බුදු දහම ලක්දිව මුල්බැසගත් හැටි ගැන වංශකථා කියන කතාව | සිළුමිණ

බුදු දහම ලක්දිව මුල්බැසගත් හැටි ගැන වංශකථා කියන කතාව

සම්බුද්ධ පරිනිර්වාණය සම්බන්ධ ඉතිහාසඥයන් අතර පොදු එකඟතාවක් නැතත් සාමාන්‍ය පිළිගැනීම වන්නේ ක්‍රිස්තු පූර්ව 544 දී හෝ 543 දී එය සිදු වූ බවය.

ඒ අනුව ගණනය කරන කල්හි මහින්දාගමනය සිදු වන්නේ ක්‍රිස්තු පූර්ව 308 හෝ 307 දී පමණ පොසොන් පුන් පොහෝ දිනකය. ( සුරවීර ඒ.වී. ශ්‍රි මහාබෝධි පුරාවෘතය, 4 පිටුව).

මහින්දාගමනය තහවුරු කළ සෙල්ලිපි සාධක

බුදු සමය රැගෙන මිහිඳු හිමි ඇතුළු පිරිස ලංකාවට වැඩම කරන්නේ ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයා විසින් ප්‍රත්‍යන්ත දේශයන්හි කරන ධර්ම ප්‍රචාර ව්‍යාපාරයේ ප්‍රතිඵල ලෙස පමණක්ම නොව, අශෝක අධිරාජ්‍යයා හා තිස්ස රජු අතර ඇති වන රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවක ප්‍රකාශනයක් ලෙස බව පෙනේ. මහින්දාගමනයට පෙර ඒ සඳහා වූ නිශ්චිත පූර්ව සැලැස්මක් පිළිබඳ කතාව මහාවංශය තුළම ගැබ් වී තිබේ.

මහාවංශයේ සඳහන් මහින්දාගමන සිද්ධිය පුරාවිද්‍යාත්මක සාධක ඇසුරින් යළිත් සනාථ වී ඇත. ඒ සාධක ලැබෙන්නේ අම්පාර රජගලිනි.

දෙවනපෑතිස් රජුගේ ඇවෑමෙන් රජ වූ ඔහුගේ සොයුරු උත්තිය කුමරු රාජ්‍යත්වයට පත්වන්නේය. එතුමන්ගේ රාජ්‍යත්වයෙන් 8 වන වර්ෂයෙහි මිහිඳු හිමියෝ පිරිනිවියෝය. උන්වහන්සේ පිරිනිවන්පාන්නේ වප් මස (ඔක්තොම්බර්) මස පුර පක්ෂයෙහි අටවක දාය. ( මහාවංශ, 20 පරිච්ඡේදය, 32 -34 ගාථා). බද්ධමාලකයේ කළ ආදාහන පූජෝත්සවයෙන් පසු මිහිඳු හිමියන්ගේ ධාතු ගෙන්වා ගන්වාගත් උත්තිය රජු අනුරාධපුරයේද, සෑගිරි වෙහෙරේද, සියලු විහාරයන්ගේද සෑ බැඳවූයේය. ( මහාවංශය, 20 පරිච්ඡේදය, 46 - 47 ගාථා). මිහිඳු හිමියන්ගේ ධාතු තැන්පත් කර තැනූ දාගැබක් පිළිබඳ අම්පාර රජගලින් ලැබේ. ඒ සෙල් ලිපියේ මෙසේ සඳහන් වේ.

“ යෙ ඉම දීප පටමය ඉදිය අගතන ඉදික තෙර මහිද තෙරහ තුබෙ ”. පූර්ව භ්‍රාමීය අක්ෂරවලින් යුතු පාඨය සහිත එම සෙල්ලිපියේ සඳහන් වන්නේ මිහිඳු හිමියන්ගේ හා ඉත්ථිය හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කර තැනූ කුඩා දාගැබක් ගැනය. මින් තහවුරු වන්නේ මහාවංශයේ ඇති ඓතිහාසික වැදගත්කමය.

