දඹුල්ල රජමහා විහාරයෙන් කප්පම් ගන්න ගිය සිංහල තව්හිද් ජමාද්ලා | සිළුමිණ

දඹුල්ල රජමහා විහාරයෙන් කප්පම් ගන්න ගිය සිංහල තව්හිද් ජමාද්ලා

තුන්දෙනාම සිංහල බෞද්ධ දෙදෙනෙක් යාබද පන්සලේ රියැදුරන් සිම්පත් ගත්තෙ මුස්ලිම් හැඳුනුම්පතකින්

රටේ සතරදිග්භාගයේ ජනයාගේ වන්දනාවට ලක්වන දඹුල්ල රජමහා විහාරයේ විෂ්ණු දේවාලයේ භාරකාරත්වය හිමිවන්නේ සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක අඹගස්වැව රාහුල හිමියන්ටය. පසුගිය 20 වැනිදා උන්වහන්සේ සැතපීමට සූදානම් වෙද්දී ජංගම දුරකතනය නද විය.

“අපි ජමාඩ් සංවිධානෙන්... අපේ සංවිධානේ වැඩවලට සල්ලි ටිකක් මදිවෙලයි තියෙන්නෙ... කෝටි 10ක් ඕනේ. නොදුන්නොත් වෙන දේ කියන්න ඕනෙ නෑනේ... බොහෝ කරදරවලට මුහුණ දෙන්න වෙයි.“

ක්ෂණයෙන් විසන්ධි වූ ඇමැතුමෙන් කියැවුණු දෙයින් රාහුල හාමුදුරුවෝ තූෂ්ණිම්භූත වූහ. හාමුදුරුවෝ කළ යුත්තේ කුමක්දැයි දසඅතේ කල්පනා කළහ. ඒත් සමඟ උන්වහන්සේට සිහිපත් වූයේ දඹුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න ය. හාමුදුරුවෝ ඒ මොහොතේම දුරකතන ඇමැතුමක් ගෙන කප්පම්කරුවා කියූ සියලු තතු පොලිස් ස්ථානාධිපතිවරයාට පැවැසූහ.

පොලිස් ස්ථානාධිපතිවරයා කීවේ, “හාමුදුරුවනේ...මේ ගැන කිසිම කෙනෙකුට කියන්න එපා... එහෙම වුණොත් මේ ප්‍රශ්නය නිසා රටේ ලොකු කැලඹීමක් ඇති වෙන්න පුළුවන්... අපි කොහොමහරි කවුද කියලා හොයාගමු... උදෙන්ම ඇවිත් පොලිසියේ පැමිණිල්ලක් දාන්න...“ කියාය.

ඊට එකඟ වූ රාහුල හාමුදුරුවෝ පසුදා උදෑසනින්ම පොලිසියට ගොස් ලැබුණු ඇමැතුම ගැන සියලු තතු පවසමින් පැමිණිල්ලක් දැමූහ. ලැබුණු පැමිණිල්ල අනුව ක්ෂණයෙන් ක්‍රියාත්මක වූ දඹුල්ල පොලිසිය උසාවි නියෝගයක් ගත්තෙ අදාළ දුරකථන ඇමැතුම පිළිබඳ විශ්ලේෂණයක් කිරීමටය. එසේම හාමුදුරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ද පොලිස් ස්ථානාධිපතිවරයා වග බලා ගත්තේය.

ඒ අතරේ දින දෙක තුනකට වරක් අදාළ අංකයෙන් මොහොමඩ් නමින් ඇමැතුම් දෙන තැනැත්තා පැවසුවේ ,“ස්වාමි... අපි දන්නවා... ඔතැන තියෙන සියලුම ආරක්ෂක තත්ත්වයන්“ ලෙසය. ඔහුට පන්සලේ සිටින පුද්ගලයන්ගෙන් සියලු තොරතුරු ලැබෙන බවත් කියැවිණි. හාමුදුරුවන් ගමන් ගන්නා රථයේ අංකයද කොල්ලකරුවා පැවසුවේය.

