බෞද්ධ සංස්කෘ­තියේ හා හෙළ කලාවේ ඇති වූ ප්‍රබෝ­ධය | සිළුමිණ

බෞද්ධ සංස්කෘ­තියේ හා හෙළ කලාවේ ඇති වූ ප්‍රබෝ­ධය

අනු­රා­ධ­පුර ශ්‍රී ලංකා භික්ෂු විශ්ව­වි­ද්‍යා­ලයේ සිංහල අධ්‍ය­යන අංශයේ මහා­චාර්ය අලහේනේගම සුම­න­ර­තන නා හිමි

මහි­න්දා­ග­ම­නයේ බල­පෑ­මෙන් ධර්ම දිව­යි­නෙහි රුහුණු, මායා, පිහිටි යන තුන් සිංහ­ල­යේම නිර්මා­ණය වුණු හෙළ බෞද්ධ කලා කෘති අති­වි­ශාල ප්‍රමා­ණ­යකි. මිහි­න්තලා ප්‍රදේ­ශයේ ම විහාර මන්දිර, චෛත්‍ය ස්ථාන, දේශන ස්ථාන, විවේ­ක­ස්ථාන, නගර ආදිය නිර්මා­ණය කිරී­මේදී බෞද්ධ කලාව බහුල වශ­යෙන්ම බල­පෑ­වේය. මිහි­න්තලා පර්ව­තය සමී­ප­යෙහි ඇති නාග, ඇත් ආදී පොකු­ණු­ව­ලද, කලා ශිල්ප මූර්ති­මත් කර­මින් නාග ඇත් ආදී සත්ත්ව­රූප මිශ්‍රිත කැට­යම් චිත්‍ර වැනි කලා­කෘති ද දක්නට ලැබෙයි. එහෙත් කුඩා ජල පොකුණු තුළ ද චිත්‍ර, කලා නිර්මාණ කෘති වර්ත­මා­නය තුළ පවා දැක­ගත හැකිය. අනු­රා­ධ­පු­රයේ ඉසු­රු­මුනි සහ අවට ඉදිවී තිබෙන ස්ථාන­වල ද, අලං­කාර සිතු­වම් නිර්මා­ණය කර වූ බවට සාධක සොයා‍ගත හැකිය. තවද, ස්වර්ණ­මාලී චෛත්‍ය­රා­ජයා හා අභ­ය­ගිරි චෛත්‍ය රාජයා අතර වර්ත­මා­නයේද නෂ්ටා­ව­ශේ­ෂව පව­තින සඳ­කඬපහණ කිහි­ප­යකි. පූජ­නීය ගොඩ­නැ­ඟි­ලි­ව­ලට ද ප්‍රවිශ්ට වන ආර­ම්භක ස්ථාන­වල ඉදි­කර ඇති අලං­කාර සද­කඬපහණ මහි­න්දා­ග­ම­නයේ ප්‍රති­ඵල වශ­යෙන් ශේෂව පව­තින විශිෂ්ට ගණයේ හෙළ බොදු කලා කෘති ය. සංසා­රයේ විවිධ අවස්ථා පසු­ක­ර­මින් සත්ත්වයා විමු­ක්තිය කරා ගමන් කරන ආකා­රය සංකේ­ත­වත් කරන ඒ කලා කෘති ආර­ම්භයේ සිට සංව­ර්ධ­නය වී ගිය ආකා­රය සිත්ගන්නා සුලු මෙන්ම පුදුම එළ­වන සුලු ය. වන්ද­නීය අභ­ය­ගිරි චෛත්‍ය රාජ­යා­ණන් වහන්සේ ඉදි­රියේ කැපී පෙනෙන සේ පිහිටා තිබෙන කුට්ටම් පොකුණ හෙවත් ඒකා­බද්ධ පොකුණු දෙක ලෙස හෙළ කලා­ක­රුවා අතින් නිම­වුණු අගනා කලා වස්තු ය.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභි­යස පිහි­ටියේ ‍ලෝවා මහා ප්‍රාසා­ද­යයි. එය මහල් නව­ය­කින් නිර්මිත විය. විශාල ප්‍රමා­ණයේ ගල් කණු­ව­ලින් ද යුක්ත නෂ්ටා­ව­ශේෂ අද්‍ය­ත­නයේ වුව ද, දක්නට ලැබේ. ඒ නව­ම­හල් මන්දි­රයේ වැඩ­සිටි දහස් ගණන් මහ සඟ­රු­ව­නින් මහ­ජ­න­යාට සිදු වූ අනන්ත සේවාව අදත් සිහි­ගැන්වේ. දහස් ගණන් වර්ෂ ගෙවී ගියත් මහි­න්දා­ග­ම­නය හරහා ඉදි වූ ඒ මන්දි­රයේ කලා ශිල්ප කාහට නම්, ස්මර­ණය වීම අම­තක කළ හැකි ද?

