මීගමුවේ සුපිරි ගෙදර චීනුන්ගේ අන්තර්ජාල තිප්පොළ | සිළුමිණ

මීගමුවේ සුපිරි ගෙදර චීනුන්ගේ අන්තර්ජාල තිප්පොළ

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වූ කරුණක් වූයේ මීගමුවේ නිවාස සෝදිසි කිරීම් නිසි පරිදි සිදු නොවන බවය. උන් වහන්සේගේ ඉල්ලීම වූයේ සිංහල මුස්ලිම් දෙමළ ලෙස භේදයකින් තොරව මුළු මීගමුවම පරීක්ෂාවට කරන ලෙසය. මීගමුවේ සුවිසල් නිවසක චීනුන් පවත්වාගෙන ගිය රහස් සන්නිවේදන මධ්‍යස්ථානයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයා ගන්නේ මෙවන් පසුබිමක් හමුවේය.

චීන්නුන් විසින් පවත්වාගෙන ගිය එම රහස් සන්නිවේදන මධ්‍යස්ථානය ගැන තොරතුරු ලැබෙන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ටය. තොරතුරෙන් කියැවෙන්නේ එම නිවසේ ඇති රහස් සන්නිවේදන මධ්‍යස්ථානයක් ගැන නොව, සැක කටයුතු ලෙස එම නිවසේ රැඳී සිටින චීන ජාතිකයන් කිහිප දෙනෙකු ගැනය.

මීගමුව ඒත්තුකාලේ පිහිටි එම නිවසේ හිමිකරු සංචාරක නියෝජිතායතනයක හිමිකරුවෙකි. බැලූ බැල්මට හෝටලයක් බඳු එම නිවස චීනුන් කුලියට ගන්නේ මාස හය හතකට පෙර ය. ඒ රුපියල් තුන් ලක්ෂ තිස්දහසක මාසික කුලියටකටය. එකී නිවසට යාබදව ඇත්තේද ඔහුටම අයත් තවත් කුඩා නිවසකි. එම නිවසද චීනුන් කුලියට ගෙන තිබිණි. ඒ මසකට රුපියල් 70000 කටය.

රුපියල් ලක්ෂ 4ක් මාසිකව ගෙවන මේ නිවාස දෙකේ සිටියේ චීන්නු හය දෙනෙක් පමණි. ඔවුන් දවසේ වැඩි කාලයක් නිවස තුළම සිටි අතර රැකියාවක හො ව්‍යාපාරයක නිරත වන බවක් බැලූ බැල්මට නොපෙනිණි. එසේ වූවත් රාත්‍රී සමාජ ශාලාවලට රිංගමින් අතපය දිග හැර කරන වියදම්වලින්ම පෙනී ගියේ ඔවුන්ගේ අත මිට සරු බවය.

එම චීන්නු ගැන විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයට සිය ඔත්තුකරුවන්ගෙන් තොරතුරු ලැබෙන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ නිවසේ රැඳී සිටි ඔවුන් 06 දෙනා හිටි හැටියේම ගේ දොරද වසා අතුරුදන් වූ බැවිනි. නැවතත් එම සුවිසල් නිවසේ දොරගුළු විවර වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ උණුසුම පහව යෑමත් සමඟිනි. එවර එහි දක්නට ලැබෙන්නේ සුපුරුදු චීන මුහුණු වෙනුවට අලුත් චීන මුහුණකි.

පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා ඇතුළු නිලධාරීන් ඒ ගැන විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා දැනුවත් කරන්නේ ඒ ගැන වැඩිදුර උපදෙස් පතමිනි. විශේෂ කාර්ය බළකා බුද්ධි අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ශාන්ත රත්නපිටිය සහ මෙහෙයුම් අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී කේසර රත්නවීර යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඉකුත් 06 වෙනිදා එම නිවස වටලන්නේ ඒ අනුවය.

ඒ වන විටත් නිවසේ රැඳී සිටියේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව එම නිවසට පැමිණි රැඳී චීන ජාතිකයාත් තවත් දෙදෙනෙකුත් පමණි. ඔවුහු මීගමුවේ සහ කල්පිටියේ පදිංචිකරුවෝය. එක් අයෙක් මෙරට ප්‍රමුඛතම ජංගම දුරකතන සමාගමක සේවයේ නිරතව සිටියෙකි. අනෙකා මීගමුවේ කොමියුනිකේෂන් එකක් පවත්වාගෙන ගිය අයෙකි.

“මෙතැන කිසිම නිති විරෝධි දෙයක් වෙන්නේ නැහැ“ පරික්ෂා කිරීමටත් මත්තෙන් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් හමුවේ චීන ජාතිකයා පවසන්නට වූයේ එවැන්නකි.

