කාව්‍ය­සේ­ක­රය, සස­දා­වත, පංචි­කා­ප්‍ර­දී­පය,... ආදී නොයෙක් ආකා­රයේ ග්‍රන්ථ අපට මේ යටතේ පෙන්වා දෙන්න පුළු­වන්. උදා­හ­ර­ණ­ය­කට බෝධීන් වහන්සේ මෙර­ටට වඩ­ම්ම­නවා. ඒකට මහා බෝධි­වං­ශය කියල පොතක් ලියැ­වෙ­නවා. ඒකට ගැට­පද විව­ර­ණ­යක් ලියැ­වෙ­නවා. මේ ආකා­ර­යට තමයි මෙරට සාහිත්‍ය බිහි වුණේ.

1900 පමණ වෙන­කම්ම මේ රටේ තිබුණේ මේ ධර්ම සාහි­ත්‍ය­යයි. ඒ අනුව බැලු­වාම ලංකාවේ ධර්ම සාහි­ත්‍ය­යෙන් තොර සාහි­ත්‍ය­යක් තිබී නැහැ. මේ සාහිත්‍යය ගොඩ­නැ­ඟුණේ මිහිඳු මහ­ර­හ­තන් වහ­න්සේගේ ධර්ම සාහිත්‍ය ආර­ම්භ­යත් සම­ඟයි.

එහෙත් ක්‍රි:ව 19 වන සිය­වසේ ලෝක සාහි­ත්‍යයේ ඇති වුණු විප­රි­ණා­ම­යත්, ඒ විප­රි­ණා­මය ශ්‍රී ලංකා­වට පැමිණි මේ ප්‍රති­ඵ­ල­යක් විදි­යට 1905 දී සිංහල නව­ක­තාව බිහි වෙනවා. එතැන් සිට මෙරට තුළ ව්‍යාප්ත වුණේ අංග විකල සාහි­ත්‍ය­යක්.

රසික කොටු­දු­රගේ
සේයාරුව-විමල් කරුණාතිලක

අදහස්