අතී­තය සහ වර්ත­මා­නය යා කර­මින් ලියැ­වුණ ප්‍රේම ගීතය කිසා ගෝත­මි­යක් වූයෙමි... | සිළුමිණ

අතී­තය සහ වර්ත­මා­නය යා කර­මින් ලියැ­වුණ ප්‍රේම ගීතය කිසා ගෝත­මි­යක් වූයෙමි...

ප්‍රේමය සුන්දරය. කෙනෙකු එසේ කියන විට ත‍ෙවකෙකු එහි අසුන්දර බව වේදනාත්මක බව ගැන කියනු ඇත. ඒ ප්‍රේමය එක් එක්කෙනා අත්විඳින ආකාරයය.

අදට වඩා වසර කිහිපයකට පෙර අපේ සමාජයේ ඇත්තන් ප්‍රේමය අත්විඳි ආකාරය හාත්පසින්ම වෙනස්ය. ධනය වත්පොහොසත්කම් පමණක් නොව හැදියාව ගතිගුණ යනාදියට ආදරයේදි මුල්තැන ලැබිණි. ප්‍රේමයෙන් පරාජිත වූ විට එකිනෙකාට අපහාස කිරීමක් නොවිණි. එසේ වුවා නම් වූයේ කලාතුරකිනි. සියල්ල විදදරා ගනිමින් පෙම්වතුන් විරහව විද ගත්තේය.

නමුදු අද නම් ප්‍රේමයෙන් පරාජිත වූ විට පෙම්තියගේ ඡායාරූප මුහුණු පොතේ පළකර අපහාස කරනු ඇත. නැතිනම් වෙනත් ක්‍රම වලින් නින්දා අපහාස කරනු ඇත පිහියෙන් අනිනු ඇත. ඊටත් වඩා අපරාධයක් කරනු ඇත. ඒ නොසන්සුන් සිත් හැසිරෙන ආකාරයයි.

එනමුදු ප්‍රේමය නම් සුන්දරය. එය පවිත්‍රය. ප්‍රේමය ඇත්තේ හිමි කර ගැන්ම තුළ නොව අහිමි වීම තුළය. නොලැබුණ ප්‍රේමය ඉදිරියේ හඬා නොවැටී සාප නොකර නිරන්තරවම සෙත් වේවා! යැයි ප්‍රාර්ථනා කෙරුවෝද අපට දකින්නට ලැබේ. සසරින් සසර පතා ආ හොඳම පෙම් යුවළ අපට හමුවන්නේ බෞද්ධ සාහිත්‍යයේය. ඒ සිදුහත් යශෝධරා ප්‍රේමයයි. සිදුහත් කුමරුන්ට පෙම් කළ තවත් තරුණියක අපට හමුවේ.

ඒ කිසා ගෝතමියයි. සිදුහත් කුමරු උයන් ක්‍රිඩාවට යද්දි කිසාගෝතමිය ඇගේ නිවසේ සඳලුතලයේ සිට මෙසේ කීවාය.

“නිබ්බුතා නූන සා මාතා

නිබ්බුතා නුන සෝ පිතා

නිබ්බුතා නුන සා නාරී

යස්සෝ යං ඊදිසෝපති“

“මෙවන් කෙනකු ලද මවක් නිවුණාවෙයි

මෙවන් කෙනක් ලද පියෙක් නිවූණා වෙයි

මෙවන් කෙනකු ලද බිරිඳක් නිවුණා වෙයි

මෙවන් කෙනකු ලද සියල්ලෝ නිවුණා වෙයි“

ඒ හඬ ඇසුණු සිදුහත් කුමරු ඈ කියු දැ ගැන පැහැදුණේය. තම ගෙල පැලදි මුතුහර ගලවා ඇයට තුටුපඬුරක් ලෙස යැව්වේය. එය එතැනින් අවසන් විය. කිසා ගෝතමිය සිදුහත් කුමරුට බැදි ප්‍රේමය හිතේම සඟවා ගත්තේ පෙර පුරුදු පුහුණු කළ සංයමයෙන් මෙනි.

කාලය ගෙවිණි. අද ද එවැනි කෙනෙකු අපට හමු වන්නේ කලාතුරකිනි. අතීතය සහ වර්තමානය යා කරමින් ලියැවුණ මේ ප්‍රේම ගීතය පසුගියදා අසන්නට ලැබුණකි.

නව පරපුරේ පද රචිකාවක වන තුෂාරා දේවනී තම ගීතයට පාදක වූ අත්දැකීම පිළිබඳ මෙසේ කීවාය.

“මගේ තරුණ වියේදි ප්‍රේමය දුටුව ආකාරයත් අද සමාජයේ තරුණ තරුණියන් ප්‍රේමය දකින විදිහත් වෙනස්. අත්විදින ආකරය වෙනස්. අපි ආදරය දැක්කේ බොහෝම පූජනීය විදිහට. අපේම තාත්තා අයියා මල්ලි ගැන තිබුණේ පූජනීය හැඟීමක්. තරුණයෙක් සමඟ පෙමින් වෙළුණා නම් එය බොහෝම තද බැඳිමක්. ඒ තරුණයා ගැන බැඳිමකින් ඉන්දැද්දි තව තව අය දිහා බැලුවේ, ඔවුන් ගැන හිතුවේ නැහැ. ඒ කාලේ තරුණයොත් එහෙමයි. නමුත් අද ඒ තත්ත්වය හාත්පසින්ම වෙනස්. මමයි මගෙ අම්මයි දවසක් මේවවා ගැන කතා කරමින් හිටියා. අප හොඳින් දන්නා අයෙකු ප්‍රේමය නිසා දුකට පත්ව සිටින අයුරු ගැන අම්මයි මමයි කතා කරමින් හිටියා. අම්මා මගෙන් ඇහුවා “ඇයි එහෙම වුණේ“ කියලා. බෞද්ධ සාහිත්‍යය, සිදුහත් කුමරු, කිසාගෝතමී නිබ්බුත පද මේ සියලු තොරතුරු හරහා තමයි ඉන් ටික දවසකට පස්සේ තමයි මට මෙ ගීතය ලියැවුණේ. මම මුලින්ම මෙය දුන්නේ මගෙ අම්මා අතට. පසුව සමන්ත පෙරේරා මගේ මිත්‍රයාට දුන්නා. ඔහු මෙයට හොඳ තනුවක් නිර්මාණය කළා.

ගීතය ගායනා කිරීම සඳහා වෙනත් ගායිකාවක් යොදා ගන්නට හිටියත් සමන්ත තමයි ආරාධනය කළේ මටම එය ගයන්න කියලා. මට හිතෙනවා සමන්ත මගේ පද රචනාවට උපරිම සාධාරණය ඉටු කෙරුවා කියලා.“ 

Comments