රටක් ලෙස රැකගත යුතු සේරුවිල ඛනිජ නිධියේ සංස්කෘතික කතාව | සිළුමිණ

රටක් ලෙස රැකගත යුතු සේරුවිල ඛනිජ නිධියේ සංස්කෘතික කතාව

ඩී.තුසිත මැන්දිස් පුරාවිද්‍යා මහාචාර්ය, අධ්‍යානාංශ ප්‍රධාන, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යනාංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ

කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා වාණිජ මාර්ගයක් ඉදි කිරීම සඳහා ශ්‍රී ලංකා භූමියෙන් අක්කර විසි ලක්ෂයක් විදේශයකට ලබාදීම සඳහා රජය ගිවිසුම් ගතවීමට යන බව වාර්තා වේ. එහි යථාර්ථය කුමක් වුවද මේ භූමියේ ඇති වටිනාකම මේ රටේ පාර්ලිමේන්තු නියෝජිතයන් කී දෙනෙකු දන්නේ දැයි අපට අවබෝධයක් නැත. ඒ කතිකාව ගොඩනැඟෙන්නේ ලාංකිකයා සතු අතිශයින්ම වටිනා භූ සම්පත ගැනය. අදින් අවුරුදු 3000කට පමණ පෙර සිට අප රටේ මිනිසුන් පරිහරණය කරන ලද අතිශය වටිනාකමින් යුත් ධනවත් ඛනිජ සම්පත් නිධිගත වී ඇති භූමිය ගැනය. ඒ භූමිය පිළිබඳ රජයට නිශ්චිත තක්සේරුවක් නොතිබෙනවා වෙන්නට පුළුවන. පුරාවිද්‍යාඥයකු ලෙස ඒ මහාර්ඝ සම්පතෙහි ඇති වටිනාකම පිළිබඳව සකස් කළ මේ ලිපිය මඟින් මා උත්සාහ කරනුයේ ඒ වගකීම ඉටු කරන්නටය.

කොළඹ සිට ත්‍රිකුණාමලය තෙක් වෙන් කෙරෙන බව කියන සංවාදයට ලක් වන භූමියේ නිධිගතව ඇත්තේ ලොව වටිනාම ඛනිජ සම්පතකි. ධනවත්කමින් අතිශය ආඪ්‍ය ඒ ඛනිජ නිධිය සැතපුම් 10ක් පළලට පැතිරී ඇත. එමෙන්ම එම තීරය සැතපුම් 250ක් දිගට එකපැහැර පැතිරෙයි. කොළඔ සිට ත්‍රිකුණාමලයට නොව ත්‍රිකුණාමලයෙහි සිට හම්බන්තොට දක්වා එය විහිදී ඇත. අප තැතිගන්වන්නේ ඒ මහා ජාතික සම්පත නොවැළැක්විය හැකි සේ අපට අහිමිවේද යන්න සිතෙන විටය.

ඛනිජ නිධියේ ඉතිහාසය

ශ්‍රී ලංකාවේ මූලික වශයෙන් යකඩ හා තඔ භාවිත කළ යුගය පූර්ව ඓතිහාසික යුගය ලෙස සැලකේ. නූතන පුරාවිද්‍යා පර්යේෂණ අනුව ක්‍රි.පූ 2000 ට පෙර, එනම් අදින් අවුරුදු 4000කට පෙර ආරම්භ වී ඇති මේ යුගය ශ්‍රී ලංකාව පුරාම විවිධ කාල පරාසවල දී ක්‍රියාත්මක වී තිබේ. මේ යුගය සුවිශේෂ වන්නේ ශ්‍රී ලංකාවට මුල් වරට යකඩ හා තඹ තාක්‍ෂණය හඳුන්වා දුන් යුගය වන බැවිනි. ශ්‍රී ලංකාව තුළ සමකාලීනව යකඩ හා ඛනිජ සම්පත් පරිහරණය ක්‍රිස්තු.පූර්ව 1350 ට, එනම් අදින් අවුරුදු 3350කට පෙර ආරම්භ කළ බවට පුරාවිද්‍යා සාක්ෂි මේ වන විට ලැබී තිබේ (Somadeva 2006).

