සහනාධාර පොහොර අරන් අලුත් ජාවාරමක් පටන් අරන් | සිළුමිණ

සහනාධාර පොහොර අරන් අලුත් ජාවාරමක් පටන් අරන්

පස් පරීක්ෂා කර පොහොර දැම්මොත් ගසටයි පසටයි දෙකටම හොඳයි - කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය වීරකෝන්

ඉස්සර පොහොර ටොන් 3000ක් පිටරටින් ගෙනාපු සමාගම දැන් සහනාධාර පොහොර අරන් ජාවාරමක

රටේම ග්‍රාම නිලධාරි වසම්වලට අදාළ පොහොර නිර්දේශ හදලා අවසන් ‍ - උද්‍යාන භෝග පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රියන්ත වීරසිංහ

රටේ හැම ගොවි බිමකම පස් පරීක්ෂණය සිදු කරනවා - ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් මද්දුම බණ්ඩාර වීරසේකර

‘හොඳට නරකට දෙකට කටමය’ කියා අපි කියමු. එහෙත් දැන් අලුත් කෘෂි පර්යේෂණ අනුව අපේ ආහාර භෝග ගැන බලන විට අද අපට කියන්නට සිදුව ඇත්තේ ‘හොඳට නරකට දෙකටම පොහොරය’ යනුවෙනි. ඒ අන් කිසිවක් නිසා නොව; අද අපේ රටේ බොහෝ භෝගවලට පොහොර අඩු වූවත් පොහොර වැඩි වූවත් ලෙඩ හැදීමයි; ගස් බාල වීමයි. මෙයට කළ යුතු වන්නේ පස් පරීක්ෂා කර පොහොර දැමීම බව කෘෂි විද්‍යාඥයෝ අවධාරණය කරති.

හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ කෘෂිකර්ම විද්‍යාඥ ආචාර්ය සරත් අමරසිරි මහතාත් විදේශ පර්යේෂණ ආයතනවලත් කළ පර්යේෂණ අනුව අපේ රටේ නුවරඑළිය, බදුල්ල හා දඹුල්ල ආදි එළවළු බහුල ලෙස වවන ප්‍රදේශවල පසේ අධික පොස්පරස් සංයුතියක් ඇත. ඒ ප්‍රමාණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පසේ තිබිය යුතු උපරිම පොස්පරස් මට්ටම මෙන් 10 ගුණයකින් වැඩි බව ආචාර්ය සරත් අමරසිරි මහතා පවසයි.

එහෙත් පුදුමය මේ ප්‍රදේශවල ගොවීන් තවමත් ඒ පසට සහනාධාර ලෙස දෙන පොස්පරස් සහිත පොහොර දමා තම වගා සරු කරගැනීමට උත්සාහ ගැනීමයි! මේ නිසා සිදු වන්නේ භෝග සරු වීම නොව, නිසරු වීම බව විද්‍යාඥයෝ පවසති.

පොස්පරස් අඩංගු පොහොර ඉවක් බවක් නැතිව ඒ ප්‍රදේශවල කුඹුරුවලට දැමීම නිසා වැඩෙමින් තිබුණු භෝග බාල වන බවත් පස විස වන බවත් කෘෂිකර්ම විද්‍යාඥ සරත් අමරසිරි මහතා පෙන්වා දී ඇත. මේ පිළිබඳ කරුණු දක්වන සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සනත් එම්. බණ්ඩාර මහතා පැවසුවේ මේ පොස්පරස් පමණක් නොව පසේ ඇති විවිධ මූලද්‍රව්‍යවල අඩු වැඩි බව නොදැන පෝර දැමීම නිසා මේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය අතර සමබරතාව නැති වී එය පසට බලපා භෝගවලට හානි පමුණුවන බවයි.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් මහතා පවසන්නේ මේ තත්ත්වය වෙනස් කිරීමට 2020 වසර වන විට රටේ සියලු ගොවිබිම් පරික්ෂා කර ඊට සුදුසු පස් පරීක්ෂණ නියාමන ලබාදෙන බවත් ඒ අනුව ඉදිරියේදි පස් පරීක්ෂණ වාර්තාව අනුව පමණක් සහනාධාර පෝර ලබාදීමට කටයුතු කරන බවත්ය.