මහා ප්‍රතා­ප­වත් වූ ස්වර්ණ­මාලි චෛත්‍ය රාජයා සැත­පුම් ගණ­නක් දුර සිට වුවද, නූත­නයේ හා අනා­ග­ත­යේදී ද දර්ශ­නය කළ හැකිය. එහි කොත් කැරැල්ල, දේව­තා­කො­ටුව ධාතු ගර්භ, පේසා වළලු, වාහ­ල්කඩ ආදී පූජ­නීය අංගෝ­පාංග පැරැණි කලා­ක­රු­වාගේ දස්කම් විස්කම් මඟින් ඔප් නැංවුණු ආකා­රය බෞද්ධ අබෞද්ධ ජන හද­වත් තුළ තවත් වසර දහස් ගණ­නක් ම නොමි­යනු ඇත. දුටු­ගැ­මුණු මහ­ර­ජ­තුමා අතින් නිර්මා­ණය වුණු මිරි­ස­වැ­ටිය චෛත්‍යය නූත­න­යේදී ප්‍රති­සං­ස්ක­ර­ණය වෙමින් බැබළේ. අඩි 192ක් තරම් උස් වූ මිරි­ස­වැ­ටිය හෙළ කලා ශිල්ප මූර්ති­මත් කර ඇත්තේ ගඩොළින් නිර්මා­ණය වීමෙනි. විහාර මන්දිර හා භික්ෂු ආවාස සංකී­ර්ණ­ව­ලින් හෙබි මහ­සෙන් රාජ්‍ය­යෝ­ද­යේදී ඉදි වූ ජේත­ව­නා­රාම, මහා චෛත්‍ය රාජයා ද මහින්දාගම­නයේ ප්‍රති­ඵල වශ­යෙන් මහ­සෙන් රජ­තුමා අතින් ඉදි වූවකි. ඒ ස්තූපය ද කලා උන්න­තිය ද නිද­සුන් සප­යන ස්ථාන­යකි. චිත්‍ර හා කැට­යම් ආදිය විවිධ කලා­ශිල්ප ක්ෂේත්‍ර දියු­ණු­වට ඒ ස්ථානය ද නිද­සුන් සප­ය­න්නකි. අනු­රා­ධ­පුර ප්‍රදේ­ශ­යෙන් ලංකා­වට කලා ශිල්ප ද උප­යෝගී කර­ග­නි­මින් බුදු දහම ලක්වැ­සි­ය­නට බෙදා දුන් පූජ­නීය ස්ථාන­යක් ලෙස ද, නන්දන උය­නෙහි නිර්මා­ණය වූ ජේත­වන චෛත්‍ය රාජයා පිළි­ගත හැකිය. ජේත­වන ස්තූපය ආසන්න විහාර මන්දිර දාන ශාලා, බෝධි ඝර, වැනි පුජ්‍ය වස්තූන් ඉදි­කර තිබී­මෙන් හෙළ කලා­ක­රු­වාගේ දක්ෂ­තාව මොන­වට පිළි­බිඹු වෙයි. සෝමා දේවිය සිහි­පත් කිරීම සඳහා වළ­ගම්බා රජ­තුමා විසින් ඉඳි­ක­රන ලද ලංකා­රාම චෛත්‍යය ද ඉඳි­වීම හේතු­වෙන් පැරණි කලා ශිල්ප මැන­වින් මතුවි පෙනෙ­න්නේය.

