කව­රයේ කතාව | සිළුමිණ

කව­රයේ කතාව

මෙවර රසඳුන කවරය හැඩ වන්නේ දමිත්‍රි, ඩිල්කි සහ පුංචි පුතු විශ්වගේ රුවිනුයි. මේ රුවැත්තියන් දෙපළ අපට විශේෂිත වන්නේ ඔවුන් අවුරුදු කුමරියන් වීමයි. මෙවර දෙරණ නාළිකාව සහ හිරු නාළිකාව පැවැත්වූ අවුරුදු කුමරිය තේරීමේ තරගවලින් කිරුළු පැළඳු සොඳුරු රුවැත්තියන් වන්නේ මොවුන් දෙපළයි. දෙරණ නාළිකාවේ අවුරුදු කුමරිය ලෙස මෙවර අභිෂේක ලැබූ දමිත්‍රි නිෂාධි සුභසිංහ විසිතුන් වියෙහි පසුවන සොඳුරු යුවතියකි. මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයෙන් සිප්සතර හැදැරූ ඇය ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සේවය කරයි. නාරාහේන්පිට උපන් දමිත්‍රි කලා ක්ෂේත්‍රයෙන් වගේම කළමනාකරණ ක්ෂේත්‍ර යෙන් ඉදිරියට යෑමට බලාපොරොත්තුවෙන් සිටින්නීය. රසඳුන කවරය හැඩ කරන අනෙක් යුවතිය වන ඩිල්කි දෙව්සරණි රණතුංග. හිරු නාළිකාවෙ අවුරුදු කුමරිය ලෙස කිරුළු පැලඳූ රුවැත්තියයි. වයස අවුරුදු විසි එකක් වන ඇය අසරණ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන සමාජ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපේක්ෂාවෙන් සිටින්නීය. කවරය හැඩ කරන පුංචි පුතු විශ්ව ආදිත්‍ය. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ අටවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

- සමන්ති වනිගසේකර


හස්තරේඛා විශේෂඥ රුක්මණී විතානගේ මියයයි

රංගන ශිල්පිනී යශෝධා විමලධර්මගේ ආදරණීය පුංචි අම්මා වූ ජ්‍යොතිර්වේදිනී හා හස්තරේඛා විශේෂඥ රාණි රුක්මණී විතානගේ ද සිල්වා මෙනෙවිය (74) පසුගියදා අභාවප්‍රාප්ත වූවාය. තම පියාවූ හෙන්රි ද සිල්වා මහතාගෙන් හස්තරේඛා ශාස්ත්‍රය උගත් ඇය පොතපත හැදෑරීමෙන් ජ්‍යොතිෂය ප්‍රගුණ කළ අතර දිගු කලක් පුවත්පත් රැසකට ජ්‍යොතිෂ ලිපි රචනා කළ අතර ‘හස්ත රේඛා‘ ග්‍රන්ථය ලියා පලකළාය.

තරුණ වියේ සිටම කලා ලෝකයේ බොහෝ දෙනකුගේ අත්ල පරීක්ෂා කර කියූ අනාවැකි බොහෝ දුරට නිවැරැදි වූ නිසා කලා ලෝකයේ කොයි කාගේත් ආදර ගෞරවයට පාත්‍ර වූවාය. ඇය අවසන් වරට ලියූ රවීන්ද්‍රනාත් තාගෝර්, රුක්මණී දේවී සහ අමරදේවයන්ගේ හස්තරේඛා ඇසුරෙන් ඔවුනගේ ජීවිත විවරණයක් සහිත ලිපියක් රසඳුනහි පළවිය.

 

- නිශානී හේරත්


ආධුනික රංගන ශිල්පීන්ට අවස්ථාවක්!