එසේ ලැබෙන සියලු ඇමැතුම් ගැන පොලිස් ස්ථානාධිපතිවරයාද දැනුවත් කිරීමට රාහුල හාමුදුරුවෝ උනන්දු වූහ. ඇමැතුම්වල විශේෂත්වය නම් ඇමැතුම විසන්ධි කළ සැණින් දුරකතනයද දිනක් දෙක තුනක් විසන්ධි වී තිබීමය. ඒ අතරේ කප්පම්කරුවා කෝටි දහයේ මුදල කෝටි පහකට අඩු කළේ හාමුදුරුවන් මුදල් නැති බව කී විටය. එහෙත් රාහුල හාමුදුරුවෝ පුන පුනා පැවැසුවේ එතරම් මුදලක් ලබා දෙන්නටද කිසිදු වත්කමක් විහාරස්ථානයේ නැති බවයි. එවිට කප්පම්කරුවා පවසා තිබුණේ, “එහෙනම් තවුහිද් ජමාඩ් බලය බලාගන්න පුළුවන්“ යනුවෙනි.

දිගින් දිගටම දින ගණනාවක් පුරා හාමුදුරුවන්ට ඇමැතුම් ගෙන කරදර කරන තවුහිද් ජමාද් සංවිධානයේ මොහොමඩ්ට ලක්ෂ පහක මුදලක් ලබා දෙන්නට හැකියැයි පවසන ලෙස හාමුදුරුවන්ට කී පොලිස් ස්ථානාධිපතිවරයා ඔහුව කොටු කරගැනීමට උප්පරවැට්ටියක් යෙදුවේය. ඒ එම දුරකථන ඇමැතුමද පටිගත කරගැනීමටද සූක්ෂ්ම වෙමිනි. මේ සියල්ල දැන සිටියේ හාමුදුරුවන් සහ පොලිස් ස්ථානාධිපතිවරයා පමණි. එදින කොල්ලකරුවා සහ හාමුදුරුවන් අතර වූ පටිගත කළ ඇමැතුමේ සඳහන් වී තිබුණේ මෙසේ ය.

“මම ඉල්ලීමක් කළා... ඒකෙ උත්තරේ මට දෙන්න පුළුවන් ද?“

“මේ වේලාවෙ අසීරු අමාරු තත්ත්වයක් තියෙන්නෙ...ටික කාලයක් දෙන්න... වැඩේ කරන්න“

“මට ටික කාලයක් දෙන්න අවශ්‍යතාවක් නෑ...ඒක නිසා මං තීරණය කරලා ඉවරයි...“

“මගෙ ඉල්ලීමට කැමැති වෙනවද? නැද්ද? කියන්න“

“අහසින් මවන්න බෑනෙ... තියෙන දෙයක්නෙ දෙන්න වෙන්නෙ... නැත් නම් කොහෙන්ද මං මවන්නද?“

“මගේ ජමාද් එකෙ කෝටි 10ක් ඉල්ලපු එක. මං ස්වාමිට කෝටි 5කට බැස්සුවනේ“

“ස්වාමිට මට කීයක් දෙන්න පුළුවන් ද?“

“ ලක්ෂ පහක් ‍විතර මං දෙන්නම්“

“හහ්... හහ්... ජමාද් එක පාච්චල් කරන්න එපා ස්වාමි...“ යැයි පවසමින් එම ඇමැතුම විසන්ධි කර තිබිණි. පසුව මේ මස මුල් දිනයකදී කොල්ලකරුවන්ගෙන් එස්එම්එස් පණිවිඩයක් ලැබුණේ හාමුදුරුවන් ඝාතනය කරන බවටද සඳහන් කරමිනි.

එසේ කොල්ලකරුවා හා හාමුදුරුවන් අතර දුරකතන සංවාදය සිදු වෙමින් තිබෙන අතරේ පොලිස් ස්ථානාධිපතිවරයා තවත් මෙහෙයුමක් දියත් කෙරුවේ දුරකතන කුලුනු විශ්ලේෂණයක් මඟිනි. පසුව ලැබෙන ඇමැතුම් සහ එස්එම්එස් පණිවිඩ කරදරය නිසා එම අංකය අවහිර කිරීමටද හාමුදුරුවෝ වග බලා ගත්හ.

