ඇමැති සජිත්ගේ චෛත්‍ය 1125ක අධිෂ්ඨානය | සිළුමිණ

ඇමැති සජිත්ගේ චෛත්‍ය 1125ක අධිෂ්ඨානය

දිවයිනේ චෛත්‍ය නැති විහාරස්ථාන සඳහා චෛත්‍ය 1,125ක් ඉදි කර සසුනට පූජා කිරීමට තමන් දිවිහිමියෙන් ඇප කැප වන බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. රජයේ මුදල් කිසිවක් ලබා නොගෙන සම්පූර්ණයෙන්ම තම දානපතියන්ගේ ආධාර උපකාර මත මේ චෛත්‍ය ඉදිකිරීමට කටයුතු කරන බවත් දිවංගත ආදරණීය පියාණන්ට පින් පිණිස එම වැඩසටහන ක්‍රියාවට නංවන බවත් ඇමතිවරයා කීය.

එම වැඩසටහනේ පළමු පියවර ලෙස මෙරට දිස්ත්‍රික්ක 25ක චෛත්‍ය නැති විහාරස්ථාන 25ක චෛත්‍ය ඉදි කිරීමේ වැඩසටහන සාර්ථකව සිදු වන අතර පෞද්ගලික දානපති ආධාර උපකාර මත චෛත්‍ය ඉදි කිරීම සිදු කෙරේ.

මීට අමතරව සෑම දිස්ත්‍රික්කයකින්ම චෛත්‍යය නොමැති විහාරස්ථාන 40ක් තෝරාගෙන දිස්ත්‍රික්ක 25 තුළ චෛත්‍යය 1,000 ක් ඉදිකිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය. එක් චෛත්‍යයක් උස අඩි 28කින්ද විෂ්කම්භය අඩි 19ක් වන සේ ඉදි කිරීමට තිරණය වී තිබේ. එය ලේසි පහසු කාර්යයක් නොවන බවත් මේ සඳහා අප කිසිදු රාජ්‍ය අරමුදලක් යොදා නොගන්නා බවත් ඇමැතිවරයා සඳහන් කළේය. එම චෛත්‍ය ඉදි කිරීමෙන් පසුව එම විහාරස්ථාන අවට අවශ්‍යතා අනුව උදාගම් ඉදිකොට එම විහාරස්ථාන දායක සභා ශක්තිමත් කිරීමටද සැලසුම් කොට ඇත.

බුද්ධ ශාසනය සුරක්ෂා කිරීම උදෙසා දිවංගත ආදරණීය පියාණන් එදා බුද්ධ ශාසන අමාත්‍යංශය ආරම්භ කර, බුද්ධ ශාසන අරමුදල නිර්මාණය කර, ගම්උදාවක් පාසා චෛත්‍යය රාජයාණන් වහන්සේ නිර්මාණය කර, ගරා වැටී තිබූ මාලිගාවිල බුදු පිළිමය ප්‍රතිසංස්කරණය කර, දළදා වහන්සේට රන් වියන ඉදි කර සම්බුද්ධ ශාසනයට ලබාදුන් ප්‍රායෝගික ශක්තිය ශීඝ්‍රගාමීව අද දින රට පුරාම ක්‍රියාත්මක වන බවද ඇම­ැතිවරයා පෙන්වා දුන්නේය.

සසුනට අරුණ- වැවයි දාගැබයි ගමයි පන්සලයි වැඩසටහන යටතේ අනුරාධපුර නාච්චදුව ශ්‍රාවස්තිපුර ශ්‍රී ස්වරණ ජයන්ති විහාරස්ථානයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේ සසුනට පූජා කිරීමේ උත්සවයට සහභාගි වෙමින් නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ අදහස් පැවසීය.

Comments