වැඩ කරන ජනතාවට හැම අතින්ම වැඩ සලසන ශ්‍රම වාසනා අරමුදල ගැන දැනගන්න | සිළුමිණ

වැඩ කරන ජනතාවට හැම අතින්ම වැඩ සලසන ශ්‍රම වාසනා අරමුදල ගැන දැනගන්න

කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රම වාසනා අරමුදල පිහිටුවා මේ වන විට විසි එක් වසරකි. මෙරට සේවා නියුක්තිකයන් වෙනුවෙන් පිහිටුවන ලද එම අරමුදලින් කම්කරු ජනතාවට සිදු වන සේවය අගය කළ යුතුය. එම අරමුදල පිළිබඳත් එහි කාර්යභාරය පිළිබඳත් ශ්‍රම වාසනා අරමුදලේ සාමාන්‍යාධිකාරී ඩී.ආර්. ජයලත් මහතා පැවැසූ අදහස්ය මේ.

කම්කරුවෙකුට යම් ආබාධයක් ඇති වුණොත් රජයේ මුදල් වියදම් කරන්න ක්‍රමවේදයක් මුල් කාලයේ තිබුණේ නැහැ. 1995 දී තමයි කම්කරුවන් වෙනුවෙන් මෙවැනි අරමුදලක් ඇති කරන්නට සාකච්ජා ඇරැඹුණේ. එහි ප්‍රතිඵලයක් විදිහට ශ්‍රම වාසනා අරමුදල ඇති කරලා ඒ ඔස්සේ සේවකයන්ට සහාය දෙන්න පුළුවන් වැඩපිළිවෙළක් පටන් ගත්තා. 1995 සිට සාකච්ජා පටන් ගත්තත් අරමුදල පිහිටුවන්නේ 1998 දී කැබිනට් අනුමැතිය ලද අංක 12 දරන පනතට අනුවයි.

අරමුදල පිහිටුවීමේ මූලික අරමුණ වුණේ වැඩ කරන ජනතාවගේ සුබ සාධනය ඉහළ නංවා ඔවුන්ගේ සෞඛ්‍යය ආර්ථිකය ශක්තිමත් කර රටට වැඩදායක තෘප්තිමත් ශ්‍රම බළකායක් බිහි කිරීම. තවත් පැත්තකින් මුළුමහත් කම්කරු ජනතාව ලැබු මහඟු ජයග්‍රහණයක් විදිහට හඳුන්වන්නත් පුළුවන්.

ප්‍රධාන කාරණා හයක් යටතේ ශ්‍රම වාසනා අරමුදලේ සේවා බෙදී යනවා. එයින් පළමුවැන්න සේවා නියුක්තිකයන්ගේ සුබසාධනය හා ප්‍රවර්ධනය. දෙවැන්න පෙර දැනුම් දීමකින් තොරව ආයතනයක් වසාදැමූ අවස්ථාවක එහි සේවයේ නිරතවූවන්ට මූල්‍ය හා වෙනත් ආධාර ලබා දීම. තෙවැන්න රැකියාවේ යෙදී සිටියදී සිදුවන වෘත්තීමය ලෙඩ රෝග හා හදිසි අවස්ථාවලදී සේවකයන්ට වෛද්‍ය හා වෙනත් පහසුකම් සැපයීමට කටයුතු කිරීම. එයින් අදහස් වන්නේ වෛද්‍ය ආධාර ලබාදීම, විවිධ සායන පැවැත්වීම වගේ දේවල්.

ඊළඟට සේවකයන්ට විරුද්ධව ආයතනයක් පරීක්ෂණ ආරම්භ කරනු ලැබූ විටකදී ඒ ශ්‍රමිකයන්ට තාවකාලික ආධාර ලබාදීම. අනෙක ව්‍යසනයන්හිදී සේවා නියුක්තිකයන්ට හෝ ඔවුන්ගෙන් යැපෙන්නන්ට මූල්‍යමය හා වෙනත් ප්‍රතිලාභ සලසා දීම. අනෙක සේවා නියුක්තිකයන්ගේ සුබසාධනය සඳහා විශිෂ්ට සේවයක් කර ඇති තැනැත්තන්ට ත්‍යාග පිරිනැමීම යන කාරණා පදනම් කරගෙන අරමුදල සේවා රටපුරා පුළුල්ව ක්‍රියාත්මක වෙනවා.

