පිරිහීමට නොදී රැකගත යුතු ‘සංඝාඥාව’ | සිළුමිණ

පිරිහීමට නොදී රැකගත යුතු ‘සංඝාඥාව’

පසුගිය කාලයේ බොහෝ දෙනාගේ කතාබහට ලක් වූ සංඝාඥාව’ පිළිබඳ හා එය ක්‍රියාත්මක වූ අවස්ථා පිළිබඳ කරන ලද විමසුමකි.

ගෞතම සිද්ධාර්ථයන් වහන්සේ උතුම් වූ සම්බෝධියට පත්ව විසි වසරක් ගත වන තැන ගිහි-පැවිදි දෙපිරිස අතර කිසියම් ව්‍යාකුල තත්ත්වයක් නිර්මාණය වෙමින් පැවතිණි. මේ නිසා සාසන පරිහානියක් සිදු විය හැකි බැවින් එතැන් පටන් විනය නීති, විනය කර්ම පැනවීමට බුදු රජාණන් වහන්සේට සිදු විය. මේ අනුව භික්‍ෂූන් වහන්සේගේ නොමනා හැසිරීම් වළකනු වස් සිකපද පැනවූණු අතර, ඒ නෛතික දේශනා කාලානුක්‍රමයෙන් ‘විනය පිටකය’ ලෙස සංග්‍රහ වීය. මීට අමතරව ඇතැම් විනය නීති-රීති හා විනය කර්ම පිළිබඳ තොරතුරු සූත්‍ර පිටකයේද හමු වේ. මෙකී විනය නීති පැනවීම ආශ්‍රයෙන් නිර්මාණය වූ ‘ගිහි නීතියක්’ ලෙස ‘සංඝ ආඥාව’ ඉතා සරලව හඳුන්වා දිය හැකිය.

සංඝාඳාව යනු පත්තනික්කුජ්ජන කර්මයමද?

එලෙස පැනවූ විනය කර්ම අතර ‘පත්තනික්කුජ්ජන කර්මය’ ද ගිහි පිරිසට අදාළ ‘තහංචියකි’. මෙහි ‘පත්ත’ යනු පාත්‍රයයි; ‘නික්කුජ්ජන’ යනු යටිකුරු කිරීමයි. ඒ අනුව ‘පත්තනික්කුජ්ජන කර්මය’ යනු පාත්‍රය යටිකුරු කිරීමයි; හෙවත් ඒ විනය කර්මයට ලක් වූ දායක-දායිකාවන්ගෙන් භික්ෂාව නොපිළිගැනීමයි. සංඝයා එක්ව, යම් අනර්ථයක් කළ තැනැත්තකුගේ දානය හෝ සිවුපසය හෝ නොපිළිගැනීමට සම්මුතියක් ඇති කරගැනීම මෙමඟින් අර්ථවත් වේ. ඒ අනුව ‘පත්තනික්කුජ්ජන කර්මය’ පැනවීම සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන්නේ භික්‍ෂූන්ට අනර්ථයක් කළ ගිහියන්ටය.

චුල්ලවග්ග පාළියේ ඛුද්දක වත්‍ථුක්ඛන්ධකයේ සඳහන් වන පරිදි බුද්ධ කාලයේදී වඩ්ඪ ලිච්ඡවී රජකුමරුගේ නොමනා ක්‍රියාවක් නිසා පත්තනික්කුජ්ජන කර්මය සිදු කර ඇත:

ෂඩ්වර්ගීය භික්‍ෂූන් වන මෙත්තිය-භුම්මජක දෙනමගේ මිතුරකු වන වඩ්ඪ ලිච්ඡවී දිනක් උන් වහන්සේ ඉදිරියේ වැඳ-නමස්කාර කළ නමුත්, ඒ දෙනම ඒ පිළිබඳ නොතකා සිටි බැවින් ඊට හේතු විමසීය. දබ්බමල්ල පුත්ත තෙරුන්ගෙන් පීඩාවට පත්ව සිටින අප දෙදෙනා පිළිබඳ ඔබ උදාසීනව පසු වන බැවින් ඔබ හා මිත්‍රත්වයෙන් පලක් නැතැයි මෙත්තිය-භුම්මජක භික්‍ෂූහු පැවසූහ. ඊට මා කුමක් කළ යුතුදැයි විමසූ වඩ්ඪ අමතා ඒ පාපි භික්‍ෂූහූ මෙසේ කියන්නාහ: ඔබ බුදුරදුන් වෙත ගොස් දබ්බමල්ල පුත්ත තෙරුන්ට අභූත චෝදනා නඟනු මැනවි යැයි කීහ. ඒ භික්‍ෂූන්ගේ වචනය පිළිගත් වඩ්ඪ බුදුරදුන් වෙත ගොස්: ස්වාමීනි, බිය නැති දිශාව බිය සහිත විය, සුළං නොහමන දිශාවෙන් සුළං හැමීය, ජලය ගිනි ගත්තා වැනියැයි දබ්බමල්ල පුත්ත හිමියන්ට අභූත චෝදනාවක් නැඟීය. ඒ මොහොතෙහිම භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයා රැස් කළ සේක. දබ්බමල්ල පුත්‍ත හිමියන්ගෙන් මේ චෝදනාව සත්‍යයද? අසත්‍යයද? විමසූ විට උන් වහන්සේ: ස්වාමීනි, මම ආර්ය ජාතියේ උපන් දින සිට සිහිනෙන්වත් මාගමක හා මෙවුන්දම් නොකළෙමි. සිහියෙන් මෙවුන්දම් නොකිරීම පිළිබඳව කියනු කිම? යි පැවසූහ. එය ඇසූ බුදුහු නිවැරදි භික්‍ෂූන්ට අභූත චෝදනා නඟන වඩ්ඪ ලිච්ඡවීට පත්තනික්කුජ්ජන කර්මය කරන ලෙස භික්‍ෂුන්ට වදාළහ. ව්‍යක්ත ප්‍රතිබල සම්පන්න භික්‍ෂුවක් සඟ මැඳ නැඟී සිට මෙසේ පැවසීය: ස්වාමීනි, සංඝයා මාගේ වචනය අසත්වා! වඩ්ඪ ලිච්ඡවී ආයුෂ්මත් දබ්බමල්ල පුත්‍ත තෙරුන්ට අමූලක ශීල විපත්තියෙන් චෝදනා කරයි. සංඝයා වඩ්ඪ ලිච්ඡවී හට පත්තනික්කුජ්ජනය කරති; ඔහු සංඝයා හා සම්භෝග නැත්තකු කරති. මෙසේ වඩ්ඪ ලිච්ඡවී හට පත්තනික්කුජ්ජනය කිරීම -සංඝයා හා සම්භෝග නැත්තකු කිරීම- යම් ආයුෂ්මතකුට නොරිසි නම් උන් වහන්සේ නැඟිට ඒ බව සඟ මැද පවසත්වා! යමකුට රිසි නම් නිහඬව සිටිත්වා! සංඝයා නිහඬ හෙයින් ඊට සංඝයා කැමැති බව පිළිගනිමි. මෙසේ සංඝානුමැතිය ලැබීමෙන් මේ විනය කර්මය බල සහිත විය. මෙසේ සංඝයා පත්තනික්කුජ්ජන කර්මය වඩ්ඪ ලිච්ඡවී හට පනවන ලද ආරංචිය ඔහුට දැනුම් දෙන්නේ ආනන්ද හිමියන් විසිනි. එය අසා සිහි නැතිව වැටෙන හෙතෙම සියලු මිත්‍රාමාත්‍ය නැදෑ දැසිදසුන් පිරිවරාගෙන තෙත් වූ වස්ත්‍ර හා කෙස් ඇතිව (අල්ල වේත්‍ථා අල්ල කේසෝ) බුදුරදුන් වෙත ගොස්: රහතන් වහන්සේ නමක වූ දබ්බමල්ල පුත්‍ත හිමියන්ට මම අභූත වූ අමූලක වූ ශීලවිපත්ති චෝදනාවක් නැඟීමි. මුළා වී, අඥාන වී කරන ලද මාගේ ඒ වරද වරදක් වශයෙන් පිළිගනු මැනවි. මතු ඒ වරද නොකරමි. මාගේ වරද වරදක් ලෙස පිළිගන්නා සේක්වා! යි ඉල්ලා සිටියේය. ඉන් පසු තම වරද වරද වශයෙන් දැක නිවැරදි වීමට සිතීම උසස් ගුණාංගයකැයි පවසන බුදුන් වහන්සේ වඩ්ඪ ලිච්ඡවී හට පැනවූ පත්තනික්කුජ්ජන කර්මය අවලංගු කරනු සඳහා පෙර පරිදිම සංඝයා රැස් කරවා, ප්‍රතිබල සම්පන්න භික්‍ෂුවක ලවා පත්තඋක්කුජ්ජන කර්මය සිදු කරවූහ. මෙය ඤත්තිදුතිය විනය කර්මයක් බව සද්ධර්මකෝෂයේ කියවේ.

