BOLLYWOOD & HOLLYWOOD | සිළුමිණ

BOLLYWOOD & HOLLYWOOD

අමීර්ගේ ‘රීල්’ සහ ‘රියල්’ දූවරු

සමාජ ජාල ගැන වැඩි අවධානයක් යොමු වී තිබෙන මේ කාලයේ එවැනි ජාල ඔස්සේ ජනප්‍රිය වූ ළාබාල පිරිසක් බොලිවුඩ්පුරයේ සිටිනවා‍‍‍. ඒ අය අතරින් නිතරම කියැවෙන්නේ සුහානා ඛාන්, ආර්යන් ඛාන්, තයිමූර් අලි ඛාන් සහ කුෂි කපූර් ගැනයි. මේ නම් අතරට අලුතින් ම එක්වූ නම තමයි, ඉරා ඛාන්. මේ සියලුම දෙනා දැනට බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය වු නළු නිළියන්ගේ දරුවන්.

සමාජ ජාල අතරට එක්වූ අලුත්ම තරුව, ඉරා ඛාන්ගේ පියා සුපිරි නළු අමීර් ඛාන්. (ඇය, අමීර් ඛාන්ගේ කලින් විවාහයේ දියණියයි) පසුගියදා ඉරා ඛාන් 21 වැනි වියට පා තැබුවා. ඇයට උපන් දින සුබපැතුම් පිරිනැමූ පිරිස අතර සිටි ෆාතිමා ශායික් කාගේත් අවධානය දිනා ගත්තා.‍ මේ ෆාතිමා තමයි, අමීර් ඛාන් රඟපෑ ‘දන්ගල්’ චිත්‍රපටයේ අමීර් ගේ දියණිය ලෙස රඟපෑවේ. ඉන්ස්ටග්‍රෑම් ජාලයේ ජනප්‍රියව සිටින ඉරාට ෆාතිමා සුබ පැතුම් එක් කළේ තම ඉන්ස්ටග්‍රෑම් පිටුව ඔස්සේයි. ඒ සුබ පැතුම සමඟ ලස්සන ඡායාරූපයක් ද ඇය එක්කර තිබුණා. එහි දැක්වෙන්නේ ෆාතිමා සහ ඉරා හමුවූ මොහොතක්.

කාලයක සිට ෆාතිමා සහ ඉරා සමීප මිතුරියන්. ඉඩක් ලැබුණු සෑම අවස්ථාවකම දෙදෙනා හමුවීමට අමතක කරන්නේ නැහැ. සාදයකදී හෝ වෙනත් උත්සව අවස්ථාවක හමුවුණොත් මේ දෙදෙනා බොහෝ වේලාවක් කතා බහ කරමින් සිටිනවාලු.

ඉතින් සමහරු ෆාතිමා සහ ඉරා ව හඳුන්වන්නේ අමීර් ඛාන්ගේ (Reel Daughter) (සිනමා දියණිය) සහ (Real Daughter) (සැබෑ දියණිය) හැටියටලු.


පෙම්වතාගේ ඊර්ෂ්‍යාව‍ ගාගාගේ ප්‍රේමය බිඳලා

පෙම්වතියගේ ජනප්‍රියත්වයට ඊර්ෂ්‍යා කළ පෙම්වතකු ගැනයි මේ පුවත. පෙම්වතිය, ගායන ලොවේ කිරුළු දැරූ ලේඩි ගාගා. ඇගේ පෙම්වතා, ව්‍යාපාරිකයකු වන ක්‍රිස්ටියන් කැරිනෝ. මේ දෙදෙනා පෙම්වතුන් වුණේ මීට අවුරුදු 2 කට කලින්. ලේඩි ගාගාට මුණ ගැසුණු මුල්ම පෙම්වතා ක්‍රිස්ටියන් නොවෙයි.

ඇය 2015 දී ටේලර් කිනී සමඟ විවාහ ගිවිසගෙනත් තිබෙනවා. නමුත් දෙදෙනා විවාහ වුණේ නැහැ. ටේලර් කිනී නම් වූ ජනප්‍රිය නළුවාගෙන් ඈත් වූ ඇය ඊළඟට සමීප වුණේ තවත් සිනමා තරුවක් වූ බ්‍රැඩ්ලි කූපර් වෙතටයි. බ්‍රැඩ්ලිගෙන් වෙන්වූ පසුව තමයි, ඇය ක්‍රිස්ටියන් සමඟ හාද වුණේ. කලක් ගත වෙද්දී ඔහු නිරතුරුවම ලේඩි ගාගා ගැන අනවශ්‍ය අයුරින් සෙවුම් බැලුම් කරන්නට ගිය නිසා මේ පෙම් සබඳකම ගිලිහී ගියාය කියලයි හිතවත් පිරිස ප්‍රකාශ කරන්නේ. ඒ අය අතුරින් එක් අයකු කීවේ ක්‍රිස්ටියන්, තම පෙම්වතිය ගැන ඊර්ෂ්‍යාවෙන් පසුවුණු බවයි.

