විදෙස් චිත්‍රපටය | සිළුමිණ

විදෙස් චිත්‍රපටය

බොලිවුඩයේ ගොළු හදවත විවර වෙයි

ආදරය කේන්ද්‍ර නොවුණු බොලිවුඩ් සිනමා සිත්තමක් නැරඹීම‍ට ලැබීම ප්‍රේක්ෂකයන්ට කණ කැස්බෑවා විය සිදුරෙන් එළිය බැලීම වැනි අත්දැකීමකි. ජූනි 21 වැනි දින සිට තිරගත වන 'කබීර් සිං' ද එවන් අත්දැකීමකි. එහෙත් මේ තවත් එවන් එක් ආදර කතාවක් නොවෙයි. කබීර් සිං, 2017 වසරේ තිරගතවූ 'අර්ජුන් රෙඩ්ඩි' නම් ඉහළම ආදායමක් ඉපයූ තෙළිගු සිනමා පටය ඇසුරින් බොලිවුඩයෙන් බිහිවූ ප්‍රති නිර්මාණයයි. අර්ජුන් රෙඩ්ඩි සන්දීප් වන්ගාගේ නිර්මාණයක්වූ අතර කතාව නිර්මාණය වී ඇත්තේ අධ්‍යක්ෂවරයාගේ සැබෑ ජීවිතයේ අත්දැකීම් ද ඇසුරු කර ගනිමිනි. ඉන්දියානු රුපියල් මිලියන 510 ක ආදායමක් ඉපයූ අර්ජුන් රෙඩ්ඩිහි දමිළ බසින් ආදිත්‍ය වර්මා ලෙසින් ප්‍රතිනිර්මාණය වී තිබේ. එය ද තිරගතවීමට නියමිත ජූනි මාසයේමය.

ශ්‍රී ලාංකේය අපට මෙය හදවතට වඩාත් සමීප වන්නේ එය 'ගොළු හදවත‍' සිනමා පටයට නෑකම් කියන බැවිනි. එහෙත් කබීර් සිං ඛේදාන්තයක් නොවන සුඛාන්තයකි. කබීර් සිං කෝපකාරී එහෙත් දක්ෂ වෛද්‍යවරයෙකි. ඔහුගේ දඩබ්බර ඇවතුම් පැවතුම් නිසා සරසවියේ කිසිවකුගේ ප්‍රසාදයට ලක්වූ චරිතයක් නොවීය.

ඔය අතර තුරේදී ඔහුට ප්‍රීති හමුවෙයි. ඔහුගේ දිවිය සෙනෙහසින් සොඳුරු වන නමුත් ඇයගේ මාපියන් විරුද්ධවී ඇය වෙනත් තරුණයකුට විවාහ කර දීම නිසා නැවත කබීර්ගේ ජීවිතය මතින් කෝපයෙන් වැනසෙන්නට ගනී. දක්ෂ ශල්‍ය වෛද්‍යවරයකු ලෙසින් කීර්තිමත් වුවත් අධික මත් වතුර පානය නිසා කබීර් වෘත්තීය ජීවිතය කැළැල් කර ගනී. දිනක් ජීවිතයත් මරණයත් අතර සටන් කරන රෝගියකුගේ ජීවිතය බේරා ගැනීමට කබීර් සැත්කමක් කරන අතර තුරේදී සිහි නැතිව ඇද වැටෙයි. ඒ අධිකව මධ්‍යසාර ගැනීමෙන් විජලනයට පත් වීම නිසයි.