මේ සඳහා දැනට ගොවිජන සේවා බල ප්‍රදේශ මට්ටමින් පස් පරීක්ෂණ සිදු කර ඇත. ඒ මඟින් දැන් රටේ ගොවිජන සේවා බල ප්‍රදේශ 562කට නුදුරුව පාංශු තත්ත්වය පිළිබඳ වාර්තා අනුව පොහොර ලබාදීම සිදු කරයි. ඒ ඒ බල ප්‍රදේශ අනුව එහි අධ්‍යක්ෂ පස පිළිබඳ සිතියමද දැන් සකස් කර තිබෙන බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් මද්දුම බණ්ඩාර වීරසේකර මහතා පවසයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උද්‍යාන භෝග සංවර්ධන මධ්‍යස්ථානය මඟින් මෙහෙයවනු බලන පස් සමීක්ෂණ වැඩපිළිවෙළ අනුව දැනට ගොවිජන සේවා බල ප්‍රදේශ 562ක පස් පරික්ෂා කර ග්‍රාම නිලධාරි වසම් 8000ක මට්ටමින් පාංශු පර්යේෂණ සිදුකර ඇත. ඒ පිළිබඳ විස්තර අත්පත්‍රිකා 8000 ක් මඟින් ගොවි ජනතාවට ලබාදීමට ද කටයුතු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති හා ප්‍රවර්ධන අංශයේ අතිරේක අධ්‍යක්ෂ (විශ්‍රාමික) ජගත් රංජිත් සුදසිංහ මහතා පවසයි.

ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසන පරිදි ගොවි ජන කමිටුවල නිර්දේශ අනුව වී ගොවින් සඳහා පොහොර කිලෝ 50ක බෑග් එකක් රු. 500 ගණනේ සහනාධාර ලෙස ලබාදෙයි. අමතරව අන් සියලු භෝග සඳහා මිශ්‍ර නොකරන ලද පෝර සහනාධාර ලෙසට කිලෝ 50ක් රු. 1000 බැගින්ද, මිශ්‍ර පොහොර කිලෝ 50ක් රු. 1100 ගණනේ සහනාධාර ලෙස ලබාදීම සිදුකෙරේ. පොහොර ලේකම් කාර්යාලය පවසන පරිදි, මින් කුඹුරුවලට පොහොර ලබාදෙන විට එය ලබාදෙන්නේ ගමේ ගොවි කාරක සභාවේ අනුමැතිය හා නි‍ර්දේශ ඇතිව වුවත් ඉන් පිටත විකිණීමට ඇති පොල්, තේ, රබර් වාණිජ කෘෂි ‍බෝග සඳහා සහනාධාර පෝර ලබාදීමට සීමාවක් නැත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ (ව්‍යාපෘති) ජගත් රංජිත් සුදසිංහ මහතා පවසන පරිදි සහනාධාර පොහොර හෝ භෝග පොහොර වර්ගයක් හෝ පසට දැමිය යුත්තේ පස් පරික්ෂාවකින් පසුවය.

වී වලට එළවළුවලට අල භෝගවලට මෙන්ම ධාන්‍යවලටද මෙය පොදුය.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය වීරකෝන් පවසන පරිදි අපේ රටේ දිස්ත්‍රික්ක මට්ටමින් දැන් පස් පරීක්ෂණ විද්‍යාගාර 20ක් අලුතින් පිහිටුවා ඇත. ඊට අමතරව උද්‍යාන භෝග හා රබර්, තේ, පොල් පර්යේෂණ ආයතනවල හා කෘෂිකර්ම දෙපාර්තමේන්තු පර්යේෂණ ආයතනවල ඒ පර්යේෂණ සිදු කරනු ලැබේ. මේ සඳහා රු. 290ක් පමණක් ගෙවිය යුතුය. තම ගෙවත්තේ පස පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් මෙහිදී ලබාගත හැකිය. එය වසර 3ක‍ට බල පැවැත්වේ.

මේ අනුව ඉදිරියේදී ගොවින්ට තම ග්‍රාම නිලධාරි වසමේ පස්වල තත්ත්වය අනුව පෝර ලබාගත හැකිය. එමෙන්ම අදාළ ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියා සහනාධාර පො‍හොර ගොවීන්ට ලබාදෙන විට ක්‍රියා කළ යුත්තේ සාමාන්‍ය ක්‍රමය අනුව නොව තම ග්‍රාම නිලදාරි වසමේ පස අනුව ලබාදිය යුතු පොහොර නිර්දේශය අනුවය.

