පොසොන් කවි මඩල | සිළුමිණ

පොසොන් කවි මඩල

අනු බුදු සමිඳු නොවැ­ඩි­යා­නම්

යන එන මං නැතුව ගෑටුව සිහළ බිමේ
දැල්වුණි කසා­වන් පහ­නක් දැහැමි කමේ
එය සිදු නොවී­නම් මිස්සක පව්ව බිමේ
තව­මත් අපි හිඳිමු වල්මත් බවින් හිමේ
යා යුතු මග නොදැන අඳුරේ කුර ගෑව
එද­වස සිහළ බිම කිසි එළි­යක් නූව
මිස්සක පව්වෙ පෙර දව­සක පෑයූව
සඳ­රැස් කසා­වන් ගන­ඳුර දුර ලූව
දහ­මක් දෙසිණි ජීවත් වෙන්නට යහ­මින්
දුක දුර­ල­ගෙන දිවි ගම­නට සමු දීමෙන්
පෙරදා නිමල දහ­මක් ලක පැති­රී­මෙන්
සැන­සුණි දිවි මගට නිසි අරු­තක් දීමෙන්
ඔප­වත් වුණා නිසි අයු­රින් අනුර පුරේ
ගම් බිම් ඉදි වුණා වැව් දිය පිරුන ඉමේ
බෝ පත් පවා බණ දෙසුවා සැරෙන් සැරේ
පිරුණා සාදු සිතු­විලි සිත අනෙක වරේ
දාගැබ් වෙහෙර පන්සල් ඉදි­වුණි දසත
ඝණ්ටා­රයේ නාදය පැතු­රුණි හැමත
ජන ජීවි­තය සරු වූවා මත කමත
වී අටු­වක් වුණා අග­හිඟ කම් නොමැත
අනු බුදු සමිඳු නොම වැඩි­යා­ නම් එහෙම
සිසි­ලස නොවේ කර්කෂ බිම ලෙස කිසිම
එද­වස මිහින් තලයේ මුල් බණ දෙසුම
අඩු­වක් නැතුව නිර­තූරු ඇසෙ­නව තවම

කලාභූෂණ ගාමිණි ලිවේරා - මුන්ද­ලම
 


පොසොන් අසි­රිය

විහි­දෙන සඳ එළිය සිසි­ලස බෙදා දෙන
පැති­රෙන මඳ සුළඟ දහ­නය නිවා­ලන
හිනැ­හෙන තුරු ලතා පොද­වැසි නිසා­වෙන
එළ­ඹෙන පොසොන් දින සම­රමු බැති සිතින
මිනි­සුන් එදා ගස් වැල් වැඳ පුදා­ගෙන
අර සුන් ගති සිරිත් සිත තුළ පුරෝ­ගෙන
මැඩි­යන් ලෙසින් ලිඳ තුළ සිරවී සිටින
දහ­මින් මිහිඳු හිමි සැන­සුම ලැබුව දින
විම­සුව අඹ පැනය අනු­බුදු හිමි රජු­ගෙන්
නොඅ­ඩුව තිබෙන බව දැන ගති නුවණ එයින්
පැව­සුව දහම් මග පිළි­ගෙන හිස් මුදු­නින්
පූජා කළා ලක්දිව පූජා බුදු සසුන නමින්
පූජා බිමක් විය අනු­රා­පුර පෙදෙස
පෝදා පොසොන් පැති­රෙ­නවා දහම් රස
හැරදා ගිහි ගෙදර අට­සිල් ගත් පිරිස
පහදා යොමු කරති තම සිත නිවන දෙස
ජන හද­වතේ යහ­ගුණ බිජු වැපි­රෙව්වා
සම්මා ආජී­ව­යට නිසි මග හුරු කෙරුවා
නිව­හල් රටක් ලෙස සිරි­ලක නම් දැරුවා
සද­හම් දීප­යයි විරු­දා­වලි ලැබුවා

ජය­සේන කොඩි­තු­වක්කු
මෙල්බර්න්, ඔස්ට්‍රේ­ලියා


හදවත් බවුන් වඩයි

අනු­ර­පුර රජ දහනේ
පින් කෙතකි කිරි වැදුණේ
දාගැබ් කොත්කැ­රලි මුදුණේ
සද­හම් කිර­ණ­මැයි රැඳුණේ
තිසා වැව පිස හමන පවනේ
අනු­බුදු වදන් රැව් නැඟුණේ
මහබෝ සමිඳු සෙවණේ
නිසල හද­වත බවුන් වැඩුණේ