කම්කරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් ඔවුන් සවිබල ගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් රැකියාවේ දී තමාගේ ආරක්ෂාව තහවුරු කරගැනීම පිළිබඳ ශ්‍රමිකයන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. සුදුසු ස්ථානයක් හෝ සේවක වැඩබිමක් තෝරාගෙන එහි දී සේවකයන් දැනුවත් කිරීමත් ඔවුන් වෙනුවෙන් වෛද්‍ය සායන පැවැත්වීමත් සිදු කරනවා. අක්ෂි කාච, ඇස්කන්නාඩි ලබාදෙනවා. එයින් බලාපොරොත්තු වන්නේ රටට නිරෝගීමත් ශ්‍රම බළකායක් බිහි කිරීමයි.

අඩු ආදායම්ලාභී ශ්‍රමිකයන්ගේ පවුල්වල ආර්ථිකය සවිබල ගැන්වීම උදෙසා ලංකාව පුරාම ස්වයං රැකියා වැඩමුළු පවත්වනවා. එම පවුල්වල සෙසු සාමාජිකයන් සඳහා රැකියා හඳුන්වා දීම උදෙසාත් අපි කටයුතු කරනවා. විශේෂයෙන්ම කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වැඩමුළු අපි ක්‍රියාත්මක කරනවා. එලෙසම ශ්‍රමිකයන්ට කාර්මික සුරක්‍ෂිතතාව , නිවැරදි සෞඛ්‍ය පුරුදු හා ඵලදායීතාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්ද අරමුදල යටතේ ක්‍රියාත්මක වෙනවා. එමඟින් කාර්යක්‍ෂම හා බුද්ධිමත් ශ්‍රම බළකායක් බිහි කිරීම අපේ අරමුණයි. දැනුම් දීමකින් තොරව ආයතනයක් වසාදැමූ අවස්ථාවක එහි සේවා නියුක්තිකයන්ට ලබාදෙන ප්‍රතිලාභ පිළිබඳ කතා කළ සාමාන්‍යාධිකාරිවරයා, වෙනත් වෘත්තීය හා තෘතීය අධ්‍යාපන පාඨමාලා සඳහා යොමු කර එතැනදී වෘත්තීය පුහුණුව සමඟ නැවත සේවයක පිහිටු වීමෙන් විරැකියාව අවම කිරීමට කටයුතු කරන බව කීය.

එමෙන්ම එම ශ්‍රමිකයන් දිරිගැන්වීම සඳහා ස්වයං රැකියා රූපලාවණ්‍ය, ව්‍යවසායකත්ව වැඩමුළු පැවැත්වීමෙන් ස්වයංරැකියා සඳහා දිරිගැන්වීම හා ඒ සඳහා ආධාර ලබාදීමත් සිදු කරන බව පැවසීය.

යම් සේවකයකුට විරුද්ධව ආයතනය මඟින් පරීක්ෂණ ආරම්භ කරනු ලැබූ විටකදී අරමුදලෙන් ලැබෙන පිටිවහලද ඉමහත්ය. ශ්‍රමිකයන්ට තාවකාලික ආධාර ලබාදීම මෙහිදී ප්‍රමුඛ කාර්යය වෙයි. ඒ යටතේ නීති ආධාර සේවයක් ක්‍රියාවට නංවා තිබේ.