පළමු ධර්මදේශානා මාලාවේ ප්‍රායෝගිකත්වය

මිහිඳු හිමියන් විසින් දෙවනපෑතිස් රජ ඇතුළු පිරිවර බුදු සසුනෙහි පිහිටුවීමත් ( මහාවංශය, 14 පරිච්ඡේදය, 23 ගාථාව) රජුගෙන් තෙරුන් ගුණ අසා සිටි අන්ත:පුර ස්ත්‍රීන් වෙනුවෙන් රජ මාලිගාව තුළ කළ ධර්ම දේශනාවත් ( මහාවංශය, 14 පරිච්ඡේදය, 57 - 59 ගාථා), නුවර වැසියන් වෙනුවෙන් මාලිගාවේ ඇත්හලෙහි කළ ධර්ම දේශනාව( 14 පරිච්ඡේදය, 62 - 64 ගාථා), නුවර දකුණු දොරින් පිට පිහිටි නන්දන උයනේ කළ ප්‍රසිද්ධ ධර්ම දේශනාව ( 15 පරිච්ඡේදය, 3 -5 ගාථා) ඇතුළු මුල් දින සතක් තුළ කළ ධර්ම දේශනාමාලාවත් සමඟ ලක් වැසියන් බුදු දහම විෂයෙහි වඩාත් රුචි වූහයි පෙනේ.

ඒ ධර්ම දේශනා ත්‍රිපිටක ධර්මයෙන් ඉතා සැලසුම් සහගත ලෙස තෝරාගත් ඒවාය. මිහිඳු හිමියන් විසින් ලක්වැසියන් වෙනුවෙන් දේශනා කිරීමට තෝරාගත් සෑම දේශනාවක්ම රජු ප්‍රමුඛ ජනතාවගේ ප්‍රායෝගික ජීවිතයේ යථාර්ථය ස්පර්ශ කරන සූත්‍ර ධර්මයන්ය. යහපත් මිනිසුන් ලෙස ජීවත් වීමට රට වැසියාට දැක්මක් ලබාදෙන අතර රජතුමා ධාර්මික වීම රට වැසියාගේ අභිවෘද්ධියට ප්‍රධානම හේතුව බව මහින්ද දේශනාවන්හි මුඛ්‍ය හරය වී තිබිණි. ( වජිරඤාණ හිමි හොරණ, අපේ සංස්කෘතික උරුමය, මහින්ද දේශනා , 80 පිටුව). ජන ජීවිතයේ යථාර්ථය විනිවිදින එවැනි ප්‍රායෝගික ධර්මයක් සබුද්ධික ජන සමාජයක් අතර වේගයෙන් ප්‍රචලිත වීම පිළිගත හැකිය.

මහාවංශ ප්‍රවෘත්ති ප්‍රකාරව ලක්වැසියෝ අතිශය ශීඝ්‍රයෙන් මේ නව ආගමික සම්ප්‍රදායට ආශක්ත වූහ. ලක්දිව ඒකාකාරව බුදු සමය පැතිරුණේය. ඒ බව පුරාවිද්‍යාත්මකව සනාථ කරන්නේ ක්‍රිස්තු පූර්ව 3 සියවසේ සිට ඇරඹී යුගයෙන් යුගයට පරිණාමය වන අක්ෂර සහිතව ලක්දිව පුරාම පැතිරී ගිය ආරාම පූජා, ලෙන් පූජා විෂයෙහි ලියැවෙන සෙල්ලිපි මාලාවය. (ඩයස් මාලනී, බෞද්ධ සංකෘතික ලේඛන - 1999, බුදු දහම ලක්දිව ඒකාකාරව පැතිරීම පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක ලිපිය, 1-8 පිටු)

මහාවිහාර සම්ප්‍රදාය

ලංකාවේදී බුදු සසුනට කළ ප්‍රථම පූජාව නගරයට නොළංවත්, නුදුරුවත් පිහිටි මහමෙවුනා උයන පූජා කිරීමය. දෙවනපෑතිස් රජහු මහමෙවුනා උයන සඟ සතු කරනු ලැබූහ.( 15 පරිච්ඡේදය, 24 ගාථාව). රාජ මන්දිරය සහිත ඒ උයන මිහිඳු හිමියන් වෙත පූජා කිරීමෙන් අනතුරව එම ආරාමය රජුගේ නමින් තිස්සාරාමය ලෙස හැඳින්විය. ලක්දිව ප්‍රථම ආරාම පූජාව වූයේ මහමෙවුනාවේ පිහිටි උද්‍යාන මාලිගාව සඟ සතුකොට පූජා කිරීමය. මහාවිහාරය ඇරැඹුම මේ තිස්සාරාමයය.