ඒ ගැන එතරම් තැකීමක් නොකළ විශේෂ කාර්ය බළකා සෙබළු නිවසේ අස්සක් මුල්ලක් නෑරම සෝදිසි කළහ. එහිදී ඔවුන්ගේ විශේෂ අවධානයට ලක් වන්නේ දොරගුළු දමා තිබුණු කාමරයක් වෙතය. වායුසමනය කර තිබුණු එම කාමරයේ වීදුරු ජනෙල් පවා තිබුණේ පත්තර කොළ අලවා අඳුරු කරය. ඒ ඇතුළත ඇති දේවල් පිටතට නොපෙනෙන ලෙසිනි. එම කාමරයේ දොරගුළු විවර කිරීමට චීනාගේ එතරම් කැමැත්තක් නොවීය. විශේෂ කාර්ය බළකායේ සෙබළුන් එම කාමරයේ දොරගුළු විවිර කරන්නේ බලහත්කාරයෙනි.

කාමරයට ඇතුළු වනවාත් සමඟ විශේෂ කාර්ය බළකා සෙබළු පුදුමයෙන් පුදුමයට පත් වන්නේ එහි තිබූ ජංගම දුරකතන සිය ගණනක් එකට සවි කල විශාල පුවරුවක් දුටු විටය. විශේෂ කාර්ය බළකා සෙබළුන් දෑස් අයාගෙන බලා සිටියේ එවැන්නක් ඔවුන් ඊට පෙර දැක නොතිබුණි බැවිනි. එම පුවරුවේ සවි කර තිබුණු ජංගම දුරකතන සියල්ලක්ම ඒ වන විටත් පැවැතියේ ක්‍රියාත්මක වෙමිනි. ඒ එක් එක් ජංගම දුරකතන පැවැතියේ කේබල් මඟින් එකිනෙකට සම්බන්ධ කරමිනි.

එම පුවරුවේ තිබුණු සියලුම ජංගම දුරකතන ඇපල් අයි.06 වර්ගයේ නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විත මිල අධික දුරකතනය. ඒ සෑම ජංගම දුරකතනයකටම සිම්පත් සවි කර තිබිණි. ඒ පිටතින් සවි කරන විශේෂිත උපකරණයක් මඟිනි. ඒ සියලු ජංගම දුරකතනවල දත්ත තිබුණේ සක්‍රීය තත්ත්වයේය. ඊට අමතරව රවුටර් කිහිපයක්ද තැන තැන සවි කර තිබෙනු විශේෂ කාර්ය බළකා සෙබළු දුටුවෝය.

“මෙතැන මොනවද වෙන්නේ“ වැටලීම් කණ්ඩායමේ ප්‍රධානියා වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා එසේ ප්‍රශ්න කරන්නේ චීන ජාතිකයාගෙනි.

එහිදී ඔහු ඒ ගැන යම් පැහැදිලි කිරීමක් කරන්නට වූයේ නීති විරෝධි කිසිවක් සිදු නොවන බව නැවත නැවත කියමිනි.

එම පැහැදිලි කිරීම්වලට අනුව එහි සිදුවන්නේ තාක්ෂණික සූදුවකි. මෙය අන්තර්ජාල විශේෂඥයන් හඳුන්වන්නේ ක්ලික් ෆාර්ම් (Click Farm) නමිනි. අන්තර්ජාලය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට අලෙවි කෙරෙන භාණ්ඩ ප්‍රවර්ධනය කිරීමට එස්. එම්.එස් තොග පිටින් පාරිභොගිකයන්ට යැවීම්, ෆේස් බුක් ඇතුළු සමාජ ජාල ගිණුම්වල ලයික් වැඩි කිරීම්, අන්තර් ජාලයෙන් අලෙවි වන භාණ්ඩ ප්‍රවර්ධනය කිරීමේ කොන්ත්‍රාත්තුව බාර ගන්නේ මොවුන්ය.

