මගේ එකම හීනය ‘සිනමා හීරෝ’ කෙනෙක් වීමයි | Page 2 | සිළුමිණ

මගේ එකම හීනය ‘සිනමා හීරෝ’ කෙනෙක් වීමයි

දශක හයක පමණ කාලයක සිට පැවත එන අපේ සිනමාවේ එදා මෙදා තුර බිහිවූ රංගන ශිල්පීහු බොහෝ පිරිසකි. එහෙත් ඒ රංගන ශිල්පීන් අතර තරු ගුණයෙන්, නළු ගුණයෙන් යුතු අදටත් මතකයෙන් ඈත්ව නොගිය සිනමා තරු අතේ ඇඟිලි ගණනින් ගැණිය හැකිය. වර්තමානයේ සිනමාවට කොතරම් ‘තරු‘ බිහි වුවත් නළු ගුණය ඇති, සිනමා ශාලාවලට ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරගත හැකි රංගන පෞරුෂයකින් හෙබි නවක සිනමා නළුවන් සොයා ගැනීම ගැන කාලයක සිට කාගේත් කතාබහට ලක්වුණු කරුණක් වුණා. එකී අඩුව පුරවන්නට හැකි බවට ඉඟි පළකරමින් නළු ගුණය හා මනා කඩවසම් රුවකට හිමිකම් කියන තවත් නවක සිනමා තරුවක් පසුදා ශ්‍රී ලාංකේය සිනමා වංශකතාවට එක්වුණා. ඒ ‘ගෝරි‘ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ දෙමින් සිනමා අඹරට පෑයූ මේ රංගන ශිල්පියා සිය මංගල පුවත්පත් සාකච්ඡාව සඳහා පසුගියදා රසඳුනට ගොඩ වැදුණා. ඔහු කැලුම් ආර්යන් කුලරත්න.

 

කැලුම්. ‘රසඳුන‘ ඔබව ආදරයෙන් පිළිගන්නවා.

බොහොම ස්තුතියි. මේ මගේ පළමු පුවත්පත් සාකච්ඡාව. අද මගේ ජීවිතයේ අමතක නොවන දවසක් වෙවි.

කැලුම් ‘ගෝරි ‘කියන්නේත් ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක්?

ඇත්තටම මම ප්‍රධාන චරිතයකින් ප්‍රේක්ෂකයන් හමුවට එන පළමුවැනි නිර්මාණය තමයි ගෝරි. මීට පෙර මම නිලංජනා, රන් සයුර සහ ඊතලය කියන සිනමා නිර්මාණ තුනකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. නාලක විතානගේ අධ්‍යක්ෂණය කළ ඊතලය ‘ගෝරි‘ වලට පස්සේ එන්න තියෙන නිර්මාණයක්.

කොහොමද ලැබෙන ප්‍රතිචාර?

ගෝරි තිරගත වීම ඇරැඹිලා තවම වැඩි දවසක් නැති වුවත් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

‘ඊතලය’ සිනමා පටයෙහි ප්‍රධාන චරිතයට පණ පෙවීමේ අවස්ථාව හිමිවන්නේ ඔබටයි?

ඇත්තටම එය මගේ වාසනාව. ආධුනිකයෙක් විදියට මේ තැනට එන්න මම ලොකු කැපකිරීමක් කළා. හීන දැක්කා. ඒ වගේම නාලක විතානගේ මගේ යම් දක්ෂතාවක් දක්නට ඇති.

මගේ මතකයේ හැටියට මේ ඔබට නාලකව මුණගැසෙන පළමු අවස්ථාව නොවේ?

ඔව්. ඔබ ඔය කියන්නේ ‘රූපාන්තරණ’ චිත්‍රපටය ගැන වෙන්න ඇති. මම සිනමාවට අත්පොත් තබන්නේ රූපාන්තරණ හරහායි. එහි සුළු චරිතයක් කිරීමට මට අවස්ථාව ලැබුණා. නාලක විතානගේ කියන සොඳුරු මිනිසා මට මුලින්ම මුණගැසෙන්නේ එහෙමයි.

කැලුම්, ඔබ රංගනයට වගේම නර්තනයටත් දක්ෂයෙක් කියලා ‘ගෝරි ‘ රටටම පෙන්නුවා?

ඇත්තටම මගේ ඒ හැකියාව මට වඩා මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් දකින්නට ඇති කියලා මම විශ්වාස කරනවා. ගෝරි තුළින් විතරක් නෙමෙයි නුදුරේදී එන්නට තියෙන ඊතලය තුළින්ද මගේ නර්තන හැකියාව දැකබලා ගන්නට පුළුවන්

ඔබ රංගන ශිල්පියකු වීමට පෙර ජනප්‍රිය මෝස්තර නිරූපණ ශිල්පියෙක්.