මධ්‍යම පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. වික්‍රමසිංහ, මහනුවර-මාතලේ බාර නියෝජ්‍ය පොලිස්පති පී. ආර්. එල්. රණවීර, මාතලේ කොට්ඨාස බාර පොලිස් අධිකාරි ඩී.එස්.පී. සන්දනායක, දඹුල්ල සහකාර පොලිස් අධිකාරි ජාලිය හීන්කෙන්දගේ උපදෙස් මත දඹුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා සමඟ උපපොලිස් පරීක්ෂකවරුන් වන ගයාන් බුද්ධික සහ ඒ. ටී. බණ්ඩාර ඇතුළු නිලධාරින් එක්ව කළ එම දුරකතන කුලුනු විශ්ලේෂණයේදී කප්පම්කරුවා සැරිසැරන ඉසව්ව ගැන මනා ලෙස හඳුනාගැනීමට හැකියාව ලැබිණි. ඒ අනුව කප්පම්කරුවා දඹුල්ල අවටම සිටින බවට හඳුනාගත් පොලිසිය පුද්ගලයා කවුරුන්ද යන්න 'තිත'ටම සොයාගත්තේ දීර්ඝ විමර්ශනයක සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගනිමිනි.

අපරාධකාරයාට සිතාගැනීමටත් නොහැකි වන පරිදි ක්‍රියාත්මක වූ පොලිසිය පසුගිය අට වැනිදා සවස හොරා පොලිස් සෙල්ලම කළ ප්‍රධාන සැකකරුවා අත්අඩංගුවට ගත්තෙ වීදුරු බෝතලයක අටවා තිබූ පෙට්‍රල් බෝම්බයක්ද සමඟිනි. ඒ දඹුල්ල නගරයේ ස්ථානයක රැඳී සිටියදීයි. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් මත ඊට සම්බන්ධ වූ තවත් දෙදෙනෙකු දඹුල්ල සහ සීගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ කොල්ලයට යොදාගත් දුරකතනද සමඟිනි. තවුහිද් ජමාද් නමින් පෙනී සිටි ඒ තිදෙනාම නියම සිංහලයන් බවට අනාවරණය විය. ජාතින් අතර ගැටුමක් ඇවිළවීමට උත්සාහ කරමින් රට තුළ මහත් විනාශකාරී ඛේදවාචකයක් සිදුව ඇති මොහොතක අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට මාන බලා තිබුණේ දඹුල්ල උසාවිය හන්දියේ විසූ 34 හැවිරිදි මිහිඳු ගුණරත්න, ඉනාමළුව, රන්මල්කටුවේ පදිංචි 19 හැවිරිදි චානක ප්‍රසන්න සහ සීගිරිය, කිඹිස්ස, පොතාන විසූ 25 හැවිරිදි ව්‍යාපාරිකයකු වන අතුල ජයශාන්ත යන සැකකරුවන් තිදෙනාය.

දඹුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් කෝසල ඉලංගසිංහ නියෝග කළේ තිදෙනා මේ මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය. ගජ මිතුරන් වූ තිදෙනාගෙන් ප්‍රධාන සැකකරු වූයේ මිහිඳුය. ඔහු දඹුල්ල රජමහා විහාරයට යාබදව පිහිටි විහාරස්ථානයේ විසූ මෑතකදී අපවත්වූ නායක හාමුදුරුවන්ගේ රියැදුරු ලෙස සේවය කළ පුද්ගලයායි. මිහිඳු දඹුල්ල රජමහා විහාරයේද ප්‍රධාන දායක පවුලක අයෙකි. චානක නමැත්තා මිහිඳු රැකියාව කළ විහාරස්ථානයේ වත්මන් නායක ස්වාමින් වහන්සේගේ රියැදුරාය.