ඊ බේ , ඇමේසන්. අලි බබා වැනි ලෝකයේ ප්‍රචලිත අන්තර්ජාල වෙළෙඳ වෙබ් අඩවිවල භාණ්ඩ අලෙවි කරන්නන්ට තම අලෙවිය ප්‍රවර්ධනය කිරීම සඳහා බලපාන ප්‍රධාන කරුණක් වන්නේ කලින් භාණ්ඩ මිල දී ගත් පාරිභෝගිකයන් විසින් ලබා දෙන ප්‍රතිචාරයයි (Customer feedback) . එමඟින් ඔවුහු හොඳම මට්ටමේ අලෙවිකරුවකු සාමාන්‍ය මට්ටමේ අලෙවිකරුවකු ආදී වශයෙන් වර්ගීකරණයකට ලක් වෙති. එම වර්ගීකරණ අතරේ ඉහළම වර්ගීකරණයක් හිමි අලෙවි කරන්නන් බවට පත් වීම (Top rated Sellers) ඔවුන්ට තවදුරටත් ව්‍යාපාරය කරගෙන යෑමට ශක්තියක් වෙයි. වැඩි වැඩියෙන් ගනුදෙනුකරුවන් ආකර්ෂණය වෙයි. එම භාණ්ඩ සම්බන්ධයෙන් යහපත් ලයික් වැඩි වශයෙන් යෙදීම් සහ දුරකතන දැන්වීම් ප්‍රචාරය කිරීම් ඒ අතර විය.

අපේ රටේ ගායන තරු තෝරන තරගවලදී බොහෝ තරගකරුවන් එස්.එම්.එස් මනාප වැඩි කරගැනීමටද මේ ක්‍රමය යොදාගත් අවස්ථාද නැතුවාම නොවේ. එසේම අන්තර්ජාලයේ ඇතැම් වෙබ් ගිණුම්වල ඇලෙක්සා (Alexa ranking) මට්ටම වැඩි කරගැනීමටද එවැනි ක්‍රම යොදාගන්නා අවස්ථා බොහෝය. එවන් සේවා සපයන ආයතන සහ පුද්ගලයෝ හතු පිපෙන්නාක් සේ බිහි වෙමින්ද සිටිති.

ජංගම දුරකතන ගොන්නක් එකිනෙකට සම්බන්ධ කරගනිමින් කරන එවන් ව්‍යාපාරික කටයුතු තාක්ෂණික කාරණා දන්නා අයට එතරම් අමුතු දෙයක් නොවූවත් මෙම ස්ථානයේ ඊට එහා ගිය යමක් සිදු වන බව විශේෂ විශේෂ කාර්ය බළකා සෙබළුන්ට පෙනී ගියේය. ඒ බව තහවුරු වන්නේ චීන ජාතිකයාගේ රුපියල් කෝටි දෙකක අල්ලස් යෝජනාවෙනි. එම මුදල ලබා දෙන්නට ඔහු සූදානම් වන්නේ මෙරට නෝට්ටුවලින්මය. ඒ සඳහා ඔහු විශේෂ කාර්ය බළකායෙන් ඉල්ලා සිටියේ පැය දෙකකි.

එය සැලකිය යුතු මුදලක් වූවත් ඊට විශේෂ කාර්ය බළකා සෙබළුන් වහ වැටුණේ නැත. සැබෑ ලෙසම මෙහි සිදුවන්නේ කුමක්දැයි සොයන්නට එය ඔවුන්ට උත්තේජනයක් බවට පත් විය. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මඟ හරිමින් චීනයත් ලංකාවත් අතර අන්තර්ජාතික දුරකතන ඇමතුම් හුවමාරු කිරීමේ මහා පරිමාණයේ ජාවාරමක් හෙළි වන්නේ එවිටය. අන්තර්ජාල දුරකතන ඇමතුම් දේශිය ඇමතුම් බවට පත් කරමින් කරන්නා වූ එම ජාවාරමෙන් අහිමි වන්නේ අන්තර්ජාතික දුරකථන ඇමතුම් වෙනුවෙන් මෙරටට ලැබිය යුතු විශාල බදු ආදායමකි. මෙරට රැකියාවල නිරතව සිටින චීන ජාතිකයන් වෙනුවෙන් ඔවුන් එම පහසුකම සපයා දී තිබුණේ සංවිධානාත්මකවය.

එම තොරතුරු හෙළි කරගැනීමත් සමඟ විශේෂ කාර්ය බළකා සෙබළුන් චීන ජාතිකයාව අත්අඩංගුවට ගන්නේ සැකපිටය. ඒත් එක්කම ඔහුගේ සහායට එම නිවසේ සිටි රැඳී සිටි දෙමළ ජාතිකයන් දෙදෙනා ද අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ අය පවසන්නට වූයේ තමන් වැටුපට රැකියාවේ නිරත සේවකයන් පමණක් බවය. ඔවුන්ට චීනූන් විසින් ලබාදී ඇති මාසික වැටුප රුපියල් 80000කි. ඔවුන්ට පැවරී ඇත්තේ පුවරුවේ ඇති ජංගම දුරකතනවල සිම් කාඩ්පත්වල දත්ත අවසන් වීමෙන් පසු ඒවා ඉවත් කර ඒ වෙනුවට අලුත් සිම්පත් ඇතුළු කිරීමය. ඔවුන් පවසන ආකාරයට අනුව පැය හතර පහකට වරක් එක් ජංගම දුරකතනයක සිම්කාඩ්පත් වෙනස් කළ යුතුය.