රත්න­සිරි පති­රණ


අද වැනි දිනෙක

අද වැනි දව­සක මිහි­න්ත­ලාවට
වැඩම කරපු අනු­බුදු ගුණ සිහිකොට
කුසුම් පුදමි හද බැති­යෙන් වැඳ සිට
වඩිනු මැනවි මගෙ හිස අඹ තලයට
දම්සෝ අග රජු හට පුත් වීමෙන්
ඉපදී හැම සම්පත් හැර ලෑමෙන්
මග ගොස් සද­හම් අර­හත් වීමෙන්
සග මොක් සැප දුනි දම් රස දීමෙන්
මිහිඳු සමිඳු ටික කල­කට පස්සේ
පිය රජුගේ බස පිළි­ගෙන තිස්සේ
මිහි­න්ත­ලා­වට අහ­සින් බැස්සේ
ලක්දන තෙමුණෝ සද­හම් වැස්සේ
අහ­සෙහි තරු­මල් සහ පිරි­ව­ර­මින්
සඳ නැගුණා ගන­ඳුර දුරු කර­මින්
පොසොන් මසේ පස­ළො­ස්වක ලබ­මින්
උදා වුණා නව යුග­යක් දහ­මින්
පෑතිස් රජු දහ­මට හැර වීමෙන්
සිරි ලක නව එළි­යක් ඇති විමෙන්
දඹ­දි­ව්තල අනු­බුදු හිමි නාමෙන්
දෙ‍ලොවම දියු­ණුව ඇති ­විය සාමෙන්
අනු­බුදු හිමි­යන් මෙහි වැඩි හින්දා
අහස උසට මහ දාගැබ් බැන්දා
සමු­දුර වැනි මහ වැව් මෙහි බැන්දා
දෙවි­යොත් සිරි­ලං­කා­වට වැන්දා

කලා­භූ­ෂණ කිවි­පති අමු­වල අම­ර­සේන


 කසා­ව­තට ගිය පොඩි­දුව

දසක දෙක හමා­රට වැඩිය අප සෙවනේ සිට
උගෙන දම් ගුණ නුවණ එක­තු­කොට දිවි මඟට
පුංචි සන්දියේ සිටිය කසා­වත තුරුළු කොට
තුරුණු වියේ දැව­ටුණා බුදු දහම සරණ කොට
මටයි අප්ප­ච්චි­ටයි සතුට ගෙන ආව ඔබ
පවුලේ බඩ පිස්සි වූ අපෙ මැණික වූයෙ ඔබ
පින්ක­මක පින්බි­මක පෙර­මුණේ සිටිය ඔබ
කසා­වත දැව­ටු­ණත් අපේ පොඩි­දු­වයි ඔබ
ළඳ­රු­විය, ළමා­විය, තුරුණු විය පින්කෙ­තකි
ලද දෙයින් තුටු­වුණා හිමි­වුණේ පින් සිතකි
තියෙන දේ පුද­න්නට මුදු දෑත් පින් අතකි
ඔබ වගේ දුවක් ලද මමත් පින්බර මවකි
සසර ගෙන ආ පුරුදු යළි යළිත් මතු­වුණා
පාරමී දම් පුරා කසා­වත දැව­ටුණා
දහම් ගුණ දැනු­මෙන් ම බුදු මඟට පිවි­සුණා
දුක වුණත් දරා­ගමි බුදු දුවක් ඉප­දුණා
ළං නොවේවා කිසිත් මැසි මදුරු උව­දු­රක්
ළං නොවේවා කිසිත් රිදුම් දෙන කිසි දෙයක්
ළං නොවේවා නපුරු කුරිරු මිස­දුටු යමක්
නිවන් මඟ වැඩේවා පතමු දහ­සක් වරක්