මේ පිළිබඳ කෘෂිකර්ම පශු සම්පත් ඇමැති පී. හැරිසන් මහතා පවසන්නේ ඉදිරියේදී පසට පොහොර යෙදීමේදී පාංශු පරීක්ෂණය අනිවාර්ය කරන බවයි. පිටරටවල මේ පාංශු පරීක්ෂණය අනිවාර්ය ලෙස සිදු කරන නමුත් අපේ රටේ තවම එවැන්නක් නොවීම කනගාටුවට කරුණක් බව ඇමැතිවරයා කියයි.

ඉදිරියේදි අපේ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියාට අපි අදාළ පස් පරීක්ෂණ පිළිබඳ පුහුණුවක් දෙනවා. ඒ සමඟම වගාවට යෙදිය යුතු පොහොර, කෘෂිනාශක, වල්නාශක සුදුසු ප්‍රමාණය නිර්දේශ කිරීමට පර්යේෂණ වාර්තාවක් සකස් කරන ලෙස දන්වනවා යැයි ඇමැතිවරයා කීය. මේ අතර සහනාධාර පො‍හොර අරන් කරන ජාවාරමක් ගැනද ඇමැතිවරයා කියයි.

2017 වසරේදී පොහොර වෙනුවට මුදල් සහනාධාර ලබාදීමේදී රජයට වියදම් වී ඇත්තේ රු.බිලියන 15කි. එහෙත් 2018 වසරේ සහනාධාර පොහොර ලබාදීමේදී රජයට වියදම් වූ මුදල රු. බිලියන 35ක් වී ඇත. ඒ අනුව මෙහි සහනාධාර පොහොර මගඩියක් ඇති බව පෙනෙන බවත් ඇමැතිවරයා පවසයි.

මේ පිළිබඳ සිළුමිණට කරුණු දැක්වූ පී. හැරිසන් මහතා පැවසුවේ රජයේ පොහොර සහනාධාර වැඩපිළිවෙළ යළි නියාමනය කළ යුතුව ඇති බවය. දැන් ඒ සහනාධාර පෝර අවභාවිත වී ඇති බවයි. මහා පරිමාණ වාණිජ කෘෂි ව්‍යාපාර හිමියන් පවා සහනාධාර පෝර ලබාගන්නා බවත් සමහර ‍පෝර සමාගම් සහනාධාර ලෙස පෝර ගෙනැවිත් ඒ පොහොර වෙනත් දේ නිපදවන සමාගම්වලට වැඩි මිලට අලෙවි කර ඇති බවද ඇමැතිවරයා පවසයි.

මේ අයුරින් පොහොර මඟින් වෙනත් නිපැයුම් කරන නිෂ්පාදන සමාගමක් 2017 වසරේ මෙරටට මෙට්‍රික් ටොන් 3000ක් පොහොර නොකඩවා ආනයනය කර තිබුණත්, සියලු පොහොර සහනාධාර පොහොර ලෙස ලබාදීමට රජය පසුගිය වසරේ පියවර ගත් විට මුලින් පිටරටින් පොහොර ගෙන්වූ සමාගම රජයේ සහනාධාර පොහොර ඒ සඳහා උපයෝගී කරගෙන ඇති බව හෙළි වී තිබේ. මේ අනුව සහනාධාර ක්‍රමයට අනුකූලව රු. කෝටි 90ක් අමතර ලෙස වැය කරමින් මෙරටට පොහොර ගෙන්වා ඒවා පොහොර අවශ්‍ය වෙනත් නිපදවීම් කරන සමාගම්වලට අලෙවි කරන සමාගම් ඇති බවද ඇමැතිවරයා කියයි. ඒ පිළිබඳ සොයා බලා නඩු පවරන බවද ඇමැතිවරයා කියයි.

ඒ අයට දැඩි දඬුවම් දීමට කටයුතු හා නීති-රීති සකස් කරන බවත් ඇමැතිවරයා අවධාරණය කරයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උද්‍යාන භෝග සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය පියන්ත වීරසිංහ මහතා පවසන පරිදි ගොවිබිම්වල පස් පරික්ෂා කර පොහොර නිර්දේශ කිරීම ලෝකයේ දියුණු කෘෂිකාර්මික රටවල විද්‍යාත්මක ක්‍රමවේදයකි. ඉන්දියාව ද මේ ක්‍රමය ගොවිබිම්ලට අනිවාර්ය කර තිබේ.