ඔහුගේ රුධිරයේ මධ්‍යසාර සහ කොකේන් ඇති බව රුධිර සාම්පල පරීක්ෂාවෙන් සනාථ වෙයි. මේ වරද නිසා ඔහුට සේවය හැර යාමට සිදුවන අතර ජීවිතයේ සුබවාදී පෙරළියකට රැකියාව අහිමි වීම හේතුවෙයි. ඒ පෙරළිය ආරම්භ වන්නේ මිත්තණියගේ අවමංගල්‍ය උලෙළට සහභාගී වීමත් සමඟය. එහිදී ඔහුට පියාව හමුවන අතර එහිදී පියා සමඟ වසර ගණනක් පැවැති කෝන්තරය දුරු වී සමගි සන්ධානයක් ඇතිවෙයි. මේ පියපුතු බැඳීම නිසා කබීර්ගේ කෝපකාරී ගති පැවතුම් වෙනස් වෙයි. මත් වතුරෙන් මත් ද්‍රව්‍යයන්ගෙන් දුරස් වී යහපත් පුද්ගලයකු බවට පත්වෙයි.

ප්‍රීති යළි ඔහුට හමුවන්නේ ඔය අතරතුරේදීය. ඒ එක් දරු මවක ලෙසිනි. මේ හමු වීම කබීර්ගේ ජීවිතයට බලපාන්නේ කෙසේද ? කබීර් සිං අවසානය රසිකයන්ට තිළිණ කරන්නේ සතුටු කඳුළුය.

තෙළිගු බ්ලොක්බ්ලස්ටරය වූ අර්ජුන් රෙඩ්ඩි හි අධ්‍යක්ෂවරයාවූ සන්දීප් වන්ගා සිය මංගල අධ්‍යක්ෂණයේ සාර්ථකත්වය සමඟ ප්‍රධාන නළු විජේ දේවරකොන්දා එක් රැයකින් තරුවක් කළේය. සිය පුතුට අර්ජුන් රෙඩ්ඩි නම තැබීය. බොලිවුඩයට ද ටොලිවුඩ නිර්මාණයේ වින්දනය බොලිවුඩ්කරණය මඟින් ලබාදීමට සිතුවේය.

ඔහුගේ උත්සාහය කෙතරම් සාර්ථක ද කිවහොත් සිනමා පටයේ ට්‍රේලරය නැරඹූවන් ප්‍රතිචාර දක්වා තිබුණේ ‍කබීර් සිං කිසිසේත්ම ප්‍රතිනිර්මාණයක් කියා සිතිය නොහැකි බවය. චිත්‍රපටයේ ට්‍රේලරය නිකුත් කළ මැයි 13 වැනිදා මිලියන 50 කට අධික පිරිසක් එය නරඹා තිබේ. සන්දීප් මුල සිටම කබීර් සිං චරිතය සඳහා තෝරාගෙන සිටියේ ෂාහිඩ් කපූර්ය. නිෂ්පාදකවරයා විසින් අර්ජුන් කපූර්ගේ රන්වීර් සිංගේ නම් ද චරිත සඳහා යෝජනා කර තිබුණ ද ෂාහිඩ් ම තෝරා ගැනිණි. සන්දීප් කාන්තාවන්ගේ ශරීර කොටස් පෙන්වා ගැහැනියට අගෞරව නොකරන අධ්‍යක්ෂවරයකු ලෙස ප්‍රකට අතර කබීර් සිං සිනමා පටයේ ද එවැනි දසුන් අන්තර්ගත නැත.

ෂාහිඩ් කපූර්, කබීර් සිං නම් තරුණ වෛද්‍ය ශිෂ්‍යයාගේ වෙස් ගැනීම සඳහා කිලෝ දාහතරකින් බර අඩු කරගත්තේය.

සිනමා පටයේ ප්‍රධාන තාරකාව වන්නේ සුරූපී යොවුන් නිළි කයිරා අද්වානිය. අශෝක් කුමාර්, සඊඩ් ජැෆ්රේ, ජූහි චව්ලා යන ක්ෂේත්‍රයේ සුප්‍රකට තරු සහ තාරකාවන්ගේ ඥාති දියණියක වූ කයිරා සහ ෂාහිඩ් අතර හුවමාරු වන හාදු දසුන් ද මේ වන විට බොහෝ දෙනකුගේ කතා බහට ලක්වී ඇත.