“උදාහරණයක් විදිහට කියනවා නම්, සියලු දීමනා සහිත වැටුප රුපියල් 15,000 ට වඩා අඩු වැටුපක් ලබන සේවා නියුක්තියන්ට විරුද්ධව පරීක්ෂණ ආරම්භ කර ඇති විටෙක ඔවුන්ට නීති ආධාර ලබාදීමට හා නීතිමය උපදෙස් සඳහා නීති නියෝජිතයන් සම්බන්ධ කරවීමට අප කටයුතු කරනවා.

ව්‍යසනයකදී ශ්‍රමිකයන්ට හෝ ඔවුන්ගෙන් යැපෙන්නන්ට මූල්‍යමය ආධාර සහ වෙනත් ප්‍රතිලාභ ලබාදෙනවා. තවත් උදාහරණයක් කියනවා නම්, කර්මාන්ත‍ ශාලාවක හෝ යම් ආයතනවල හෝ ස්වයං ව්‍යාපාරවල හෝ යම් ශ්‍රමිකයෙකු හෝ ශ්‍රමිකයන් සේවයේ යෙදී සිටියදී මරණීය හෝ යම් අනතුරුවලට ගොදුරු වූ විට එම ශ්‍රමිකයන්ගේ යැපෙන්නන්ට මූල්‍ය ආධාර සහ අධ්‍යාපනය ලබන යැපෙන්නන්ට ශිෂ්‍යත්ව ලබාදීමෙන් අප අරමුදල බලාපොරොත්තු වන්නේ, යම් ව්‍යසනයන්හිදී ශ්‍රමික පවුල්වලට රැකවරණය සලැසීමයි.“

සේවා නියුක්තිකයන්ගේ සුබසාධනය සඳහා විශිෂ්ට සේවයක් කර ඇති තැනැත්තන්ට ත්‍යාග පිරිනැමීමත් අරමුදලෙන් සිදු වන සේවාවකි. වසර දහයකට වතාවක් සම්මාන උළෙලක් පැවැත්වෙන අතර මීළඟ සම්මාන උලෙළ ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රම වාසනා අරමුදලට අරමුදල් එක් රැස් කරගැනීමට ජාතික ලොතරැයි මණ්ඩලය සමඟ අත්වැල් බැඳගෙන සිටී. මුලින්ම ශ්‍රම වාසනා ලොතරැයිය පිහිටුවා අරමුදල් රැස් කරගත් අතර අද එය ජාතික සම්පත ලෙස වෙනස් වී තිබේ. සෑම සෙනසුරාදාම දිනුම් අදින ජාතික සම්පතට හිමි වන මුදලින් කොටසක් ශ්‍රම වාසනා අරමුදලට බැර වෙයි

රටේ සිටින සියලුම සේවා නියුක්තිකයන් කම්කරුවන්ට ශ්‍රමවාසනා අරමුදලේ ප්‍රතිලාභ සඳහා ඉල්ලුම් කළ හැකිය. ඒ සඳහා ඊටීඑෆ්, ඊපීඑෆ් හිමි රැකියාවක්ම කිරීම අවශ්‍ය නොවේ. වත්තක වැඩ කරන කම්කරුවකුට වුව අරමුදලෙන් ප්‍රතිලාභ ලබාගත හැකිය. කොළඹ ජාවත්ත පාරේ පිහිටි අරමුදලේ කාර්යාලය සමඟ සම්බන්ධ වීමෙන් ඒ පිළිබඳ තොරතුරු ලබාගත හැකි වේ.

ශ්‍රම වාසනා අරමුදල මඟින් සිදු කරන වැඩසටහන්වලට මූල්‍යමය හෝ ද්‍රව්‍යමය උපකාර ලබාදෙමින් අරමුදලට දායක විය හැකි බවත් ඒ ඔස්සේ අලුත් වෙනසක් කිරීමට සහාය වන ලෙසත් සාමාන්‍යාධිකාරි ජයලත් මහත් ඉල්ලීමක් කරයි.

තුෂාරි නේරංජා වික්‍රමසිංහ

ජායාරූප - සිරිපාල හල්වල

 

අදහස්