‍සාමකාමිව සහජීවනය පෙරදැරි කරගනිමු | Page 2 | සිළුමිණ

‍සාමකාමිව සහජීවනය පෙරදැරි කරගනිමු

විවිධ ජන ඇදහිලි, විශ්වාස, පුද-පූ‍ජා ඇසුරේ සිටි ජනතාවට මහින්දාගමනයෙන් උරුම වූයේ අහිංසාව පදනම් කරගත් සංවිධිත ආගමක් බව පොසොන් දින පණිවිඩය නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටී. එම පණිවුඩයේ මෙසේ ද දැක්වේ. අනුබුදු මිහිඳු මාහියන් ගේ අසිරිමත් ලංකාගමනයෙන් 2326 වසක් සපුරමින් උදා වූ උතුම් පොසොන් පුන් පොහෝ දිනය අදට යෙදී තිබේ. පොසොන් දිනය වනාහි ලක්දිව බුදු සසුනේ ආරම්භයටත්, බෞද්ධ ශිෂ්ටාචාරයේ පදනම සකස් වීමටත් මූලික වූ මතු අනාගතය පුරාත් සාදර සිතින් අනුස්මරණය කැරෙන අග්‍රතම ජාතික පූජෝත්සව අවස්ථාවයි.

මෙය ආගමික ජීවිතයට මෙන් ම ප්‍ර‍යෝගික ජීවිතයට ද නව පරමාර්ථයක් එක් කළ ඓතිහාසික සංසිද්ධියකි. ත්‍රිපිටක ධර්මය, මතු නොව ලේඛන කලාව, ගෘහ නිර්මාණ ශිල්පය, ප්‍රතිමා කර්මය, ස්තූප නිර්මාණ ශිල්පය යනආදී සියලු ක්ෂේත්‍රයන්හි උදාව සිදු වෙමින් දේශීය සංස්කෘතියේ අර්ථපූර්ණ පරිවර්තනයකට හේතු කාරක වූයේ පොසොන් පෝදා යෙදුණු මිහිඳු මාහිමියන් ගේ ආගමනයයි. බුදු දහම ලෝක ස්වභාවය පදනම් කෙ‍ාටගත් ධර්මයක් වීමත්, කෘෂීක ජීවිතටය අදාළ ස්වාධීන ධර්ම මාර්ගයක් වීමත් නිසා එය මෙරට සමාජයේ ශිඝ්‍රයෙන් ව්‍යාප්තියට පත් වූයේය. බෞද්ධ භික්ෂූන් හට ප්‍රධානත්වයක් හිමි වන අධ්‍යාපන ක්‍රමයක් ද මිහිඳු මාහිමියන් විසින් හඳුන්වා දෙනු ලැබ මෙරට තිරසර ව පිහිටියේය. අ‍ටසැට ලෙන් ශ්‍රී ලංකාවේ මුල් ම අධ්‍යාපනික මධ්‍යස්ථාන බවට පත් වූ අතර ලෙන්, ගුහා සහ භික්ෂූන් සාමූහික ව විසූ පිරිවෙන්, විහාරාරාම සේ වැඩි දියුණු විය.

මිහිඳු හිමියන් ලක්දිවට වැඩ අසූවස් සපිරෙන තෙක් දිවි ගෙවූ මිහින්තලාව උන්වහන්සේ ගේ ලෝකාර්ථචර්යාවට කැප වූ ජීවිතයත්, අත්‍යුදාර ශාසනික සේවාවත් සිහිපත් කෙරෙන මහා ස්මාරකයක් වැන්න. සොබාදහමේ අපූර්ව දායාදයක් බඳු මෙවැනි ගිරි මුදුනක දිවි ගෙවමින් උන්වහන්සේ ලාංකේය රජ දරුවන්ටත්, මහජනතාවටත් ප්‍රකට කෙළේ ප්‍රකෘතිය ඇසුරේ විඳිය හැකි නිරාමිස ප්‍රීතියයි.

පොසොන් පොහෝදා අපට උරුම වූ ඒ මාහැඟි සහනශීලී ආගමික සංස්කෘතියේ හරය වන අප්‍රමාණ මෛත්‍රීය හා සාමකාමී සහජීවනය පෙරදැරි උත්තර පරමාදර්ශය. ලාංකේය ජන හදවත් තුළ තහවුරු විය යුතු මොහොත මෙය වේ. මුළු මහත් ශ්‍රී ලාංකික ප්‍රජාව ගේ පොසොන් පෝදා පරමාර්ථය විය යුත්තේ එය යි. ඒ අධ්‍යාත්මික සුපෝෂණයත් සංස්කෘතික ආඪ්‍යත්වයත් සුරක්ෂිත කිරීම අප සැම ගේ වගකීමක් ද වේ.

ඒ සඳහා ලක්වැසි ඔබ සැමට දිරි බල නැණ බල ලැබෙන සුබ පොසොන් මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනය කරමි.

 

Comments