හැඳුනුම්පතින් හා රියැදුරු බලපතින් අවයව දන් දීමේ කැමැත්ත | Page 2 | සිළුමිණ

හැඳුනුම්පතින් හා රියැදුරු බලපතින් අවයව දන් දීමේ කැමැත්ත

හදිසි ‍රෝගියකුගේ මොළය මිය ගිය අවස්ථාවක තම අවයව පරිත්‍යාග කිරීමේ කැමැත්ත තම රිය­ැදුරු බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත ලබාගැනීමේදී ඒවායේ සඳහන් කිරීමට වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බළකාය සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, මෝ‍ටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් අවස්ථාවක් සලසා දී ඇත. මීට සමාන්තර වැඩ පිළිවෙළක් ස්කොට්ලන්තය විසින් මෑතකදී හඳුන්වා දී ඇත. ඒ අනුව ස්කොට්ලන්තයේ වයස 16 ට වැඩි සෑම පුරවැසියෙකුගේම මරණයෙන් පසු අවයව, ඉන්ද්‍රිය බද්ධ කිරීමේ සැත්කම් සඳහා යොදා ගනු ලබන අතර එසේ පරිත්‍යාග නොකිරීමට බලාපොරොත්තු වන පුරවැසියන් ඒ බව හඟවා ලියාපදිංචි විය යුතුය.

2015 දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූ පසු වකුගඩු රෝගීන්ට අවශ්‍ය වකුගඩු අපේ රටින් ම සොයා බද්ධ කිරීමේ පුළුල් වැසටහනක් ආරම්භ කළ අතර මෙම යෝජිත නව නීතිය මොළය මිය ගිය රෝගීන්ගෙන් වකුගඩු ලබාගැනීම සඳහා නීතිමය ඉඩකඩ සපයයි. මීට අමතරව වකුගඩු රෝග ඇතිවීම වැළැක්වීම උදෙසා වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බළකායේ තවත් එක් වැඩසටහනක් ලෙස පසුගිය දා මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රතිආශ්‍රැතිකරණ ජල පද්ධති 10ක් ස්ථාපනය විය.

රුපියල් මිලියන 16ක වියදමින් ස්ථාපනය කළ මෙම ප්‍රතිආශ්‍රැතිකරණ ජල පද්ධති මඟින් දිනකට පිරිසිදු ජලය ලීටර ලක්ෂයක් පමණ ලබාදීමට නියමිත අතර එමඟින් පවුල් 2500කට පමණ සෙත සැලසේ. ඊට සමගාමීව මුලතිව් දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ජල පෙරණ උපකරණ 1340 පමණ ලබා දීමේ කටයුත්ත ද සිදු වූ අතර එමඟින් ප්‍රතිලාභීන් 8000 කට පමණ සෙත සැලසේ.

Comments