පියා මැරීමේ වරදට මෙරට භික්ෂූන් කාශ්‍යප රජුට පත්තනිකුජ්ජන කර්මය පැනවූ බව මහාවංශය දක්වයි. එසේම දාඨෝපතිස්ස රජු දවස මහාවිහාර සම්ප්‍රදාය නොසලකමින් සීමාව ඉක්මවා කටයුතු කළ අවස්ථාවේද භික්ෂූන් වහන්සේ පත්තනික්කුජ්ජන කර්මය සිදු කළහ.

ඒ අනුව තෙරුවන් සරණ ගිය ඕනෑම අයකු මෙකී විනය කර්මයට යටත් බව පෙනී යා යුතුය. මේ සියලු විනය කර්ම ‘සංඝයා’ විසින් සාමූහිකව පිළිගෙන නිකුත් කරනු ලබන ‘ආඥා’ වන හෙයින් පසුකාලීන ව්‍යවහාරයේදී මෙය ‘සංඝාඥාව’ නම් විය. ඒ අනුව ‘පත්තනික්කුජ්ජන කර්මයේ’ මෑත කාලීන ව්‍යවහාරයක් ‘සංඝාඥාව’ හඳුනාගත හැකිය. මේ විනය කර්මයේ විශේෂත්වය එය ගිහි උපාසකයකුට හෝ උපාසිකාවකට හෝ කිසියම් ගිහි පිරිසකට හෝ පැනවිය හැකි වීමයි.

සංඝාඥාව නිකුත් කළ හැකි ක්‍රියා

අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ සති වග්ගයේ හත්වන සූත්‍රය ‘පත්තනික්කුජ්ජන සූත්‍රය’ වේ. එහි සඳහන් වන ආකාරයට, සංඝයාගේ අනුමැතිය හිමි වේ නම්, අට අංගයකින් යුත් උපාසකයාට පත්තනික්කුජ්ජන කර්මය සිදු කළ හැකිය. ඒවා නම්:

* ‘භික්ඛූනං අලාභාය පරිසක්කති’ - යමෙක් භික්‍ෂූන්ගේ අලාභය පිණිස උත්සාහ කරයිද, භික්‍ෂූන්ට ලැබෙන දේ නැති කිරීමට උත්සාහ කරයි.

* ‘භික්ඛූනං අනත්‍ථාය පරිසක්කති’ - භික්‍ෂූන්ගේ අනර්ථය පිණිස උත්සාහ කරයි. ‘දිට්ඨධම්ම සම්පරායික’ සුඛයන්ට මෙන්ම ලෝකෝත්තර මගපල ලැබීම් ආදියට අනර්ථ කරයි.

* ‘භික්ඛූනං අවාසාය පරිසක්කති’- භික්‍ෂූන්ගේ අවාසය පිණිස උත්සාහ කරයි; සිටින - වෙසෙන තැනින් භික්‍ෂූන් නෙරපීමට උත්සාහ කරයි.

* ‘භික්ඛූනං අක්කෝසති පරිහාසති’ - භික්‍ෂූන්ට අක්‍රෝශ කරයි; පරිභව, නින්දා, අපහාස, අවලාද නඟයි; අභූත චෝදනා කරයි.

