අනුබුදු මිහිඳු හිමි ලක්දිව කෙතෙක් කල් වැඩවිසුවා ද? | සිළුමිණ

අනුබුදු මිහිඳු හිමි ලක්දිව කෙතෙක් කල් වැඩවිසුවා ද?

එච්.බී.අයි.යු. කුමාරි කල්පේ ශාස්ත්‍රවේදී පුරාවිද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමා

ප්‍රාමාණිකයන් සාක්ෂි සහිතව පෙන්වා දී ඇති ආකාරයට සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූයේ ක්‍රිස්තු පූර්ව 486 දීය. එසේ නම් වර්ෂ 2019 පොසොන් දිනය වන විට සම්බුද්ධ පරිනිර්වාණය සිදු වී වසර 2505ක් ගෙවී ඇත. මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට වැඩම කරන විට මෙරට වාසී සුළු පිරිසක් හෝ බුද්ධාගම දැන සිටින්ට ඇතැයි මහාචාර්ය ජී.පී. මලලසේකර, ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් මෙන්ම මහාචාර්ය වල්පොළ රාහුල හිමියෝ පෙන්වා දෙති.

මෙරට ආර්ය ජනාවාස ඇති කළ ආර්යයන් උත්තර භාරතයෙන් පැමිණීම ඊට ප්‍රධාන හේතුවක් සේ දක්වා තිබේ. එහෙත් සංවිධානාත්මකව ගොඩනැඟුණු සංඝ සංස්ථාවක් එවකට මෙහි නොතිබුණු අයුරු මිහිඳු මහ රහතන් වහන්සේගේ දූත ගමණින් සනාථ වන අයුරු පෙනේ. එනම් භික්ෂූ පරම්පරාවේ පැවැත්මට අත්‍යවශ්‍ය වන උපසම්පදාව සඳහා ගණපූරණය සේ බෞද්ධ විනයෙන් පෙන්වා දී ඇති පරිදි උපසම්පදා භික්ෂූන් පස් නමක් පැමිණීම ය.

මහාචාර්ය ටී.ජී. කුලතුංග පෙන්වා දී ඇති පරිදි අර්හත් මිහිඳු තෙරුන්ගේ දින වකවානු මෙසේ ය. මිහිඳු හිමියන් උත්තිය රජුගේ 8 වැනි රාජ්‍ය වර්ෂයේ දී පිරිනිවන් පෑ බව මහාවංශය ඇතුළු වංශකතා වල සඳහන් ය. ක්‍රි-පු- 250 - 210 දක්වා දෙවන පෑතිස් රාජ්‍ය කාලය හෙයින් උත්තිය රජුගේ 8 වැන්න ක්‍රිපූ 202/1 වේ.

උන්වහන්සේ එවිට උපසම්පදාවෙන් 60 වන වසර බව සඳහන් හෙයින් හා උපසම්පදා වීමේ වයස විනයට අනුව 20 වසර හෙයින් උන්වහන්සේගේ පරිනිර්වානය සිදු වී ඇත්තේ වයස 80 දී ය. උන්වහන්සේ 20 වයස් හි දී පැවිදි වූ අවස්ථාවේ ම උපසම්පදා වූ බව වංශකතාව් සඳහන් ය. ඒ අනුව 202 + 80 = යනු උන්වහන්සේගේ උපන් වර්ෂය ක්‍රි.පූ 282 වේ. මිහිඳු තෙරුන් මෙලොව එළිය දුටුවේ බුද්ධ වර්ෂ- 204 දී බව දීපවංශය කියයි. ඒ අනුව ද එම වර්ෂය බුද්ධ පරිනිර්වාණය 486 - 204 = ක්‍රි.පූ. 282 ට සමාන වේ.

අශෝක අධිරාජයාගේ අභිෂේකය සිදු වූයේ ක්‍රි.පූ- 268 දී ය. අභිෂේක වූ විගස විදිසාවේ සිටි මහින්ද කුමරු හා මිත්තා කුමරිය පාටලී පුත්‍රයට රැගෙන ආ බව මහාවංසයේ සඳහන් වන අතර උන්වහන්සේගේ පාටලීපුත්‍රයට පැමිණෙන විට වයස අවුරුදු 14 ක් බව ද වංශකථාවේ සඳහන් ය. පිරිනිවන්පානා විට උපසම්පදාවෙන් 60 වසරක් ගත වී නම් උපසම්පදාව සිදු වූයේ හා පැවිදි වූයේ 202 + 60 = ක්‍රිපූ- 262 දී ය.