වසර දහයක් පමණ මෝස්තර ශිල්පියෙකු විදියට වැඩකළා. 2010 වසරේදී MAN HAN කියන තරගයේදී ජයග්‍රහණය ලැබුවා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් විසි දෙකකට ආසන්න ප්‍රමාණයකට දායකත්වය ලබා දීලා තිබෙනවා.

‘ගෝරි ‘ සිනමා පටයට දැවැන්ත සිනමා තරු රැසක් රංගන දායකත්වය ලබා දෙනවා. එවන් පිරිසක් සමඟ වැඩ කිරීමට ලැබීම ගැන මොකද හිතෙන්නේ?

අපේ රටේ සිනමාව තුළ නූතනයේ ජනකාන්තවූ දක්ෂ රංගන ශිල්පීන් කිහිපදෙනෙක්ම ඉන්නවා. ශ්‍රියන්ත මෙන්ඩිස්, පුබුදු රණසිංහ, හේමාල් රණසිංහ, රොෂාන් රණවන, උද්දික ප්‍රේමරත්න, අනුජ් රණසිංහ වැනි දක්ෂ රංගන ශිල්පීන් එක්ක වැඩ කරන්න ලැබීමත් ලොකු වාසනාවක්. ඔවුන් එක්ක බලද්දී මම ආධුනිකයි. එහෙත් මට අධ්‍යක්ෂ ඇතුළු ඔවුන් සියලු දෙනාගෙන් හොඳ සහ­ායක් ලැබුණා. මම හිතන්නේ ලොකු අත්දැකීමක්.

කැලුම් කියන චරිතය සිනමාවට පමණක් සීමා වේවිද?

මෙහෙමයි. මගේ එකම හීනය වුණෙ සිනමා ‘හීරෝ‘ කෙනෙක් වෙන්නයි. ඉදිරියටත් එහෙමයි. ටෙලි නාට්‍ය කිහිපයකට ඇරියුම් ලැබුණා. ඒත් මගේ වැඩි කැමැත්ත සිනමාව නිසා ඒවා භාර ගත්තේ නෑ. විශේෂයෙන් මේ වෙලාවේ කියන්නට ඕන සිනමාවට වගේම නිරූපණ ක්ෂේත්‍රයට මම ආදරෙයි.

ඒ කියන්නේ ඔබ වෘත්තීය රංගන ශිල්පියෙක් වන්නට අදහසක් නැද්ද?

අපේ රටේ තියෙන තත්ත්වයත් එක්ක වෘත්තීය රංගන ශිල්පියෙකු වන්නට අපහසුයි කියලා අපි දන්නවා. රංගනය කියන්නේ මගේ වෘත්තිය නොවෙයි එය මම කරන්නේ අමතරවයි. නමුත් මගේ උපරිම කැප කිරීම කලාව වෙනුවෙන් සිදු කරනවා. ඒ අතර මගේ පවුලේ ව්‍යාපාර තියෙනවා. ඒ සියල්ල සිදු කරගෙන යන අතර තමයි කලාවේ නිරත වෙන්නේ.

ඔබේ පියාත් සිනමාවට සම්බන්ධයි?

ඔව්. මගේ තාත්තා නිමල් කුලරත්ත. ඔහු MPI ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ වරයෙක් (MD) විදිහට වැඩ කරනවා. ඒත් මම කලාවට එන්නේ ඔහුගේ සම්බන්ධතා නිසා නෙමෙයි.

අවසන් වශයෙන් මේ ගමනට අතහිත දුන් පිරිස ගැනත් මතක් කරන්න ඇති?

ඇත්තටම නාලක විතානගේ අධ්‍යක්ෂවරයා නිසා තමයි කැලුම් කියන චරිතය ක්ෂේත්‍රය තුළ බිහිවුණේ. මගේ ගමනේ ඇරැඹුම එතනයි. ඔහු මේ වෙලාවේ මා සිහිපත් කරනවා.

රන් සයුර සිනමා පටයෙහි අධ්‍යක්ෂ, ඒ වගේම ගෝරි හි අධ්‍යක්ෂ හර්ෂ උඩකන්ද වගේම මගේ සහෝදර රංගන ශිල්පීන් සියලු දෙනාත් නම් වශයෙන් මේ වෙලාවේ සිහිපත් නොකළත් මගේ කලා ගමනට වචනයකින් හරි උදව් කළ සැම දෙනාටම ස්තූතියි.

සිනමා අඹරට පෑයු නවතම තරුව කැලුම් රිදී තිරයේ දිගු ගමනක් යන්නට රසඳුන අප ඔබට සුබ පැතුම්. 

 

Comments