* ‘භික්ඛුභික්ඛූහි භේදේති’ - භික්‍ෂුව භික්‍ෂූන් සමඟ භේද කරවයි. කේලාම්, බොරු ආදිය ප්‍රකාශ කර භික්‍ෂූන් අතර භේද ඇති කරයි; අසමගිය ඇති කරයි. ඉන් තමන්ට පටු ලාභ අපේක්‍ෂා කරයි (එකම ආවාසයේ වැඩ-වෙසෙන භික්‍ෂූන් කුලුපගව ඇසුරු කරන දායකයන්ගෙන් මේ වරද බොහෝ විට සිදු වේ).

* ‘බුද්ධස්ස අවණ්ණං භාසති’ - බුදුරදුන්ගේ නුගුණ පවසයි; විචිකිච්ඡාව පෙරදැරිව බුද්ධ චරිතයේ නොයෙකුත් දෝෂ දක්වමින් අභූත, අසත්‍ය චෝදනා කරයි; බුද්ධ රත්නයට අගෞරව කරයි; ශ්‍රද්ධා සිත විනාශ කරයි.

* ‘ධම්මස්ස අවණ්ණං භාසති’ - ධර්ම රත්නයේ නුගුණ පවසයි. ධර්මයේ දෝෂ දක්වමින්, වැරැදි පවසමින් තම මිථ්‍යා අදහස් මතු කිරීමට වැර දරයි; ධර්ම ග්‍රන්ථ විකෘති කරයි; බුද්ධ භාෂිතයට වෙනස් අර්ථකථන ඉදිරිපත් කරයි.

* ‘සංඝස්ස අවණ්ණං භාසති’ - සංඝරත්නයේ නුගුණ පවසයි. හුදෙකලා භික්‍ෂූන් වෙන් වෙන්ව ගෙන, ඒ භික්‍ෂූන්ගේ වැරැදි අඩුපාඩු සංඝරත්නයටම නංවමින් සංඝයාට අපහාස කරයි; පරිභව කරයි; නින්දා කරයි.

ඉහත දැක්වූ දුර්ගුණ අටම හෝ කිහිපයක් හෝ යම් ගිහියකු තුළ විද්‍යමාන වේ නම් සංඝ සම්මතයෙන් ඔහුට පත්තනික්කුජ්ජන කර්මය කළ හැකිය. සංඝයා විසින් ඒ ගිහි පුද්ගලයාට පත්තනික්කුජ්ජන කර්මය සිදු කළ බව අවට විහාරවලටද දැනුම් දීම මෙහිදී අත්‍යවශ්‍ය වේ. හුදෙක් තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුක්ත, පරලොව අපාගාමි නොවන උපාසක-උපාසිකා පිරිසක් ඇති කරගනු සඳහාම මේ විනය කර්මය උපයෝගි කරගැනීම ධර්මට අනුකූලය.

භික්ෂුවකට තනිව කළ නොහැකි සංඝාඥා

මෙරට සංඝාඥාවක් නිකුත් කිරීමේ නෛතික බලය ඇත්තේ ත්‍රෛනායික හිමිවරුන්ටය. ඒ උන් වහන්සේ මෙරට සංඝ සමාජයේ නායකත්වය උසුලන බැවිනි. එනිසා උන් වහන්සේ විසින් නිකුත් කරන ආඥාවක් පිළිගැනීමට සියලු සංඝයා කටයුතු කිරීම සාමාන්‍ය සිරිතය. පැල්පොළ විපස්සී හිමියන් වජ්‍රයාන බුදුදහම මෙරටට ගෙන ඒමට උත්සාහ කළ අවස්ථාවේ එදා සිටි සංඝරත්නය එකල සිටි රජයට සංඝාඥාවක් නිකුත් කළේය. ඉන් පසු මහායාන බුදුදහම මෙරටට ගෙන ඒම නතර විය. ඒ සියලු සංඝයාගේ ඒකමතික තීරණය අනුවය. එසේ නැතිව කිසියම් භික්ෂුවක තනි තීරණයකට පැමිණ සංඝාඥාවක් පැනවීම ප්‍රායෝගික නොවන්නකි. එසේ කිරීමට යෑම උතුම් වූ බුද්ධ චීවරයට මහත් අගෞරවයක් ගෙන දෙන්නකි. එහෙත් අවාසනාවකට එවැනි සිදුවීම් කිහිපයක් පසුගිය කාලයේ අපට දැකගත හැකි විය.