පූර්ව ඓතිහාසික යුගයේ දී ශ්‍රී ලංකාවේ සුවිශේෂ ලෙස ස්වභාවික තඹ ලෝහ පස් නිධිගත වී තිබුණු ප්‍රදේශයක් ලෙස ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සේරුවිල හඳුනාගෙන ඇත. 1971 ශ්‍රී ලංකා භූ සමීක්ෂණ දෙපොර්තමේන්තුව විසින් සේරුවිල කේන්ද්‍රගත වී ඇති එම ඛනිජ සම්පත් පිළිබඳ විද්‍යානුකූල අධ්‍යයන මුල් වරට සිදු කරන ලදි. (Senaviratne 1995:116). නමුත් ඊට පෙර 1821 දී බ්‍රිතාන්‍ය ජාතික ඩේවි (Davy) විසින් ඒ ප්‍රදේශයේ රාශිභූතව පැවති මැග්නටයිට් යපස් (Magnatite Ore), හා ටෙනන්ට්(Tenant) විසින් රසදිය (Mercary) පිළිබඳ වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල ප්‍රදේශයේ සිට දකුණේ අම්බලන්තොට වෙරළ තීරය දක්වා වූ සැතපුම් 10ක් පළලින් යුක්තව සැතපුම් 250ක් දිගැති කලාපයේ පිහිටන එම ඛනිජ තීරුව සේරුවිල දී පොළොව මට්ටමට වඩාත් කිට්ටු වේ. එම පොළොවේ ඇති විපරිත පාෂාණ ඛණ්ඩය තුළ ඉතාම ධනවත් ඛනිජ සම්පත් රාශියක් පිහිටා ඇත. එහි තඹ (Copper), මැග්නටයිට් (Magnatite), රිදී (Silver), බිස්මත් (Bismath), සින්ක් (Zinc), මයිකා (Mica), ක්‍රොමියම් (Cromiaum), නිකල් (Nickel) යන වටිනා ඛනිජ ද්‍රව්‍යය වේ. ඉතා ගැඹුරු කොටස්වල රත්ත්‍රරන් ද පිහිටා තිබෙන බව වර්තා වේ.

එසේම එම ප්‍රදේශය ආශ්‍රයෙන් පිහිටන පාෂාණ අතර චානොකයිට් නයිස් (Charnokite gneisses) තිරුවානා (Quartz) හා යකඩගල් ද (Iron Ore) වටිනා ඛනිජ සම්පත්ය. (Corray 1984 ,212; Seneviratne 1995 ,116). ශ්‍රී ලංකාවේ භූ විද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සේරුවිල තඹ නිධිය ආශ්‍රිතව සිදු කරනු ලැබූ පර්යේෂණවල දී එහි ටොන් මිලියන 7 ක මැග්නටයිට් තඹ මතුපිට පොළොව මට්ටමේ සිට අඩි 200 ක් ගැඹුරට පිහිටා ඇති බව හඳුනාගෙන තිබේ (Seneviratne 1995 (117). ලෝහ සම්පත් මුල් යකඩ යුගයේ ජීවත් වූ පූර්ව ඓතිහාසික ජනතාවගේ ජීවන පැවැත්මට අදාළ සම්පත් පරිභෝජන රටාවේ මූලික අංග වී තිබිණි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කදිරවේලි ප්‍රදේශයේ මුල් යකඩ යුගයේ ජනතාව සිය ජනාවාස ස්ථානගත කරගනු ලබන්නේ එම අතිශය වටිනාකමින් යුත් ලෝහ නිධියේ ලෝහ පස් අත්පත් කරගැනීම සඳහාය. සේරුවිල පිහිටි භු විසමතාව අනුව පොළොව මතු පිටින් ඉතා පහුසවෙන් තඹ ලබාගත හැකි ආකාරයට එම තඹ නිධිගත වී ඇත. මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වාදෙන අකාරයට මහාවංශයේ තම්බපිට්ඨ යනුවෙන් සඳහන් වන්නේ මතුපිටට නෙරා ඇති එම තඹ නිධිය බව පෙන්වා දී තිබේ.