චන්දිමා විජේ­සිංහ - අනු­රා­ධ­පුර


මිහි­න්ත­ලය

අද වැනි දිනක සද­හම ඉති­හ­සෙන් ඇද
ඇති කළ අසී­මිත සුව­යක් දනන් හද
අනු­බුදු මිහිඳු ගුණ මතු­කර කියන් නද
පායයි මිහි­න්ත­ල­යට සුදු සුපුන් සඳ
සමන් නෙලුම් අර­ලිය මල් පිපී යන්
සඳුන් කපුරු දුම් සුව­ඳය නැගී යන්
පොසොන් සුවඳ හද­වත් තුළ රැඳී යන්
මිහි­න්ත­ලාවේ අනු­හස් පෙනී යන්
පෙහෙවී සුදු වතින් බබ­ළන මෙතුන් හෙළේ
සැද­හැති දනන්ගේ නෙත් සිත් පහන් කළේ
සද­හම් සුවඳ පිරි ඉතිරී ගුවන් තලේ
මිහි­රෙන් මිහි­රි­වත් වේවා මිහින් තලේ

සරත් ධර්ම­සේන


 ඔබෙ පා යුග වදිමි!

පොසොන් මසේ පුන්සඳ රැස් විහිදා ගුවනේ නැගෙද්දී
බොදුනු දනන් සැම හද බැති­යෙන් පන්සල් වෙත ඇදෙද්දී
මිහිඳ සමි­ඳුගේ දම් ගුණ සුවඳ ගම් පුරා අද පැති­රෙද්දී
පන්සල් යමු! අපි සැම පුන්සඳ අඹරේ නැග එද්දී
ලක් දනන්ගේ සිත් දම් රස­යෙන් නහ­වනු පිණිස ඒදා
දඹ­දිව් තලෙන් ලක්දිව වැඩිය අපෙ මිහිඳු හිමි සමිදා
ලක්වැසි දන­න්හට දම් රස ලැබ දෙමින් සොඳා
පින්වත් මිහිඳු සමි­ඳුනි! ඔබ පා යුග වඳිමි සදා

මයි­කල් බණ්ඩා­ර­නා­යක - ගම්පහ


පොසොන් ප්‍රගී­තය!

සසල මහ වන­පෙත
නිසල වුණු පසු හැම­අත
තරු කැටුව වික­සිත
මිහිඳු සඳ සුදු වුණා ගිර­මත!
දඩ සතට හිනැ­හුණි
හිමි ගෙන් රැසක් දිලිහුණි
කරෙහි හී ගිලි­හුණි
බඹර රැස දැමි­ක­මට සැර­හුණි!
දඩ­මත් රද පිරිස
කලු මැකුණු පස් තම හිස
සරිව සුදු මල්පැස
කසුන් එළි­යට සැපත් විය­යස!
රළ සරින් තුරු­මැද
ගැලුණි අර­හත් දම්කඳ
අත් පියුම් කෙමි ‍සොඳ
නළල් මැද සැත­පුණා මුදු­ලෙද!

මාදම්පේ කලා­භූ­ෂණ
ඇම්. අසෝක. ද . සිල්වා


තෙවැනි අව­දිය

බැලු බැලු හැම තැන
වය­සට යන දන තැවෙත්
යළි යළි ගිය කල
සොය සොය වෙහෙ­සෙන සිතින්!
අස­හන පිරි ලොවක
තනිව ගෙවෙන දිවිය හර­සුන්
සිත සිත තැවි තැවි
නොව ඉඳ කෙටි කල දුකින්
අට ලොව දහ­මට
නුවණ අවදි කරනු මැනව
සතු­ටින්!

සෙන­රත් තෙන්න­කෝන්
 


පොසොන් උදාන

අරුණු ප්‍රභා දම් රැස් අනු­බුදු වඩින
පිරිණු තරිඳු පායා මිස්සක සොබන
දරුණු කෝප මද රෝ බිය සිත් සතන
තුරුණු සිහිල් මෙත් ගුණ දහ­රින් නිවිණ
දද ලෙළ පොසොන් පෝදා මෙත් සිසිල හමා
සිත් තුළ පිරුණු බිය සංකා කෙලෙස් නිමා
බිඟු රළ විලස සිව් දිග ඇදි සිරස නමා
දන කැල රකිති වෙහෙරේ සිල් සුවය අමා
ඉසිරි මිනිස් ගුණ දම් සිහි­ලෙන් තෙමෙනා
විසිරි මල් සුවඳ සිල් සුවඳේ එතෙනා
අසිරි පොසොන් සිතු­වම් මිහි­මත ඇඳෙනා
සසිරි දැයක සෙනෙ­හස් මල් යළි පිපෙනා
ළකල් කැකුළු එළි­වැට මද නල එතෙනා
අගිල් කපුරු සුවඳේ බෝපත් සැලෙනා
සුනිල් නෙතින් බුදු­රැස් ලෝ සත නිවනා
සියල් සතට දළදා සමිඳුගෙ සරණා

දොන් සුසිල් ප්‍රේම­රත්න
කැන­ඩාවේ ඔටාවා නුවර


නම­දිමු අනු­බුදු හිමි....!