තිස්සාරාමයේ මුලින්ම ඉදි කළ ගොඩනැගිල්ල කාල පාසාද පිරිවෙණය. ඉන් අනතුරුව ශ්‍රී මහා බෝධිය වෙනුවෙන් කළ බෝධිඝරයක්, මුල් ලෝවාමහාපාය, ලහ බත් ගෙය, දාන ශාලාව, බොහෝ පිරිවෙන් කුටි, රාත්‍රී ස්ථාන හා දිවා ස්ථාන ඇතුළු බොහෝ ගොඩනැගිලි කළ ආකාරය මහාවංශය දක්වයි. ( 15 පරිච්ඡේදය, 221 - 225 ගාථා)

තුන්වන ධර්ම සංඝායානවට මුල් වූ මහා පැණවත් මොග්ගලීපුත්ත තිස්ස හිමියන් සමීපයෙහි ශික්ෂණය ලබමින් අටුවා සහිත ත්‍රිපිටක ධර්මයත් විනයත් හදාරා ධර්ම විනය විෂයෙහි විශාරද වූ මිහිඳු හිමියන් දෙවන පෑතිස් රජු හා එක්ව මෙසේ ලක්දිව ආරම්භ කරන්නේ විනයධර භික්ෂු පරපුරක් සඳහා පසුබිමය. මහාවිහාර සම්ප්‍රදාය වූයේ එයයි. සමන්තපාසාදිකාවට අනුව මහාවිහාර ස්ථවිරවාදයේ මූලික ලක්ෂණය වූයේ බුදුන්වහන්සේ යම් ධර්මයක් හෝ විනයක් දෙසන ලද්දේද එවා ඒ අයුරින්ම අකුරක් පිල්ලක් වෙනස් නොකර හදාරා පවත්වාගෙන යෑමය. පුරා අවුරුදු 2300ක් තිස්සේ විවිධ අභියෝග ජය ගනිමින් සිංහල භික්ෂූහු ඒ මහා සම්ප්‍රදාය රක්ෂා කරති.

මහා විහාර භූමිය ලංකාවේ බුදු සසුන රෝපණය කළ උත්තම භූමිය පමණක් නොවේ. සිංහලයේ ශිල්ප කලා සම්ප්‍රදාය, වාස්තු විද්‍යා සම්ප්‍රදාය, සාහිත්‍ය කලාව, චින්තන විධිය සැකසෙන්නේත්, ඉන් පෝෂණය ලද විධග්ධ මනුෂ්‍යන් පිරිසකගෙන් සමන්විත සිංහල බෞද්ධ සංස්කෘතිය පහළ වන්නේත් මහාවිහාර භූමිය කේන්ද්‍ර කර ගනිමිනි. එතැන් සිට පුරා වසර එක්දහස් තුන්සියයක් අනුරාධපුරය හෙබවූ රජවරු මේ භූමිය රක්ෂා කළහ. නඩත්තු කළහ. ඊට නවාංග එක් කළහ. කොතරම් ප්‍රබල රජෙකු වුවද මහාවිහාරයට එරෙහි වී නම් ජනතාව එක් වී රජුට එරෙහි කැරැලි ගැසූහ. අනුරාධපුර යුගය නිමා වූ විටත් රජවරු මේ පින්බිමට හැකි අයුරින් බුහුමන් කළහ. ලෝක සම්භාවනාවට පාත්‍ර වූ ජාතියක සංස්කෘතික මහෝඝයෙහි කැඩපත මහාවිහාරය විය. අප විසින් මහත් හරසරින් වහරන මහාවංශයත් මහාවිහාරයෙන් ලද දායාදයකි. මහාවංශය මහාවිහාර සංඝ පරම්පරාවේ වීර කාව්‍යයක් බඳුය.