ලෝහ කර්මාන්තය ආශ්‍රිතව බිහිවූ පුරාණ ජනාවාස

සේරුවිල ප්‍රදේශයෙන් ලැබෙන පුරාවිද්‍යාත්මක දත්ත අනුව එහි ජනාවාසය ක්‍රි.පූ 8 වැනි සියවසට පෙර යුගයට (අවුරුදු 2800 ට පෙර) දක්වා දිවයන බව විශ්වාස කෙරේ (Senaviratne 1992:04). විශේෂයෙන්ම අනුරාධපුර ඇතුළුපුරයේ ක්‍රි.පූ. 8 වැනි සියවසට පෙර ජනාවාසවලින් මූලික ලෙස ලෝහ භාවිත කළ බව සිරාන් දැරණියගල හඳුනාගෙන ඇත (Deraniyagala 1972 ). ග්‍රාමීය සමාජ තමන්ට අවශ්‍ය තඹ අමුද්‍රව්‍යයක් වශයෙන් පුරාණයේ දී සේරුවිල ප්‍රදේශයෙන් ලබාගත් බව විශ්වාස කෙරේ (Senaviratne 1994:17).

1987 දී අනුරාධපුර ඇතුළුපුර කැණීම්වලින් හමු වූ පූර්ව ඓතිහාසික අවධියට අයත් ලෝහ මෙවලම් ආශ්‍රිතව සිදු කළ රසායනික හා සූක්ෂම මූල ද්‍රව්‍ය විශ්ලේෂණයන්ට අනුව එම මෙවලම්වල අඩංගු ලෝහ සංයුතිය ඉතාම සමීප වන්නේ සේරුවිල ලෝපස් නිධියේ සංයුතියට බව සොයාගෙන ඇත (එම. 1995:123).

එම තත්ත්වය අනුව සේරුවිලින් මතුපිටින් ලබාගත හැකි තඹ පාරිශුද්ධ භාවයෙන් ඉතා උසස් නිසා පෞරාණික සමාජය ඒවා ඉතා වැදගත් කොට සලකනු ලැබ ඇත. ඒ අනුව ක්‍රි.පූ. 8 වැනි සියවසට පෙර සිට අනුරාධපුර හා උතුරු මැද පළාතේ මෙන්ම යාපන අර්ධද්වීපයේ ජීවත් වූ මිනිසුන් එම නිධිය ආශ්‍රිත ලෝහ සම්පත් භාවිත කළ බව විශ්වාස කරනු ලැබේ. පූර්ව ඓතිහාසික යුගයේ දී ක්‍රි.පූ. 8 සහ 7 වැනි සියවසට පෙර සිට නැගෙනහිර ප්‍රදේශය ආශ්‍රිතව පදිංචි වන ජනයා මෙන්ම මධ්‍ය යාන් ඔය නිම්නයේ පදිංචි වන ජනයා ඒ සඳහා මූලය කරගන්නට ඇත්තේ සේරුවිල නිධියේ ලෝහ සම්පත්ය.