2003 වසරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට එරෙහිව සංඝාඥාවක් නිකුත් කිරීමට උත්සාහ කරනු ලැබීය. 2009දී ෆීල්ඩ් මාෂල් (එවක ජනරල්) සරත් ෆොන්සේකා මහතා පොදු අපෙක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට එරෙහිව සංඝාඥාවක් පැනවිය යුතු බවට මැදගම ධම්මානන්ද හිමි ප්‍රකාශ කළද එය ව්‍යර්ථ වීය. 2017 වසරේ හම්බන්තොට ඉඩම් චීනයට පවරා දීමට යන බවට චෝදනා කරමින් ඊට විරෝධය පළ කරමින් හම්බන්තොට දිස්ත්‍රික් මාගම්පුර ඒකාබද්ධ භික්ෂු සංසදය සංඝාඥාවක් නිකුත් කිරීමට උත්සාහ කළේය. එහිදී ආණ්ඩුවේ නායකයන්ට පත්තනික්කුජ්ජන කර්මය පනවා බලය පෙන්වන ලෙස පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි රට පුරා භික්ෂූන්ගෙන් ඉල්ලා සිටියේය. ඒත් එවැන්නක්ද සිදු වූයේ නැත. 2018 වසරේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට හේතු 16ක් සහිත සංඝාඥාවක් නිකුත් කරනු ලැබිණි. මේ සම්බන්ධ මෑතම නිදර්ශනය නම්: පසුගිය දිනක මුදල් අමාත්‍ය මංගල සමරවීර අමාත්‍යවරයා කළ ප්‍රකා‍ශයක් පදනම් කරගෙන ඔහුට එරෙහිවද සංඝාඥාවක් පැනවිය යුතු බව වරක් බරපතළ චෝදනාවලට පවා ලක් වූ පහළගම සෝමරතන භික්ෂුව විසින් ප්‍රකාශ කරනු ලැබීමය. අනතුරුව භික්ෂු සංවිධාන කිහිපයක් විසින්ම ඔහුට එරෙහිව සංඝාඥා නිකුත් කරනු දක්නා ලැබීය. එසේ සිදු කර තිබියදීම ඇමැති මංගල සමරවීර මහතා මාතර ප‍්‍රදේශයේ විහාරස්ථාන කිහිපයකට ගොස් එහි නායක හිමිවරුන් බැහැදැක පිරිකර පූජා කරනු මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විණි.

මෙයින් පෙනී යනුයේ සංඝ සමාජයේ ඒකමතිකත්වයකින් තොරව, සිතට නැඟුණු පලියට, කටට ආ පලියට ‘සංඝාඥා’ පැනවීමට කතා කිරීමෙන් හෑල්ලු වනුයේ ඒ බලවත් විනය කර්මයම බවයි. එනිසා සාසනයේ හා රටවැසියාගේ යහපත උදෙසා අවශ්‍යම අවස්ථාවලදී සංඝ සම්මුතියෙන් යුක්තවම නිකුත් කළ යුතු සංඝාඥාවන් නිෂ්කාරණයේ නිකුත් කිරීමට යෑම මුග්ධ ක්‍රියාවකි. එය බුද්ධ සාසනයේ හා රටේ සුබසිද්ධිය සඳහා හේතු වනු ඇත.

මූලාශ්‍රය:

* චුල්ලවග්ග පාළියේ ඛුද්දක වත්‍ථුක්ඛන්ධය (විනය පිටකය)

* මහාවංශය

* අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ සති වර්ගය

* පත්තනික්කුජ්ජන කර්මය යනු කුමක් ද? - නාලන්දේ විමලවංශ හිමි (බුදුසරණ)

අදහස්: 

* පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පාතේගම ඤාණීස්සර හිමි 
* පැලැන්වත්තේ ධම්මරක්ඛිත හිමි

Comments