සිනමාවට 'සිංහාවලෝකනය','ස්පන්දන' සහ 'නිදහසේ පියා ඩී. එස්.' යන චිත්‍රපට සහ පුංචි තිරයට 'චංචල රේඛා', 'මිල්ලෑව වලව්ව','ආයෙමත් ආදරෙන්' වැනි ජනප්‍රිය ටෙලිනිර්මාණ ඉදිරිපත් කළ, සුනෙත් මාලිංග ලොකුහේවා ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිත නවතම නිර්මාණ කිහිපයකට, විවිධ කුසලතාවයන්ගෙන් පිරිපුන් හාස්‍ය රංගනය සහ ඉදිරිපත් කිරීමේ හැකියාව සහිත ස්ත්‍රී / පුරුෂ දෙපාර්ශ්වයේ ම ආධුනික රංගන ශිල්පීන් හට වයස් සීමාවකින් තොර ව අවස්ථාවන් ලබාදීමට සෙප්ටෙම්බර් ස්ටූඩියෝස් ආයතනය බලාපොරොත්තු වේ. විවිධ හැකියාවන් සහිත පොඩි දරුවන්ට විශේෂ වූ අවස්ථාවන් ඇත. ලිපි මඟින්, අංක 110 ජී2, නවනුවර පාර, කොතලාවල, කඩුවෙල ලිපිනයෙන් විස්තර විමසිය හැකිය.


ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ 25 වැනි සංවත්සරය 20 වැනිදා

1993 වසරේ ජාතික රූපවාහිනී සේවය මඟින් විකාශය කෙරෙමින් තිබුණු ‘අවසඳ‘ සහ ‘මහමෙර පාමුල‘ නමැති ටෙලි නිර්මාණ අමාත්‍යවරයකුගේ නියමය මත හිටිහැටියේ නවතා දැමිමට එරෙහිව සහ ටෙලි නිර්මාණ ක්ෂේත්‍රෙය් හා ටෙලි කර්මාන්තයේ ප්‍රගමනය වෙනුවෙනa් හා ටෙලි නිර්මාණවේදීන්ගේ සහ ප්‍රේක්ෂකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණෙන් 1993 දෙසැම්බර් 07 වැනි දින ටෙලි නිර්මාණවේදී තිස්ස අබේසේකර මහතා ඇතුළු ටෙලි නිර්මාණවේදීන් රැසකගේ එකතුවෙන් බිහිවුණු ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ (ටෙලිනිස) 25 වැනි සංවත්සර උලෙළ 20 වැනිදා සවස 4.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේදී පැවැත්වේ.

සම්මානනීය චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුමිත්‍රා පීරිස්, ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආචාර්ය එඩ්වින් ආරියදාස, සම්මානනීය රංගන ශිල්පිනී ආචාර්ය මාලිනී ෆොන්සේකා, ප්‍රවීණ රංගන ශිල්පී ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය, සම්මානනීය සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු ටෙලි නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ රැසක් ප්‍රධාන අමුත්තන් ලෙස සහභාගි වෙති.

මෙම සංවත්සර උලෙළේදී ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ හා සම්මානනීය ගේය පද රචක මහාචාර්ය සුනිල් ආරියරත්න, ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියාණි අමරසේන, ප්‍රවීණ තිරනාටක රචක කේ. බී. හේරත්, ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ චිත්‍රශිල්පී දී. ග. සෝමපාල, ප්‍රවීණ රූපවාහිනී තාක්ෂණ ඉංජිනේරු රොහාන් පෙරේරා යන මහත්ම මහත්මීන්ට ටෙලි නිර්මාණ සංසදයේ ගරු සාමාජිකත්වයෙන් උපහාර පුද කරන බවත්, ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය කලාවේ ටෙලි සම්මාන උත්සව සංවිධානය කරමින් ශ්‍රී ලාංකේය ටෙලි නාට්‍ය කලාවේ ප්‍රවර්ධනය සඳහා සුවිශේෂී මෙහෙවරක් ඉටු කරන සුමති ටෙලි සම්මාන වෙනුවෙන් තිලංග සුමතිපාල මහතාටත්, රයිගම් ටෙලීස් සම්මාන උලෙළ වෙනුවෙන් ආචාර්ය රවි ලියනගේ මහතාටත්, රාජ්‍ය ටෙලි සම්මාන උලෙළ වෙනුවෙන් සංස්කෘතික දෙපාර්තමේන්තුවටත්, සිග්නීස් ටෙලි සම්මාන වෙනුවෙන් සිග්නීස් ශ්‍රී ලංකා ආයතනය වෙතත් විශේෂ ඇගයීම් සම්මාන පුද කිරීමට කටයුතු සංවිධානය කර ඇති බවත්, ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය වාර්ෂිකව නිකුත් කරන ‘ටෙලි නිර්මාණවේදී නාමාවලිය‘ 2019 එදින සහභාගි වන අයට ලබාගත හැකි බවත් ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ සභාපති නීතිඥ ඩග්ලස් රණසිංහ මහතා සඳහන් කරයි.

අදහස්