විශේෂයෙන් මධ්‍ය යාන්ඔය නිම්නය ආශ්‍රිතව පූර්ව ඓතිහාසික යුගයේ දී ජනාවාස රාශියක් කහටගස්දිගිලිය හා හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට අයත්ව වඩිගවැව, ගුරුගල්හින්න, කොක්එබේ, තම්මැන්නාගොඩැල්ල, දිවුල්වැව, මරදන්මඩුව, පරංගියාවාඩිය (නිකවැව), දික්වැව, ඇතාබැදිවැව, පන්කැටියාව, පළුකැටිවැව, ගල්ඇදකටුව, නෙළුගොල්ලාකඩවල, ඇලපත්වැව, මහපොතාන, බෙරවායගල, පන්වත්ත, පඩරැල්ලාව (රබෑව), මල්පෝරුවල, කිරිමැටියාව, ඕලුවැව, බිහි වීම අරුමයක් නොවන අතර, එම ප්‍රදේශය ආශ්‍රිත ලෝහ සම්පත් පරිභෝජන ක්‍රියාවලිය පූර්ව ඓතිහාසික අවධියේ සිට මුල් ඓතිහාසික හා මධ්‍ය ඓතිහාසික අවධිය දක්වාම අඛණ්ඩ සිදු වූ ආකාරය සාහිත්‍ය මූලාශ්‍රය හා අභිලේඛන තොරතුරුවලින් ද හඳුනාගත හැකිය.

අනුරාධපුර පැරණි නගරයෙන් නැඟෙනහිර පර්යන්තය තුළ සේරුනුවර පිහිටන ස්වභාවික තඔ නිධියේ පරිභෝජන කාර්යය අතිශයින් ප්‍රභලව සිදු වන්නේ ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ ආරම්භ වන මුල් ඓතිහාසික අවධියේදීය. මුල් ඓතිහාසික අවධියේ දී එම ලෝහ සම්පත් අත්පත් කරගැනීමේ කාර්යයේ දී එවකට සමාජ සැකස්මේ පූර්ණ බලය පරුමකවරුන් (Powerfull parumuka families) හිමි වී තිබිණි. එය කුරුණෑකල්ලු පූර්ව බ්‍රාහ්මී අභිලේඛන ඇසුරෙන් හඳුනාගත හැකිය. (Ic.Vol. I: No.319). මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වා දෙන්නේ කුරුණෑකල්ලු ප්‍රදේශයේ පිහිටන පූර්ව බ්‍රාහ්මී ලිපියේ සඳහන් වන පරුමක තබර යන්න මඟින් තඹ කර්මාන්තයේ පාලනය එම වකවානුවේ දී පරුමකවරු අතෙහි තබාගත් බවය (Seneviratne 1989 :115). පොදුවේ ලෝහ සම්බන්ධ පාලනය ඔවුන් අත තිබූ බව පෙනේ. වියළි කලාපයේ කෘෂිකාර්මික කටයුතුවල දී නඟුල් කටයුතු පාලනය පරුමකවරු රඳවාගෙන සිටි ආකාරය සෙල්ලිපිවල සඳහන් පරුමක නගුලි, පරුමක නගුලිය යන තනතුරුවලින් පැහැදිලි වේ (Ic.vol. I No: 260, 869).

ලෝහ කර්මාන්තයේ විශේෂ ප්‍රාගුණ්‍යය

අනුරාධපුර නැඟෙනහිර ප්‍රදේශයේ පිහිටි ලෝහ සම්පත් අත්පත් කරගැනීම ප්‍රවාහනය හා නිමි භාණ්ඩ නිෂ්පාදනය සම්බන්ධ ක්‍රියාවලිය මේ යුගයේ දී විශේෂ ප්‍රාගුණ්‍යතාව සහිතව පවත්වාගෙන ගිය බව එම ප්‍රදේශයේ ඇති මුල් බ්‍රාහ්මි අභිලේඛන ඇසුරෙන් හඳුනාගත හැකිය. විශේෂයෙන් ධාතුවංසයේ සඳහන්වන මහාවාරිකාමග්ග සේරුනුවර සිට අනුරාධපුරයට නිෂ්පාදන බෙදාහැරීම සඳහා පැවති ප්‍රධාන මාර්ගය හා මුහුදින් තඹ සම්පත් බෙදාහැරි මාර්ගය තම්බතිත්ථ (තඹ හුවමාරු තොටුපළ) පිළිබඳ මූලාශ්‍රයවල සඳහන් වී තිබේ (Seneviratne 1995 :130).