සිනමා පටයට ගීතමය ජවනිකා හතරක් ඇතුළත්ය. ඉන්දියානු සිනමා වංශ කතාවේ ප්‍රථම වරට එරට නගර පහළොවක සිනමා පටයේ නමින්ම යුත් (කබීර් සිං කා තියෙටර්) සිනමා ශාලා පහළොවක කබීර් සිං තිරගත කිරීමට නියමිතය.


මෙන් ඉන් බ්ලැක්: ඉන්ටර්නැෂනල් MEN IN BLACK

අමෙරිකානු ක්‍රියාදාම ප්‍රහසන විද්‍යා ප්‍රබන්ධ සිනමා පටයක් වන මෙන් ඉන් බ්ලැක්: ඉන්ටර්නැෂනල් ජූනි 14 වැනිදා සිට තිරගත වන්නකි.

මෙන් ඉන් බ්ලැක් සිනමාවලියේ නවතම නිර්මාණයේ කළු ඇඳුමෙන් සැරසුණු පිරිමින් කණ්ඩායමට කාන්තාවක ද එක්වෙයි.

කණ්ඩායමේ නායකයා හයි ටී විසින් අලුත් සාමාජිකාව ඒජන්ට් එච්ට සම්බන්ධ කරයි.

මේ රහස් ඒජන්සි දෙකට ගෝලය වටා සරමින් පිට සක්වල ජීවින් සමඟ සටන් කිරීමට සිදුවෙයි. එෆ් ගැරී ගැරී අධ්‍යක්ෂණය කළ මෙන් ඉන් බ්ලැක්: ඉන්ටර්නැෂනල්ට ක්‍රිස් හෙම්ස්වර්ත්,

තේසා තොම්ප්සන්, ලියාම් නීසන්, රෙබෙකා ෆර්ගසන්, ලෙස් ට්ව්න්ස්, කුමෙයිල් නන්ජියානි, රේෆ් ස්පෝල්, එමා තොම්ප්සන් ඇතුළු නළු නිළි පිරිසක් රංගනයෙන් දායකවී ඇත.

කළු පැහැයෙන් සැරසුණු මිනිසුන් සැම විටම පෘථිවිය සුරකියි.

කාන්තාවක ද සම්බන්ධ කර ගෙන මෙවර ඔවුන් සටන් කරන්නේ ගෝලය‍ට එල්ල වුණු සුවිසල්ම තර්ජනයට එරෙහිවය.


පරාජිතයකුගේ ජයග්‍රහණය චිත්‍රාලාහාරි

විජේ ක්‍රිෂ්ණා (සායි ධරම් තේජ්) තමන්ව හඳුන්වා ගන්නේ පරාජිතයකු ලෙසිනි. ඔහු කෙතරම් නව නිපැයුම් කළ ද අගැයුමට ලක් වන්නේ නැත. ඔහුට දිරිය දෙන්නේ පියා පෝසානි ක්‍රිෂ්ණා මුරලි පමණි.

නිර්මාණවලින් අගැයුමක් නැති කමින් කලකිරුණු සිත් ඇති විජේට ස්වේචා (නිවේතා පෙතුරාජ්) මුණ ගැසෙයි. ඇය පිරිමින් විශ්වාස නොකරන රැකියාවට මුල් තැන දෙන තරුණියකි. මතට ලොල් වාචාල පුද්ගලයන්ට අකැමැති ඇය‍ට විජේ ද එවැන්නෙක් බව දැන ගැනීමට ලැබුණු පසු දෙදෙනා අතර ගැටලු ඇති වෙයි. මේ සියලු සිදුවීම් අතරේ ජීවිත බේරා ගැනීමේ මොබයිල් ඇප් නිර්මාණය කිරීමේ සටනක ඔහු නියැළෙයි.

අවසන විජේ ජයග්‍රාහකයකු බවට පත්වේවිද? චිත්‍රාලාහරි නම් අමුතු මඟක් ගත් දකුණු ඉන්දීය සිනමා පටය රසිකයන්ට ගෙන එන්නේ මේ කතා පුවතයි.

Comments