පොසොන් පණිවිඩ | සිළුමිණ

පොසොන් පණිවිඩ

බුදු දහමේ සහනශීලි පිළිවෙත සහජීවනයේ පදනමයි

බුදු දහමින් ගොඩනැගුණු මහා සංස්කෘතිය අප මාතෘ භුමිය සිසාරා සෑම ගම් දනව්වකම පැතිර ගිය අතර අන් ආගම් හා උපසංස්කෘතීන් කෙරෙහි වු සහනශීලි බෞද්ධ පිළිවෙත සමගියේ හා සහජීවනයේ පදනම බවට පත් වූ බව කථානායක කරු ජයසූරිය මහතා සිය පොසොන් පොහෝ දින පණිවිඩය නිකුත් කරමින් පවසයි.

එහි මෙසේද දැක්වේ. බෞද්ධ දර්ශනය දේශ දේශාන්තරයන්හි පතල කරවීමේ උතුම් මෙහෙවර ඉටුකළ ධර්මාශෝක අධිරාජයාණෝ මතු දිනක නිර්මල බුදු දහම ස්ථාපිත වනු ඇති බවට බුද්ධ වචනයේ ම සඳහන් වූ ශ්‍රීලංකාද්විපය වෙත ගිහිකල සිය පුතණුවන් වූ මිහිදු මා හිමිපාණන් වහන්සේම යොමුකරවීම ඉමහත් අසිරිමත් ගෞරවනීය සිදුවිමකි. මිහිදු මා හිමිපාණන් වහන්සේ අප මාතෘ භුමිය තුළ ශ්‍රේෂ්ඨ බුද්ධ දර්ශනය ස්ථාපිත කළා පමණක් නොව මෛත්‍රී, කරුණාව, විනය හා බුද්ධිමත් බව සහිත දැහැමි පාලනයක් සදහා මෙන්ම පංචශීල ප්‍රතිපත්තියේ පිහිටි උතුම් මිනිස් ශිෂ්ටාචාරයක මූල බිජයන් ද රෝපණය කළහ, එබැවින්, අදවන් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනක සිදු වූ උතුම් මහින්දාගමනය ලක් දිව පුළුල් සමාජ පරිවර්තනයක මූලාරම්භයයි.

යහ ගු ණ සපිරි සමාජයක් ගොඩනඟමු

ශ්‍රී ලාංකික බෞද්ධයන් සෑම වරකම පොසොන් පොහෝ දින ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙන් සමරන්නේ සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය දෙවන පෑතිස් රජ දවස අනුබුදු මිහිඳු හිමියන් ශ්‍රී ලාංකික අපට දායාද කළ නිසා බව බුද්ධසාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි. කි.පූ. 3 වැනි සියවසේ දී ලාංකිකයන් බෞද්ධ සංස්කෘතියක සාඩම්බර හිමිකරුවන් බවට පත් වූයේ අද වැනි උතුම් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කළ චුල්ලහත්ථි පදෝපම සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් පසුවය. එදා පටන් දෙදහස් පන්සිය වසරක ශ්‍රී ලංකාවේ උරුමය තුළ සහජීවනය, සහනශීලිත්වය, සමානාත්මතාවය, සංහිඳියාව සුරක්ෂිත වූයේ විහාරස්ථාන මුල් කරගෙන “වැවයි දාගැබයි, ගමයි පන්සලයි” යන සංස්කෘතිය මූර්තිමත් කරමිනි.

අදහස්