එම නිෂ්පාදන බෙදාහැරීම් ක්‍රියවලියට දායත්වය දැක්වූ එවක සිටි ජනකණ්ඩායම් අතර ගමිකවරු හා ගහපති කණ්ඩායම් පිළිබඳ තොරතුරු ද අභිලේඛනවල සඳහන් වේ. ඒ අතර මුතුගල ලිපියේ ගහපති කබර (යකඩකරු) හා තවත් ලිපියක ගමික තොඩික (තොටුපළ පාලක) (Ic.Vol I. No : 301,309) යන්නෙන් එම ලෝහ සම්පත් නිෂ්පාදන හා බෙදාහැරීම් සිදු කළ පිරිස් පිළිබඳ හඳුනාගත හැකිය.

පරුමක, ගහපති හා ගමිකවරු සතුව තිබූ ලෝහ සම්පත්වල පූර්ණ පාලන බලය නිසා ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවස වන විට අනුරාධපුරය වඩා දියුණු නගරයක් දක්වා වර්ධනය වීම සිදු විය. එහි දී පරුමකවරුන්ගේ පාලන බලය සේරුවිල සිට අනුරාධපුරය දක්වා විහිදුණු නිෂ්පාදන බෙදාහැරීම් මාර්ගය ඔස්සේ හඳුනාගත හැකි ය. ඒ ඒ ලෝහ කර්මාන්ත කටයුතුවල දී විශේෂ ප්‍රාගුණ්‍යතාව ඇතිව මධ්‍ය යාන්ඔය නිම්නයේ පෙරියපුලියංකුලම, කැබිතිගොල්ලෑව, බ්‍රාහ්මණයාගම, නැට්ටුක්කන්ද, කහටගස්දිගිලිය ආදී ස්ථාන ඇසුරෙන් ජීවත් වූ ලෝහ කාර්මිකයන් පිළිබඳ තොරතුරු මුල් බ්‍රාහ්මි අභිලේඛනවල සඳහන් වේ (Ic.Vol. I : No. 350, No. 351, No. 370) .

එසේම මීට අමතරව පෙරියපුලියන්කුලම ප්‍රදේශයේ වාණිජ කටයුතු (වණිජ) සම්බන්ධ ක්‍රියාවලියේ නිරත පිරිස් ඔස්සේ (No. 356, No. 357) එම තඹ නිෂ්පාදන බෙදාහැරීම් සම්බන්ධ ක්‍රියාවලිය අනුරාධපුරය දක්වා සිදු කර ඇති බව ද පැහැදිලි වේ. එසේම මහාවාරිකාමග්ග සේරුවිල සිට අනුරාධපුරය දක්වා විහිදුණු නැඟෙනහිර පර්යන්තයට සම්බන්ධ වූ පැරණි මාර්ගය ආශ්‍රිත ප්‍රදේශවල මුල් ඓතිහාසික යුගයේ දී, එනම් ක්‍රිස්තු පූර්ව 3-1 අතර යකඩ කර්මාන්තයට සම්බන්‍ධ විශේෂ ප්‍රාගුණ්‍යතාවක් සහිත පිරිස් මෙන්ම ශිල්පීන් ජීවත් වූ බව පෙනේ. බ්‍රහ්මණයාගම කබර (යකඩකරු) (No.161), නැට්ටුක්කන්ද කබරගම (යකඩකරුවන්ගේ ග්‍රාමය) (Nicholas Vol. ii 80. No. 6), කහටගස්දිගිලිය කබරවවි (Uduwara 1991 : 211), කැබිතිගොල්ලෑව ආචාරියාගම (නිෂ්පාදකයන්ගේ ගම) ගැන සඳහන් ශිලා ලේඛන සාක්ෂි ඊට දෙස් දෙයි.