“ක්‍රිස්ටියන්, ලේඩි ගාගා පස්සෙ නිතරම ලුහු බැන්දා. ඒ හින්ද ලේඩි ගාගා කිව්වාලු ‘මින් පස්සෙ මාත් එක්ක කතා කරන්න එපාය’ කියලා.,, මෙහෙම කිව්වේ මේ සුපිරි ගායිකාවකගෙ මිතුරියක්.


ප්ලාස්ටික් ඇන්ටි කෙනෙක්!

මෞනි රෝයි, ලාංකික ප්‍රේක්ෂකයන් අතර පවා ජනප්‍රියත්වයට පත්ව සිටින බොලිවුඩ් තරුවක්. පසුගියදා ඇය ‘භාරත්’ නම් වූ අලුත්ම චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් නැරඹීමට පැමිණ සිටියා. කට්රිනා කයිෆ් සහ සල්මන් ඛාන් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනවා. මේ අවස්ථාවට සල්මන් සහ කට්රිනා ඇතුළු කලාකරුවන් රැසක් පැමිණ සිටියත් බොහෝ දෙනකුගේ නෙත් ඇදී ගියේ මෞනි වෙතටයි. ඇගේ ස්වරූපය වෙනස් වෙලා. ඒ නිසයි කවුරුත් ඈ දෙස පුදුමයෙන් බලා සිටියේ.

චිත්‍රපට දර්ශනයෙන් පසුව මෞනිගේ වෙනස්වීම සමාජ මාධ්‍ය ජාල වලත් ප්‍රධාන මාතෘකාවක් බවට පත්වුණා. ඇය ‘භාරත්’ නරඹන්නට පැමිණි මොහොතේ ගන්නා ලද ඡායාරූප දිගට හරහට වෙබ් අඩවිවල පළවෙන්නට පටන් ගත්තා. මේ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත හසු කර ගත් රසික රසිකාවන් මෞනිට දොස් තබන්නට පසුබට වුණේ නැහැ. මේ කවුරුත් කීවේ ප්ලාස්ටික් සැත්කමක් කරගන්නට ගිය නිසා ඇගේ මුහුණ විකෘති වී ඇති බවයි.

“මෞනිට මොකද වුණේ? එයාගෙ තොල්වලට මොනව වුණා ද?”

“සර්ජරි එක වැරැදිලා වගේ.”

“ප්ලාස්ටික් ඇන්ටි” රසික පිරිස මේ අයුරින් තමයි ප්‍රතිචාර දක්වා තිබුණේ‍. තවත් සමහරු මෞනිව මයිකල් ජැක්සන්ට සමාන කර තිබුණා.


‘රොකට්මෑන්’ දර්ශනයක් රුසියාවේදී කතුරට හසු වෙයි

බ්‍රිතාන්‍ය නයිට් පදවියකින් ද පිදුම් ලැබූ එල්ටන් ජෝන්ගේ ජනප්‍රියත්වය තවමත් සිඳී ගොස් නැහැ. මේ ගායන ශිල්පියාගේ ජීවිත කතාව ප්‍රතිනිර්මාණය කළ ‘රොකට් මෑන්’ නම් වූ චිත්‍රපටය පසුගියදා ප්‍රංසයේ කාන්ස් චිත්‍රපට උලෙළේදී තිරගත වුණා. ප්‍රේක්ෂකයන්ගේ සහ සිනමා විචාරකයන්ගේ පැසසුමට ලක්වූ එම චිත්‍රපටයේ ඇතුළත් වන දර්ශනයකට රුසියාවේදී තහනමක් පැනවී තිබෙනවා. රුසියානු බලධාරීන් පවසන්නේ චිත්‍රපටයේ ඇතුළත් වූ ලිංගික දර්ශනයක් එලෙස තහනම් කර ඉවත් කොට ඇති බවයි. ඒ සමඟම ඇතුළත් වූ මත්ද්‍රව්‍ය හා සම්බන්ධ දර්ශන පෙළක් ද ඉවත් කර ඇතැයි ද පැවසෙනවා.

රුසියාවේ ප්‍රකාශයට පත් වන දිනපතා ඉංග්‍රීසි පුවත්පතකට අදහස් දැක්වූ එරට සිනමා විචාරක යෙගෝර් - මොස්ක්විටින් පවසන්නේ ‘රොකට්මෑන්’ චිත්‍රපටය තමන් පසුගියදා කාන්ස් සිනමා උලෙළේදී නැරඹූ බවයි. එහි ඇතුළත් වන මතභේදයට තුඩු දී ඇති මෙම දර්ශන විනාඩි 5 ක පමණ කාලයක් ධාවනය වන බවත් ඔහු පැවසුවා. මේ චිත්‍රපටයේ එල්ටන් ජෝන් හැටියට රඟපාන්නේ ටැරන් එගර්ටන්.

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් 2015 දී පැවසුවේ තමන්ට එල්ටන් ජෝන් හමුවීමට අවශ්‍ය බවයි. නමුත් එම වසරේදී පමණක් නොව, 2016 දී එල්ටන්, මොස්කව් නුවරට පැමිණි මොහොතේදීත් ඔහු හමුවීමට රුසියානු ජනාධිපතිවරයාට හැකි වුණේ නැහැ.

 

Comments