දුමින්දාගමනය

මිහිඳු හිමියන් ලංකාවට වැඩම කරන්නේ ක්‍රිස්තු පූර්ව 308 හෝ 307 පොසෝන් පොහොය දිනයේදීය. ජයසිරිමහාබෝධියේ දක්ෂිණ ශාඛාව සංඝමිත්තා මෙහෙණිය විසින් වැඩමකරනු ලබන්නේ එම වසරේ උදුවප් මසය. ( සිංහල විශ්වකෝෂ උදෘති 12, ශ්‍රී මහා බෝධිය, පිටු අංක 13 ). මේ දූත මෙහෙවර කරන්නාහු අන්තර්ජාතික දූත මෙහෙවරෙහි අත්දැකීම් සහිත අරිට්ඨ නැමැති දෙවනපෑතිස් රජුගේ බෑනාවරයෙකු වූ ඇමතිවරයෙකි. ( මහාවංශය 18 පරිච්ඡේදය 3 -6 ගාථා). එම වප් (ඔක්තොම්බර්) මස සිදුකරන මේ ඉන්දීය දූත මෙහෙවරේ අරමුණ මහබෝ ශාඛාවක් ලංකාවට ලබාගැනීම හා පැවිද්ද අපේක්ෂාවෙන් සිටිනා දෙවනපෑතිස් රජුගේ සොයුරු මහානාගගේ බිසව වන අනුලා ඇතුළු පිරිස මහණ කර භික්ෂුණී ශාසනය පිහිටුවීමය. ( මහාවංශය 15 පරිච්ඡේදය, 20 -21 ගාථා).

මහාබෝධිය ලංකාවට වැඩම කරන්නේ එම වසරේ උඳුවප් මස පළමු වැනි දිනය. ( 19 පරිච්ඡේදය, 23 ගාථාව). ඒ සමඟ සංඝමිත්තාවත්, මෙහෙණිවරු එකොළොස් නමකුත්, සොලොස් කුලයක ජනයා සමඟ ලාංකික දූත පිරිසත් ලක්දිවට පැමිණෙන්නාහ. ( 19 පරිච්ඡේදය 1-6 ගාථා). නැව පැමිණෙන්නේ උතුරේ යාපනය අර්ධද්වීපයේ දඹකොලපටුන නැමැති තොටමුණ වෙතය. මේ ස්ථානය වර්ථමාන කන්කසන්තුරේට නුදුරු සම්බල්තුරෙයිය.

ඒ පිරිස සමඟ මහාබෝධිය අනුරාධපුරය වෙත වඩම්මවනු ලබන්නේ මහත් වූ ශ්‍රී විභූති පෙරදැරිව පෙරහර කරමිනි. පෙරහර අනුරාධපුරයට පැමිණෙන්නේ තුදුස්වක ( අමාවකින් හෝ පසළොස්වකින් පසු එන දාහතරවන දිනය තුදුස්වකයි. ඒ අනුව උඳුවප් පොයට දින දාහතරකින් පසු ශ්‍රී මහා බෝධි ශාඛාව අනුරාධපුරයට වැඩමවා තිබේ.) දිනයේය. ( 19 පරිච්ඡේදය 38 ගාථාව).

බෝධිය පිහිටවනු ලබන්නේ මිහිඳු හිමියන් විසින් පූර්වයේ සැලසුම් කළ භූමියේය. ධර්මාශෝක රජතුමාගේ රාජ්‍ය වර්ෂයෙන් දහ අට වන අවුරුද්දෙහි ( මහාවංශය, 20 පරිච්ඡේදය, 1 ගාථාව) පැමිණි එම උඳුවප්මස පුර පොහොයට පෙර දින හිරු බැස යන සැඳෑ සමයේ රෙහෙණ නැකතින් බෝධිය පිහිටවනු ලැබුවේය. (19 පරිච්ඡේදය, 46 ගාථාව). ජය ශ්‍රී මහා බෝධිය වැඩම කරවීම සනාථ කරන වෙනත් පුරාවිද්‍යාත්මක සාධක වේ. සාංචි ස්ථූපයේ නැගෙනහිර වාහල්කඬේ කැටයම් බාල්ක දෙකක දුමින්දාගමන සිද්ධිය කැටයම් වී තිබේ.

වංශකථාව ප්‍රකාරව මේ මහබෝ පිහිටුවීම ලංකාවම පොබ කළ අත්‍යුත්තම සැණකෙළියකි. ජීවමාන බුදුන් වඩමවන්නා හා සමානව භක්ති පූර්වකව කළ මේ මහා උත්සවය වංශකථාවන්හි උත්කර්ෂයට නැංවේ. මේ සිදු වීම කොපමණ මේ ජනසමාජය විෂයෙහි බලපෑවේද යන්න වැටහෙන්නේ මෙහෙණින් වෙනුවෙන් කළ මන්දිර දොළහින් මහා මන්දිර තුනක සංඝමිත්තා මෙහෙණිය මුල් වී මහාබෝධිය වැඩම කළ නැවේ කුඹය, සුක්කානම හා හබල්පත් තැන්පත් කර එය වන්දනීය කෞතුක වස්තූන් සේ මහ ජනයාට ප්‍රදර්ශනය කරන්නට ඉඩ සැලසීමය. ( 19 පරිච්චේදය, 69 - 70 ගාථා).