මේ ක්‍රියාවලිය පූර්ණ වශයෙන් අනුරාධපුරය හා බද්ධ වූ ක්‍රියාවලියක් බව ක්‍රි. ව. 350 පමණ කාලයට අයත් කැබිතිගොල්ලෑව ආසන්නයේ පිහිටා ඇති ලබුඇටබැඳිගල ශිලා ලිපිය මගින් ද සනාථ වේ. එම ශිලා ලිපියේ අනුරාධපුර නගරයේ නැගෙනහිර ක්‍රියාත්මක වූ වෙළඳපොළ හඳුන්වා ඇත්තේ මහාතබක නිගම (තඹකරුවන්ගේ වෙළඳපොළ) ලෙසය (Ez.Vol. iii : 33 ; 247 - 253). මධ්‍ය ඓතිහාසික අවධිය තුළ තඹ භාණ්ඩ අලෙවි කිරීම සඳහා සුවිශේෂීකරණය වූ ලෝහ භාණ්ඩ වෙළඳපොළක් අනුරාධපුර නගරයේ නැඟෙනහිර කොටසට එකතු වී තිබිණි. සේරුවිල තඹ නිධියේ ලෝහ විශේෂ ප්‍රාගුණ්‍යතාව අනුව පරිහරණය කිරීමේ හා නිෂ්පාදනය කිරීමේ උච්චතම අවස්ථාව අපට එමඟින් හඳුනාගත හැකිය. එම සුවිශේෂීකරණය වූ වෙළඳපොළෙහි උපයෝගීතාව අනුරාධපුර ඇතුළුපුරයේ සිදු කරනු ලැබූ කැණීම් මඟින් ද තහවුරු වී තිබේ.

AG 69 ගෙඩිගේ කැණීමේ 4B පස් තට්ටුවෙන් ලැබී ඇති තද නිල් පැහැති පාරදෘශ්‍ය වීදුරු පබළු (Dark blue transparent beads) නිෂ්පාදනය සඳහා කොබෝල්ට් (Cobalt) නැමති ඛනිජ වර්ගය අවශ්‍ය වේ. සිරාන් දැරණියගල පෙන්වා දී ඇති ආකාරයට කොබෝල්ට් බහුල වශයෙන් සේරුවිල තඹවල අඩංගු වේ (Deraniyagala 1986 : 44). වීදුරුවල ආලේප උළු (Glazed tiles) නිෂ්පාදනයට අවශ්‍ය කොපර් ඔක්සයිඩ (Cooper Oxide) ලබාගැනීමට ද සේරුවිල තඹ වැදගත් වී ඇත. මේ පුරාවිද්‍යා සාධක අනුව අනුරාධපුර නැඟෙනහිර පස ක්‍රියාත්මක වූ වෙළඳපොළේ වඩා සුවිශේෂ ආකාරයට තඹ නිෂ්පාදනයට ඉඩකඩ ලබාදීමෙන් සේරුවිල, මධ්‍ය යාන් ඔය නිම්නය හා අනුරාධපුරය ආශ්‍රිත ගනුදෙනුව වඩා සාර්ථක ලෙස පුරාණයේ ගොඩනැඟී තිබූ බව පෙනේ.

මේ ආකාරයට අනුරාධපුර නගරය සංවර්ධනය සඳහා එවකට පැවති සමාජ සැකැස්ම වැදගත් වී තිබේ. මුල් ඓතිහාසික අවධිය තුළ වූ ලෝහ භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලිය අනුරාධපුර ඇතුළුපුරයේ පමණක් නොව ජේතවනය හා වෙස්සගිරි භූමියෙන්ද හඳුනාගත හැකිය.

ජේතවන විහාර භූමිය ආශ්‍රිත සිදු කරන ලද පුරාවිද්‍යා කැණීම්වල දී ජේතවන විහාර කර්මාන්තයට පෙර පැවති ජනාවාස ස්ථර ඇසුරින් බහුල වශයෙන්ම තඹ බොර මෙන්ම යකඩ බොර ද ලෝහ උණු කිරීමට භාවිතා කරනු ලැබූ කෝව හා උදුන් රාශියක් ද හඳුනාගෙන තිබේ (මැන්දිස් : 2009 20 - 22). එසේම වෙස්සගිරිය ආශ්‍රයෙන් ද ලෝහ බොර, කෝව කොටස් මුල් ඓතිහාසික අවධියට අයත් පස් ස්ථරවල තිබී හමු වී ඇත (Mendis 2007 : 16 - 18).