ආචාර්ය වීරසිංහ පවසන පරිදි ශාක වර්ධනයට ප්‍රධාන ලෙස අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය 17ක් ති‍‍බේ. ඒවා පසේ තිබෙන්නේ විවිධ ප්‍රමාණවලින්. පස් පරික්ෂාව මඟින් කරන්නේ ඒ ස්ථානයේ වැවීමට යෝජිත භෝගයට ඒ පස මඟින් දියහැකි පෝෂක පදාර්ථ සංඝටක ප්‍රමාණය තීරණය කර ඉතිරි පෝෂක සංඝටක පිටින් ලබාදීමට කටයුතු කිරීමයි. මේ අනුව අපේ ඉලක්කය ලංකාවේ හැම ගොවිබිමකම පස පරික්ෂා කර ඒ පිළිබඳ වාර්තාවක් අදාළ ගොවීන්ට ලබාදී ඒ අනුව නිර්දේශිත පොහොර ලබාදී පසත් ශාකයත් සරුකර වැඩිපුර පොහොර භාවිතය නිසා යන විදේශ විනිමය අවම කිරීමයි. ඒ සඳහා කෘෂි ක්ෂේත්‍රයේ අයගේ පූර්ණ සහාය අවශ්‍යයි.

මේ වැඩපිළිවෙළ යටතේ පසේ ආම්ලික තත්ත්වය පාලනයටත් පස හායනය වීම වැළැක්වීමටත් කටයුතු කිරීමට අපි ක්‍රියා කරනවා.

ශාකවල පූර්ණ වර්ධනයට අවශ්‍ය මූලද්‍රව්‍ය 17න් යම් දෙයක් පසේ වැඩි වුණත් යම් දෙයක් පසේ අඩු වුණත් ඒක අදාළ ශාකය වැඩීම බාල වෙන්න හේතුවක්. ඒ නිසා අර මූලද්‍රව්‍ය අතර තිබෙන අන්‍යොන්‍ය සමතුලිතතාව බිඳ ව‍ැටෙනවා. එවිට අපි වවන ශාකයට පෝෂක හරියට ලැබෙන්නේ නැහැ. කොච්චර පෝර දැම්මත් මේ පැළෑටි ලොකු වෙන්නේ නෑ. කරල් එන්නේ නෑ. කියන්න වෙන්නේ එතකොටයි. මේකට හොඳම පිළියම පස පරික්ෂා කරලා ඒ අනුව පොහොර යෙදවීමට කටයුතු කිරීමයි.

අපි මීට වසර කිහිපයකට පෙර උද්‍යාන බෝග හා පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය ඒ ඒ රටේ විවිධ ප්‍රදේශවල කෘෂිකර්ම උපදේශකවරුන්ගේ සහාය ඇතිව රටේ ගොවිජන සේවා බල ප්‍රදේශවල පස් පරික්ෂා කර ඊට අදාළව වාර්තාවක් සකස් කළා.

එයට බලප්‍රදේශ 56‍2ක් ඇතුළත් වුණා. ඊට අදාළ පොහොර නිර්දේශයක් අපි දුන්නා.

දැන් එහි දෙවැනි පියවර ලෙස රටේ ග්‍රාම නිලධාරි වසම් 14000ක් පුරාම පස් පරික්ෂා කරලා තිබෙනවා. ඊට අදාළ පොහොර නිර්දේශ අපි සකස් කර අවසන්. ඒවා ගැන ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් ගොවින්ට දැනගන්න පුළුවන්. මින් පස්සේ සහනාධාර පෝර ගොවීන්ට දෙන්නේ මේ පොහොර නිර්දේශ අනුව පමණයි.

මේ සමඟම රටේ ඕනෑම ගොවියකුට දැන් තම ගොවිබිමේ පස පරික්ෂා කර ගන්න පුළුවනි. ඒ සඳහා ඔබ කළ යුත්තේ ප්‍රදේශයේ කෘෂිකර්ම උප‍දේශකගේ උදව් ඇතිව තම ගොවිබිමේ පස් සාම්පලයක් පරික්ෂා කිරීමට අදාළ පර්යේෂණාගාරවලට යැවීමයි. ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේනතුව අය කරන්නේ රුපියල් 290ක් පමණයි. මේ පස් සාම්පල ලබා ගැනීම පිළිබඳව කෘෂිකර්ම උපදේශකවරුන්, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිවරුන්ටත් අපි විශේෂ පුහුණුවක් ලබා‍දෙනවා.