විදුලි විසන්ධි වීමකට මුහුණ දීමටද බැටරි ආරෝපණද මේ කාමරයේ ගොඩ ගසා තිබී ඇත. සෑම ජංගම දුරකතනයක්ම පැය විසි හතර පුරාම තිබී ඇත්තේ ක්‍රියාත්මකය. එම දුරකතන සියල්ලක්ම සම්බන්ධ වන්නේ ලැප්ටොප් පරිගණකයකටය. පුවරුවේ පමණක් තිබුණු ජංගම දුරකතන ප්‍රමාණය 200කි. ඊට අමතරව තවත් එවැනිම ජංගම දුරකත 201ක් බෑගයක දමා තිබිණි. එම කාමරයේ තැන තැන තිබී හමුවුණු රවුටර් ගණන 60කි.

ඊට අමතරව එහි සිම් කාඩ් පත් 50 ක් එකවර දැමිය හැකි සිම් බොක්ස් තොගයක්ද ජංගම දුරකතන සිම්කාඩ්පත් 17400ක්ද ඇතුළුව විවිධ තාක්ෂණික උපකරණ ගොන්නක්ම විය. එම සිම්කාඩ් පත් අතර මෙරට ප්‍රමුඛතම ජංගම දුරකතන සමාගම් කිහිපයක් එංගලන්තයේ ජංගම දුරකථන සමාගමකත් සිම් කාඩ්පත් විය. එංගලන්තයේ සිම්පත් යොදාගෙන තිබුණේ ඇපල් වර්ගයේ ජංගම දුරකතනවල ක්ලවුඩ් අවකාශය අවසන් වන විට ඒ බව ඇපල් ජංගම දුරකතන පාරිභෝගිකයන්ට එස්.එම්.එස්. පණිවිඩයක් මඟින් දැනුම් දෙමින් මුදල් ගෙවා ක්ලවුඩ් අවකාශය වැඩි කරගන්නා ලෙස දැනුම් දීමටය. එය ඔවුන් විසින් අදාළ සමාගම සමග ගිවිසුම්ගතව කළ ව්‍යාපාරික කටයුත්තකි. එම සිම්පත් මෙරටදී ක්‍රියාත්මක වන්නේ මෙරට ජංගම දුරකතන සමාගමක් ඔස්සේය.

වැඩිදුරටත් එම චීන ජාතිකයාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙ වන්නේ වසර දෙකක් තිස්සේ ඔවුන් එම කටයුත්තේ නිරතව සිටින බවය. ඊට සම්බන්ධව සිටින්නේ පුද්ගලයෙකු දෙන්නෙකු නොව, චීන්නු කණ්ඩායමකි. පිරිසක් මේ කටයුත්ත මෙහෙයවන්නේ චීනයේ සිටය. පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ මෙරටින් පිටව යන චීන්නු අතර මෙම කටයුත්තේ මහ මොළකරුවාද සිට ඇත.

විමර්ශනවලින් හෙළි වී ඇති ආකාරයට අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වන විට එහි තිබී ඇත්තේ ජංගම දුරකතන 2000ක පැනලයකි. ඒ සියල්ලක්ම ඔවුන් ඉවත් කරන්නේ හමුදාව සහ පොලිසිය නිවාස සෝදිසි කළහොත් නැති ප්‍රශ්න ඇතිවේ යැයි සැකකරමිනි. උපකරණ වලින් කොටසක් එම නිවසින් ඉවත් කර ගත්තද තවත් කොටසක් සඟවා තබන්නේ රුපියල් 70000ක කුළියට ගත් යාබද නිවසේ කානුවකය. එම කානුවට උපකරණ දමා ඊට උඩින් පස් තට්ටුවක් ඇතිරූ චීන්නු 06 දෙනාම චීනය බලා ගියහ.

ඒ සියලු කාරණාත් එම ස්ථානයෙන් සිදුවුණු තාක්ෂණික කාර්යයත් ගැන සොයා බැලීමේ කටයුත්ත වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් පවරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය. එහි ප්‍රධානීන් වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්ත,නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල සහ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යන මහත්වරුන්ගේ උපදෙසින් දැන් ඒ ගැන විමර්ශන සිදු වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන අංශයේ පොලිස් අධිකාරී දර්ශිකා මහත්මියගේ මෙහෙයැවීමෙනි. ඒ, විදුලි සන්දේශ නියාමන කොමිසමේත් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේත් සහාය ඇතිවය.

Comments