සවුදියෙන් ගෙනා අන්තවාදීන් 5 දෙනාගෙන් තවත් හෙළිදරවුවක් | Page 2 | සිළුමිණ

සවුදියෙන් ගෙනා අන්තවාදීන් 5 දෙනාගෙන් තවත් හෙළිදරවුවක්

සවුදි අරාබි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවනට ගෙන මෙරටට භාරදුන් සහරාන්ගේ ත්‍රස්ත කල්ලියේ සන්නද්ධ අංශ නායක මොහොමඩ් මිල්හාන් ඇතුළු අන්තවාදීන් පස්දෙනා දෙවැනි ප්‍රහාරයකට සූදානම්ව සිටි පිරිසක් බව විමර්ශනවලින් හෙළිව තිබේ.

අප්‍රේල් 21 ප්‍රහාරය එල්ලවන විට මක්කම වන්දනාවේ ගොස් සිටි මිල්හාන් ඇතුළු පිරිස ගැන සවුදි අරාබියානු බලධාරීන් දැනුවත්කර අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ඉන්දියානු බුද්ධි අංශ විසිනි.

සවුදි අරාබි ආරක්ෂක අංශ මිල්හාන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ අප්‍රේල් 30 වෙනිදාය. ඊට දින කිහිපයකට පසු ඉන්දියානු බුද්ධි අංශවල දැනුම්දීම් වලට අනුව මොහොමඩ් මිලා නැමැති සිවිල් ඉංජිනේරුවරයෙක් සහ ඔහුගේ සහයකයෙක් සෞදි ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබේ. සෙසු ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊට පසුවය.

සවුදි අරාබි ආරක්ෂක අංශ විසින් කළ මූලික විමර්ශනයකින් අනතුරුව මිල්හාන් ඇතුළු ත්‍රස්තයින් පස් දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගෙන් නායකත්වයෙන් සමන්විත පොලිස් කණ්ඩායමට භාරදී තිබිණි. එම පොලිස් කණ්ඩායම ඔවුන්ව මෙරටට රැගෙන එන්නේ ජෙඩා ගුවන්තොටුපෙලෙන් ඉකුත් 13 වෙනිදා රාත්‍රී 7.25 ට ගුවන්ගතවූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල්. 282 අංකය දරණ ගුවන් යානාවෙනි. එමගුවන් යානාව 14 වෙනිදා අලුයම 4.15 ට පමණ කටුනායක ගුවන් තොටුපොලට ගොඩ බැස්සවීමෙන් අනතුරුව විශේෂ ආරක්ෂාවක් යටතේ ඔවුන් පස් දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ගොස් තිබුණි. එම ත්‍රස්තවාදීන් පස් දෙනා අතර සිටින මොහොමඩ් මිල්හාන් සහ මොහොමඩ් රිලා යන ත්‍රස්තවාදීන් දෙදෙනා මරාගෙන මැරෙන්නට ප්‍රතිඥා ලබාදී ඇති අය බව බුද්ධි අංශ හදුනාගෙන තිබේ.

 

Comments