ඒ බව සනාථ වන තවත් සාක්ෂ්‍යක් වන්නේ උන්වහන්සේ ලංකාවට පැමිණෙන විට උපසම්පදාවෙන් 12 වසරක් ගත වී ඇති බව මහාවංශයේ සඳහන් වීමෙනි. උන්වහන්සේ ලංකාවට වැඩම කළේ ක්‍රි.පූ 250 දී ය. උන්වහන්සේ ලංකාවට වැඩම කරන විට වයස අවුරුදු 32කි. මහාවංශයේ සඳහන් පරිදි උන්වහන්සේ පැවිදි ජීවිතයට ඇතුළු වූයේ අශෝක අධිරාජයාගේ අභිෂේකයෙන් හය වැනි වසරේ දී ය. අශෝකගේ අභිෂේකය වන විට උන්වහන්සේගේ වයස 14 නම් පැවිද්ද වයස අවුරුදු 20 දී ලබාගෙන ඇත්තේ උපසම්පදාවත් සමඟ ය. දෙවන පෑතිස් රජුගේ අභිෂේකයත් සමඟ ම (මාස හතක් ගත වීමේ දී) උන්වහන්සේ ලංකාවට පැමිණ තිබේ. දෙවනපෑතිස් රජු අභිෂේක වූයේ අශෝක අධිරාජයාගේ 18 වැනි රාජ්‍ය වර්ෂයේ බව වංශකථාවල සදහන් හෙයින් (268 - 18 = 250) ලංකාවට පැමිණ ඇත්තේ ක්‍රි.පූ 250 දී ය.

එම වයස් ගණනය කළ කල්හි උන්වහන්සේ වසර 48ක් නොකඩවා ලංකාවේ වැඩවාසය කර ඇත. එම කාලයෙන් ආරම්භක වර්ෂයේ දී අනුරාධපුරයේ මහා විහාරය මධ්‍යස්ථානය කොටගෙන ධර්මදූත කටයුතු කළ ආකාරය වංශකථාවල සඳහන් ය.

එහෙත් ඉන් පසු වසර 47ක් පමණ කාලය පිළිබඳ කිසිදු වාර්තාවක් නැත. එහෙත් පිරිනිවී උන් වහන්සේ ආදාහනය කිරීමෙන් අනතුරු ව භෂ්මාවශේෂ ගෙන ආදාහන කළ ස්ථානයේත් මිහින්තලයේත් ස්තුප ඉදි කළ බව වංශකථාවේ සඳහන් ය. තව ද රජගලින් හමුවූ ශිලා ලිපියක එහි ද මිහිඳු හිමියන් වෙනුවෙන් ස්තූපයක් කළ බව සඳහන් ය.

මහාවංශයේ සඳහන් පරිදි උන්වහන්සේගේ භෂ්මාවශේෂ දිවයිනේ බොහෝ ආරාමවලට බෙදා හැර ඇත. රජගල විස්තරය අනුවත් මිහින්තලේ ස්තූපයක් ඉදි කිරීම අනුවත් දිවයිනේ බොහෝ ආරාමවලට භෂ්මාවශේෂ බෙදා හරින්නට ඇත්තේ උන්වහන්සේ ධර්ම දූත සේවයේ යෙදෙමින් වැඩවිසූ ආරාම වීමට බොහෝ දුරට ඉඩ ඇත.

විදිසාවේ සිට මෙරටට වැඩම කළ තරුණ උන්වහන්සේ වසර 47ක් ම අනුරාධපුරයේ හෝ මිහින්තලයේ වැඩ සිටියේ යැයි සිතන්නට වඩා දිවයින පුරා සංචාරය කරමින් ධර්මදූත සේවයේ යෙදෙන්නට ඇතැයි සිතීම වඩා උචිත ය.

Comments