ජාතික ඩිජිටල් ශ්‍රී ලංකා ටෙලිකොම් සුහුරු ගම්මානය බිහි කරයි | සිළුමිණ

ජාතික ඩිජිටල් ශ්‍රී ලංකා ටෙලිකොම් සුහුරු ගම්මානය බිහි කරයි

චන්දිමා එදිරිමාන්න

අසීමිත ඔබ වෙනුවෙන් සුහුරු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම උදෙසා ජාතික ඩිජිටල් සංක්‍රාන්තියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කරමින්, ජාතික සන්නිවේදන සේවා සැපයුම්කරු, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සන්නිවේදන තාක්‍ෂණයෙන් බලගැන්වෙන National Digital Road map ‘ජාතික ඩිජිටල් සංක්‍රාන්තිය’ එළිදැක්වීමේ පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගීත්වයෙන් නෙළුම් පොකුණ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මේ ඔස්සේ Smart Government, Smart Security, Smart Transportation & Mobility, Smart Health තවත් විශේෂාංග රාශියක් එක්කර රටේ සමස්ත මෙහෙයුම් ක්‍රියාවලිය ආවරණය වන සේ සංකල්ප 16ක් ඔස්සේ සුහුරු ශ්‍රී ලංකාවක් උදෙසා වූ ගමන් මග ප්‍රකාශට පත්කෙරෙනු ඇත.

සිය ව්‍යාපාරික සංවර්ධනය රටේ සංවර්ධනය බවට පත්කරමින් ඩිජටල් පරිවර්තනයේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය ‘අසීමිත ඔබ’ නමින් ගොඩනගනු ලබන සුහුරු ශ්‍රී ලංකාවක් හා අසමසම වෙළෙඳපොළ නායකත්වයක් කරා වූ ඩිජිටල්කරණයේ ගමන්මගට මුලපිරීම මෙම උත්සවයේදී සිදු කෙරිණි.

“ජාතික ඩිජිටල්කරණයේ ගමන් මග” එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු කෙරිණි. ඩිජිටල් ශ්‍රී ලංකාවක් පිළිබඳ ඉදිරි දැක්ම යථාර්ථයක් බවට පත් කර ගැනීමට කැපවූවන් අගය කරමින් මෙහිදී ජනාධිපති සම්මාන පිළිගැන්වීම ද ජනාධිපවරයා අතින් සිදු විය.

මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය කේ.කේ.එන්.ඩබ්ලිව් පෙරේරා, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් ද විදුලි සංදේශ කොමිසම, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇතුළු ආයතන වෙනුවෙන් සම්මාන පිළිගැන්විණි. මෙහිදී කථන ග්‍රන්ථ ප්‍රකාශනය වෙනුවෙන් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමින් වහන්සේ ද සම්මානයෙන් පිදුම් ලැබීය.මීට අමතරව වකුගඩු රෝග නිවාරණ අරමුදල වෙනුවෙන් පිරිනැමුණු මුදල් පරිත්‍යාගය ද ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාරදීමද මෙහිදී සිදු විය.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ ‘අසීමිත ඔබ’ නම් මෙම දැවැන්ත සංකල්පය ඔස්සේ, එකකින් එකක් උපකාර වන සේ සිය සේවකයන්, පාරිභොගිකයන් සහ රටේ පුරවැසියන් යන පාර්ශ්ව ත්‍රිත්වයේම හැකියාවන් අසීමාන්තිකව පුළුල් කිරීම සඳහා වූ යටිතලය සංවර්ධනය කරනු ලබයි. රටේ අනාගත ඩිජිටල් සැලසුම උදෙසා මුල්ගල තැබුන මෙම ජාතික ව්‍යාපෘතිය එළිදැක්වීමේ මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන හරින් ප්‍රනාන්දු, අජිත් පී. පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර යන මහත්වරුන් ද ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින් ද ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති කුමාරසිංහ සිරිසේන මහතා ඇතුළු එහි අධ්‍යක්ෂ මණ්ඩලය, විද්වතුන්, ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවටසහභාගී වී සිටියහ.

Comments