දේවා­නම්පිය­තිස්ස රජ­තුමා විසින් කර­වන ලද ලංකාවේ ප්‍රථම චෛත්‍ය ලෙසින් බොහෝ උග­තුන් සල­කනු ලබන ථූපා­රාම චෛත්‍ය චේතිය ඝර­ය­කින් ද සම­න්විත ය. එය ද පුරා­තන කලා­ශිල්ප විදහා දක්වයි. ඊටම යාබද ඉදි වූ ගොඩ­නැ­ඟිලි ද , පුරා­ප­තන කලා ශිල්ප උන්න­ති­යට හේතු වූ බව ප්‍රකා­ශිත ය. මෙසේ සඳ­හන් වන පූජ­නීය ස්ථාන­ව­ලට අනු­බද්ධ ව ඉඳි­වුණු මුර­ගල්, කොර­වක් ගල්, දේව­රූප, වෙනත් රූප චිත්‍ර ආදි­යෙන් හෙළ කලා­ක­රු­වාගේ නිපු­ණතා සංව­ර්ධ­නයේ යම් යම් ලක්ෂණ ඉස්මතු වී පවතී. අට­ම­ස්ථාන හා ඒ ආශ්‍රිත ව ඉඳි­වුණු ස්ථාන­වල කලා ශිල්ප­වල සංව­ර්ධ­නය මතු වී පෙනෙන අතර මහි­න්දා­ග­ම­නයේ බල­පෑ­මෙන් දිව­යිනේ විවිධ ස්ථාන­වල කලා කෘති බිහි­ව­න්නට විය.

මහි­යං­ග­ණය යනු, බුදු­ර­ජා­ණන් වහ­න්සේගේ පාද­ස්ප­ර්ශය ලැබූ ස්ථාන­යකි. එහි ද ගොඩ­නැ­ඟුණු චෛත්‍ය­ස්ථාන හා ගෘහ නිර්මා­ණ­යන්හි හෙළ කලා­ක­රු­වාගේ පිබි­දීමේ තරම දැක­ගත හැකිය. නාග­දී­පය යනු, සොළො­ස්මා­ස්ථාන අත­රින් පූරාණ පූජ­නීය ස්ථාන­යකි. එහිද, ස්ථූප කලාව සම්බ­න්ධ­යෙන් කලා­ත්මක දෙය ගොඩ නැඟුණි.

කැල­ණිය යනු, අති පෞරා­ණික පූජ­නීය පින් බිමකි. එහි ඉදිවී ඇති ධාන්‍යා­කාර ස්තූප­යකි ඒ හා සම්බ­න්ධව පව­තින ගෘහ­නි­ර්මා­ණ­යන් රම­ණීය බවින් යුක්තය.

හැටන්හි දික්ඔය ප්‍රදේ­ශයේ පිහිටා ඇති ශ්‍රී පාද­ස්ථා­නය ද, එදා මෙදා තෙක් කලා­ත්මක බවින් අනූ­නය. දීඝ­වා­පිය, හා දිවා­ගු­හාව ඉපැ­රණි කලා­වන්ගේ දැකු­ම්කලු බව විදහා පාන පූජ­නීය ස්ථාන ය. මුති­යං­ග­ණය යනු, එදා මෙදා තෙක් ජනා­කී­ර්ණ­ත්වය නොඅඩු පුද­බි­මක් ය.

ඒවා බෞද්ධ ජන­යාට මෙන්ම විදේ­ශීය හා දේශීය අබෞද්ධ ජන­යාට ද, විශේ­ෂ­යෙන් අගනේ ය. තිස්ස­ම­හා­රා­මය එදා මෙන්ම අදත් පූජ­නී­ය­ත්ව­යෙන් අනූ­නව පව­තින්නේ පැරැණි කලා ශිල්ප­යන්ගේ පෞඪ­ත්වය හේතු­වෙනි. අද දක්වාම සිංහල බෞද්ධයා තුළ හැදි­යාව, සාර­ධර්ම, කෘෂි­ක­ර්මය, භෞතික දියු­ණුව මානව සබැ­ඳි­යාව, සභ්‍ය­ත්වය, විවිධ කර්මාන්ත ආශ්‍රිත ලක්ෂණ පව­තින්නේ මිහිඳු මහ­ර­හ­තන් වහ­න්සේගේ හා සංඝ­මිත්තා මහ­ර­හ­තන් තෙර­ණි­යගේ සම්ප්‍රා­ප්ති­යෙන් ඇති වූ සංස්කෘ­තික හා කලා ශිල්ප­වල බල­ම­හි­මය හේතු කොට ගෙනය. අබෞද්ධ ජන­යාගේ පවා සංස්කෘ­තිය, මෙන්ම කලා ශිල්ප­වල උන්න­තිය ද ඇති වූයේ මහි­න්දා­ග­ම­නයේ සුවි­ශේෂී ප්‍රති­ඵල හේතු­වෙනි.

හේම­මාලා රන්දුනු

අදහස්