පස් පරික්ෂා කිරීමේ විශාල පරීක්ෂණගාර 20ක් දැන් රටේ දිස්ත්‍රික්ක මට්ටමින් අපි පිහිටුවා තිබෙනවා. ඊට අමතරව කෘෂිකර්ම දෙපාර්තමේනතුවට අයත් පර්යේෂණ ආයතනවලිනුත් පස් පරික්ෂා කර ගන්න පුළුවන්. ඒ සමඟම ත්‍රි’මලය, යාපනය, මන්නාරම වැනි ප්‍රදේශවලත් අලුත් පස් පරීක්ෂණාගාර තිබෙනවා. මේවා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවලට අයත්. මේ අයුරින් ඉහත ආයතනවලට පස් සාම්පල යැවූ විට තමන්ගේ ගොවිබිමේ පස් පිළිබඳ පූර්ණ තත්ත්ව පරීක්ෂණ වාර්තාවක් ගොවියාට ලැබෙනවා. පසේ ඒ තත්ත්වය අවුරුදු 3ක් බලපවත්වනවා. ඒ නිසා වසර 3ක් යනතුරු ආයිත් පස් පරීක්ෂණ කරන්න ඕනෑ. ඒ සමඟම එයට අදාළ පොහොර නිර්දේශයන් ගොවියාට ලැබෙනවා. ඒ අනුව තමනට සහනාධාර පෝර ලැබුණත් ඒ පොහොර අඩු වැඩියෙන් තම ගොවිබිමට දැමිය යුතු අන්දම පිළිබඳව අවබෝධයක් මෙයින් ගොවියනට ලැබෙනවා.

ඊට අමතරව කෘෂිකර්ම දෙපාර්තමේන්තු ජංගම පස් පරීක්ෂණාගාරත් තිබෙනවා. ගොවීන්ගේ ඉල්ලීම අනුව ඒවායින් ගිහිල්ලත් පස් පරීක්ෂණ කරනවා. ඒත් ප්‍රධාන පර්යේෂණාගාරවලින් දෙන යම් පරීක්ෂණ වාර්තාව තරම් තොරතුරු ජංගම පස් පරීක්ෂාණාගාරවලින් ලැබෙන්නේ නැහැ. නමුත් ඒ බිමේ වගාවලට උචිත පොහොර පිළිබඳ ඉන් දැනගන්න පුළුවන්. ආචාර්ය ප්‍රියන්ත වීරසිංහ මහතා පවසයි.

ඉදිරියේදි සහනාධාර පෝර දෙන්නේ පස් පරීක්ෂණ අනුව පමණයි. ඒවගේම ග්‍රාම නිලධාරී වසම්වලට සහනාධාර පෝර දෙන්නෙත් අදාළ පොහොර නිර්දේශය අනුව පමණයි. මේ පිළිබඳව ගොවියා දැනුම්වත් කිරීම අපි දැනටමත් කරනවා. වැඩි විස්තර ‘1920’ දුරකථන අංකයෙන් දැනගන්න පුළුවන්.

ගොවි ජනතාව තම ඉඩමේ පස් පෞද්ගලිකව පරික්ෂා කර වාර්තා ලබාගෙන පොහොර නිර්දේශ ලබාගෙන ඇත්නම් සහනාධාර පෝර දෙන විට ඒ අනුව පො‍ොහර ලබාදීමට කටයුතු කරනවා. මේ අනුව ඉදිරියේදි මේ වැඩපිළිවෙළ රට පුරා ක්‍රියාවට නැංවීම මඟින් ගොවීනට ඉහළම ප්‍රතිලාභ ලැබෙනවා. අවශ්‍ය පොහොර පමණක් ගොවි බිමට ලැබීම නිසා හොඳ පලදාවක් ලැබෙනවා. අනවශ්‍ය පොහොර ගොවි බිමට දමන්නේ නැති නිසා ගොවියාට යන වියදම අඩුවීම පමණක් නොව පොහොර පිට රටින් ගෙන්වීමට යන විදේශ විනිමය ද මෙයින් අඩු වෙනවා. ඒ අනුව මේ වැඩපිළිවෙළ පොදුවේ රටටම සෙතක් බවත් ආචාර්ය ප්‍රියන්ත වීරසිංහ පවසන්නේ කෘෂිකර්මාන්තය තවමත් අපේ රටේ ප්‍රධානම ජීවන වෘත්තිය බව ද පෙන්වා දෙමිනි.

Comments