අතුල දඹුල්ල නගරයේ මෝටර් රථ අමතර කොටස් වෙළෙඳසලක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකි. ඔවුන් තිදෙනා පොලිසිය ඉදිරියේ පවසා තිබුණේ, ප්‍රධාන සැකකරු මිහිඳුට කෝටි දෙකක් ගෙන ඉතිරි කෝටි තුන චානක සහ අතුල අතරේ බෙදාගැනීමට සිටි බවය. එසේම ව්‍යාපාරික අතුලගේ විවාහයද නුදුරේදී පැවැත්වීමට නියමිතව තිබූ හෙයින් ඊට මුදල් වියදම් කිරීමට සැලැසුම් කර තිබුණේද මේ කප්පම් මුදල්වලින් බවටද පාපෝච්චාරණය කර තිබිණි.

එසේම මොවුන් තිදෙනා මේ අපරාධයේදී 'තවුහිද් ජමාද් බලය පෙන්වනවා'යැයි පවසමින් හාමුදුරුවන් බියගැන්වීමේ අරමුණින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් සිදු කිරීමට සැලැසුම් කර තිබුණේ රාහුල හාමුදුරුවෝ මෝටර් රථයෙන් යනෙන අවස්ථාවකදීය. ඊට පුහුණුවක් සඳහා පෙට්‍රල් බෝම්බ දෙකක් සීගිරිය ප්‍රදේශයේ ස්ථාන දෙකකදී පුපුරුවා හැර තිබිණි. එක් පෙට්‍රල් බෝම්බයක් පොලීසියට හසුවිය. එම බෝම්බය ජනාකීර්ණ ප්‍රදේශයක පුපුරුවා හැරියේ නම් මහත් විනාශයක් වීමට ඉඩ තිබූ බවද දඹුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා පවසා සිටියේය.

අපරාධය මුස්ලිම් ජාතිකයෙකු කළ බවට හැඟවීමට සැකකරුවන් තිදෙනා අපූරු උපක්‍රමයක්ද යොදාගෙන තිබිණි. ඒ මුස්ලිම් ජාතිකයෙකුගේ ජාතික හැඳුනුම්පතක් මාර්ගයෙන් අදාළ දුරකථන සිම්පත් මිලදී ගැනීමය. සැකකරුවන් අතර සිටින ව්‍යාපාරික අතුලගේ ඥාතියෙකු සේවය කරන්නෙ දුරකතන සමාගමකය. ඔහුගේ දුරකතනයේ වූයේ දුරකතන මිලදී ගැනීමට පැමිණි පාදුක්ක ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුගේ ජාතික හැඳුනුම්පතක ඡායාරූපයකි. එහි පිටපතක් ගෙන ඔවුන් තිදෙනා මේ කොල්ලය සඳහා දුරකථන සිම්පත් තුනක්ම මිලදීගෙන තිබුණේ තිදෙනා අතර සබඳතාව පවත්වා ගැනීමටත් අවශ්‍ය හෙයිනි. එසේම එම සිම් තුනෙන් තිදෙනා කතාකොට තිබුණේත් කොල්ලයට අදාළ කරුණු පමණි. හාමුදුරුවන් යනෙන තැන් පිළිබඳ තිදෙනා අතර තොරතුරු හුවමාරු වූයේ එම දුරකතන මඟිනි. වෙනත් අවස්ථාවල එම සිම්පත් භාවිතයෙන් ඉවත් කර තිබූ බවටද අනාවරණය කරගැනීමට පොලිසියට හැකි විණි.

දඹුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා සහ රාහුල හාමුදුරුවන් ඉතාම සූක්ෂම ලෙස කිසිදු අයෙකුට නොපවසා තැනට උචිත නුවණින් කටයුතු කළ හෙයින් සිදුවන්නට ගිය මහත් විනාශයක් වළක්වාගන්නට හැකි විය.

අමිල මලවිසූරිය

සේයාරූ - කාංචන ආරියදාස

අදහස්