පොසොන් සඳ නැගෙද්දී අඳුරු කඩ තිර ඉරා
සවන් මත රැඳ­වුණා සද්ධර්ම සුව පෙරා
එදා මුව දඩ­යමේ ගියේ තම අසු අරා
රජු වැලඳ ගති දෙසූ දහම් රස ලොවුතුරා
නැඟී අරු­ණාලෝක රැස් දහර බිම තෙමූ
රාග ද්වේෂ මෝහා සම­තලා කර දැමූ
දඹ­දි­වින් මෙහි පැමිණි සද­හ­මෙන් හිත තෙමූ
මිහිඳු මා හිමි­යනේ ඔබේ පා නමදිමු
මිහි­න්තල පවුර මත නැඟී ආ‍ලෝක­යෙන්
රජුන් බුදු සරණ ගොස් ලැබූ ඒ සැන­සු­මින්
හොඳ නරක වෙන් වෙන්ව උගත් මුදු පාඩ­මෙන්
අදත් පින් කෙතකි විය දහම් සඳ පාය­මින්
වෙහෙර දාගැබ් මහා පොලෝ මත ඉදිවූණා
එදා අවි­හිං­සාව හිත් තුළම කිමිදුණා
මතක් කර ගමින් නිතොර සද­හම් මනා
හෙටක් පිළි­වෙත් රකිමු මිහිඳු හිමි නාමෙනා

උපාලි කස්තු­රි­ආ­රච්චි - පාණ­දුර
 


සඳ, නුඹ අම­තමි

පොසොන් සඳ මම නුඹට අම­තමි
මෙතෙක් මුනි­වත රැකපු හින්දා
ටිකක් දොඩ­මලු වෙමුද මා හා
ළඟයි පින්බර පොසොන් පෝදා
එදා මිස්සක පව්ව ඔප­කළ
ඔබේ සොම් සඳ කිරණ වරුසා
දිලුණි කිරි සාගරේ පරයා
අඹ වනේ තුරු මුදුන් සරසා
එදා අනු­බුදු මිහිඳු මාහිමි
වඩින තැන නුඹ හිටපු හින්දා
දෙසූ ඇත් අඩි සුතුර කිය­මුද
ඇසූ අය අද නොමැති හන්දා
දුනු අමෝරා මුවෙකු පසු පස
හඹා ගිය රජු නුඹ දකි­න්නැති
තිස්ස නව­තිනු කියා ඇමතූ
වදන් ඔබ නිසැ­කව අහ­න්නැති
කෙලෙස් මල­බැඳි අවිදු අදු­රෙන්
මිනිස් වන ඇත මංමු­ළා වී
අනේ සඳ ඔබ එදා වාගෙම
මිහිඳු හිමි හා වඩිනු මැනවී

පී.බී. සම­ර­කෝන්
හිරි­ප­ත්වැල්ල, වදා­කඩ


පල දැරූ ගසකි අද මේ බිම

අනු­බුදු මිහිඳු හිමි සිරි­ලක වැඩි දිනයේ
සද­හම් අමා එළි­යයි මුළු ලොව දිනුයේ
කරුණා ජලෙන් හද­වත් කෙලෙ­සුන් නැසුයේ
මිස්සක පව්ව වැසි සඳ­ම­ඩ­ලයි ගැලුයේ
මිස­දුටු සියලු බැමි සුන්වී සිත් පෙමිනා
තුන් සර­ණයේ බල ලැබ බුදු දම දිලුණා
සිව් හෙළ­යන්ට සද­හම් සුව නිති ලැබුණා
පින්දම් බලෙන් දෙව්ලොව දොර­ටුව ඇරුණා
මිල කළ නොහැකි දහ­මක අසි­රිය නැංවූ
විල දම් කඳකි නෙත් යුග පහ­නින් දැල්වූ
කළ මෙහෙ­ව­රකි රජු සහ සමි­ඳුන් එක්වූ
පල දැරූ ගසකි අද මේ බිම මල් ගැන්වූ

පියුමි ජය­ක­ලණි වික්‍රමආරච්චි

අදහස්