ජය ශ්‍රි මහා බෝධිය මේ දේශ වාසීන්ට තවමත් ජීවමනා බුදුන්මය. සිංහල බෞද්ධයාගේ මෙපමණ වන්දනාවට ලක්වන පූජාගර්භ වස්තුවක් තවත් නොවේ. එය පුරා වසර දෙදහස් තුන්සියයක් තිස්සේ අවිඡින්නව පැවත එන්නකි. අනුරාධපුර රාජධානිය කළ රජවරු ජය සිරිමා හාමුදුරුවෝ අනන්ත වන්දනාවට ලක් කළහ. ලක්දිව ආක්‍රමණය කරන ලද විජාතික ආක්‍රමණිකයෝ මේ වන්දනී වෘක්ෂයට හානි නොකළහ. 11 සියවසින් පසු අනුරාධපුර රාජධානිය පිරිහී සිංහලයේ රාජ්‍ය නිරිත දිගට සංක්‍රමණයව රජරට ජන ශූන්‍ය වූ කල්හිත් අතරින් පතර ගම්කොටුවල ජීවත් වූ මිනිස්සු ගිනිමැල ගසාගෙන මහ බෝ රැක්කහ. මේ මොහොතේත් සිංහල බෞද්ධයෝ ජීවමාන බුදුන් දකිනු රිසව සේ ගොස් එපමණම භක්ති පූර්වකව මහ බෝ වඳිති.

මුල්ම පැවිදි කිරීම

මහාවංශය ප්‍රකාරව ලංකාවේ මුල්ම වරට පැවිදිවීමක් හා උපසම්පදාවක් ගැන සඳහන් වන්නේ මහින්දාගමනය සිදුවූ දින සවසය. එදින මිහිඳු හිමියන් සමග පැමිණි දූත පිරිසේ සිටි එකම ගිහියා වන භණ්ඩුක කුමාරතෙම ග්‍රාම සීමාවෙහිම පැවිදිකොට උපසම්පදා කළහ. (ම.ව.14 පරිච්ඡේදය, 32-33 ගාථා). මිහිඳු හිමි ලක්දිව ගෙවූ පළමු වස් කාලයේ දී අරිට්ඨ කුමාරයා ඇතුළු ඔහුගේ ජ්‍යෙෂ්ඨ සොයුරන් පනස් පස් දෙනෙක් පැවිදි බිමට පිළිපන්හ. ( ම.ව. 16 පරිච්ඡේදය 10-11 ගාථා). මේ වන විට අරිට්ඨ කුමරු දුමින්දාගමනය ඇතුළු බුද්ධාගම ලක්දිවෙහි පිහිටුවීම සඳහා යෙදුණු සියලු දූත ප්‍රයාම සාර්ථකව නිමා කර සිටියේය.

මහාඅරිට්ඨ තෙරුන් සහිත පනස් පස් නම මිහිඳු මා හිමියන් සමඟ එක්ව මුල්ම වස් කාලය සෑගිරියෙහි ගත කළහ. ( 16 පරිච්ඡේදය, 16 ගාථාව) ලෙන් හැට අටක් දෙවනපෑතිස් රජ විසින් සකස් කර දුන්නේය. දේවානම්පියතිස්ස රජුගේ ලෙන් පූජාව පිළිබඳ සනාථ වන එම රජුගේ නම සඳහන් පූර්ව භ්‍රාමී ශිලා ලේඛනයක් හමුවී තිබේ. ( ඩයස් මාලනී, බෞද්ධ සංකෘතික ලේඛන - 1999, 2 පිටුව). අදටත් ජීවමාන ලක්දිව උතුම් සංඝ සමාජයේ ආරම්භක අවස්ථාව එයය. විටෙක අභාවයට යමින් යළිත් උපදිමින් පැවතුණු ලක්දිව සංඝ සමාජය අදත් රටට ඉටු විය යුතු සමාජ සාමයික වගකීම් ඉටු කරමින් සිටී.

අදහස්