වෙස්සගිරියේ මුල් බ්‍රහ්මී ලිපියක ලෝහ කර්මාන්තයේ උපරිම තත්ත්වය පිළිඹිබු කරන රන් කර්මාන්තය හා සම්බන්ධ තලදර යන පුද්ගලයකු කළ ලෙන් ප්‍රධානයක් පිළිබඳ සඳහන් වේ (Ic.Vol.I .No: 80).

තලදර යන්න පිළිබඳ විග්‍රහයක යෙදෙන මහාචාර්ය සෙනරත් පරණවිතාන එය සංස්කෘත තුලාධර හා සිංහල තරහල් යන්නට පරිවර්තනය කිරීමෙන් එමගින් රන් ආශ්‍රිත ශිල්ප කටයුත්තක නියුක්ත වූවකු ගම්‍ය වන බව පෙන්වා දී ඇත. එසේම තලදර යනු රන්කාසි හුවමාරු කළ හෝ රන් මිණුම් කළ පුද්ගලයෙකු විය හැකි බව මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්නගේ මතය වේ. එම පුරාවිද්‍යත්මක කරුණු සැලකිල්ලට ගැනීමේ දී අනුරාධපුර ඇතුළුපුරයෙන් නැඟෙනහිර පර්යන්තය තුළ පිහිටි ස්වභාවික ලෝහ සම්පත් පූර්ව හා මුල් ඓතිහාසික අවධියේ දී පරිහරණයේ වැඩිම උපයෝගීතාව අනුරාධපුර නගරය හා තදාශ්‍රිත ප්‍රදේශවල සිදු වී ඇති බව පෙනේ.

මහාවාරිකා මග්ග

මුල් ඓතිහාසික හා මධ්‍ය ඓතිහාසික අවධියේ දී අනුරාධපුරය හා සේරුවිල අතර පැවති සම්බන්ධය සඳහා සකස් කරන ලද මහාවාරිකා මග්ග වශයෙන් හඳුන්වා ඇති මාර්ගය අනුරාධපුර මහාතඹක නිගම (Vol. iii : 247 , 253) සිට සේරුවිල පිහිටි ගනද්වාර ග්‍රාම නැමති ලෝහ නිෂ්පාදිත ගමකට සම්බන්ධ වූ බව සෙනෙවිරත්නගේ මතය වී ඇත (Seneviratne 1995 : 130).

එම මාර්ගය සම්බන්ධ පුරාවිද්‍යාත්මක සාධක වශයෙන් ඉපැරණි ගල්පාලම් කිහිපයක් මල්වතුඔය, කනදරා ඔය මෙන්ම යාන්ඔය ඇසුරින් වර්තමානයේ ද දක්නට ලැබේ. එම මාර්ගයේ සිදු වූ සම්පත් පරිවහන ක්‍රියාවලිය ඉතා ඍජු ලෙස පූර්ව හා මුල් ඓතිහාසික අවධියේ අනුරාධපුර නාගරික භූ දර්ශනය ගොඩනැඟීමට බලපා තිබේ.

එම ලෝහ සම්පත් භාවිතය නිසා ඇති වූ ආර්ථික දියුණුව නිසාම බෞද්ධ ආගම අනුරාධපුරයේ ස්ථාපිත වී ඉතා දිගු කලක් පැවතිණි. පූර්ව හා මුල් ඉතිහාසසේ මෙන්ම අනුරාධපුර රාජධානි අවධියේ පරිහරණය කර ඇති අදටත් ටොන් මිලියන 7ක තඹ හා එයට අමතරව වටිනා ඛනිජ වර්ග රාශියක් ස්ථානගත වන එම වටිනා ධනවත් ඛණිජ නිධිය ඇතුළු භූමිය ජාතියේ නාමයෙන් රැකගැනීමේ වගකීම මේ රට සතුව තිබේ.

අදහස්